Home » මමත් හොඳ ආදරවන්තයෙක්

මමත් හොඳ ආදරවන්තයෙක්

මනෝජ් දේවගේ

by thanushika
April 19, 2025 12:30 am 0 comment
 අනුෂා රණසිංහ

සංගීතේ නාට්‍යයේ කල්පන ලෙස වසර ගණනාවක් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් මනෝජ් දේවගේ මේ කාලයේ අපිට මුණ ගැහෙන්නේ මායාවී නාට්‍යයේ ප්‍රමිත හරහා. රසඳුන අද අපේ කතාබහට එක් වන්නේ මනෝජ් දේවගේ

මේ දවස් වල සිදුවෙන කලා නිර්මාණ මොනවද?

මේ අවුරුද්දේ මම චිත්‍රපට දෙකක වැඩ භාර ගත්තා. ඒ චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිත කරන්නේ මම. එකක් සංදේශ් බණ්ඩාරගේ අමිගෝ චිත්‍රපටය. එහි මම සත්සරණී, රොෂාන් පිලපිටිය, අශාන් මල්ලි ප්‍රධාන චරිත රඟනවා. අනිත් එක ඩිල්ශාන් මල්ලිගේ ප්‍රථම චිත්‍රපටය. ඒක අමුතුම මුහුණුවරකින් එන චිත්‍රපටයක්. ඒ සඳහා මගේ ශරීරය සහ පෙනුම වෙනස් කර ගත්තා. මේ චරිත රඟන්න මම ගොඩක් මහන්සි වෙලා කැප වෙනවා. මේ කාලයේ සිනමාවට වැඩි ඉඩක් දීලා තියෙනවා.

පුංචි තිරයෙන් ඔබව දකින්න ලැබෙන නිර්මාණ ගැන කිවුවොත්?

මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන මායාවී නාට්‍යයේ ප්‍රමිත හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වෙනවා. ප්‍රමිත කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒ වගේම බොහෝම ආදරණීය චරිතයක්. මේ වෙලාවේ බොහෝම ආදරෙන් මතක් කරන්න ඕනේ මෙහි තිර පිටපත් රචක මහේෂ් රත්සරමද්දුමආරච්චි සහ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහතාව.

මායාවී නාට්‍යයේ ප්‍රමිතගේ චරිතය වෙනුවෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සංගීතේ නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සහ කතාව රචක සමන් එදිරිමුණි සහ දෙරණ නාලිකාවේ ලක්සිරි සර් ඇතුළු කණ්ඩායමම. ඔවුන්ගේ මඟ පෙන්වීම ආශිර්වාදය යටතේ තමයි මම කල්පනගේ චරිතය ගොඩනැගුවේ.

සංගීතෙන් අයින් වෙන්න හිතුවේ ඇයි?

සංගීතේ නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සහ කතාව රචක සමන් එදිරිමුණි සහ දෙරණ නාළිකාවේ ලක්සිරි සර් ඇතුළු කණ්ඩායමටම මම මාස හයකට විතර කලින් දැනුවත් කළේ මට සීසන් වන් එකෙන් අයින් වෙන්න ඕනේ කියලා. ඒකට හේතුව වුණේ මට අවශ්‍ය වුණා චිත්‍රපට ක්ෂේත්‍රයට එන්න. තාමත් කල්පන වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම අහන්නේ ඇයි අයින් වුණේ කියලා. ඒ හැමෝටම කියන්න තියෙන්නේ මගේ රංගන ජීවිතේම තව පියවරක් ඉදිරියට තියන්න අවශ්‍ය නිසා මම ඒ තීරණය ගත්තේ කියන එක.

මනෝජ්ව වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිතෙ මොකක් ද?

සංගීතේ කල්පන හරහා. අදටත් මිනිස්සු කතා කරන්නේ ඇමති පුතා කියලා. අවුරුදු හතරහමාරක් පුරාවට කල්පන චරිතයට මම ගොඩක් මහන්සි වුණා. කැපකිරීම් කළා. මට ඒ චරිතය ගොඩනගන්න නාට්‍යයේ හිටිය සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් සහයෝගය දුන්නා. ඒ වගේම මේ වෙලාවේ බොහෝම ආදරෙන් මතක් කරනවා සංගීතේ නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සහ කතාව රචක සමන් එදිරිමුණි සහ දෙරණ නාළිකාවේ ලක්සිරි සර් ඇතුළු කණ්ඩායමම. ඔවුන්ගේ මඟ පෙන්වීම ආශිර්වාදය යටතේ තමයි මම කල්පන ගොඩනැඟුවෙ

පවුලේ විස්තර මොනවද?

මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා සහ අක්කලා දෙන්නා සහ අයියයි මල්ලියි මමයි. මම මගේ පවුලට බොහෝම ලැදී කෙනෙක්. දැනට ඒ අය හතර දෙනාම විවාහ වෙලා ඉන්නේ. අපි කට්ටියම මාසෙකට සැරයක් දෙසැරයක් හමුවෙලා පොඩි සැමරුමක් එහෙම දාලා සතුටින් ඉන්න පවුලක්.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මේ ගමන එන්න මට එන්න ලොකුම ශක්තිය මගේ පවුලේ අය. ඒ අය එක්ක ඕනෙම දෙයක් කතා කරන්න පුළුවන්. මම මගේ හැම තීරණයක් ගනිද්දිම ඒ අය එක්ක කතා බහ කරනවා. මගේ අම්මා තාත්තා ඉතා විවෘත මනසින් ජිවිතේ දකින සුන්දර චරිත දෙකක්. ඒ නිසා මගේ මේ ගමන එන්න මට ඒ හැමෝගෙම ආශිර්දවාය නිතරම ලැබෙනවා.

නළුවෙක් නොවුනා නම් කවුරු වෙයිද?

ඇත්තටම මට නළුවෙක් වෙන්න නෙවෙයි ඕනේ වුණේ. මට ඕනේ වුණේ හොඳ කලාකරුවෙක් වෙන්න. නළුවෙක් වෙන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට ඕනෙම විදියකට නළුවෙක් වෙන්න දැන් පුළුවන්. සමාජ මාධ්‍යය තුළ ඒ සඳහා ඕනේ තරම් අවකාශ තියෙනවා. නමුත් කලාකරුවෙක් කලාකාරියක් වෙන්න හැමෝටම බැහැ. ඒ සඳහා හොඳ මනසක් සහ සමාජයීය දැනුම සහ කලාව පිළිබඳ හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ නිසාම මම කලාවට එන්න කලින් මේ ගැන හැදෑරුවා. සචිත්‍ර රාහුබද්ධ තමයි මගේ මුල් ගුරුවරයා. එතුමාව බොහෝම ආදරෙන් මතක් කරනවා. රංගනයේ ඔහු දැවැන්ත චරිතයක්. මාව හැදුවේ ඔහුු. ඉතින් නළුවෙක් නොවුණා නම් මම උපාධිය ලබා තියෙන්නේ ව්‍යාපාර කළමනාකරණය ලබපු කෙනෙක්. ඒ නිසා ඒ පැත්තෙන් රැකියාවක් කරන්න ඉඩ තියෙනවා.

මේ කාලේ ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය වැඩියෙම දැනෙනවා ඇති නේද?

ඔව්. මම කරන චරිත එක්ක ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය වැඩියෙන් දැනෙනවා. සංගීතේ කල්පන වගේම මම කරපු අළු පාට දේදුණු නාට්‍යයේ චරිතෙටත් හොඳ ආදරයක් ලැබුණා. ඒ නිසා නිතරම ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය ලැබෙනවා.

ආදරවන්තියක් ඉන්නවද?

ඔව්. මමත් හොඳ ආදරවන්තයෙක්

අනාගත බලාපොරොත්තු මොනවද?

මම කැමතියි චිත්‍රපටවලට වැඩි නැඹුරුවක් දෙන්න. ඒ වගේම නෙට්ෆිලික්ස් වලට යන චිත්‍රපටයක වැඩ කරන්න ඕනේ කියන එක මගේ හිතේ තියෙනවා. ඒ එක්කම හොලිවුඩ් හෝ බොලිවුඩ් නිර්මාණයක වැඩ කරන්න කැමතියි. ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ පැත්තෙන් යන්න පුළුවන් තරම් උත්සහ කරනවා. ඒ එක්කම මගේම ව්‍යපාරයක් කර ගෙන යනවා. එය ඇඟලුම් ව්‍යාපාරයක්. ඒකත් දියුණු කර ගන්න ගමන් මගේ රංගන ක්ෂේත්‍රයේ වැඩත් කරගෙන යනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division