පෙර සිරිත් රක්නා
සැදැහැ ගුණයුත් නද නා
රජවරුද සැම දෙනා
කළෝ දළදා සිරිති බැති නා
(සිංහල දළදා වංශය, අකුරැටියේ අමරවංශ හිමි,
1995 – 69 පද්‍යය)
අනුරපුර කිත්සිරිමෙවන් රජ දවස (ක්‍රි.ව. 301-328) ලක්දිවට දායාද වී එතැන් සිට ශ්‍රී ලාංකේය බොදුනුවන්ගේ මුදුන්මල්කඩ ලෙස විරාජමානව පවතින්නා වූ, ශ්‍රීමත් දළදා වහන්සේ ලක්වැසි මෙන් ලෝකවාසී බොදුනුවන්ට දෙනෙතින් දැක වැඳ පුදා ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසෙන දළදා වහන්සේ දැක්ම මේ දිනවල පැවැත්වේ.
මෙලෙස දළදා වහන්සේ දැක්ම පැවැත්වීම සඳහා අස්ගිරි මල්වතු මහා නාහිමි දෙනම වහන්සේගේ හා දියවඩන නිලමේතුමන්ගේ එකඟතාව අත්‍යවශ්‍ය වන අතර, මහ නාහිමිවරුන්ගෙන් එක් නමක් හෝ දෙනම හෝ දියවඩන නිලමේ හෝ එකඟ නොවූයේ නම් මෙවැනි දැක්මක් පැවැත්විය නොහැකි වේ. දළදා කරඬුවේ යතුරු තුන මහා නාහිමිවරු දෙනම හා දියවඩන නිලමේතුමා සතුව පැවතීම ඊට ප්‍රධාන හේතුවයි.
ශ්‍රීමත් දළදා වහන්සේ දැක්ම කිත්සිරිමෙවන් රජ සමයෙහි සිට විවිධ රජවරුන් විසින් මහත් උත්කර්ෂවත් ලෙස පවත්වා ඇති අයුරු ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් මොනවට සනාථ වේ. කිත්සිරිමෙවන් රජු විසින් ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසේදී පවත්වන ලද ප්‍රථම දළදා දැක්ම පැවති උත්කර්ෂවත් අවස්ථාව සාහිත්‍යයෙහි පහත නිදසුන්වලින් මැනවින් පසක් වෙයි.
“… එසඳ නිරිඳු සඳ එතැන්පත් දෙව් බඹනා නර කැලන් පිනවමින් සඳවලාගබින් නිකුත් සිසිලේ ලෙස්නෙන් දැරඟමිණි රසිනුදුල රුවන් කරඬු ගබින් බැතිපෙමෙන් සෙමෙන් බිහිකැරැ සතන් සිත් සතොස යොදා එදා දළදා වහන්සේ දැක්වීයැ. එසඳ දළදා වහන්සේ නොයෙක් පෙළහර පාමින් දහස් සුවහස් සඳ නැඟී කලක් පරිද්දෙන් ප්‍රාසාද ගොපුර ප්‍රාකාර තොරණ කරැගනී පර්වතාදීන් ධවල කෙරෙමින් පෙළහැර පෑ සත්ත්වයන්ගේ මනොනන්දනය කොට වදාළ සේකැ…”
(දළදා සිරිත, ඊ.ඇන්. රාජශේඛර සංස්කරණය, 1920, 46 පිටුව)
“සමන් මලින් පුරවා ගෙන
වසා එපුද කළ එමතැන
මල් ගොඩ එහි පලා පැමිණ
ක්ෂීර පටලයක් විලසින
“අති දවල රැස් සම කොට
විහිදුණු බුදු රැස් එම විට
ඇස් පිය නොහෙළෙන විලසට
දැක් වූ සඳ මහිමය තුට”
(දළදා පූජාවලිය, බන්ධුසේන ගුණසේකර සංස්කරණය, 1997, 338, 339 පැදි)
රාජාණ්ඩු කාලවකවානුවෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී දෙවතාවක් දළදා දැක්ම පවත්වා ඇති අතර, ඒ 1828දී හා 1875දීය. 1828දී ඇති වූ නියඟය හේතු කොටගෙන ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් ඉන් පළමු දැක්ම පවත්වා තිබේ. අනෙක් ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ වික්ටෝරියා රැජනගේ පුත් එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේය. අනතුරුව බ්‍රිතාන්‍යය එලිසබෙත් රැජන මුල් වරට ලංකාවට පැමිණීම නිමිත්තෙන් 1954දී දළදා දැක්ම පවත්වා ඇති අතර පසුව තායිලන්ත (සියම්) රජතුමකු වෙනුවෙන් හා නේපාලයේ බිරේන්ද්‍ර රජු වෙනුවෙන්ද දළදා දැක්මක් පවත්වා තිබේ. අවසන් වතාවට දළදා දැක්මක් පවත්වා ඇත්තේ 2009දී වන අතර, මෙවර දළදා ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ වසර 16කට පසුවය.
දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමේදී ප්‍රථමයෙන්ම අස්ගිරි මල්වතු මහා නාහිමිපාණන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිලමේතුමන්ගේ එකඟතාවෙන් ගන්නා ලද තීරණය සෙංකඩගල හෙවත් මහනුවර මහ දිසාපති (දිස්ත්‍රික් ලේකම්) මඟින් රජයට දැනුම් දීම සම්ප්‍රදායකි. ඉන් අපේක්‍ෂා කෙරෙනුයේ ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව හා වෙනත් යටිතල පහසුකම් සංවිධානය කර ගැනීමයි. කෙසේ වෙතත් ප්‍රදර්ශන කාලසීමාව (දින හා වේලාවන්) වෙනස් කිරීම කළ හැකි වනුයේ මහා නාහිමිපාණන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිලමේතුමාගේ තීරණ මත පමණි. එසේම රාජ්‍ය අමුත්තන් වෙනුවෙන් දළදා දැක්මක් පැවැත්වෙන්නේ නම් එය ඒ වෙනුවෙන්ම වෙන් වූවක් වන අතර, මහජනයාට විවෘත නොවේ.
ශ්‍රීමත් දළදා වහන්සේගේ ප්‍රදර්ශනයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා රජය මඟින් කාර්ය සංවිධාන වැඩසටහනක් සූදානම් කරනු ලබන අතර, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා බැඳුණු ක්‍රියාදාමයකටද අනුගත වීමට සිදු වේ. ඒ වූකලි ශ්‍රීමත් දළදා වහන්සේ හා බැඳුණු අස්පර්ශනීය උරුමයේ තවත් එක් පැතිකඩක් ලෙස පෙන්වාදිය හැකිය.
ශ්‍රීමත් දළදා වහන්සේ දැක්ම ආරම්භ වන අවස්ථාවක දිනපතා නව පෑ තේවාව හෙවත් දහවල් රාජකීය මහ මුළුතැන් පූජාවෙන් පසුව, එනම් දහවල් දළදා වහන්සේට පූජා කළ ආහාර පාන ‘බැහැගන්වා’ හෙවත් ඉවත් කිරීමෙන් පසු දළදා ප්‍රදර්ශනයට සූදානම් වේ. මුලින්ම තේවාව භාර නායක ස්වාමීන් වහන්සේ සහ ඒ සේවා කට්ටලය අදාළ සියලු කාර්ය පිළියෙල කිරීමෙන් පසු අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් දෙනම වහන්සේ හා උභය මහා විහාරයේ අනුනාහිමිවරුන් සංඝ සහාන්තර්ගත නාහිමිවරුන් හා දියවඩන නිළමේතුමන් දළදා වහන්සේ වඩා හිඳුවා ඇති ගන්ධකුටියට වැඩමවීමෙන් පසු මුලින්ම අස්ගිරි මල්වතු උභය මහාවිහාරීය ස්වාමීන් වහන්සේ දෙනමක්, මහා නාහිමිවරුන්ගේ නියමය හා අවසරය පරිදි දළදා වහන්සේ වැඩ සිටින මහා කරඬුව තැන්පත් කොට ඇති, වීදුරුවලින් ආවරණය වූ කුටියට පිවිසීම සිදු වේ.
මේ දෙනම දළදා වහන්සේ උදෙසා තේවාව සිදු කර ඇති පළපුරුදු එමෙන්ම බලසම්පන්න දෙනමක් වීමද විශේෂත්වයකි. උන්වහන්සේ දෙනම ගොඩවීමෙන් අනතුරුව කරඬුව තැන්පත් කර ඇති ආසනයේ පිටත ඇති කුඩා කරඬු ආදි සියල්ල ඉන් ඉවත් කොට පිටුපසින් තැන්පත් කරනු ලබයි.
අනතුරුව මහා කරඬුව තැන්පත් කර ඇති ආසනය වටා පාවඩයක් එළීම සිදු කරයි. එලෙස පාවඩයක් එළනු ලබන්නේ එම ස්වාමීන් වහන්සේලා දෙනමට ඒ තුළ දෙපැත්තෙන් සිට ගැනීම සඳහා ය. ඉන් පසුව මහ කරඬුවට පලඳා ඇති මාල එකින් එක ගැලවීම සිදු කෙරේ. එහිදී දළදා මාලිගාවේ වට්ටෝරු ලේකම් විසින් ගලවනු ලබන එක් එක් මාලයේ නාමය වට්ටෝරු පොතෙහි සඳහන් කර ඇති පරිදි මහා නාහිමිවරුන් හා දියවඩන නිලමේතුමා ඉදිරියේ හඬ නඟා කියවයි. ඉන් පසු තේවාවේ නාහිමිවරුන් එම මාල එකින් එක සුදු රෙද්දක් එළන ලද රිදී බන්දේසියක එකින් එක තැන්පත් කරනු ලබයි. අනතුරුව එම මාල සුදු රෙද්දකින් පොදියක් ලෙස ගුළි කොට බන්දේසිය මත තැන්පත් කිරීම සිදු කරයි. මේ අයුරින් පලඳා ඇති මාල අවසන් වන තෙක්ම බන්දේසිය පිරෙන පරිදි තබා, ඒ ඒ ප්‍රමාණයන් අනුව පොට්ටනි කිහිපයක් බැඳ, එම පොට්ටනි එකින් එක ලාකඩ යොදා මුද්‍රා තබා, එම කුටියෙහිම එක් පසෙක තැන්පත් කරනු ලබයි. මේ මාල යළිත් මහා කරඬුවට පලඳවනු ලබන්නේ දළදා ප්‍රදර්ශනය නිමාවට පත් වන දිනයේය.

ධම්මාරාම නාහිමි කරඬුව අතැතිව
ඊළඟ පියවර වනුයේ, දියවඩන නිලමේවරයා තම යතුර ගෙන ඉදිරියට පැමිණ වීදුරු කුටිය තුළ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් එක් නමකට යතුර පිරිනැමීමයි. ඒ අනුව මහා කරඬුව එම යතුරින් විවෘත කොට එම යතුර යළි නිලමේවරයාට ලබාදෙයි. අනතුරුව ස්වාමීන් වහන්සේ දෙනම එකතු වී මෙම කරඬුවේ ගර්භය කොටසේ යටින්, දෙපැත්තේ ඇති කයිපුඩි දෙකෙන් හා එක් අතකින් කරඬුවේ කොත් කැරැල්ල අල්ලාගෙන විවෘත කිරීමට ලක් කරයි. ඉහළ කොටස බරින් වැඩි වීම හා විවෘත කෙරෙන කොටස් ඉතා තද බැවින් මෙම කාර්යය වඩාත් පරිස්සමින් කළ යුත්තකි. එලෙස මහා කරඬුවෙහි උපරිභාගය (ඉහළ කොටස) ඉවත් කිරීමෙන් අනතුරුව සෙසු කරඬුව ඉවත් කෙරේ.
තෙවැනි කරඬුවෙහි යතුර පවතිනුයේ මල්වතු මහා විහාරයේ මහානායක මාහිමියන්ගේ භාරකාරිත්වය යටතේය. මේ කරඬුව වීදුරු කුටිය තුළ මහා කරඬුව විවෘත කිරීමට දායක වූ මල්වතු පාර්ශ්වයෙහි ස්වාමීන් වහන්සේ අතට ගෙන මහා ආසනය අසල සිටින එම පාර්ශ්වයේ තෙර නමකට දුන් පසුව, උන්වහන්සේ එය ඇතිරිලි යොදා සැකසූ මහා ආසනය මත දළදා වහන්සේ තැන්පත් කර ඇති අනෙක් සහිත තුන්වන කරඬුව තැන්පත් කරනු ලබයි. අනතුරුව මල්වතු මහානාහිමියන් විසින් එම කරඬුව විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර නැවත යතුර සුරක්ෂිතව තබාගනී. එම කරඬුවෙහි ගර්භය විවෘත කරනු ලබන්නේ මල්වතු පාර්ශ්වයෙහි හිමිනමක් විසිනි.
පසුව එම කරඬුව ආසනයක් මත තැන්පත් කොට සිවුවැනි කරඬුව විවෘත කිරීම සිදු කෙරේ. යතුරක් නොමැති එම කරඬුව විවෘත කරනු ලබන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අතිනි. ඉන් අනතුරුව අවධානය යොමු කෙරෙනුයේ පස්වැනි කරඬුවටය. එයද වටිනා රෙදිකඩකින් ඔතා මහා ආසනය මත තැන්පත් කරනු ලබයි. මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් වහන්සේ තම භාරයේ පවත්නා යතුර ගෙන පස්වැනි කරඬුව විවෘත කරනු ලබයි.
පස්වැනි කරඬුව තුළ ඇති ලේන්සුවකින් ආවරණය කොට ඇති කුඩා කරඬුව ඉන් අනතුරුව ඉවතට ගෙන එය ද මහා ආසනය මත තැන්පත් කෙරේ. එය හයවන කරඬුවයි. ඊට ද යතුරක් නැති අතර, එය විවෘත කරනු ලබන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි. ඒ තුළ ඇති සත්වැනි කරඬුව වූ කලී හේමමාලා හා දන්ත කුමරු විසින් දළදා වහන්සේ තැන්පත් කොට මෙහි රැගෙන ආ කරඬුවයි. කොපුවක ස්වරූපයක් ගන්නා එය හේමමාලා කරඬුව නමින් හැඳින්වේ. මේ කොපුවෙහි උල් ස්වරූපයෙන් පවතින පැත්ත උඩු අතට සිටින සේ තැන්පත් කර ඇති අතර උල් පැත්තට තිබෙන කොපුවේ උඩින් අල්ලා ඉවත් කළ විට ඒ තුළ සුරක්ෂිත ලෙස දළදා වහන්සේ තැන්පත් කර අයුරු දිස් වන අතර, අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානාහිමියන් වහන්සේ දළදා වහන්සේගේ උල් පැත්ත පට ලේන්සුවකින් ස්පර්ශ කර තම අතින් අල්ලාගෙන මල්වතු මහා නාහිමියන්ට පැතලි පැත්ත අල්ලා ගැනීමට පහසු වන අයුරින් හේමමාලා කරඬුවෙන් සුරතට ලබා ගැනීම සිදු වේ.
අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් පැතලි පැත්ත පට ලේන්සුවකින් අල්වාගෙන දළදා වහන්සේ ප්‍රදර්ශන කරඬුවෙහි තැන්පත් කරනු ලබයි. මේ සඳහා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන කරඬුව තුළ “රිදී පොල් ගෙඩිය” නමින් හැඳින්වෙන විශේෂ උපකරණයක් ඒ සඳහා උපයෝගි කර ගැනෙයි. එය රන් කූරක්, රන් පියුමක් හා රන් මුදුවකින්ද සමන්විතය. මෙම රිදී පොල් ගෙඩිය ඇත්තේද මහා කරඬුව තුළමය. රන් පියුම, රන් කූර හා රන් මුදුව ඇතුළු කොට මේ රිදී පොල් ගෙඩි අගුළු දැමිය හැකි ආකාරයට තනා තිබීම ද විශේෂත්වයකි.
මේ ප්‍රදර්ශන කරඬුවේ උපරිභාගය ඇතුළත විනිවිද පෙනෙන අයුරින් වීදුරුවලින් තනා තිබේ. මෙම කරඬුව තුළ රිදී පොල් ගෙඩියෙහි ඇති රන් පියුම, රන් කූර හා රන් මුදුව සවිකිරීම දළදා මාලිගාවේ වට්ටෝරු රාළ විසින් සිදු කරනු ලබන අතර මල්වතු මහානාහිමි විසින් දළදා වහන්සේ එම මුදුවෙහි රඳවනු ලබන්නේ ඉන් අනතුරුවය. පසුව මෙම කරඬුව වීදුරු ආවරණයෙන් වසා අදාළ කොකුවලින් සවිකරනු ලබයි.
ඉන් අනතුරුව එළඹෙනුයේ දළදා වහන්සේ සහිත එම කරඬුව දැක්මට පෙරාතුව සිදු කෙරෙන ආගමික වතාවත්ය. ඒ අනුව මුලින්ම හේවිසි වාදනය කෙරෙන අතර පිරිත් සජ්ඣායනා කිරීමද සිදු වේ. මල්වතු මහානාහිමියන් විසින් එම කරඬුව පිරිත් මණ්ඩපය වෙත වැඩමවාගෙන එනු ලබයි. මේ අවස්ථාවේ දියවඩන නිලමේ නිල ඇඳුමින් සැරසී සිටියහොත් එම කරඬුව ඔහු වෙත භාර දෙන අතර ඔහු හෝ මල්වතු මහානාහිමියන් විසින් වැඩමවාගෙන එන දළදා වහන්සේ තැන්පත් කර ඇති ප්‍රදර්ශන කරඬුව පිරිත් මණ්ඩපයේදී භාරගනු ලබන්නේ අස්ගිරි මහා නාහිමියන් විසිනි. උන් වහන්සේ විසින් එම කරඬුව පිරිත් මණ්ඩපය තුළ ඇති රන්සිවිගෙය තුළ තැන්පත් කෙරෙන අතර මේ සඳහා භාවිතයට ගැනෙනුයේ පෙරහරේ කරඬුව වඩම්මවන රන්සිවි ගෙයයි. එම රන්සිවි ගෙය කැටයමින් විසිතුරු වූ කුඩා ඇත් දළ යුගලයක් මධ්‍යයෙහි වූ පීඨිකාවක තැන්පත් කරනු ලබයි.
මෙලෙස දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන කාලසීමාව තුළ දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන කරඬුව දෙපස අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් වැඩ සිටීම සම්මත චාරිත්‍රයක් වන අතර උන්වහන්සේලා විවේක ගන්නා අවස්ථාවන්හි දී එම කාර්යය ඉටු වනුයේ දෙපාර්ශ්වයේ අනුනායක මහනාහිමිවරුන් මඟිනි. ඒ හැරුණු විට දියවඩන නිලමේද, සතර දේවාලවල බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන්ගෙන් එක අයකු බැගින්ද ප්‍රදර්ශන දිනවල එම ස්ථානයෙහි රඳවා තැබේ. ඊට අමතරව ප්‍රදර්ශන දිනවලද මුර සේවාව සඳහා නිලමේවරුන් පත්කිරීමක්ද සිදු කරයි.
මීට අමතරව දෛනික තේවා මුර සඳහා අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි දළදා වහන්සේ උදෙසා තේවාව සිදු කර ඇති මහා සංඝයා වහන්සේ පස් නම බැගින් පත් කිරීමක්ද සිදු කරයි.
ශ්‍රීමත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන කාලය පුරා කවිකාර මඩුවේ ශිල්පීන් විසින් බුදුගුණ ගායනා කරනු ලබන අතර, නාගසිංහම් නම් වාදනයද සිදු කරනු ලබයි. නාගසින්නම්, නාගසිත්තම් යන නම්වලිනුදු හැඳින්වෙන මේ වාද්‍ය වෘන්දය නායක්කාර් රජ සමයේදී එක් වූ දකුණු ඉන්දීය හින්දු ආභාසය පිළිබිඹු කරන්නකි. මීට කුඩා දමිළ බෙරයක් (තබ්බෝරුව), කෛයිතාලම හා දමිළ නළාව අයත් වේ. දළදා ප්‍රදර්ශනයකදී කවිකාර මඩුව හා නාගසිංහම් වාදනය මහනුවර යුගයේ සිට පැවත එන අනිවාර්ය අංග දෙකකි. ඒ හැරුණු විට දිනපතා දළදා කරඬුව ගන්ධකුටියෙන් පිටතට වැඩමවීමේදී හා නැවත ගෙවැද්දීමේදී හේවිසි වාදනය කිරීමත්, ආලත්ති අම්මලාගේ ආලත්ති පෑමත් සිදු කෙරේ.
දෛනිකව ඒ ඒ දිනට ශ්‍රීමත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කර සවස තේවාව සිදු කිරීම හා ගිලන්පස පූජා පැවැත්වීම සඳහා නියමිත වේලාවට නැවත දළදා වහන්සේ තැන්පත් කර ඇති ප්‍රදර්ශන කරඬුව ගන්ධ කුටියට වැඩමවීම සිදුවන අතර එහි දී ද මල්වතු පාර්ශවයේ මහානාහිමියන් හෝ දියවඩන නිලමේවරයා නියමිත නිල ඇඳුමෙන් සිටිය හොත්, ඔහු විසින් හෝ ගන්ධකුටිය වෙත දළදා වහන්සේ තැන්පත් ප්‍රදර්ශන කරඬුව වැඩමවනු ලබන අතර, ගන්ධකුටියේදී අස්ගිරි විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ දළදා සමිඳු වැඩ සිටින ප්‍රදර්ශන කරඩුව භාරගෙන සූදානම් කර ඇති ප්‍රධාන මල් ආසනය මත ප්‍රදර්ශන කරඩුව තැන්පත් කර නැවත පිළිවෙළින් හේමමලා කරඬුව තුළ දළදා වහන්සේ වඩා හිඳුවා පිළිවෙළින් මහා කරඬුව දක්වා කරඬු සවි කර අදාළ යතුරුවලින් ඒ ඒ කරඬු අගුල් යෙදීම සිදු කරනු ලබයි. මහා නාහිමිවරු දෙනම සහ නිලමේතුමන් විසින් තමන්ට අදාළ කරඬුවෙහි අගුළු යෙදීමෙන් පසු පිරිත් දේශනා පවත්වා දිනයේ ප්‍රදර්ශන කටයුතු අවසන් කරනු ලබයි. දිනපතා ප්‍රදර්ශනය අවසන් වී නැවත දළදා වහන්සේ සත්වැනි කරඬුවේ වැඩසිටින ආකාරයට කරඬු සකස් කිරීම් සිදු කරනු ලබයි.
දළදා ප්‍රදර්ශනයේ සඳහා නියමිත දින ගණන නිමාවට පත්වීමෙන් අනතුරුව දළදා වහන්සේ ප්‍රදර්ශන කරඬුවෙන් බැහැරට ගෙන අස්ගිරි, මල්වතු මහා හිමිවරුන්ගේ හා දියවඩන නිලමෙතුමාගේ සහභාගිත්වයෙන් යළිත් කරඬු සත තුළ තැන්පත් කෙරේ. මෙහිදී ද වට්ටෝරු ලේකම් විසින් ඒ ආභරණ පිළිබඳ ලේඛනය කියවනු ලබන අතරේ, තේවාවේ නාහිමිවරුන් විසින් එම මාල පලඳවනු ලබන්නේ ඉන් අනතුරුවය. මේ කාර්යයත් සමඟ ප්‍රදර්ශනය නිමාවට පත් වේ.
පල්ලේකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
කාරක සංඝ සභික ආචාර්ය කැටකුඹුරේ ධම්මාරාම නාහිමි