ලංකාවේ අවුරුදු චාරිත්‍රවල වැදගත්ම චාරිත්‍රය ලෙස සැලකෙන්නේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයයි. අවුරුදු දින අවුරුදු නොකෑවද බොහෝමයක් පළාත්හි අවුරුදු ජයටම කන්නේ හිසතෙල් ගෑමේ නැකතටය. කැවුම්, කොකිස්, කිරිබත් පිස හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදටත් ජයටම ගම්වල සමරන්නේ නීරෝගි සම්පත පතා සිදුකරන්නාවූ උතුම්ම අලුත් අවුරුදු චාරිත්‍රය වශයෙනි. ගෙවුණු 16 වැනිදා පෙරවරු 9.04ට රටම සූදානම් වූයේ අලුත් අවුරුදු දිනයේ මේ උතුම් චාරිත්‍රය සමරන්නටය. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොළොං පත්ද තබා, කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීමෙන් හිසතෙල් ගෑමේ චාරිත්‍රය අවසන් වූයේ රටට සෙත් පතාය.
හිසතෙල් ගෑමේ චාරිත්‍රය වටා පෙළ ගැසුණු බොහෝ චාරිත්‍ර විධි ඉටු කරන්නේ මිනිසුන්ට පමණක් නොව සත්ත්වයන්ගේද නැකතට හිසතෙල් ගැල්වීමෙනි. එදා සිට අද දක්වා නැකතට අලි ඇතුන්ගේ හිසතෙල් ගැල්වීම් සිදු කරන්නේ පුරාණ චාරිත්‍ර විධියක් වශයෙනි. මේ අලි ඇතුන්ගේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රයේ තවත් දිගුවක් වශයෙන් සෑම වසරකම ලංකාවේ සත්ත්ව උද්‍යාන මෙන්ම සෆාරි උද්‍යානවලද නැකතට සතුන්ගේ හිසතෙල් ගැල්වීම් සිදු කරන්නේ වසර කිහිපයක සිටය.
දෙහිවල සත්තු වත්ත යනු 1938 වසරේදි කුඩා සතුන්ගේ ප්‍රමාණයකින් ආරම්භ වූ සත්ත්ව උද්‍යානයකි. ආරම්භයේ සිට මේ දක්වා ගෙවුණු වසර 87ක කාලය පුරාවට දෙහිවල සත්ත්ව උද්‍යානය තම අණසක පතුරුවන උරග පවුලේ දැවැන්තයකු අදටත් එහි ජීවත්ව සිටියි. වසර 153ක දිගු ආයු කාලයක් භුක්ති විඳිමින් සිටින මේ දැවැන්තයා අනෙකෙකු නොව යෝධ ඉබ්බාය. ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම සත්ත්වයා වන මේ යෝධ ඉබ්බා අදටත් දෙහිවල සත්තු වත්තේ උරග කොටසේදි දැකිය හැකිය. මේ යෝධ ඉබ්බා දෙහිවල සත්ත්ව උද්‍යානයට ආවේ එහි ආරම්භයේදීමය. මෙවර දෙහිවල සත්තු වත්තේ හිසතෙල් ගෑමේ නැකැතේදි මේ වයස්ගතම සත්ත්වයාට හිසතෙල් ගෑල්වුණේ තව තවත් නීරෝගිව වසර ගණනක් දිවි ගෙවන්නට ආයුෂ බල වීර්ය ලබා දෙමිනි.
වයස අවුරුදු 153ක ගැහැනු සත්වයකු වන මේ යෝධ ඉබ්බාගේ උපරිම වයස් සීමාව අවුරුදු 200 දක්වා දිව යන්නට පුළුවන. මෙවැනි යෝධ ඉබ්බන්ගේ වාසභූමිය වන්නේ අමෙරිකාවේ ගැලපගොස් දූපත්ය. ( Galapagos Island ) ඒ අනුව මේ යෝධ ඉබ්බන් හඳුන්වන්නේ Tha Galapagos Tortoise හෙවත් Galapagos Giant Tortoise නමිනි. මේ යෝධ ඉබ්බාගේ විද්‍යාත්මක නාමය වන්නේ chelonoidis niger ය. මේ යෝධ ඉබ්බා දෙහිවල සත්ත්ව උද්‍යානයට පැමිණි කතාවද හරි අපූරුය.
අතීතයේ ලංකාවේ කෞතුකාගාරය තුළ සත්තුන්ගේ ජීව සාම්පල තිබී ඇත්තේය. මේ යෝධ ඉබ්බාගේ ජීව සාම්පලද මේ කෞතුකාගාරයේ තිබී ඇති අතර මේ ජීව සාම්පලය 1938 දී දෙහිවල සත්ත්ව උද්‍යානය ආරම්භ කළ පසු එයට ලැබී ඇති අතර එදා සිට මේ දක්වා යෝධ ඉබ්බා අපූරුවට පරිසරයට අනුගත වෙමින් සත්ත්ව උද්‍යානයේ හැඳී වැඩෙමින් ජීවත් වෙයි.
එදා කෞතුකාගාරයට මේ යෝධ ඉබි ජීව සාම්පල ලැබුණු ක්‍රමයක් පැහැදිලි නැතත් පසුව එහි සිටි ජීව සාම්පල විවිධ ස්ථානවලට ලබා දී ඇති බව සඳහන්ය. පසුගිය කාලයේ දෙහිවල සත්ත්ව උද්‍යානයට තවත් කුඩා යෝධ ඉබි පැටවෙක් ලැබෙන්නේ උසාවි නඩු භාණ්ඩයක් වශයෙනි. ඒ අනුව යෝධ ඉබ්බාට අමතරව අවුරුදු 7-8 ක් වයස ඇති තවත් යෝධ ඉබි පැටවකු දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටියි. පසුගියදා අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත්‍රය සමරමින් රටටම දැක ගන්නට ලැබුණේ ස්වාමින් වහන්සේ අතින් පිරිත් සජ්ඣායනා මැද යෝධ ඉබ්බාද හිසතෙල් ගා ගන්නා අයුරුය. ඉතා හීලෑ ආකාරයෙන් පසුවන මේ යෝධ ඉබ්බාගේ හිසතෙල් ගෑම සිදු කරන්නට පෙර යම් ආකාරයකට ඌ පුරුදු පුහුණු කරන්නට බලධාරින්ට සිදු වූයේ ඌ ඊට බිය වුවහොත් තමන්ගේ හිස කට්ට තුළට දමා ගන්නා නිසාය. කිසිදු අනතුරුදායක සත්ත්වයෙක් නොවන මේ යෝධ ඉබ්බා තම හිසෙහි තෙල් ගල්වන විට ඊට ඉඩදී සාමකාමීව සිටියේ දකින්නන් පවා මවිතයට පත් කරමිනි.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ යෝධ ඉබ්බා ලංකාවට සුවිශේෂි සත්ත්වයෙක;’ු වුවද නැකැත් සම්ප්‍රදායන්ට අනුකූල වෙමින් සුපුරුදු පරිදි දෙහිවල සත්ත්ව උද්‍යානයේ මුලින්ම හිසතෙල් ගාන්නේ ඇතෙකුගේය. දෙහිවල සත්ත්ව උද්‍යානයේ කාලයක සිට සිට හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය මුලින්ම සිදු කර ඇත්තේ බන්දුල ඇතාගේය. නමුත් බන්දුල ඇතාගේ මරණයත් සමඟ මෙවර ඊට සුදුසුකම් ලද්දේ කඩොල් ඇතාය. මනාව සකස්කරන ලද සත්ත්ව උද්‍යානයේ පීඨිකාවට නැකතට හිසතෙල් ගෑමට කැඳවා ගෙන එන්නේ කඩොල් ඇතාය.
කඩොල් ඇතා මේ වන විට වයස අවුරුදු 12 ක් පමණ වයසැති ඇත් පැටවෙකි. ඌ දෙහිවල සත්ත්ව උද්‍යානයට ලැබී ඇත්තේ පින්නවල අලි අනාථාගාරයෙනි. ඒ පසුගිය වසරේදීය. හොඳින් ඇත් දළ ඇති පිරිමි සතෙක් වන කඩොල් ඇතාගේ පමණක් නොව අනිකුත් අලි ඇතුන්ගේ හිස්වල තෙල් අලේප කිරීම මෙදින සිදු කළේ සියලු සතුන්ගේ නීරෝගිකමට ආශිර්වාද කරමිනි.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ තවත් ආකර්ෂණීය සත්ත්වයෙකු වන්නේ ජිරාෆ්ය. මෙදා තුන්වැනියට හිසතෙල් ගාන්නට තෝරා ගන්නේ ජිරාෆ්ය. ඊට හේතු ගණනාවක් ඇති බව බලධාරීහු පවසති. දෙහිවල සත්තු වත්තට දැන් ඇත්තේ එකම ජිරාෆ් කෙනෙක් පමණි. එහෙයින් ඌ නරඹන්නන්ට ආකර්ෂණීය සත්ත්වයෙකු වන අතර හිරිහැරයකින් තොර අහිංසක සත්ත්වයෙකි. එසේ හෙයින් ඕනෑම සත්ත්ව උද්‍යානයක ජිරාෆ්ට හිමි වන්නේ විශේෂ තැනකි. මේ වන විට දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින ජිරාෆ්ගේ වයස අවුරුදු 28-30 ක් පමණය. බලධාරීන් පවසන ආකාරයට පරමායුෂටත් වැඩි වයසක් ගත කරන මේ සත්ත්වයාගේ නීරෝගි බව පතා හිසතෙල් ගැල්වීම සිදු කර ඇත.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ හිසතෙල් ගැල්වීම සෑම සතෙකුටම සිදුකළ නොහැකිය. සතාගේ හීලෑබව, සහභාගි වන්නන්ගේ ආරක්ෂාව ඉන් ප්‍රධානය. දෙහිවල සත්ත්ව උද්‍යානයේ ජිරාෆ් ඉතා හීලෑ සතෙකු වන අතර කතා කළ පමණින් ආසන්නයට පැමිණෙන සතෙකි. මෙදා ඌගේ හිසතෙල් ගැල්වීම සිදුවූයේ ඌට ආහාර දෙන පීඨිකාව අසලදීය.
සිවුවෙනුව හිසතෙල් ගෑම සිදු වූයේ කෝසලට හා අනුලාටය. මේ හුරුපුරුදු නම් දෙක තබා ඇත්තේ දෙහිවල සත්ත්ව උද්‍යානයේ ඉතා හීලෑ කළු රයිනෝසිරස් ජෝඩුවකටය. කෝසල තාත්තාය. අනුලා අම්මාය. මේ දෙන්නාගේ පැටියා මිහිරිය. කෝසලටත් මිහිරිටත් වඩා හීලෑ අනුලාය. ඒ නිසා මුලින්ම අනුලාගේ හිසේ තෙල් ගැල්වූයේ කිසිදු බාධාවකින් තොරවය. ඒ ඔවුන්ගේ වාසස්ථානයේදීය. මේ රයිනෝ ජෝඩුව 2005 වසරේ දෙහිවල සත්ත්ව උද්‍යානයට ලැබුණේ සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ජපානයෙනි. රයිනෝ ජෝඩුව ඉපදී ඇත්තේ 2003 වසරේදීය. දැන් වයස අවුරුදු 22කි. පැටියා මිහිරි ඉපදෙන්නේ 2014 වසරේදීය.
හිසතෙල් ගැල්වීමේ නැකත අර්ථවත් කරමින් දෙහිවල සත්ත්ව උද්‍යානයේ හිසතෙල් ගැල්වූයේ පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලද හිමාලයානු දුඹුරු වලසුන් ජෝඩුවටය. හිමාලයානු දුඹුරු වලසුන්, හිමාලයානු රතු වලසුන් හෝ ඉසබෙලයින් වලසුන් යන නම්වලින් හඳුන්වනු ලබන අතර හිමාලය කඳු වැටියේ අධික උස් බිම්වල වාසය කරති.
දිගින් අඩි 7 යි අඟල් දෙකක් පමණ වන මොවුහු සිසිර සමයේ දී ගුහා තුළ ජීවත් වෙති. දුර්ලභ සතුන් විශේෂයක් වන මේ සත්ත්වයින් Ursus arctos isabellinus යන විද්‍යාත්මක නමින්ද ‘ Isabelline bear’ යන නමින් ද හඳුන්වති.
සත්ත්ව උද්‍යාන බලධාරීන් පවසන්නේ හිමාලයානු දුඹුරු වලස් ජෝඩුව යම් පමණකට බලධාරීන්ට හීලෑ වී ඇති බවත්, කතා කළ පමණින් ළඟට දුවගෙන එන පුරුද්දක් ද ඇති බවයි. අවුරුදු 5යි මාස 4 ක් වන පිරිමි සතාගේත් අවුරුදු 4 යි මාස 8 ක් වන ගැහැනු සතාගේත් නැකතට හිසතෙල් ගැල්වූයේ ඔවුන්ද දෙහිවල සත්ත්ව උද්‍යානයට ආභරණයක් වන හෙයිනි.
වීරච්චියේ විමලසාර හිමියන් විසින් නැකතට මේ සතුන්ගේ හිසතෙල් ගැල්වීම සිදු කළේ සාම්ප්‍රදායිකව සකසන නානු ගැල්වීමෙනි. ලංකාවේ සත්ත්ව උද්‍යානයන්හි මේ වන විට විවිධ වර්ගයේ සතුන් වර්ග 4000 ක් පමණ සිටිති. ඔවුන්ගෙන් රටට, ආර්ථිකයට එක් වන්නේ විශාල දායකත්වයකි. එහෙයින් මේ සම්ප්‍රදායන්ට ගරු කරමින් සතුන්ගේ නීරෝගිකම ආරක්ෂා කිරීම කිරීමද වැදගත්ය.
වසර කිහිපයක් පුරාවට පැවත එන මේ චාරිත්‍රය සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ ස්ථානවල විවිධ ආකාරයෙන් සිදු කරති. මෙදාද ඒ සම්ප්‍රදාය අකුරටම ඉටුවිය. සතුන්ගේ නීරෝගි බව පතා ප්‍රධාන චාරිත්‍රය සිදු වූයේ පින්නවල අලි අනාථාගාරයේදීය. ඒ විෂයභාර ඇමැති ධම්මික පටබැඳිගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. එසේම උප ආයතන වන දෙහිවල සත්ත්ව උද්‍යානයේ හා සෆාරි උද්‍යාන වන පින්නවල අලි අනාථාගාරයේද, පින්නවල සත්ත්ව උද්‍යානය හා රිදියගම සෆාරි උද්‍යානයේදී ද මේ කටයුත්ත ඉතාම විචිත්‍රවත් අන්දමින් සිදු විය.

හිමාලයානු දුඹුරු වලස් ජෝඩුවගේත් හිසතෙල් ගල්වයි

රයිනෝ ජෝඩුවගේ (අනුලා හා කෝසල) හිසතෙල් ගැල් වූ අවස්ථාව

ජීරාෆ්ගේ හිසතෙල් ගාමින්
ඡායාරූප – සුදත් නිශාන්ත