Home » දුර යන්න යන්න ළං වෙන හීනේ අපි අපේ කියා තරු නෑ දන්නේ

දුර යන්න යන්න ළං වෙන හීනේ අපි අපේ කියා තරු නෑ දන්නේ

by thanushika
April 19, 2025 12:30 am 0 comment
ඉනෝකා සමරවික්‍රම

තරු කඩා වැටෙන හැටි දුර අහසේ
අපි බලා ඉඳිමු තුරුලුව රහසේ
කඳු කවුළු වසා හමනා සුළඟේ
අපෙ ආදරයයි අමුණා තිබුණේ…

අඩ අඳුරේ නිලන නිල් ගිරි සිරසේ
සුදු මේඝ වලා වෙළනා විලසේ
ළඟ ඉන්න ඉන්න දුර යන හීනේ
අත අතැර දමා කොහොමද ඉන්නේ..

පිනි මල් ගවසා දෙකොපුල් උයනේ
හිත වාන් දමනවා සඳ එළියේ
දුර යන්න යන්න ළං වෙන හීනේ
අපි අපේ කියා තරු නෑ දන්නේ…

ගායනය – රවීන් කනිෂ්ක

පද රචනය – සුසන්ත ජයනාල් පෙරේරා

සංගීතය – තරංග සමරවික්‍රම

සියලු මානවීය බැඳීම් එකට එක්ව පවතින්නේ ආදරය නිසාය. ඒ බැඳීම්වල ස්වභාවය යුගයෙන් යුගයට වෙනස් වුවද ආදරය කවදත් එකය. දෙසිතක ඇති වන ආදරය සුන්දරය.

අප තුරුණු වියේ තරුණ තරුණියන් අතර ඇති වූ ආදර බැඳීම් හරි අපූරුය. යුගයෙන් යුගය වෙනස් වීමත් සමඟ මේ බැඳීම් එදාට වඩා අද වෙනස්යැයි බැලූ බැල්මටම කිව හැකිය. ඒ යුගයේ බිහි වූ නිර්මාණවලින්ද මේ ආදර බැඳීම් ගැන කියවී ඇත.

අද මෙන් නව තාක්ෂණය නොතිබූ එකල දෙදෙනකු අතර අදහස් හුවමාරු වූයේ ලියුම්වලිනි. වන්දනා ගමන් ගිය විට, විනෝද චාරිකා ගිය විට, එහෙමත් නැත් නම් දුරබැහැර නැදෑයන්ගේ මංගල අවස්ථාවන්ට සහභාගි වන්නට ගිය විට ඇති වූ දැනහැඳිනගැනීම් මත හිතෙන් බැඳුණු ඔවුන් යළි හමු වන්නේ ලියුමකිනි. ඒ ලියුම ලැබෙන්න ද දින දෙක තුනක් ගත වේ. තැපැල්කරු එන තුරු මඟබලා හිඳින පෙම්වතුන්ගේ සිතිවිලි අපූරුය. මේ ලියුම් හුවමාරු වන්නේ මවුපිය වැඩිහිටියන්ට හොරෙනි. පාසල් ප්‍රේමයක් නම් ලියුමක් හුවමාරු වූයේ මිතුරු මිතුරියන්ගේ අතිනි. පෙම්පත් ලිවීමද එකල කලාවකි. ඒ එක්තරා යුගයකි.

අද වන විට සියල්ල හුවමාරු වන්නේ ජංගම දුරකතන හරහාය. කැමැත්ත අකැමැත්ත විමසන්නේ මැසෙන්ජර් හෙවත් කෙටි පණිවිඩ හරහාය. දෙදෙනා අතර යම් ආරවුලක් වූ විට මේ පණිවිඩ ක්ෂණයකින් ඩිලීට් කරන්නද හැකියාව ඇත. අසූවේ පෙම්වතුන් තමන් ලියූ පෙම්පත් අදත් සුරැකිව තබාගෙන ඇත. එවන් යුගයක අද කාලේ අපට හමු වන්නේ මැසේජ් ඩිලීට් කර, ඒ මතින් තව තවත් කෙටි පණිවිඩ ලියන පෙම්වතුන් පෙම්වතියන්ය. මේ යුග වෙනසත් සමඟ බැඳුණ ගීතද අපට ඇසේ.

එහෙත් ඒ පරම්පරාව නියෝජනය කරන ගී පද රචකයකු කළ ගීතයකි අද ගීයක අරුම සඳහා තෝරා ගැනුණේ. මින් පෙරද ගීත ගණනාවක් කර ඇති ඔහු වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. ඔහු නමින් සුසන්ත ජයනාල් පෙරේරාය. සුසන්ත ලියූ ගීතය ගයන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන රවීන් කනිෂ්කය. ගීතය සංගීතවත් කරන්නේ සංගීත ශිල්පි තරංග සමරවික්‍රමය.

‘තරු කඩා වැටෙන හැටි දුර අහසේ
අපි බලා ඉඳිමු තුරුලුව රහසේ
කඳු කවුළු වසා හමනා සුළඟේ
අපෙ ආදරයයි අමුණා තිබුණේ…’

ඒ අපූරු පද රචනාව පිළිබඳ ගීපද රචක සුසන්ත ජයනාල් පවසන්නේ මෙවැනි අදහසකි:

“මට මේ ගීතයෙන් කියන්නට ඕනෑ වුණේ අපේ කාලයේ අව්‍යාජ ප්‍රේමය ගැන. ඒ කියන්නේ අසූව දශකයේ ප්‍රේම කතාවක් ගැන. තරු කඩා වැටෙන හැටි බලාගෙන අඬ අඳුරේ තුරලුව සිටින අසූව දශකයේ පෙම් කතාවක් ගැනයි මේ ගීතයෙන් කියන්න උත්සාහ දරන්නේ. ඔවුන්ගේ ප්‍රේමය එකිනෙකා අතර ගැඹුරක් ඇති අවබෝධයට සීමා වී රාගයෙන් තොර ආධ්‍යාත්මික භාවිතයක් ප්‍රාර්ථනා කරනවා. සඳ එළියේ මෙතරම් සන්සුන් මෙවැනි සීතල රාත්‍රියක ආදරයෙන් තුරුලු වීම හැර ඉන් ඔබ්බට නොගිය ගෞරවනීය ආදරයක් අසූව දශකයේ අප අත්වින්දා. මේ ඉන්නේ එම පෙම්වතුන් යුවළ. මෙය සංකේතාත්මක භාවිතාවක්.

‘දුර යන්න යන්න ළං වෙන හීනේ’ යන යෙදුම තුළ අවියෝජනීය බැඳීම දක්වනවා. දුරස් වීම කියන්නෙම වඩාත් සමීප වීමක් කියන එක. කඩාවැටෙන තරු අපි අපේ කියා දන්නේ නැති බව පවසයි. ඔවුන්ගේ ලෝකයේ සොඳුරු බව මින් පිළිබිඹු වෙනවා. ලොවට රහසේ පෙම් කිරීම යනු සමාජ සම්මතයෙන්ම ඇති බය පක්ෂපාත බව දක්වයි. එදා පෙම්වතුන් පෙම් කළේ සමාජ සම්මතයන්ට ගරු කරමින්. මෙන්න මේ කියන අදහස ඇතිවයි මම මේ පද පෙළ රචනා කළේ. ඒ පද පෙළ ගයන්න සුදුසු ගායකයා ලෙස මට දැනුණේ රවීන් කනිෂ්ක. සංගීතවේදි තරංග සමරවික්‍රම මේ පදපෙළට හරි අපූරු තනුවක් නිර්මාණය කළා.”

ඔබත් අසූව දශකයේ කෙනකු නම්, ඔබටත් එය දැනේවිදැයි බලන්න. එනමුදු මෙය ඕනෑම කෙනකුට රසවිඳිය හැකි නැවුම් නිර්මාණයක් ලෙස සැකයකින් තොරව හඳුන්වා දිය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division