දේශීය සාහිත්‍ය මූලාශ්‍රය හැරුණු කොට, විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය මඟින්ද දළදා වහන්සේගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු දැනගත හැකිය.
මේ ග්‍රන්ථ අතුරින් එක් ග්‍රන්ථයක් ලෙස ජිනකාලමාලි සඳහන් කිරීමට පුළුවනි. පාළි වංශ කථාවක් වන මෙය රචනා කොට ඇත්තේ තායිලන්තයේ චියැන්මායිහි රත්තවන විහාරයේ රතනපඤ්හ නමැති හිමි නමක් විසිනි. කතුවරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියාවට බුදු දහම ව්‍යාප්ත වූ ආකාරය විස්තර කිරීමයි. මෙහි ඇතුළත් වන ඉතා වැදගත් කරුණක් වන්නේ ක්‍රි.ව. 1425දී තායි භික්ෂූන් වහන්සේ කැලණියේදී සිංහල උපසම්පදාව ලබා දළදා වන්දනය කළ බවයි. මූලාශ්‍රයවලට අනුව මෙකියන කාලයේ දළදා වහන්සේ වැඩ සිටියේ සවැනි පරාක්‍රමබාහු රජුගේ කෝට්ටේ රාජධානියෙහි ය.
දහ නව වැනි ශත වර්ෂයෙහි රචිත බුරුමයේ හ්මානන් (වීදුරු මාළිගා වංශ කථාව) කෘතියට අනුව පගාන්හි රජ කළ අනිරුද්ධ රජු (ක්‍රි.ව. 1044-1077) ශ්‍රී ලංකාවේ රජුගෙන් දන්තධාතූන් වහන්සේ ඉල්ලා තිබේ. මෙහි සඳහන් වන ආකාරයට අනිරුද්ධ රජුට ලැබී ඇත්තේ දන්ත ධාතූන් වහන්සේගේ ආකෘතියක් වන අතර, එය ශ්වේජින් චෛත්‍යයෙහි නිදන් කොට තිබේ. මේ කථාව ඉතා සිත්කලු වුවත් මෙහි සත්‍යතාව පිළිබඳ සැකයක් උපදී.
චීන මූලාශ්‍රයවලින්ද දළදා වහන්සේ පිළිබඳ තොරතුරු ලබාගත හැකි වී තිබේ. උතුරු සුං රාජ වංශයෙහි ඉතිහාසය හෙවත් සුන්-ෂු කෘතියෙහි පස්වැනි ශත වර්ෂයේදී දළදා මාලිගාවේ ආකෘතියක් ශ්‍රී ලාංකික රජකු විසින් චීන අධිරාජයාට යැවූ බව සඳහන් වේ. මොහු මහානාම රජු ලෙස (ක්‍රි.ව 406-428) හඳුනාගෙන තිබේ. මේ කරුණින් සනාථ වන්නේ චීනය වැනි ඉතා දුර රටවල්වලට පවා දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ දැනීම ව්‍යාප්ත වූ බවයි.
චීනයේ මිං රාජ වංශකථාවලින් ද දළදා වහන්සේ පිළිබඳ ව තොරතුරු ලැබේ. විදේශීය ජාතීන්ගේ ඉතිහාසයක් හෙවත් ය-ලී-කු- නයි-එර්හ් නමැති රජෙක් පිළිබඳ ව වාර්තා වන අතර, ඔහු චීන සෙන්පති චෙංහෝ සමග සටනට පැමිණි වීර අලකේශ්වර ලෙස හඳුනා ගෙන තිබේ. චීන මූලාශ්‍රවලට අනුව මෙම සටන සඳහා හේතු වුණේ වීර අලකේශ්වර බුදු දහමට සහ දන්ත ධාතූන් වහන්සේට අගෞරව කිරීමයි. වීර අලකේශ්වරගේ සමයෙහි දන්ත ධාතූන් වහන්සේ කෝට්ටේ වැඩ සිටිය බව පැහැදිලිව පෙනී යයි.
විදේශීය වාර්තා අතර දළදා ඉතිහාසය හැදෑරීමට අවකාශය ලැබෙන ෆාහියන් හිමිගේ වාර්තාවද ඉතා වැදගත් වේ. දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ මුල් අවධියේ පැවති දළදා ප්‍රදර්ශනය හා පෙරහර ගැන දේශීය මූලාශ්‍රයවලට වඩා වැඩි තොරතුරක් ලැබෙනුයේ චීන දේශ සංචාරක භික්‍ෂුවක් වූ ෆාහියන් භික්‍ෂුව විසින් රචිත වාර්තාව ඇසුරෙනි.
ඉත්සිං නමැති චීන වන්දනාකරුවාගේ වාර්තාවද දළදා ඉතිහාසය අධ්‍යයනෙහිලා මහෝපකාරි වේ. ඔහු ක්‍රි.ව. 673දී ඉන්දියාවට පැමිණියත් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. එහෙත් ඒ කාලයේ ලංකාවට පැමිණි චීන වන්දනාකරුවන්ගේ ගමන් විස්තර හා චරිත ගැන ලියා තැබීම නිසා එම වාර්තා වැදගත්කමක් උසුලයි.
දහසය වැනි සියවසෙන් පසු ශ්‍රී ලංකාද්වීපයේ වෙරළබඩ ප්‍රදේශ ක්‍රමයෙන් අපරදිග ජාතීන්ගේ පාලනයට යටත් වීමෙන් පසු පෘතුගීසීන්, ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් මෙරට පාලනය කළ අතර, 1815 උඩරට ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාවේම පාලන බලය ඉංග්‍රීසින්ට අත්පත් කරගත හැකි විය. මෙලෙස විදේශීය පාලනයක් පැවති වකවානුව තුළ මහනුවර ඇසළ උත්සවය හා දළදා පෙරහර ගැන වැඩි විස්තර ලබාගත හැකි වනුයේ විදේශීය වාර්තා ඇසුරෙනි. ඒ අතුරින් රොබට් නොක්ස් විසින් ලියනු ලැබූ An Historical Relation of the Island Ceylon වාර්තාවත් මෙහිදී ඉතා වැදගත්ය. මේ වාර්තාවල සඳහන් වන කරුණු උපුටා දක්වන හඟුරන්කෙත ධීරානන්ද හිමියෝ දෙවැනි රාජසිංහ රජු දවස සිරකරුවකු ලෙස කන්ද උඩරට විසූ නොක්ස් තමා දුටු හා අසන ලද සිංහල සමාජයේ විවිධ පැතිකඩ රැසක් ගැන සිය වාර්තාවේ දක්වා ඇති බව සඳහන් කරති. ඒ අතර ඔහු මහනුවර පවත්වනු ලැබූ ඇසළ පෙරහර ගැන දක්වන තොරතුරු ඉතා වැදගත්ය.
ඉංග්‍රීසීන්ට උඩරට ඇතුළු වෙරළබඩ ප්‍රදේශ සිය පාලනයට නතු වීමෙන් පසු මෙරටට පැමිණි විද්වතකු ලෙසින් ජෝන් ඩේව් සඳහන් කළ හැකි ය. අපරදිග ශ්‍රේෂ්ඨ කතුවරයකු වන හම්ප්‍රි ඩේව්ගේ සහෝදරයකු වන මොහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එවකට ලක්දිව පාලනය කළ රොබට් බ්‍රවුන්රිග්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද කටයුතු කොට තිබේ. මෙලෙස කටයුතු කළ ඩේව් සිය වෛද්‍ය කාර්ය මණ්ඩලයත් සමඟ වර්ෂ 1816 අගෝස්තුවේ සිට 1820 පෙබරවාරිය දක්වා ශ්‍රී ලාංකේය සමාජයේ විවිධ පැතිකඩ සම්බන්ධව එකතු කර ගත් සමාජ පාලන ආර්ථික හා සංස්කෘත තොරතුරු පමණක් නොව, පාරිසරික තොරතුරුද ඇතුළත් කොට ග්‍රන්ථයක් සම්පාදනය කරනු ලැබ 1821දී එය ප්‍රකාශයට පත් කරනු ලැබීය.
සිය ප්‍රස්තාවනාවේදී තමා තොරතුරු එක් රැස් කරගනු ලැබූවේ කෙසේද යන්න ඩේව් විස්තර කරයි. උඩරට පාලන කටයුතු සම්බන්ධ ප්‍රධානීන්ගෙන්, බහුශ්‍රැත භික්‍ෂූන් සමඟ සාකච්ඡා කිරීමෙන්, දේශීය සාහිත්‍ය ගැන අතිවිචක්ෂණ දැනුම ඇති ස්වදේශිකයන්ගෙන්ද, ශිල්පීන්ගෙන්ද එමෙන්ම එම අවස්ථා හා කාර්යයන් පරීක්‍ෂා කිරීමෙන්ද තොරතුරු ලබා ගෙන තිබේ.

මහාචාර්ය
එන්.ඒ. විමලසේන
ඉතිහාස අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
දහනව වැනි සියවසේ දෙවැනි දශකයේ ලක්දිව විසූ විදේශීය වාර්තාකරුවකු වන ජෝන් ඩේව් විසින් මෙරට සම්බන්ධයෙන් තබන ලද වාර්තා අතර මහනුවර ඇසළ පෙරහර ගැන දක්වන වාර්තාව සුවිශේෂිය. මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය හා එහි පෙළ ගැස්මත්, ඒ සම්බන්ධිතව පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වාත් ඒ ගැන නියැළුණ ආකාරයත් විස්තරාත්මකව දැනගැනීමට ඩේව්ගේ වාර්තා වැදගත්ය. නව සඳ පුර පෑළවිය දින පෙරහර ආරම්භ කළ බව ඩේව් දක්වයි. විෂ්ණු දෙවියන්ගේ උත්පත්තිය සිහිපත් කිරීම අරබයා මෙය පැවැත්වේය යනු එවකට ඇතැමකු අදහස් කරන බවද ඔහු පෙන්වා දෙන අතර, මේ උත්සවය අවසන් වනුයේ අව පෑළවිය දිනයේ බවද කියයි. පුර පෑළවිය දිනට දින කිහිපයකට පෙර ප්‍රධාන දේවාල හතරේ මිනිසුන් එක් රැස්ව ගෙඩි පල හට නොගන්නා තෙවියතක් කඳ ඇති කොස් ගසක් තෝරාගනු ලබන අතර පසුව දුම්මල දුම් ඇල්ලීමෙන් ද, සඳුන් දුම් ඇල්ලීමෙන්ද ඒ ගස පේ කොට ඒ විගසම ගස කපා හෙළන බව ඔහු දක්වයි. හිස් සෝදා නා පිරුවටයක් ඇඳගත් විෂ්ණු දේවාලයේ ගස් කපන්නාට මේ කාර්යය පැවරෙන බවත්, ඔහු විසින් මේ කඳ කැබලි හතරකට කපන බවත් පසුව කපන ලද එක් එක් ලී කැබැල්ලක් හේවිසි සහිතව ඒ ඒ දේවාලවලට (මහනුවර අනෙකුත් දේවාල) වෙත ගෙන යන ලද බවත් සිය කෘතියේ ඔහු සඳහන් කරයි. පුර පෑළවිය දින කැප කළ කොස් කඳ ඒ ඒ දේවාල බිමේ සිටුවා ගොක්කොළ හා මල්වලින් සරසන ලද පැළකින් ආවරණය කෙරිණි. මෙදින සහ මීළඟ දින තුන තුළ එක් එක් දේවාලයේ කපු රාලවරු දෙවියන්ගේ දුනු හී ගෙන කොස් කඳ වටා මහ පෙරහරින් ගෙන ගියහ. පස්වැනි දින සියලු නිලමේවරුන්, මිනිසුන් දහස් ගණනක්ද ගස් වූ බවත් රන්සිවි ගෙවල්හි තැම්පත් කරන ලද දේව ආභරණ හා බුද්ධ ධාතුව මහ පෙරහරින් වැඩම වන ලැබූ බවත් ඩේව් සඳහන් කරයි.
මේ විදේශීය වාර්තාවන්හි අන්තර්ගත තොරතුරු දළදා වහන්සේ පෙරටු කර කරන ලබන පෙරහර මංගල්‍යය ගැන මෙන් ම මහනුවර ඇසළ පෙරහරේ අතීත ස්වභාවය ගැන දැන ගැනීමට ප්‍රයෝජනවත් වන අතර, සමකාලීන සමාජ සන්දර්භයේ විවිධ පැතිකඩ ඒ ඇසුරෙන් හඳුනාගැනීමට වැදගත් වේ. පාලකයා හා පාලිතයා අතර මෙන්ම පාලකයා හා පාලක මඬුල්ල අතර පැවති සම්බන්ධතාවත්, ප්‍රාදේශීයත්වය ඉක්මවූ ජන සහභාගිත්වයත් මත එක් තැන් වූ ජාතික උත්සවයක් ලෙස මහනුවර පෙරහර මංගල්‍යය පවත්වනු ලැබූ බවත් මෙමඟින් සනාථ වන අතරම අතීත පෙරහරේ ස්වභාවය මෙන්ම වත්මන් ඇසළ පෙරහරේ පෙළගැස්ම මෙන්ම එක්ව ඇති නවාංග මෙන්ම බැහැරව ඇති පෙරහර අංග කවරේද යන්න අධ්‍යයනය කිරීමට විදේශීය රචකයන් විසින් දක්වනු ලබන මේ තොරතුරු ප්‍රයෝජනවත් වන බව කිව යුතුය.