ඔහු පිළිබඳ අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නොවේ. රියැලිටි වැඩසටහන්වල සුපිරි විනිසුරුවරයකු ලෙස ජනාදරයට පත් වූ ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රයේ මෑතකාලීන සංධිස්ථානයන් සනිටුහන් කළ අපූරු කලාකරුවෙකි. සංගීත කලාවේ පර්යේෂණාත්මක කාර්යයෙහි නියුතු ඔහු මෙරට සංගීතයේ පෞරාණික හැඩතලවල පටන් නූතනය දක්වා පමණක් නොව විශ්ව සංගීතය ද පහුරු ගාන්නේ ය. මහත් වැරවෑයමෙන් පතුල හාරා උකහා ගත් වටිනාකම් කුහකකමින් තොරව තාරුණ්‍යය වෙත මුදා හැරීම අගය කළයුතුය. ඔහු නදීක ගුරුගේයි.
“මේ දවස්වල මගේ සංගීත කටයුතුවලට අමතරව අවුරුදු කිහිපයක් තිස්සේ මම සාහිත්‍යමය පැත්තට යොමු වෙලා ඉන්නවා. ඒ අතර පර්යේෂණ ග්‍රන්ථ කිහිපයක මුද්‍රණ කටයුතු සිදු වෙමින් තිබෙනවා. මගේ පළමු ප්‍රබන්ධ නවකතාව ‘ග්‍රේෂන් සම්මාන’ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර මම ලියූ ජෝති එනකන්, ක්ලැරන්සියානු පොප් සංගීතය, මගේ ස්වයං චරිතාපදානයේ එක් කොටසක් ලෙස ලියූ පොලි-ෆොනි කතා, A Well Balanced Music Diet, රියැලිටියට මුහුණදෙන්න ග්‍රන්ථ ජනගත කිරීමට සූදානම් වෙනවා.”
ඔහු 1997 දී ‘මල් නෙළන්න බෑ’ වේදිකා නාට්‍යය සංගීත අධ්‍යක්ෂණය කරන‍්‍නේ ය. පසුව ‘ගෙවන් නැත්නම් බම්බු ගහන්නද, මාස්ටර් හැරල්ඩ්, මාස්ටර් බිල්ඩර්, සඳ ළඟ මරණය, රත්නවල්ලි’ යන වේදිකා නාට්‍යවල ද සංගීත අධ්‍යක්ෂණය කළේය. ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයක් ඔහු මුල් වරට සිදු කරන්නේ 2003 වසරේදීය. ඒ ‘සිනිඳු පියාපත්’ය. පසුව ‘අග පිපි මල්, රඟ සොබා, රස්තියාදුකාරයා, කම්පිත විල්, ඇහිපිල්ලමක් යට, ‘සිහින අරන් එන්න, දූලි පින්තාරු’ ටෙලි නාට්‍යවල ද සංගීත අධ්‍යක්ෂණය කළේය. 2005 වසරේදී විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් ඇරඹි සිනමා සංගීත අධ්‍යක්ෂණ කාර්යය පසුව ‘සංකාරා, අබා, කර්ම, ඉර හඳ යට, නිකිණි වැස්ස, කුවේණි, සින්ඩ්‍රෙල්ලා, ගාමණී, මහරජ ගැමුණු’ ආදී සිනමා කෘති වෙත විතැන් විය. මෙකී නිර්මාණ උදෙසා සරසවිය සිනමා, ජනාධිපති, දෙරණ සිනමා, ඕ. සී. අයි. සී, සුමති ආදී වශයෙන් වූ මෙරට කුමන හෝ සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක් වන අතර 2014 වර්ෂයේදී ඔහු ජපානයේ බුන්කා සම්මානයෙන් පිදුම් ලබන්නේ මෙරට සංගීතය වෙනුවෙන් සහ පොප් සංගීතය වෙනුවෙන් ඔහු ඉටු කර තිබූ සුවිශේෂ මෙහෙවර අගය කරනු පිණිසය.
“මගේ සිනමා ආගමනයේ විසි වසර සමරනු වස් මගේ පළමු චිත්‍රපට සංගීත කොන්සට්ටුව මේ වසරේ පැවැත්වීම සඳහා මම සූදානම් වෙනවා. ගත වූ වසර විස්ස ඇතුළත මම නිර්මාණය කළ සංගීත සංරචනා, දේශීය හා විදේශීය වශයෙන් සම්මානයට පාත්‍ර වූ සංරචනා වෙනස් ආකාරයක සංගීතමය අත්දැකීමක් ලෙස ගෙනහැර දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා. දැනටමත් පුහුණුවීම් කරගෙන යනවා. මගේ සංගීත සංරචනා එකිනෙකට වෙනස් වූ ඒවා නිසා පුහුණු කිරීම් එතරම් පහසු නැහැ. මගේ සමහර සංරචනා අස්ථානගත වී තිබෙනවා. ඒවා නැවත ලියමින් තමයි පුහුණුවීම් කරන්නේ. මේ සඳහා ගීත ඇතුළත් කරනවා ද කියන දේ මම තවමත් සිතමින් ඉන්නවා. මගේ ජනප්‍රිය වුණු චිත්‍රපට ගීත සහ අනෙකුත් ගීත, සංගීත සංරචනා අතරට ඇතුළත් කරන්නත් පුළුවන්කමක් තියෙනවා. මට අවශ්‍ය වන්නේ සිනමා පසුබිම් සංගීතය මේ කොන්සට්ටුව හරහා ගෙන එන්නයි. කොහොම නමුත් මම ඒ ගැන තවමත් කල්පනා කරනවා.”
නදීක කාලයක් තිස්සේ අධ්‍යයන කටයුතුවල, පර්යේෂණ කටයුතුවල පමණක් නොව ඉගැන්වීම් කටයුතුවල ද නිරත වන අයෙකි. ඔහු පෞද්ගලික මට්ටමෙන් වාගේම රියැලිටි වැඩසටහන් සඳහා සම්බන්ධ වන නවකයන්ට තමන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන්නාවූ සංගීතමය ඥානයේ විනිවිදභාවයන් පිළිබඳ ශාස්ත්‍රය අභිබවූ දැනුම් සම්භාරයක් බෙදා දෙන්නේය. ඒ ඔහු තුළ වන හැදෑරීම් හා ගවේෂණයන් ඔස්සේ ඔහු දිනූ දෑය. එමතු නොව ඔහු විද්‍යාර්ථීන් වෙත ද ඔහු සතු දැනුම් සම්පත මුදා හරින්නේ ය.
“ලංකාවේ පළමු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය සඳහා සංගීතවේදය විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ මම සකස් කළා. එහි සමාරම්භක පීඨාධිපති ලෙස කටයුතු කරමින් එම උපාධියට අදාළව විෂය නිර්දේශයත් මම සකස් කළා. ඒ සඳහා 2020 වසරේදී විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමැතියත් ලැබුණා. පළමු උපාධි කණ්ඩායම වසර හතර ඇවෑමෙන් උපාධි ලබාගැනීමෙන් පසුව මම එම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණා. දැනට මම නොවිධිමත් අධ්‍යාපන කටයුතු පමණක් කරනවා. මගේ පර්යේෂණ කටයුතු සඳහා මට වැඩි කාලයක් අවශ්‍ය නිසා මම එම විශ්වවිද්‍යාලයේ පූර්ණකාලීන කටයුතුවලින් විවේක ගත්තා. විසි වන ශත වර්ෂයේ ලාංකේය සංගීතයේ අනන්‍යතාව ගොඩනැංවීම සඳහා මම මේ දිනවල පර්යේෂණයක් කරගෙන යනවා. ඒ වගේම බලන්ගොඩ මානවයාගේ සංගීතමය චර්යාව පිළිබඳවත් මම පර්යේෂණයක් කරනවා. ශ්‍රී ලංකාවේ වැදි ජනතාවගේ සංගීතය සහ තවත් පැති කිහිපයකට අදාළව පර්යේෂණයකුත් මේ අතර සිදු කරගෙන යනවා. එහි වැඩ කටයුතු මේ වනවිට අවසන් වී තිබෙනවා. ඉදිරියේදී එම සියල්ල පර්යේෂණ පුස්තක ලෙස එළි දැක්වීමට නියමිතයි.”
ගීතයක් නිර්මාණද්වාරයෙන් එළිදැක්වීම සඳහා සංගීතඥයින්ගේ සහ පටිගත කිරීම් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට වර්තමානයේ සිදුවී තිබීම හේතුවෙන් ලේසියෙන් ළඟා විය නොහැකි ක්ෂේත්‍රයක් බවට සංගීත ක්ෂේත්‍රය පත් ව ඇති බවට බොහෝ මත පවතියි. අතීතයේ අප රසවිඳි ප්‍රභාවත් ගී ගැයූ ශිල්පීන් නවක පටිගත කිරීම් වෙත නොයාමට එක් ප්‍රබල හේතුවක් වන්නේ ද මෙම මූල්‍ය පිරිවැය බොහෝ සේ ඉහළ යාම යි. පැරණි ශිල්පීන් නිහඬ වීමෙන් නවකයින්ට ඔවුන්ගේ පැරණි රසවත් ගීත නව සංගීත සංයෝජනයන් හා මුසු කරමින් ගයන්නට ඉඩහසර විවර වී ඇති බවට මැසිවිලි ද පවතියි. ඉතා විශිෂ්ට මියුරු ගී ශ්‍රාවක සවන්පත් අතරට ගෙන ආ අතීත ශිල්පීන් අකා මකා ඔවුන්ගේ සිත් රිදවමින් ඒ ගී නව්‍යමය ස්වරූපවලින් ගයමින් වේදිකා ප්‍රසංග හා විවිධ අවස්ථාවන්වලින් හරිහම්බ කර ගැනීම පිළිබඳව අතීතයත්, වර්තමානයත් සමඟ සම සමව ගනුදෙනු කරන නදීක ගුරුගේ විවෘත අදහස් ප්‍රකාශයක් ගෙන හැර දැක්වූයේ ය.
“නවකයින් ගැන ගත්තොත් වර්තමානයේ මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වන නවකයින්ට අවස්ථා ගණනාවක් තියෙනවා. ගුවන්විදුලිය, රූපවාහිනිය පමණ නොව සමාජ මාධ්‍ය ජාල සහ විවිධ වෙනත් මං ඔස්සේ ඔවුන්ට එක රැයකින් ජනගත වන්නට වර්තමානයේ පහසු වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ට ඕනේ පද පෙළක්, තමන්ට කැමැති තනුවක් තමන්ම හදාගෙන, තමන්ම පටිගත කරලා තමන්ටම ජනගත කර ගැනීමේ හැකියාව අද තිබෙනවා. එසැණින් ඒ සියල්ල මුළු ලෝකයටම විහිදෙනවා. එවැනි පහසුකම් බහුල, වේගවත් ක්ෂේත්‍රයක් බවට අද මෙය පත්ව තිබෙනවා. අද තියෙන්නේ ඉල්ලුම අබිබවා ගිය සංගීත නිෂ්පාදනයක්. නිෂ්පාදනය වැඩි වෙද්දි ගුණාත්මක දේ වාගේම එසේ නොවන දේත් ඒ අතර තිබිය හැකියි. ලාබෙට බාල දේ ගන්න අයත් සිටිනවා. කොයි කාලෙත් බාල දේවල් තිබුණා. ඒවා වැළඳ ගත් අයත් සිටියා. අද ගැටලුව මට පෙනෙන හැටියට නම් හොඳ හෝ නරක හෝ වේවා බහුල වීමයි. නමුත් මීට වසර විසිපහක අතීතයට ගියොත් සංගීතය සඳහා ඇතුළු වීමට තිබුණේ අවස්ථා දෙකයි. ඒ ගුවන්විදුලිය හා කැසට්ටු පමණයි. මගේ ‘රෝමියෝ බැඳලා’ ගීතය එළි දැක්වුණු කාලේ ඒ අත්දැකීම මම වින්දා. දෙවනුව පැහැදිලි කරනවා නම් තමන්ගේ ගීතත් ඕනෑ තරම් තිබියදී අනුන්ගේ ගීත ගයන අවස්ථා තියෙනවා. මමත් එක් අවස්ථාවක ඒ දේ කළා. සුනිල් ශාන්තයන්ගේ සංගීත භාවිතය සහ ඔහු සිංහල සංගීතය වෙනුවෙන් දැරූ උත්සාහය අගයනු වස් මා කළ පර්යේෂණාත්මක විග්‍රහයකදී ඔහුගේ ‘වරෙන් හීන් සැරේ..’ ගීතය ගිටාරය පමණක් වයමින් මම එක්තරා අවස්ථාවකදී ඉදිරිපත් කළා. ඒ සඳහා බොහෝ ප්‍රතිචාර සහ නව පිබිදීමකුත් ඔහු පිළිබඳ සමාජයේ ඇති වුණා. මම එහෙම කළේ මගේ ගීත ඕනෑ තරම් තිබියදීයි. මගේ බොහෝ ගීත මමම ලියලා, මමම තනු නිර්මාණය කරලා, මම ම ගැයූ ඒවා. එසේ තිබියදී එසේ කළේ පර්යේෂණාත්මක විග්‍රහයන් සඳහා යි. නමුත් මුදල් ඉපයීමේ අරමුණින් අනෙක් ගායකයින්ගේ ගීත ගැයීමට එදිරිව යන්නට නීති රෙගුලාසි තියෙනවා. අනුන්ගේ ගීත ගැයීම සදාචාර සම්පන්න නොවන අවස්ථාවලදී නීතිය මඟින් කලාකරුවා ආරක්ෂා කර තිබෙනවා. නමුත් ගීතයක නෛතික අයිතිය තිබෙන්නේ ගායකයාට නොවෙයි. ගීතයක අයිතිය ගී පද රචකයා සහ සංගීත රචකයා සතුයි. ඒ දෙදෙනාට මුදල් ගෙවලා ගීතයක අයිතිය නිෂ්පාදකවරයකු සතු කර ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම යම් කිසි ගායකයකුට පුළුවන් පද රචකයාට සහ සංගීත රචකයාට මුදල් ගෙවලා ගීතය තමන් සතු කර ගත හැකියි. සමහර ගීත මුල් ගායනයෙන් පසු වෙනත් කෙනෙක් ගැයූ අවස්ථාවක ජනප්‍රිය වූ බවට උදාහරණ ලෝකයේත් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයේදී අයිතිවාසිකමට වඩා අපේ රටේ තියෙන්නේ සදාචාරාත්මක බව පිළිබඳ ගැටලුවක් නිසා අන් සතු දෙයක් තමන් සතු කර ගැනීමේදී නීත්‍යනුකූල බවට අවශ්‍ය පිළියම් වාගේම සාදාචාරාත්මක බවට සුදුසු පිළියම් යෙදීමත් කළයුතු වෙනවා. අනුන්ගේ ගීත ගයලා මුදල් උපයනවා නම් අඩුම තරමේ සදාචාරාත්මකව හිතලා ගෙවීමක්වත් කළයුතුයි. ඒක අපේ මනුස්සකමයි.”
නදීකගේ බිරිය මනෝරි මල්ලිකාරච්චි 2003 වසරේ සිට රාජ්‍යතාන්ත්‍රික සේවාවේ නිරත ව සිටින ජ්‍යේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි. 2023 වසරේ සිට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ඇය වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ද වන්නී ය.
“මගේ දියණියන් දෙදෙනා තරණී ගුරුගේ සහ ඔදිත්‍යා ගුරුගේ පාසල් යනවා. වැඩිමහල් දියණිය තරණී ගුරුගේ මේ වසරේ භෞතික විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටිනවා. බාල දියණිය ඔදිත්‍යා අට ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මේ දෙදෙනා විනෝදාංශයක් ලෙස සංගීතයේ නිරත වෙනවා. තරණී ඩ්‍රම්ස් සහ ගිටාරය වාදනය කරනවා. ඔදිත්‍යා පියානෝව වාදනය කරනවා. ඒ වගේම ගායනා කරනවා. ලන්ඩන් නුවර ඈ ඉගෙන ගන්නා පාසලේ නිෂ්පාදනය කෙරෙන ඔපෙරාවක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ඇය ගායනා කරනවා. මේ දෙදෙනා සංගීතයේ නිරත වන්නේ මගේ කිසිදු බලපෑමකින් තොරවයි. වෘත්තීය පැත්තෙනුත්, පෞද්ගලිකවත් මම ඉමහත් සතුටක් ලබන මනුස්සයෙක්…”