වාම ශ්‍රී දළදා වහන්සේ රජුන් නිර්මාණය කළ, රජුන්ට සාර්ථක දැහැමි පාලනයක් සඳහා මඟපෙන්වූ හා රාජ්‍ය පාලනයට ආරක්ෂාවත්, ශක්තියත් ලබා දුන් අද්විතීය පූජාර්භ වස්තුවකි. එකී විශේෂ ගුණාංගය එම දන්තධාතූන් වහන්සේගේ මූලාරම්භයේ සිටම දක්නට ලැබිණි.
ඛේම නම් මහ රහතන් වහන්සේගේ සුරතින් සම්බුදු සිරුර ආදාහනය කළ සඳුන් දර සෑයෙන් ලබාගත් මේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එදා මුලින්ම කලිඟු රටේ පාලකයාව සිටි බ්‍රහ්මදත්ත නම් දැහැමි රජුට (ක්‍රි.පූ. 543 දී) ප්‍රදානය කරනු ලැබිණි. එතැන් සිට එකී පරපුරේ පාලකයෝ පියපුතු ඇවෑමෙන් ගුහසීව රජු දක්වා වසර අටසිය පනහක තරම් (බුද්ධ වර්ෂ 1 සිට බු.ව. 851) කාලයක් කලිඟු රට දන්තපුරයෙහි ඔවුන්ගේ භාරයේ තබා ගනිමින් එම දළදා වහන්සේට නිති පූජෝපහාර පවත්වමින් රැකවරණය සැලසූහ.
මේ දීර්ඝ කාලය (ක්‍රි.පූ. 543 – ක්‍රි.ව. 308) තුළ, විශේෂයෙන් ධර්මාශෝක අධිරාජයාගේ පාලන කාලයෙන් අනතුරුව භාරතීය පාලකයන් අඩු වැඩි වශයෙන් හින්දු හා නිගණ්ඨ ආගම්වලට යළි නැඹුරු වීමත්, ඒ පූජකවරුන්ගේ අනුශාසනා ලැබීමත් නිසා ඉන්දීය පරිසරය තුළ වාම ශ්‍රී දළදා වහන්සේට ලැබිය යුතු නිසි ගෞරවය හා ආරක්ෂාව ක්‍රමානුකූලව ගිලිහී යන තත්ත්වයක් උදා විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඛීරදාර රජුගේ බෑනකු විසින් දළදා වහන්සේ පැහැරගනු රිසින් ගුහසීව රජු සමඟ සටනට (ක්‍රි.ව. 298 පමණ) පැමිණි විට ඉන් දළදා වහන්සේට සිදු විය හැකි අන්ත්‍රාව මැනවින් වටහාගත් ගුහසීව රජතුමා බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ ලක්දිව වාම ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාවටත්, නිසි පුදසත්කාර ලබා දීමටත් හොඳ ම ස්ථානය බව වටහාගෙන තමන් සමීපයේ දළදා තේවාවේ නිරත ව සිටි දන්ත කුමරුට සිය දියණිය වූ හේමමාලාවන් සරණ පාවාදී ඔවුන් දෙදෙනාට දළදා වහන්සේ භාර කර වහාම ලක්දිවට පලායන මෙන් උපදෙස් දුන්නේය.
එම දුෂ්කර රහසිගත යාත්‍රාව මහසෙන් රජු (ක්‍රි.ව. 272-299) ජීවත්ව සිටියදී ආරම්භ කළත්, ඔවුන් සිය දූත මෙහෙවර නිමා කරන්නේ ඔහුගේ පුත් 28 වසක් (ක්‍රි.ව. 299-327) රාජ්‍ය විචාළ අනුප්‍රාප්තික රජු වූ කිත්සිරිමෙවන්ගේ අභිෂේකයෙන් නවවැනි වර්ෂයේ (ක්‍රි.ව. 308) දීය. මෙලෙස ලක්දිවට වැඩම වූ වාම ශ්‍රී දළදා වහන්සේ විවිධ සම්බාධකවලට මුහුණ දෙමින් එදා සිට අද දක්වා වසර 1,700කට වැඩි කාලයක් රාජ්‍ය උරුමයේ සංකේතය වෙමින් ජීවමාන බුදු රජාණන් වහන්සේට සිදු කළ පූජෝපහාර නොඅඩුව ලබමින් නිරුපද්‍රිතව ශ්‍රී ලාංකේය රාජ්‍යයේ මුදුන්මල්කඩ බවට පත්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විරාජමාන ව වැඩ වෙසෙති.
මහින්දාගමනයෙන් පසු බුදුදහම වැලඳගත් ලක්දිව රජවරු සම්බුද්ධ ශාසනයට, ජය ශ්‍රී මහබෝධින් වහන්සේට වරින්වර රාජ්‍යයෙන් පිදුම් කළහ. එම සිරිත ම අනුව යමින් දළදා වහන්සේ ගෞරවයෙන් පිළිගත් කිත්සිරිමෙවන් රජතුමා ලක්දිව රාජ්‍ය දළදා වහන්සේට පූජා කළේ ය. එසේ කළ ද රජු තුළ දළදා වහන්සේ බුදුන් වහන්සේගේ ම දැයි සැකයක් ඉපැදුණු බැවින් ඔහුගේ සැකය දුරු කිරීමට දළදා වහන්සේ විසින් ප්‍රාතිහාර්ය දක්වනු ලැබිණි. එයින් ප්‍රමෝදයට පත් රජතුමා දළදා වහන්සේ සිය හිස මතින් වැඩමවා රජමැඳුර මධ්‍යයෙහි (සිහසුනෙහි) වඩාහිඳුවා ගෞරව දැක්වීය. අනතුරුව රාජකීය උද්‍යානයෙහි දළදා මැඳුරක් ඉදි කරවා දළදා වහන්සේ එහි ස්ථිරව තැන්පත් කර පුදපූජා පැවැත්වීමටත්, ආරක්ෂාව ලබා දීමටත් පියවර ගත්තේය.
ඒ අනුව ලක්දිව දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව රජ පැමිණි අනුප්‍රාප්තික සියලු රජදරුවෝ වාම ශ්‍රී දළදා වහන්සේට තුන්වේල දන් පූජා පැවැත්වීමත්, පරසතුරන්ගෙන් එය ආරක්ෂා කිරීමත්, වරින්වර දළදා වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමත් සිය වගකීමක් ලෙස සලකා ක්‍රියා කළහ.
අනුරපුර රාජධානිය බිඳ දැමූ චෝල ආක්‍රමණය සිදු වන තෙක් දළදා වහන්සේ කිත්සිරිමෙන් රජු විසින් ඇතුළුනුවර ඉදි කළ දළදා මැඳුරේ තැන්පත් කර තිබූ බව සිතිය හැකි ය. එහෙත් පසුව ලක් රජුන් මුහුණ දුන් පරසතුරු ආක්‍රමණ හමුවේ රාජධානිය අනුරාධපුරයෙන් නිරිත දිගට සංක්‍රමණය වීමේදී දළදා වහන්සේද ඒ ඒ රාජධානිය වෙත වැඩමවීමට සැලසූහ. එබැවින් අනතුරුව එළැඹෙන සෑම රාජ්‍ය පාලන සමයක දී ම රජු තමාගේ මාළිගාව සමීපයේ ම දළදා මන්දිරයක් ඉදි කරවා වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එහි වඩාහිඳුවීමටත්, ඊට රාජකීය පුදසත්කාර ලබා දීමටත් ක්‍රියා කර තිබේ. එමඟින් ලක්රජයේ පාලකයා දළදා වහන්සේගේ භාරකරු වශයෙන් මෙන්ම දළදා වහන්සේගේ හිමිකාරිත්වය ලබන තැනැත්තා ලක්දිව රජකම ලැබීමට සුදුසු යැයි පිළිගැනෙන සමාජ සම්මතය ඇති කිරීමටද සමත් විය.
දළදා වහන්සේ ලක්දිවට ලැබුණු මුල් අවස්ථාවේ සිට ම රජු දළදා වහන්සේ තමන් සන්තක කරගැනීම ඔහුගේ ප්‍රධානතම කාර්යභාරය වශයෙන් සලකා ක්‍රියා කළේය. එබැවින් පරසතුරු ආක්‍රමණයකදී දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස එය සඟවා තැබීම හෝ රාජ්‍යයෙන් පිටමං කිරීම සිදු කළ අතර ඔටුණු පැලඳි වහාම එය තමන් වෙත ගෙන්වා ගැනීමටද කටයුතු කළේය. එය රාජ්‍යත්වය හා දළදා වහන්සේ අතර සම්බන්ධතාව ප්‍රකට කරන තවත් කාරණයකි.
ඒ අනුව දළදා වහන්සේ වෙනුවෙන් රජුගේ වගකීම ලෙස කරුණු කීපයක් ක්‍රියාත්මක වූ බව පෙනේ. එනම්, රජු සිය මාලිගාව ආසන්නයේම දළදා මන්දිරයක් ඉදි කර දළදා වහන්සේ එහි වඩා හිඳුවා, ඊට ආරක්ෂාව රැකවරණය සලසාදීම දළදා වහන්සේට දෛනික පුදපූජා පැවැත්වීම හා වතාවත් සිදු කිරීමට කටයුතු කිරීම රාජකීය මුළුතැන් පූජාව දෛනිකව සිදු කිරීම වාර්ෂික පෙරහර මංගල්‍යය සිදු කර දළදා වහන්සේට රාජ්‍ය ගෞරවය ලබා දීම හා දළදා ප්‍රදර්ශනය සංවිධානය කර මහජනයාට වන්දනාමාන කරගැනීමට හා පින් රැස් කරගැනීමට අවස්ථාව සලසා දීමයි.
රටේ එක්සත්කමට මෙන්ම සාමකාමි පාලනයකට මෙයින් ලැබී ඇති අනුබලය සුළු කොට නොතැකිය යුතුය. මීට අමතරව රටේ සමෘද්ධියට හා සශ්‍රීකත්වයට දළදා වහන්සේගෙන් ලැබෙන ආශීර්වාදය පිළිගත් රජතුමා දළදා වහන්සේ කේන්ද්‍ර කරගනිමින් කාර්තිකේය මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍යය හා වාර්ෂික දළදා පෙරහර පැවැත්වීමටද ක්‍රියා කළේය.
ක්‍රි.ව. 1815දී බ්‍රිතාන්‍යයට ලංකාව යටත් කරමින් අත්සන් කළ ගිවිසුම මඟින් පවා දළදා වහන්සේට ලැබිය යුතු ගෞරවය හා ආරක්ෂාව තහවුරු කෙරුණු අතර, ඔවුහු එය රජයේ වගකීම ලෙස සැලකූහ. කෙසේ වෙතත් ක්‍රි.ව. 1853දී ඉංග්‍රීසි පාලකයන් විසින් වාම ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරිත්වය මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේ හා දියවඩන නිලමේතුමාට භාරදීම එහි තවත් වැදගත් සන්ධිස්ථානයකි.
දළදා වහන්සේ මහකරඬුවෙන් එළියට වැඩමවා ප්‍රදර්ශනය කරන අවස්ථා අතර නව රාජ්‍ය නායකයකු පත් වී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන පළමු අවස්ථාවද එකකි. එමෙන්ම වාර්ෂික දළදා පෙරහර අවසන් වූ වහා ඒ බව රාජ්‍ය නායකයාට සංදේශයක් පිළිගන්වා සැල කිරීම දියවඩන නිලමේතුමාගේ කාර්යයකි. දළදා ප්‍රදර්ශනයට රාජ්‍ය නායකයාගේ ඉල්ලීම හා අවසරය ඇතුළත් වී තිබීමෙන්ද, රාජ්‍ය නායකයා හා දළදා වහන්සේ අතර පවතින සබඳතාව ප්‍රකට කෙරේ.
මේ අනුව රාජ්‍යත්වය හා දළදා වහන්සේ අතර පවතින දෘඪ සබඳතාව පැහැදිලිව හඳුනාගත හැකි අතර, සාමකාමි, සමෘද්ධිමත්, දැහැමි රාජ්‍ය පාලනයක් සඳහා එමඟින් ලැබෙන මඟපෙන්වීම, ශක්තිය හා අනන්ත ආශීර්වාදය අප වටහාගත යුතුය.