හින්දි ගීතවල වචන ඒ ආකාරයෙන් ම උච්චාරණය කරන්නට ද හෙතෙම ඉගෙන ගත්තේ ය. තවත් පියවරක් ඉදිරියට තබමින් කිලී හින්දි ගීතවලට නර්තන ඉදිරිපත් කරන්නටත්, ඒවා වීඩියෝ කර අන්තර් ජාලයට එකතු කරන්නටත් නැඹුරු විය. එසේ නර්තනයේ යෙදෙන ඇතැම් අවස්ථාවලදී ඔහු ම හින්දි ගීත ගායනය කළේ ය. තවත් සමහර අවස්ථාවලදී හෙතෙම ගීතය පසුබිමෙන් වාදනය වීමට සලස්වා ගීතයේ වචන අනුව මුව චලනය කළේ ය. මේ වීඩියෝවලට අන්තර් ජාලයේ විශාල ප්‍රසිද්ධියක් ලැබිණ.
ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන්වලට ද, වෙනත් උත්සවවලට ද සහභාගී වීමට කිලී පෝල්ට මේ වනවිට ඇරයුම් ලැබෙමින් තිබේ. 2022 වසරේ පැවැති “මෙටා ක්‍රියේටර් ඩේ” (Meta Creator Day) උත්සව අවස්ථාවේදී ඉන්දීය රංගන ශිල්පී රන්වීර් සිං සමඟ නර්තනයක් ඉදිරිපත් කිරීමට කිලී පෝල්ට ඉඩ කඩ සැලසුණේ ය. ඒ වසරේදී ම ඔහු “බිග් බොස්” (Bigg Boss) රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනට ආරාධිතයෙක් ලෙස පැමිණ තරගකරුවෙකු සමඟ නර්තනයක් ඉදිරිපත් කළේ ය.
යූටියුබ් අවකාශයේ ගයන, වයන, රඟන, උයන පිහන, මහන ගොතන, අමුතු අමුතු දේ කරන විවිධ වයස්වල ගැහැනු, පිරිමි නිමක් නැත. ඒ සියලුදෙනා අතරට අලුතෙන් ම එකතු වූ තරුව කිලී පෝල් ය. ඔහු තරුවක් වී තිබෙන්නේ විවිධ භාෂාවල ගීත ගැයීමට වඩා ඒ ගීතවල වචන උච්චාරණය වන ස්වරූපයට මුව චලනය කරන වීඩියෝ අන්තර් ජාලයට එකතු කිරීම නිසයි. වෙනත් විධියකින් කිවහොත් කට හෙලවීම නිසයි. පුදුමය නම්, ජාත්‍යන්තරය පමණක් නොව ශ්‍රී ලංකාවේ අයත් කිලී ගැන කතා කරන්නට දැන් දැන් පටන් ගෙන තිබීම ය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිංහල ගීතවල වචන උච්චාරණයන්ට සරිලන ලෙස ද සාර්ථකව කට හොල්ලන බැවිනි.
භාෂාවෙන් භාෂාවට උච්චාරණ විධි වෙනස් ය. ඒ නිසා ඒ ඒ භාෂාවල ගීතවලින් ගැයෙන වචනවලට අනුරූප වන ලෙස කට හෙල්ලීමටත් හැකියාවක් තිබිය යුතුමය. ඒ දක්ෂතාව නොඅඩුව ම පිහිටා ඇති කිලී පෝල් ඇත්තට ම කවුද?. ඔහු අපට ඉදිරිපත් කරන කලාව කුමක් ද?.

කිලී ඔහුගේ පියා සමග, කිලී, රන්වීර් සිං සමග, කිලී, මධුරි ඩික්සිත් සමග, කිලී
කිලී පෝල් ටැන්සානියා ජාතිකයෙකි. බොහෝ වාර්තාවන්හි සඳහන් වන්නේ හෙතෙම ටැන්සානියාවේ පිවනිහි, මින්දු තුලීනිහි දී 1995 වසරේ ඔක්තෝබර් මාසයේදී උපත ලද බවයි. එම පෙදෙස බෙහෙවින් ම ග්‍රාමීය පෙදෙසක් ලෙස ද හැඳින් වේ. එහි වැඩි පිරිසක් අදටත් ජීවත් වන්නේ ගව ආදී සත්ත්ව පාලන කටයුතුවලින් බව කිලී මේ මෑතකදී ප්‍රකාශ කර තිබිණ. සමීප නෑදෑයින් සහ තම පවුලේ සාමාජිකයන් එක පවුලක් හැටියට එක වහලයක් යට ජීවත් වන බවත් ඔහු පවසයි. කිලීත් ග්‍රාමීය සම්ප්‍රදායන් ම අනුගමනය කරමින් කාලයක් ජීවත් වූයේ ගව පට්ටියක් බලා ගනිමිනි. ඒ අතරතුර ඔහු ජංගම දුරකතනයට ද බොහෝ සේ ඇබ්බැහි වී ඇත.
ගමේ පාසලේදී “යුසූෆ්” යන නමින් හැඳින්වූ ඔහු පසුව කිලී නමින් හැඳින්වෙන්නට පටන් ගෙන ඇත්තේ ඔහුගේ පියාගේ උවමනාවට ය. අප්‍රිකාවේ උස ම කන්ද වන කිලිමන්ජාරෝ කන්ද සිහි ගැන්වෙන පරිදී තම පුතාට නමක් තබන්නට පියාට අවශ්‍ය වී තිබිණ. ඒ අනුව කිලී යන නම පියා, තම පුතාට තබා තිබේ. ගමේ පාසලේ හතර වැනි ශ්‍රේණිය දක්වා ගිය කිලී පසුව ඩොඩෝමාහි පාසලකට ඇතුළත් වූ බව සඳහන් වේ. කිලී හත් වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන්නේ එහිදී ය. දැඩි දරීද්‍රතාවය, ඔහුට ඉන් ඔබ්බට අධ්‍යාපනය ලබන්නට ඉඩ සලසා නොතිබිණ. අධ්‍යාපනය අත්හළ ඔහු ඉංග්‍රීසි බස උගත්තේ ය. ඔහුට ඉංග්‍රීසි හොඳින් කතා කිරීමට ද පුළුවන. ඉංග්‍රීසි හැරුණු විට ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාත් පරිහරණය කිරීමට ඔහු උගත් බව සඳහන් වේ.
කිලී හින්දි බසටත්, හින්දි චිත්‍රපටවලටත් පෙම් බඳින්නට පටන් ගත්තේ ඒ අතරවාරයේදී ය. හින්දි ගීතවල වචන ඒ ආකාරයෙන් ම උච්චාරණය කරන්නට ද හෙතෙම ඉගෙන ගත්තේ ය. තවත් පියවරක් ඉදිරියට තබමින් කිලී හින්දි ගීතවලට නර්තන ඉදිරිපත් කරන්නටත්, ඒවා වීඩියෝ කර අන්තර් ජාලයට එකතු කරන්නටත් නැඹුරු විය. එසේ නර්තනයේ යෙදෙන ඇතැම් අවස්ථාවලදී ඔහු ම හින්දි ගීත ගායනය කළේ ය. තවත් සමහර අවස්ථාවලදී හෙතෙම ගීතය පසුබිමෙන් වාදනය වීමට සලස්වා ගීතයේ වචන අනුව මුව චලනය කළේ ය. මේ වීඩියෝවලට අන්තර් ජාලයේ විශාල ප්‍රසිද්ධියක් ලැබිණ. ඔහුගේ බාල සොයුරිය නීමා පෝල් ද ඔහු සමඟ පසු කලෙකදී නර්තනයන්ට සහභාගී වන්නට පටන් ගත්තා ය.
“… මම වඩාත් කැමැති ගීතවල ගේය පද රචනා මම යූ ටියුබ් භාවිතයෙන් ඉගෙන ගන්නවා. ගූගල් පරිහරණය කර වචනවල උච්චාරණ විධි අධ්‍යයනය කරනවා. මම එහෙම කරන්නෙ කිසිම දෙයක් මග අරින්න මට අවශ්‍ය නොවන නිසා. ඊට පස්සෙ මම ඒ ගීතයේ ඉංග්‍රීසි පරිවර්තනය අධ්‍යයනය කරනවා. ප්‍රේම ගීතවලට මම මගේ ම අභිනයන් එකතු කරනවා. මොක ද, ලෝකයේ කොතැනත් ආදරය කියන්නෙ ආදරයටමයි. පටිගත කරන්න කලින් ගීතයේ හැම වචනයක ම තේරුම් සොයා බලන්න වැඩි අවධානය යොමු කරනවා. …” මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු එසේ පවසා තිබිණ.
මේ ආකාරයට පැය ගණන් ගීතවලට පුහුණු වීම් සිදු කරන විට ඔහුගේ පවුලේ අය ඔහු විකෘති මානසික තත්ත්වයකට පත් වෙමින් සිටින්නේදැයි කල්පනා කර තිබේ. කවුරු කුමක් කීවද තමන් ඒ කිසිවකින් නොසැලුණු බව ද කිලී පවසයි.
සමාජ මාධ්‍ය ජාලවල කිලී පෝල් අද බොහෝ ප්‍රකට ය. විවිධ භාෂාවන්වලින් ගැයෙන ගීතවලට ඔහු ඉදිරිපත් කරන නර්තන, විවිධ භාෂාවල ගීත තමන් ම ගායනා කරන බවක් ඉස්මතු කරමින් ඔහු සිදු කරන මුව චලනය රස විඳින මිලියන සංඛ්‍යාත පිරිසක් මේ වනවිට සිටිති. කිලී පෝල්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි අනුගාමිකයන් ගණන මිලියන දෙක ඉක්මවා යයි. ඉන්දියාවේ ප්‍රකට රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් පවා කිලී පෝල්ගේ අනුගාමිකයන් බව සඳහන් වේ. 2022 වසරේ පෙබරවාරි මාසයේ කිලී පෝල් සහ නීමා පෝල් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇගයීමට ද ලක් වූහ.
ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන්වලට ද, වෙනත් උත්සවවලට ද සහභාගී වීමට කිලී පෝල්ට මේ වනවිට ඇරයුම් ලැබෙමින් තිබේ. 2022 වසරේ පැවැති “මෙටා ක්‍රියේටර් ඩේ” (Meta Creator Day) උත්සව අවස්ථාවේදී ඉන්දීය රංගන ශිල්පී රන්වීර් සිං සමඟ නර්තනයක් ඉදිරිපත් කිරීමට කිලී පෝල්ට ඉඩ කඩ සැලසුණේ ය. ඒ වසරේදී ම ඔහු “බිග් බොස්” (Bigg Boss) රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනට ආරාධිතයෙක් ලෙස පැමිණ තරගකරුවෙකු සමඟ නර්තනයක් ඉදිරිපත් කළේ ය. “ජාලක් ඩිඛහ්ලා ජා -10” (Jhalak Dikhhla Jaa – 10) රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනට ද කිලී පෝල් ආරාධිතයෙක් වශයෙන් සහභාගී වූයේ ය. එහිදී මධුරි ඩික්සිත් සමඟ නර්තනයක් ඉදිරිපත් කරන්නට ඔහුට අවස්ථාව හිමි විණ. ඒ හැරුණු විට ඇතැම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේ ද ඔහු නිරතව සිටීයි.
ටැන්සානියාවේ ඈත ගම්මානයක උපත ලද කිලී පෝල් අද ලොව විශාල පිරිසකගේ අවධානයට ලක් වූ කෙනෙක් බවට පත්වී ඇත. එසේ වූවත් ඔහු ලබා ඇති සාර්ථකත්වය අන්තර් ජාලයෙන් දැක බලා ගැනීම සඳහා ඔහුගේ ගමේ උදවියට තවමත් ඉඩක් නැත. එයට හේතුව ඔහුගේ ගමට අන්තර් ජාල පහසුකම තවමත් සිහිනයක් වී තිබීම ය.
ගීතයක වචන උච්චාරණය වන ආකාරයට කට සෙලවීම කලාවක්දැයි අපි නොදනිමු. කිලී පෝල් කර ඇත්තේ එය කලාවක් කරගෙන එමඟින් තරුවක් වීම බව නම් පෙනී යයි.