මුනිදාස කුමාරතුංග පිළිබඳ අගය කිරීමක් කරන ලෙස මෙරට උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකුට ආරාධනා කළ හොත් කුමාරතුංග මහතා දැඩි භාෂා ප්‍රේමියකු බවත්, පැරණි සම්භාව්‍ය සිංහල ග්‍රන්ථවල දක්නා භාෂාව නැවත ලේඛන ක්ෂේත්‍රයට හඳුන්වා දීමට උත්සාහ කළ කවියකු බවත්, ‘ඇ’ කාරය සමඟ තිබූ විකාරසහගත ප්‍රේමය ඔහුගේ අතීතකාමය සංකේතවත් කරන බවත් ඒ සිසුවා සද්භාවයෙන් යුක්තව අපට කියා සිටිනු ඇත. සරල පොතපත හා පත්තර කියවන මෙරට සාමාන්‍ය ජනතාවගේ මතයද මෙයයි.
මෙරට චින්තනය උඩු යටිකුරු කළ මිනිසකු සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති මේ ප්‍රතිරූපය කනගාටුදායක විකෘතියකි.
අතිශයින්ම පෙරළිකාර මත ඉදිරිපත් කළ චින්තකයකු වූ කුමාරතුංග මහාවංසය ප්‍රශ්න කළේය; සිදත් සඟරාව ප්‍රශ්න කළේය; සිදත් සඟරාව ප්‍රශ්න කළේය;
මහා විහාරය ප්‍රශ්න කළේය; තොටගමුවේ රාහුල හිමියන් ප්‍රශ්න කළේය.; සිංහල ජාතියේ උපත ප්‍රශ්න කළේය; පාලි භාෂාව ප්‍රශ්න කළේය; එවක පැවැති අධ්‍යාපන ක්‍රමය ප්‍රශ්න කළේය; අධ්‍යාපන පොත් පෙළ ප්‍රශ්න කළේය. ඉපැරණි අකුරු කරන පොත් පෙළ ප්‍රශ්න කළේය. ප්‍රශ්න කිරීමෙන් නොනැවතුණු හේ සෑම වැරැදි දෙයක්ම සියතින්ම නිවැරදි කළේය.
ඔහු මොනතරම් ප්‍රශ්නකාරයකු වීද යත්: කුඩා කල ඔහුට සකු බස ඉගැන්වූ කහවේ ආනන්ද හිමියන් රෑ පහළොස් පැයක් පොත් පෙරළමින් මැසිවිලි නැඟුවේ “පොත් නොබලා කොහොමද අර යෝධයා උදේට ඇවිත් ප්‍රශ්න අහන්න ගත්තහම මං එපායැ උත්තර දෙන්න!” කියමිනි. අන් හැමටම වඩා කුමාරතුංගට ප්‍රශ්නයක් වූයේ නිතර ඔහුගේ ප්‍රහාරයට ලක් වූ එවක සිටි උගතුන්ටය. සාම්ප්‍රදායික මතයට නොපැකිළ අභියෝග කළ මේ පටිසෝතගාමියා සමඟ විවාදයකට පැටලීම සියදිවි හානි කරගැනීමක් බවට පත්ව තිබුණු බැවින් තමාගේ ලිපියට කුමාරතුංග පිළිතුරක් ලියන බව ආරංචි වූ ඇතැම් උගත්තු එසේ නොකරන ලෙස ඔහුට ඇවිටිලි කළහ.
සිංහල සභ්‍යත්වය විජය කුමරුගෙන් ඇරඹිණැයි කියූ මහාවංස වාර්තාවට අභියෝග කරන ලද්දේ කුමාරතුංගයන් විසිනි. වර්තමානයේදී කිසිදු පුරාවිද්‍යාඥයකු මහාවංස මතය නොපිළිගන්නා තරමට කුමාරතුංග මතය තහවුරු වී ඇත. ඔවුන් විසින් පණ පොවන ලද රාවණා යුගය පිළිබඳ මතයේ ගැඹුර සෙසු ජනතාවට දැනුණේ ඊට අවුරුදු හැට හැත්තෑවකට පසුවය. සීතාවක රාජසිංහ පීතෘ ඝාතකයකු නොවන බවට ඔහු ඉදිරිපත් කළ මතයද අපට වැටහීමට හුඟ කාලයක් ගියේය. කුමාරතුංගයන් පීතෘ ඝාතක රාජසිංහයන්ට සමාන කොට බැණවැදුණු උගත් මහ තෙර නමකට ඔහු සරදම් කළේ “හැබෑටම හාමුදුරුවනේ, ඒ රජ්ජුරුවන් සිටියේ මොන රටේද?” කියා අසමිනි. අභයගිරි පාර්ශ්වයේ පොතපත විනාශ කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් මහා විහාරය ඔහුගේ දැඩි විවේචනයට ලක් විය.
ශත වර්ෂ ගණනක් පුරා සිංහලයේ මහා සම්භාව්‍ය වියරණ පොත වූ ‘සිදත් සඟරාව’ කිසි දිනෙක අභියෝගයට ලක් නොවූවකි. එය හැබෑ සිංහලයට යොදාගත නොහැකි වූත්, පැරණි කවි බසට පමණක් අදාළ වන්නා වූත්, පාලිය අනුකරණයෙන් ලියන ලද්දා වූත්, අඩුපාඩුවලින් ගහන වූත් කෘතියක් බව ඔහු සාධක සහිතව කියා සිටි විට ප්‍රාචීත්‍ර උගතුන් කුපිතව ඔහුට වට කර පහර දුන්නද කිසිවකුටත් ඔහුගේ තර්ක බිඳහෙළිය නොහැකි විය. ඉන් නොනැවතුණු ඔහු කිසි කලෙක සූත්‍රගත නොවූ නව වියරණ රීති හා ලක්ෂණ රැසක් ග්‍රන්ථාරූඪ කරමින්ද, සම්මතයන් ප්‍රතික්ෂේප කරමින්ද ලියූ විශිෂ්ට වියරණ පොත් දෙකට අභියෝග කළ හැකි අයකු එදා මෙදා තුර පහළ වී නැත.
‘ඇ’ කාරය, දේශයේ ඉතිහාසයත්, අනන්‍යතාවත් කැටි කරගත් සුවිශේෂ අකුරක් බව ඔහුගේ මතය විය. එය පාලි, සංස්කෘත, දෙමළ හෝ වෙනත් කිසිදු ඉන්දීය බසක දක්නට නොලැබේ. ‘සිංහලය ඉන්දු ආර්ය භාෂා පවුලෙන් බිඳුණු බසක් නොව, ආර්යාවතරණයට පෙර සිට මෙරට භාවිත වූ ඉපැරණි බසකි’ යන තමන්ගේ ප්‍රවාදයට ‘ඇ’ කාරය ප්‍රබල සාක්ෂියක් බව ඔහුගේ අදහස විය. අක්ෂරයකට අමතරව ‘ඇ’ කාරය කොමාවක්, නැවතීමේ ලකුණක් හා විභක්ති සූචකයක් ලෙස යෙදෙන බව ඔහු පෙන්වා දුන් අතර, එහි අන්‍යාලාපය වනුයේ ඈත යුගවල සිටම මෙරට ලිඛිත සාහිත්‍යයක් පැවැති බවයි. ඔහුගේ තර්කයේ ජාතික වැදගත්කම වටහා ගන්නවා වෙනුවට සිදු වූයේ කුමාරතුංග මළ ගිය ‘ඇ’ කාරය බදාගෙන වැලපෙන්නකු ලෙස ප්‍රසිද්ධියට පත් වීමය.
2015 මැතිවරණ සමයේදී රූපවාහිනී තිරයේ පෙනී සිටි සිංහල උගන්වන පුස්සෙක් ‘අ’ කාර දෙකක් ඇති බවත්, එකක් විවෘතව ශබ්ද වන අතර අනෙක සංවෘතව ශබ්ද වන බවත්, මෙකී දෙවැනි ‘අ’ යන්න තමාගේ සොයා ගැනීමක් බැවින්, අනාගතයේදී එයට ‘පුස්සාගේ අ යන්න’ යනුවෙන් වහරනු ඇති බවත් කීවේය. මේ කරුණු පිළිබඳ වාග් විද්‍යාත්මක විවරණයක යෙදුණු කුමාරතුංග එකී අයනු දෙක ‘පූර්ව කණ්ඨජ අයන්න’ හා ‘හෘදයජ අයන්න’ ලෙස නම් කළේ පුස්සා ඉපදීමට දශක ගණනකට පෙරදීය. විද්‍යා සාහිත්‍යයක් සිංහලයේ කොහෙත්ම නොතිබිණි. එංගලන්තයේ අධ්‍යාපනය ලබා පැමිණියවුන් පවා ඒ සඳහා පසුබාමින් සිටියදී ඒ බරට කර ගැහුවේ කුමාරතුංගය. තමාගේ පුවත්පතත්, පෙළ පොතුත්, අතිරේක කියවීම් පොතුත් විද්‍යා රචනයන්ගෙන් ඔහු නිබඳ සැරසීය. වළාකුල හා ජල චක්‍රය, ගුරුත්වාකර්ෂණය, ග්‍රහලෝක හා තරු, ගුවන් යානය, ඇල්කොහොල් ආසවනය, ගස, මල, පරාග පෝෂණය, ඵලය ආදිය පිළිබඳ හා පුරා කෙරෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සඳහා ඔහු යොදා ගත්තේ කුඩා කතන්දර කලාවකි. වවුලා, මී මැස්සා, පැණි කුරුල්ලා, කිඹුල් කුරුල්ලා, කුකුළා, බල්ලා, සිංහයා, අලියා, නයා ආදී සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කොට සත්ත්ව විද්‍යාත්මක දෘෂ්ටියකින් යුතුව ඒවා දරුවන්ට ඉදිරිපත් කළේය. එවකට ඒකාන්ත පිළිගැනීමක් ලැබී නොතිබූ සාපේක්ෂතාවාදය ඔහු සඳහන් කළේ ‘සම්බන්ධතාවාදය’ යනුවෙනි.
කුමාරතුංග සටන් බිමට පිවිසෙන්නේ භාෂා ප්‍රේමියකු වශයෙන් නොව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදියකු ලෙසිනි. එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ ප්‍රබලතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදිය වූ ඔහු දීන සිතිවිලි ළමයින් අතර ව්‍යාප්ත කරන ලේඛකයන්ටත්, එවක තිබූ වැඩවසම් අධ්‍යාපන ආයතන ව්‍යූහයටත්, අනුකාරක පොතපතටත් එළව එළවා පහර දුන්නේය. ඔහුගේ ප්‍රතිසංස්කරණවාදය වචනයට සීමා නොවීය. ළමයින් සඳහා අලුත්ම පන්නයේ පෙළ පොත් මාලාවක්ද, අතිරේක කියවීම් පොත් කිහිපයක්ද ලියුවේය. ළමයින් සඳහා ලියූ පොත්වල ‘ඇ’ කාරය භාවිත කලාතුරකින් සිදු වූ අතර, ඒ මන්දැයි ඇසු විට ඔහු කීවේ “මගේ පුතා අඳින්නෙ කොට කලිසම්, මා අඳින්නේ දිග කලසම්” යනුවෙනි.
වරක් කුමාරතුංගයන්ගේ පිළිතුරකින් මාර්ටින් වික්‍රමසිංහයන් කොතෙක් විපිළිසර වීද යත්: අනතුරුව ආ දශක දෙකක කාලය පුරා මියගිය කුමාරතුංගයනට පිළිතුරු ලිපි ලියමින් වික්‍රමසිංහයෝ අනගි සාහිත්‍ය සේවයක් කළහ. සිය මිතුරා වූ මාර්ටින් වික්‍රමසිංහගේ මත ඉවත දැමූ කුමාරතුංග ගිරා සංදේශකරු හා සසඳන විට ගුත්තිල කාව්‍යකරු, පහළ කවිත්වයකින්ද, පහළ පාණ්ඩිත්‍යයකින්ද, පහළ පෞරුෂත්වයකින්ද හෙබි කවියකු බවට කළ අතිශයින්ම සියුම් විවේචනය නිසාය, වික්‍රමසිංහයන් මේ හැටි අමාරුවක වැටුණේ. කෙසේ වුවත් අදීන චින්තකයකු හා ඉතා තියුණු විචාරකයකු වූ කුමාරතුංගයන් දළදඬු භාෂා පණ්ඩිතයකු ලෙස චිත්‍රණය කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ නොනවත්වාම තැළුවේ හෙළ හවුලේම උදවියටය.
හොඳ ගණිතඥයකු වූ කුමාරතුංග පොර පිටියේදී ගණන්කාරයන්ට බිය නොවූ නිර්භීත හැඩි දැඩියෙක්ද විය. දීනත්වය ඔහු කොතෙක් ප්‍රතික්ෂේප කළේද යත්: අත් පොත් හතකින් සමන්විත වූ සාම්ප්‍රදායික සිංහල අකුරු කරන පොත් පෙළ සංස්කරණය කරමින්, කිසිදු ගරුසරුවක් නැතිව ‘ගණ දෙවි හෑල්ල’ ඉන් ඉවත් කර දැමූයේ, එය දීන අදහස් බිහි කරන ප්‍රබන්ධයක් බව කියමිනි. ඒ වෙනුවට ‘අකුරු සැහැල්ල’ නමින් තමාගේම නිර්මාණයක් ඔහු ඊට එකතු කළේය.
මවුබසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ඔහු විරුද්ධ වුයේ ඉංගිරිසි වන්දනාවටය. මේ කරුණු පිළිබඳ කුමාරතුංගයන් හා සංවාදයක පැටලුනු ප්‍රකට අධ්‍යාපනඥයකු වූ පීටර් පිල්ලේ පියතුමා. “මේ මිනිහා ඇඟෙන් වගේම මොළෙනුත් යෝධයෙක් නොවැ” යි කීවේ කුමාරතුංග දෙමළ කවි කටපාඩමින් කියන්න පටන් ගත් විටය.
අනුන්ගේ දෙය කොපි කර තමන්ගේ නමින් ඉදිරිපත් කරන්නන්ට ඔහුගෙන් සමාවක් නොලැබිණි. ජාතියේ මහා කිවියර, තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ පාණ්ඩිත්‍යයට ඔහු, බොහෝ ගරු කළද, එතුමන් කුකවියෙකැයි කී කුමාරතුංග, උන් වහන්සේ විසින්ම නිර්මාණය කරන ලද එකම කාව්‍ය සංකල්පනාවක් හෝ ඉදිරිපත් කරන ලෙස උගතුන්ට අභියෝග කළේය. කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ‘කුකවි වාදයේ’ අවසාන වටයේදී මිටි ගණන් පොත් රැගෙන ආ උගත්තු රහල් හිමියන්ගේ නිර්මාණ කියවූ නමුදු, ඒ හැම නිර්මාණයකටම මූලාශ්‍රය වූ සංස්කෘත කාව්‍යය කුමාරතුංග කටපාඩමින් කීවේය. එහි කිසිම පුදුමයක් නැත්තේ කුමාරතුංග කුඩා කාලයේදී දිනපතා ශ්ලෝක සිය ගණන් කටපාඩම්දී සිය ගුරුවරයාගේ ඔළුව අවුල් කළ බැවිනි. කුකවිවාදයටද වඩා මෙරට රත් කළ වාදය වූයේ ‘පාලි වාදය’ යි. බුදුන් වහන්සේ පාලි භාෂාවෙන් බණ නොදෙසූ බවටත්, පාලි වනාහි ලංකාවේ මහා විහාරවාසී භික්ෂූන් විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම භාෂාවක් බවටත් ප්‍රබල සාධක ඔහු ඉදිරිපත් කළේ මෙරට සඟ පරපුරේ ඉවසීමේ සීමා සිඳබිඳලමිනි. කුමාරතුංග පීතෘ ඝාතකයකුට සමාන කරන ලද්දේ මේ අවස්ථාවේදීය. විවාදවලදී භික්ෂූන් කර්කශ උපහාසයට ලක් කළද හේ දන් සිල් භාවනා නිති පුහුණු කළ, අසාමාන්‍ය ලෙස ත්‍යාගශීලි වූ බෞද්ධයෙක් විය. දීමට රුසියකු වූ ඔහුට ඒවා ආපසු ගැනීමේ පුරුද්දක් නොතිබිණි.
ලංකාවේ ප්‍රචලිතව පවත්නේ ඉන්දීය අනුකාරක සංගීතයක් බව විශ්වාස කළ හේ සැබෑ දේශීය සංගීතය සොයා යෑමේ අරමුණින් වෙළුම් හතරකින් යුතු ‘හෙළ මියැසිය’ ලිවීම ආරම්භ කළ මුත් මරණය විසින් ඔහු නවත්වන ලදි.
විසිවැනි සියවසේ මෙරට පහළ වූ විශිෂ්ටතම බුද්ධිමතා කුමාරතුංග විය හැකිය. ඔහුගේ වාග්කෝෂය ඇල්බට් අයින්ස්ටයින්ගේ වාග්කෝෂය ඉක්මවා සිටින බව ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් විසි අවුරුදු පර්යේෂණයක් ඇසුරෙන් සනාථ කළාය. වාග් කෝෂය යනු යමකුගේ බුද්ධි ඵලය මනින ප්‍රධානතම නිර්ණායකයයි.
ඔහු ලියූ 100ක් පමණ වූ පොත්වලින් 29ක්, පැරණි සම්භාව්‍ය පොත්වල අත්පිටපත් දෝෂ නිවැරදි කොට සකස් කිරීම් විය; 39ක් විවරණ ග්‍රන්ථ විය. පර්යේෂණාත්මක ව්‍යාකරණ පොත්, කවි පොත්, ළමා පොත් හා පෙළ පොත් ලියුවේ ඊට අමතරවය. පොත් ලියන අතරතුරම හේ ‘ලක්මිණි පහන’ පුවත්පතද ‘සුබස’ සඟරාවද, ‘පහන’ සඟරාවද ‘Hellio’ නමැති ඉංග්‍රීසි සඟරාවද සංස්කරණය කළේය; ඊට අමතරව නිතිපතා ආන්දෝලනාත්මක ප්‍රසිද්ධ දේශන පැවැත්වීය.
මේ සියල්ල කිරීම සඳහා ඔහු ජීවත් වුණේ අවුරුදු 56ක් පමණකි. ඉදින් මේ පෙරළිකාර චින්තකයා හණමිටිකාරයෙකැයි කිව හැක්කේ කාටද?
lයාපා ඩයස්