Home » ඇයි ඔය තරම්ම ඉවසන්නේ කියලා බොහෝ දෙනා අහනවා

ඇයි ඔය තරම්ම ඉවසන්නේ කියලා බොහෝ දෙනා අහනවා

ශාලිකා එදිරිසිංහ

by thanushika
April 19, 2025 12:30 am 0 comment
නාමලී ගමගේ

වසර කිහිපයක සිට දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නිර්මාණය මේ දිනවල නැවුම් මුහුණුවරක් ගෙන තිබීම කාගේත් කතාබහට ලක්වී ඇත. ඉස්කෝලේ ප්‍රේක්ෂක ඔබ ආදරයෙන් වැලඳ ගත් ජනප්‍රියම ටෙලි නිර්මාණයකි. ඉස්කෝලේට මේ දිනවල ලස්සන අලුත් ටීචර් කෙනෙක් ඇවිත් සිටින බවට ලැබුණු ආරංචියත් සමඟින් අපි ඒ ගැන සොයා බලන්නට උත්සුක වීමු. අලුත් ටීචර් පැමිණ සිටින්නේ විද්‍යා විෂයය ඉගැන්වීම සඳහාය. මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රතිචාර ලබමින් සංසරණය වන වීඩියෝව ද ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වයට හේතුවක් වූවා වැනිය. අද අපේ කතාබහට එක්වන්නේ අලුත් ටීචර් ලෙස ඉස්කෝලේට පැමිණි ශාලිකා එදිරිසිංහය.

ශාලිකාටත් ඉස්කෝලේට ගුරුපත්වීමක් ලැබුණා කියලා ආරංචියි?

ඔව්. ඔව්. සහන් රන්වල අයියා තමයි මට ඉස්කෝලේට ආරාධනා කළේ. වැඩක් තියෙනවා නංගී කැමතිද කියල අහලා. එයාලා හැමෝම කතා වෙලා තමයි මාව ගන්න තීරණය කරලා තියෙන්නේ. සහන් අයියා එක්ක මං මීට කලින් වැඩ කරලා තියෙනවා. මේ කැරැක්ටර් එකත් හොඳයි කියලා හිතුණා. ඒ නිසා භාර ගත්තා.

කොහොමද අලුත් ගුරු වෘත්තියේ අත්දැකීම?

ඒක වෙනස්ම අත්දැකීමක්. මං ඉස්කෝලෙට එන්නේ විද්‍යාව විෂය උගන්වන ගුරුවරිය විදිහට. රන්තිලක සර් කියන්නේ සංගීත ගුරුවරයා. ඔහු දැනටමත් මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඔහුගේ හිතේ මං ගැන අදහසක් ඇති වෙලා වගෙයි. ඔහු විහාරත් එක්ක නිතරම ගැටුණේ නැටුම්වලට වඩා සංගීතය උතුම් කියලනේ. දැන් ඉතින් සංගීතයට වෙන්නේ විද්‍යාව එක්ක පෑහෙන්නයි. ඉදිරියේ දී විවාහයක් දක්වා යන්නත් ඉඩ තියෙනවා. ඉදිරියට ඉස්කෝලෙ තව තවත් රසවත් වේවි කියලා හිතෙනවා.

ඉස්කෝලෙට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සමාජ මාධ්‍යවල ෂෙයාර් වෙන වීඩියෝ එක නිසා දැනටමත් ප්‍රතිචාර ලැබෙන්න පටන් අරන්. බොහෝදෙනෙක් අහනවා මොකක් ද ඒ. කවද ඉඳන් ද ඔයා එන්නේ. ඔයා එනකල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. ඉස්කෝලේ කියන්නේ කොහොමත් ජනප්‍රිය තලයේ ටෙලි නිර්මාණයක්. මට කැමති ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්න නිසා ඉදිරියේදී ඉස්කෝලෙට තවත් ප්‍රේක්ෂක පිරිසක් එකතු වේවි.

ඉස්කෝලෙට තාම ඔබ අලුත්නේ. කොහොමද අනෙක් ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය?

ඉස්කෝලේ ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ සාලින්ද රත්නායක. ඔහුගෙන් වගේම අනෙක් ශිල්පීන්ගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. විශේෂයෙන්ම සහන් රන්වල අයියා ගැන කියන්නම ඕන. වසූදා ටෙලි නිර්මාණයේදී හමුවුණාට පස්සේ තමයි අපි මේ ගොඩක් කාලෙකින් එකට වැඩකරන්නේ. දැනට මගේ කැරැක්ටර් එක වැඩිපුරම ගැටෙන්නේ ඔහුත් සමඟ නිසා ගැටලුවක් නෑ. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. මගේ අනෙක් පස ඉන්නේ ඔහු නිසා චරිතය භාර ගනිද්දී මට බයක් හිතුනෙ නෑ. ඉදිරියේදී මේක වෙනස් හැඩයකින් ජනගත වේවි කියන බලාපොරොත්තුව තියෙනවා.

ඉන්දුත්තරා නිසාත් ඔබ බොහෝදෙනාගේ කතාබහට ලක්වෙලා නේද?

ඔව්. මායාවී ටෙලි නිර්මාණය මේ දිනවල ගොඩක්ම කතාබහට ලක්වෙන ටෙලි නිර්මාණයක්. ඉන්දුත්තරාටත් ගොඩක්ම ප්‍රතිචාර ලැබෙනවා. ඉන්දුත්තරා කියන්නේ හරිම ඉවසිලිවන්ත, හරි ආදරෙන් පවුල රැකගන්න ලොකු කැපකිරීමක් කරන, ආදරය සෙනෙහස පිරුණු චරිතයක්. ඒ වගේ අසීමාන්තික ඉවසීමක් තියෙන්නේ කොහොමද කියලා තමයි හැමෝම අහන්නේ. ඉන්දුගේ හිතේ ලොකු ගින්දරක් හිරකරලා ඒ ඉවසීම දරාගෙන ඉන්න පුළුවන් තත්ත්වෙට පත්කරලා තියෙන්නේ මහේෂ් අයියා. ඒ තියෙන ඉවසීම කොයි වෙලාවේ කොහොම පුපුරා යයිද කියලා දන්නෙ නැහැ. බොහෝ දෙනා අහන්නේ ඇයි ඔයා ඔය තරම්ම ඉවසන්නේ කියන එක.

ශාලිකා වේදිකාවේත් ජනප්‍රිය චරිතයක්?

‘කතරගම ප්‍රේමා‘ නාට්‍ය සමඟයි මේ දවස්වල වේදිකාවේ ගත කරන්නේ. ඒත් එක්ක ලංකාව පුරාම යනවා. ඉන්දුත්තරාට පුංචි තිරයේ ලැබෙන ප්‍රතිචාර වගේම ප්‍රේමාට වේදිකාවේ ලැබෙන සජීවී ප්‍රතිචාරත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ.

මේ දවස්වල සිනමාවේ දායකත්වය ගැන කතා කළොත්?

ශ්‍රීලාල් ප්‍රියදේවගේ නුහුරු වෑයම සහ හවුස්ෆුල් කියන සිනමා නිර්මාණ දෙක මේ වසරේ තිරගත වීමට නියමිතයි. වැඩ ඉවර කරපු තවත් සිනමා නිර්මාණ දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා.

සිංහල අවුරුද්දත් ගෙවිල ගියා. කොහොමද සාමාන්‍ය ජීවිතේ තොරතුරු?

පහුගිය දවස්වල අවුරුදු උත්සව කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම පුංචි කාලෙට ගියා වගේ ඒ නිදහස උපරිමයෙන්ම භුක්ති වින්දා කිවුවොත් හරි. කිසිම බාධාවක් නැතුව කැමති කැමති අවුරුදු ක්‍රීඩාවල යෙදුණා. හැම චැනල් එකකම වගේ අවුරුදු උත්සවවලට සහභාගි වුණා. කඹ ඇදලා තාමත් අත් පුපුරු ගහනවා. ගොඩක් සතුටු වුණා. සාමාන්‍ය ජීවිතේ නම් කිසිම විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදිහටම ගෙවිලා යනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division