නිලන්ත හපන්වීර. මේ දවස්වල තිරගත වන ‘තේජා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඔහුයි. ඔහුගේ තේජා චිත්‍රපටයත්, ඔහුගේ නිර්මාණ ජීවිතයේ ලැබුව අත්දැකීම් පිළිබඳත් විවිධ කාරණා කිහිපයක්ම මේ නිලන්ත හපන්වීර අධ්‍යක්ෂවරයා සමඟ රසඳුන කළ කතාබහකි මේ.
තේජා ඔබේ පළමු සිනමා නිර්මාණය. මුලින්ම ඒ ගැන කියමු ද?
‘තේජා‘ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය ආරම්භ කළේම හේතු කාරණා කිහිපයක් මුල්කරගෙන. මුල්ම කාරණය වෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය. එහෙම වෙන්නේ තේජා චිත්‍රපටයේ ප්‍රස්තුතය කාන්තාවන්ට දැනෙන එකක් වීමයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් පිළිබඳ කතා කරන, ඔවුන්ගේ ගැටලු, අයිතිවාසිකම් ගැන කතා කරන චිත්‍රපටයක්. ඒ වගේ ම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අනෙක් කාරණය වෙන්නේ ප්‍රධාන චරිතය රඟපාන ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දුගේ සිනමා දිවියට හැට වසරක් පිරීමයි. මේ කාරණා දෙකම නිමිති කරගෙනයි තේජා චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ.
තේජා චිත්‍රපටය තිරගත වෙන්නේ එය නිර්මාණය කරලා වසර ගණනකට පස්සේ. එහෙම වුණත් නිර්මාණයේ ගුණාත්මක භාවයට වෙනසක් වෙලා නැහැ නේද?
අපි චිත්‍රපටය කරන්නේ ඩිජිටල් මාධ්‍යයෙන්. ඒ කාලයේ ඒ තරම්ම ඩිජිටල් මාධ්‍ය තිබුණේ නැහැ. ඒ නිසා ඩිජිටල් මාධ්‍යයෙන් කරලා ඒ කාලවකවානුවේ ප්‍රදර්ශනය කරනවා කියන එක යම් අභියෝගාත්මක තත්ත්වයක් වුණා. එකල 2k පෙන්වන සිනමා ශාලා තිබුණේ කිහිපයක් විතරයි. ඊ සිනමා පෙන්වන සිනමා ශාලා තිබුණේ ම නැහැ. ඒ විතරක් නෙමෙයි, ප්‍රදර්ශන හා බෙදාහැරීම් පිළිබඳ ආදි විවිධ ගැටලු නිසා ‘තේජා’ තිරගත වීම ප්‍රමාද වුණා. ඊට පස්සේ ඇතිවුණු කොරෝනා තත්ත්වයත් එක්ක ඒක තවත් වර්ධනය වෙනවා වගේම ‘තේජා’ චිත්‍රපටයේ තේමාව කිසිම දවසක පරණ වන විදියේ තේමාවක් නොවෙයි. ඒත් එහෙම වුණත් මගේ හැඟීම වන්නේ ‘තේජා’තිරගත වෙන්නේ මේ සුදුසුම කාලයේ බවයි.“
තේජා තුළින් මේ සමාජයට කියන්නට අවශ්‍ය වුණේ මොනවගේ පණිවුඩයක් දැයි විමසූ විට නිලන්ත දුන්නේ මෙවැනි පිළිතුරක්.
ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය ආවට පස්සේ ඒ සමාජයේ විවිධ වෙනස්කම් රැසක් සිදු වෙනවා. එතැනදී කාන්තාවන්ගේ භූමිකාව වෙනස් විදියට හැඩ ගැසෙනවා. ඇය ගුරු සේවය ආදී අංශවලට යොමු වෙනවා. ඒත් එක්කම නිදහස් වෙළෙඳ කලාප ඇති වීමත් එක්ක ඒක ඇතුළේ කාන්තාවන්ගේ ශ්‍රමය සූරාකෑමයි තේජා චිත්‍රපටයට තේමා කරගන්නේ. වෙළෙඳ කලාපයේ රැකියාවක් කරන කාන්තාවන් දෙස සමාජයේ සිටින අය බලන කෝණය බොහොම වෙනස්. ඒ බලන හැඩය වෙනස් කරන්නයි අප මේ නිර්මාණය මඟින් උත්සාහ කළේ.”
‘තේජා’ නිර්මාණයෙන් පස්සේ ඔබට විවිධ ගැටලුවලටත් මුහුණ දෙන්නට සිදු වෙනවා නේද?
2009 වසරේ අප කරන චිත්‍රපයට අපි ප්‍රස්තුතය විදියට ගන්නේම 1985 වසරේ සිදු වුණු සිද්ධිදාමය. ඒ කියන්නේ 1985 සිද්ධිදාමය නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමකුයි 2009 දී අප කරන්නේ. ඒ සඳහා 1985 වසරේදි වර්ජනයට සම්බන්ධ වුණු සත්‍ය චරිත, මගේ චිත්‍රපටයට දායක වෙනවා. ඒ අතීතය සම්බන්ධ සියලු තොරතුරු මට ලබාදීම මඟින්. ඒ කොහොම වෙතත් 2009 වසරේදී මා නිර්මාණය කරන ලද චිත්‍රපටය වගේම තත්ත්වයක් 2011 වසරේදී අපේ රටේ සිද්ධ වෙනවා. මට හතර වැනි තට්ටුවටත් යන්නට සිදු වෙනවා. ඒ දේශපාලන වටපිටාවත් එක්ක වසර ගණනාවක් චිත්‍රපටය වාරණයට ලක් වෙනවා. ඒ නීති නොවන ආකාරයෙන්. වක්‍ර ආකාරයෙන් එවැනි බලපෑම් අපට තිබුණා. එක් අවස්ථාවකදි මේ චිත්‍රපටය සල්ලි දීලා ගන්න යෝජනා ඉදිරිපත් කරනවා. නිර්මාණකරුවකු විදියට මට ඒක කරන්න බැහැ. හැබැයි දීර්ඝ වශයෙන් මේ චිත්‍රපටය ගැන අප සාකච්ඡා කළා. ඔවුන් පැවසුවේ මේ චිත්‍රපටය ගත්තොත් සංස්කරණය කරනවා කියලා. ඔවුන්ට අවශ්‍ය විදියට මේ චිත්‍රපටය සකස් කිරීම මඟින්, ඔවුන්ගේ වාසියට ‘තේජා’ පාවිච්චි කරන්නයි ඔවුන් උත්සාහ කළේ. ඒ මේ චිත්‍රපටයේ තිබුණු දේශපාලන පසුබිම පිළිබඳයි මා කතා කළේ.
තේජා චිත්‍රපටයට අන්තර්ජාතික වශයෙන් සම්මානත් ලබනවා. එ් ගැන අපට කියන්න?
“2011 වසරේ 41 වැනි ඇමෙරිකාවේ හූස්ටන් ෆස්ට් අන්තර්ජාතික සිනමා උලෙළේ පෙන්වනවා. එහිදී ‘තේජා’ ඔවුන් බොහෝ ඇගයීමට ලක් කරනවා. ඒ කියන්නේ තරගකාරී අංශයේ හොඳම සිනමාරූපී චිත්‍රපටය විදියටයි අපට සම්මානය ලැබෙන්නේ. එමෙන්ම ඉන්දියාවේ ගෝවා අන්තර්ජාතික සිනමා උලෙළේ විශ්ව සම්භාවනීය සිනමා අංශයේ ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ඒ වගේම තේජා චිත්‍රපටයට රංගන පරම්පරා කිහිපයක්ම සම්බන්ධ වෙනවා. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහගේ පටන් නීටා ප්‍රනාන්දු, චමිලා පීරිස්, අනුරුද්ධිකා පාදුක්ක, සුජානි මේනකා, උමාලි තිලකරත්න ආදී පරම්පරා හතරක නිර්මාණ ශිල්පිනියන් දායක වෙනවා. උමාලි රංගනයෙන් දායක නොවුණත් ගායනයෙන් ඒ සඳහා දායක වෙනවා. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රීමාල් වෙඩිසිංහ, අතුල පතිරණ, කේ. මිල්ටන් පෙරේරා, මිලින්ද පෙරේරා, රහල් බුලත්සිංහල ආදී රංගන ශිල්පීන් ප්‍රමාණයකුත් මේ සඳහා දායක වෙනවා. සංගීතයෙන් නවරත්න ගමගේ, කාවිංග රණවීරගේ පළමු කැමරා අධ්‍යක්ෂණය, තිරපිටපත හා කතාව, අධ්‍යක්ෂණය මගේ. සංස්කරණයෙන් කටයුතු කරන ස්ටැන්ලි ද අල්විස් මහත්තයාගේ ඩිජිටල් මාධ්‍යයෙන් කරන පළමු චිත්‍රපටය වන්නේත් ‘තේජා’. ඔහු අද ජීවතුන් අතර නැති වුණත් ඒක සඳහන් කළ යුතු වෙනවා.”
මේ නිර්මාණයෙන් පස්සේ ඔබ තවත් නිර්මාණයක් කරනවා. ඒක මීට වඩා වෙනස්ම නිර්මාණයක්. ඒ ශ්‍රී ලාංකේය සමාජයේ මිනිසුන්ගේ යම් මානයක් පිළිබඳ ප්‍රශ්න කිරීමක්.
ඒක සිද්ධ වෙන්නේ ‘තේජා’ චිත්‍රපටය අප යම් පිරිසකට පෙන්නුවා. එතැනදී නිෂ්පාදකවරියක්ව මට මුණ ගැහෙනවා. ඈ කැමැති වෙනවා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඒ සඳහා ප්‍රස්තුත සොයමින් ඉන්න මොහොතේ ‘සිළුමිණ’පුවත්පතේ පළ වූ ලිපියකට මගේ අවධානය යොමු වෙනවා. ඒ ලිපියේ තිබුණේ රතුගල ආදිවාසීන් ගැන. ඒ මඟින් ඉනෝකා සමරවික්‍රම මාධ්‍යවේදිනිය කතා කරලා තිබුණේ ආදිවාසීන්ගේ දුක්ඛ දෝමනස්සයන් හා ඔවුන් කොතැනද කියන කාරණය ගැනයි. ඒ කාරණයත්, මා කියවන ලද පොතපතින් ගත්ත දේවලුත් පිළිබඳ මගේ අවධානය යොමු වෙනවා. මා ඒ ගැන ඒ සොයාගත්ත කරුණුත් එක්ක, ඒ මතුවුණු ගැටලු මුල්කරගෙනයි ඒ චිත්‍රපටයේ තිරපිටපත ලියන්නේ. ඉන් පස්සේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරන අතරතුර එකල බලයේ සිටි ප්‍රධාන දේශපාලනඥයෙකු මට කතා කර පවසන්නේ ඒ නිර්මාණය කරන එක නවත්වන්න කියලා”
එලෙස නතර කිරීමට තරම් ඔබගේ තිරපිටපතට ප්‍රස්තුත වන කතාවේ තේමාව ප්‍රබල වූවක්ද?
ආදිවාසීන් පිළිබඳ කියැවෙන ඒ චිත්‍රපටයේ ඔවුන්ගේ සම්භවය ගැනයි මා කතා කරන්නේ. මා කියවන ලද හා පරිශීලනය කරන ලද පොතපතත් සමඟයි එවැනි අදහසකින් නිර්මාණකරුවකු විදියට ඉදිරිපත් කරන්නේ. මේ ගැන සෙලෙයිමාන් කියන පර්යේෂකයා බොහොම පැහැදිලිව අදහස් ඉදිරිපත් කරනවා. ඒ සියලු දේ පරිශීලනයෙන් පසුවයි මා ඒ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඒ සොයාගත් කරුණු අනුව ශ්‍රී ලංකාවේ ආදිවාසි ඉතිහාසය නැවත විචාර බුද්ධියකින් කියවිය යුතුයි. එදා මා කරන්න හැදුවේ නිර්මාණකරුවකු විදියට මේ වැහිලා තියෙන ඉතිහාසය ඇරලා බලන්නයි.
මෙහෙම පසුබිමක නිෂ්පාදකවරියට මොකද වෙන්නේ?
ඈට ඒ නිර්මාණය අතහරින්න සිදු වුණා. ඒත් මා ඒ කටයුත්ත දිගටම සිදු කළා. ඒ වගේම විශේෂ දෙයක් කිව යුතුයි. මෙහි රඟපාන්නේ සැබෑ මිනිසුන්. රංගන ශිල්පීන් හා ශිල්පිනියන් මේ නිර්මාණයේ රඟපාන්නේ නැහැ. අදිවාසීන් තමයි ඒ කතාව කියන්නේ. ඊට වසර තුනකට පස්සේ නිෂ්පාදකවරිය මට කතා කරනවා. ඈ මට පවසන්නේ මේ නිර්මාණය වෙනස් කරලා වෙන විදියකට මේ නිර්මාණය කරමු යන්නයි. එහිදී මගේ නම දාන්නේ නැතිව එයින් චිත්‍රපයක් හදලා දෙන්නම් යනුවෙන් මා ඇයට පවසනවා. අන්න ඒ චිත්‍රපටයට ජීවන් කුමාරතුංග, රොෂාන් පිලපිටිය, සේනක විජේසිංහ ඇතුළු වෙනස් ම නිර්මාණ ශිල්පීන් පිරිසක් සහභාගි වෙනවා. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඇය. ඒක මගේ නොවෙයි. මගේ නම එහි තිබෙන්නේ නිර්මාණ අධීක්ෂණය වශයෙන්. මේ චිත්‍රපටය 2013 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය වෙනවා. ඇයට සම්මාන ලැබෙනවා. ඇය ඒ නිර්මාණයට සම අධ්‍යක්ෂවරුන් විදියට මගේ නම දාන්නත් විමසුවා. මම ඒකට කැමැති වුණේ නැහැ. ඈ ඔය නිර්මාණය පෙන්නලා ඇගේ වියදම ආවරණය කරගෙන තියෙනවා. ආදිවාසීන් පිළිබඳ කරපු චිත්‍රපටයේ ඇත්ත කතාව එයයි. මේ මඟින් මා විශාල පන්නරයක් ලැබුවා.
මම ලබපු සියලු අත්දැකීම් එක්කොට මා විසින් ලියූ ‘දියරැජ්ජ’කෘතිය නුදුරේදීම පාඨකයන් අතට පත් වේවි.
සටහන හා සේයා රූ – තිලානි ශානිකා විතානාච්චි