Home » සිරි ලක්දිව් තලයට වැඩි ගමනේ සිරි දළදා සමිඳුන් පෑ පෙළහර

සිරි ලක්දිව් තලයට වැඩි ගමනේ සිරි දළදා සමිඳුන් පෑ පෙළහර

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
විජේරත්න අතුරුපාන

දාඨාවංසයට අනුව කලිඟුරට ගුහසීව රජ සමයේ දළදා වහන්සේ පැළලුප් නුවර ගෙන්වූ පඬි රජතුමා දළදා ප්‍රාතිහාර්ය දැක මිථ්‍යා දෘෂ්ටිය අත්හැර දළදා පූජා පවත්වමින් දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරන කල්හි මලය රට ඛීරධාරා රජු පඬිරජු සමඟ දළදා ඉල්ලා යුද්ධයට ආවේය. ඛීරධාරා පැරදවූ පඬි රජ දළදා වහන්සේ රැකගෙන සිය මරණයෙන් පසු යළිත් දළදාව කලිඟු රටට භාර දීමට විධිවිධාන යෙදීය. ඒ අනුව පඬි රජු මිය ගිය පසු ගුහසීව රජු පැළලුප් නුවරට ගොස් දළදා වහන්සේ යළි කලිඟු රටට වැඩමවීය. එසේ වැඩමවූ දළදා වහන්සේ බ්‍රහ්මදත්ත රජු ඉදි කළ දළදා මාලිගයේ වඩා හිඳුවා පුද සත්කාර කළේය. මේ දළදා මැඳුර අද ඔරිස්සාවේ ‘පුරි’ නගරයේ පිහිටි ‘ජගත්නාථ’ කෝවිල බව හඳුනාගෙන ඇත.

මේ සමයේ කොසැඹෑ නුවර උදේනි රජුගේ පුත් දන්ත කුමරු දළදා පිදීම සඳහා ගුහසීව රජුගේ රාජ්‍යය වන කලිඟු රට දන්තපුරයට ගියේය. එම කුමාරයා මහත් භක්තියෙන් දිනපතා දළදා පූජා පවත්වමින් ඒ නුවරම විසීය. දන්ත කුමාරයාගේ ශ්‍රද්ධා භක්තිය දුටු ගුහසීව රජු තම දියණිය වන හේමමාලා කුමරිය දන්ත කුමරුට සරණ පාවා දුන්නේය.

මේ අතර දළදා වහන්සේ ලබා ගැනීමට පඬි රජු සමඟ යුද්ධයට ගිය ඛීරධාරා රජු යුද්ධයේදී මිය ගිය පසු, ඔහුගේ බෑනා මලය රට රජ විය. ඔහු මහත් සේනාවක් රැගෙන දළදා වහන්සේ ගැනීමට දන්තපුරයට පැමිණියේය. හෙතෙම දන්තපුරය වට කොට කඳවුරු බැඳ, දළදාව ඉල්ලා ගුහසීව රජුට හසුන් යැවීය; දළදා වහන්සේ නොදෙන්නේ නම් යුද්ධ කරන බව කීය. එහිදී සිය පණ තිබෙන තුරු දළදා වහන්සේ කිසිවකුට නොදෙන බව කී ගුහසීව රජු යුද්ධයට යෑමට සූදානම්ව දන්ත කුමරු කැඳවා, තමා යුද්ධයෙන් පරාජය වුව හොත් දළදා වහන්සේ රැගෙන බමුණු වෙස් ගෙන ලක්දිවට යවයි කීය. එකල්හි දන්ත කුමරු “ලක්දිව ඔබගේ වත් මගේ වත් නෑදෑ කෙනෙක් නැත. එහි බෞද්ධයෝ වෙත්ද? එසේම මහා සාගරයේ කුඩා දිවයිනක් වු ලක්දිවට දළදා වහන්සේ රැගෙන කෙසේ යම්දැ?’’ යි කීය.

එවිට ගුහසීව රජු සිය බෑනණුවන්ට මෙසේ කීය: “බුදුන්ගේ ශාරීරික ධාතුද බොහෝ භික්ෂුහුද හෙළදිවෙහි වෙති. එසේම මාගේ ප්‍රිය මිත්‍ර වු මහසෙන් රජද එහි වෙති. බොහෝ නුවණැති ඒ රජතුමා දළදා පුදන්නටද තොපට මනාව සංග්‍රහ කිරීමටද පසුබට නොවනු ඇත’’ යනුවෙන් පවසා, ගුහසීව රජ බෑනණුවන් සතුටු කොට සේනාව සමඟ යුද බිමට ගියේ, යුද්ධයේදී මරණයට පත් විය. අනතුරුව දන්තකුමරු සිය මාමාගේ මරණය අසා බමුණු වෙස් ගෙන, දළදාවද රැගෙන නගරයෙන් පලා ගියේය. ඔහු නගරයෙන් දකුණු දෙසට ගමන් කොට, ඉතා විශාල ගංගාවක් තරණය කොට, වැලි ගොඩක් මැද දළදා වහන්සේ සඟවා, නැවත දන්තපුරයට ගොස් හේමමාලා කුමරියද බමුණු වෙස් ‍ෙගන්වාගෙන ඇයත් සමඟ දළඳා සඟවා තැබූ වැලි දාගැබ පිහිටි ස්ථානයට පැමිණ, දළදා වහන්සේ පුදමින් අසල වන ලැහැබක සැඟවී සිටියේය.

මේ අවස්ථාවේ අහසින් වඩින්නා වූ එක් රහතන් වහන්සේ නමක් වැලි දාගැබෙන් නිකුත් වන රශ්මි ධාරා දැක එහි බැස දළදා වහන්සේට වන්දනා කළේය. මෙය දුටු දන්තකුමරු හා හේමමාලා කුමරිය සතුටට පත්ව තෙරුවන් වහන්සේ සමීපයට පැමිණ, තමන් දෙදෙනා දළදා වහන්සේ රැගෙන ලංකාවට යන තොරතුරු දැන්වීය. එවිට තෙරුන් වහන්සේ ඒ දෙදෙනාට බය නැතිව දළදා වහන්සේ රැගෙන ලක්දිවට යන ලෙසත් ගමන් මගදී කිසියම් උවදුරක් පැමිණිය හොත් තමා සිහි කරන ලෙසත් දැක්වීය. එයින් අතිශය සතුටට පත් අඹුසැමි යුවළ යළිත් වන වදුලෙහි සැඟවුණහ.

මේ අතර ගංගාවෙහි නාග විමානයේ වසන ‘පණ්ඩුහාර’ නම් නා රජ විමානෙන් පිටව ඇවිදින්නේ වැලි දාගැබෙන් රැස් විහිදෙනු දැක එතනැට පැමිණියේය. දළදා වහන්සේ සහිත කරඬුව දුටු නාරජ දළදා පුදා දළදා වහන්සේ සහිත රුවත් කරඬුව ගිල මහත් වූ ශරීර සහිතව මුහුදු පතුල මැද වැදහොත්තේය. හේමමාලා හා දන්තකුමරු ලංකාවට යෑම සඳහා සමුද්‍ර තීරයට යෑමට සූදානම්ව ධාතු කරඬුව ගැනීමට වැලි ගොඩ ළඟට පැමිණි කල්හි එහි සඟවා තිබූ දළදා කරඬුව නොදැක ශෝකයෙන් හඬමින් තෙරුන් වහන්සේ සිහි කළහ. එවිට ඒ මහ රහතන් වහන්සේ එම දෙදෙනාගේ අදහස දැන එහි පැමිණ දම්පතීන්ගේ බස් අසා නා රජ සිටින තැන දිවැසින් බලා මහත් වු ගුරුළු වේශයක් මවාගෙන සමුදුරු ජලය දෙබෑ කරගෙන නා රජු වෙතට ගියේය. එවිට නාරජ නාග වේශය අත්හැර බයින් තැතිගත් සිත් ඇතිව තෙරුන් වහන්සේ දෙපා නැමැද මෙසේ කීය: “බුදුවරු සියලු ජනතාවට හිත වැඩ පිණිස උපදිත්, ධාතු පූජාව ජනයාගේ හිත පිණිස වෙයි. මමද උතුම් සර්වඥ දළදාව පුදා පින් රැස් කර ගැනීම පිණිස එය ගනිමියි’’ කීය. එවිට රහතන් වහන්සේ “සත්‍යවබෝධයට සුදුසු මනුෂ්‍යයන්ගේ වාස භූමිය වූ සිංහල දේශයට දළදාව වැඩම කරවන බව කියා එම ධාතු දෙව’’ යි කී කල්හි නා රජ දළදා වහන්සේ සහිත කරඬුව දුන්නේය. තෙරුවන් වහන්සේ ගුරුළු වේශය අතහැර මහා සාගරයෙන් නැඟී දළදා වහන්සේ ඒ අඹුසැමි යුවළට දුන්හ.

මෙසේ බොහෝ උපකාර කොට එම තෙරුවන් වහන්සේ වැඩිය පසු හේමාමාලාවෝ කොණ්ඩය හිස් මුදුන් කොට බැඳ, කරඬුව එහි සඟවාගෙන සමුද්‍ර තීරයට යෑම සඳහා වන මාර්ගයට පිළිපන්නාහ. වන දේවතාවන් විසින් කරන ලද පූජා ලබමින් එම දේවතාවන් විසින් අනතුරු මඟහරිනු ලද්දේ මඟ දිගට මිනිසුන්ගේ සංග්‍රහ ලබමින් එම දෙදෙනා දිගු මග ගෙවා ‘තාම්‍රලිප්ති’ පටුනට පැමිණියහ.

එහිදී ඔවුහු මහ කුඹයක් හා රුවලක් ඇති ලක්දිවට යන වෙළෙඳුන්ගේ නැවක් දුටහ. ඉක්බිති එම බමුණු වෙස් ගත් දම්පතීන් යුවළ වහා ගොස් නැවියා හමු වී තමන්ට ද ලක්දිවට යෑමට අවශ්‍ය බව දැන්වීය. නැවියා ඔවුන්ගේ මිහිරි වචනයෙන් හා මනා පැවැත්මෙන් සතුටට පත්ව, ඔහු දෙදෙනාද නැවට නංවාගති. එම දෙදෙනා දළදාව රැගෙන නැවට නැඟුණු කල්හි මුහුදු රළ සංසිඳී උතුරු දෙසින් සුළං හැමීය. බලවත් සුළං වේගයෙන් ගමන් ගත් නැව සයුර මැදට පැමිණියේය. රාත්‍රියේදී රළ උස්ව නැඟී මුහුද ඝෝෂා සහිත විය. නැවෙහි වූවෝ බියට පත්ව හඬන්නට පටන් ගත්හ. රාත්‍රිය ඉක්මගොස් හිරු උදා වත්ම කුණාටුව සංසිඳී සමුද්‍රය නිල් මැණික් ඇතිරූ වේදිකාවක් මෙන් දිස් වන්නට විය. එක සමුද්‍රයට අරක්ගත් නාගයෝ දළදා පිදීමට රැස් වූහ. දළදා වහන්්සේ රාජ කුමාරියගේ කෙස් කලඹින් අහසට පැනනැඟී චන්ද්‍රලේඛාවක් සේ රැස් විහිදු වීය. නාගයෝ සාධු නාදයෙන් දළදා පිදූ පසු යළි එම දළදා වහන්සේ අහසින් බැස ඇගේ කෙස් වැටිය තුළට පිවිසියේය. නාගයෝ නැවේ ගමන වළක්වාගෙන සතියක් පමණ මහත් වූ පූජා කළහ. නැවට යෑමට නොදෙන බව දුටු ඒ දම්පතීහු රහතන් වහන්සේ සිහි කළහ. එවිට එම රහතන් වහන්සේ ගුරුළු වෙශක් මවාගෙන පැමිණ නාගයන් පලවා හැරියහ.

එසේ එම බුද්ධපුත්‍රයන් වහන්සේ නාගයන් පලවා හැර බිය දුරු කොට වැඩි කල්හි ඒ නැව එම රහතන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් නිරුපද්‍රිතව ලක්දිව ‘ලංකාපටුන’ නම් ස්ථානයට ගොඩ බටුයේය. ඒ පුවත දාඨාවංසයේ සඳහන් කරන්නේ ‘ලංකාපට්ටන මොතරිත්ථසහසා ථෙරස්ස තස්සිද්ධියා’ යනුවෙනි. ලංකා පටුන වර්තමාන ‘ඉලංගතුරේ මෝත්තුවාර්’ යන ස්ථානයයි. මේ ස්ථානය පිහිටා ඇත්තේ පැරණි කොට්ටියාරම් වරායෙහි දකුණු කෙළවරේය. මෙහි පැරණි විහාරයක නටබුන් තිබිණි. 1980 දී සිරිල් මැතිව් මහතාගේ නැඟෙනහිර පූජා ස්ථාන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ මේ ස්ථානයද ප්‍රතිසංස්කරණය කරන ලදි. පසුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එම ඉදිකිරීම් විනාශ කරනු ලැබීය. යුද ජයග්‍රහණයෙන් පසු නාවික හමුදාව මඟින් ‘සමුද්‍රගිරි විහාරය’ නමින් මේ ස්ථානය අංග සම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත් කර ඇත. මඩකලපුව, ත්‍රිකුණාමල මාර්ගයේ වෙරුගල් අසල සිට ලංකාපටුනට මාර්ගය සාදා පාලමක්ද ඉදි කොට මාර්ග පහසුව සලසා තිබේ.

ලංකාපටුනට ගොඩබට හේමමාලා හා දන්ත කුමරු එහි දේවාලයක රාත්‍රිය ගත කළහ. ඒ දේවාලයේ සිටි බමුණු උතුමෙක් මේ දෙපළට ආහාරපානාදියෙන් සංග්‍රහ කොට, අනුරාධපුරයට යන මාර්ගය පෙන්නා දුන්නේය. අනතුරුව ඒ යුවළ ඉතා දුර මාර්ගය ගෙවා අනුරාධපුර සමීපයේ ගමකට පැමිණියහ. එහිදී ඔවුන්ට දැනගැනීමට ලැබුණේ ඔවුන් බලාපොරොත්තුව පැමිණි මහසෙන් රජ මිය ගොස් කලක් ගත වී ඇති බවය. එයින් මහත් ශෝකයට පත් එම දෙදෙනාම ඒ වන විට රජ වී සිටින ‘කිත්සිරිමෙවන්’ රජතුමාද මහත් භක්තියෙන් රත්නත්‍රය සරණ යන රජකු බව දැනගැනීමට ලැබී සැනසීමට පත් විය.

අනතුරුව ඔවුන් සිටි අසල ‘මේඝගිරි’ විහාරයේ භික්ෂූන් වහන්සේ රජතුමා සමඟ ඉතා සමීපව කටයුතු කරන බව අසා එහි ගොස්, එම භික්ෂුවට දළදා පුවත කීහ. එම භික්ෂුව දළදා වැඩමවීම පිළිබඳ පුවත අසා මහත් සතුටට පත්ව වියනින් සරසන ලද තම පන්සලට දළදා වහන්සේ වැඩම කරවීය. එම හිමියෝ හේමමාලා හා දන්ත කුමරුට මහත් සංග්‍රහ කොට රජතුමා වෙත දළදා පුවත දැන්වීමට භික්ෂූන් වහන්සේ නමක් යැවීය. උයන්කෙළි ගොස් සිටි රජතුමා ප්‍රීතිමත් මුහුණු ඇති එම භික්ෂූන් වහන්සේ දැක කරුණු විමසූ විට උන් වහන්සේ දළදා පුවත කීහ. එය අසා රජතුමා සත්රුවන් ලද්දාක් මෙන් මහත් සතුටට පත්ව, මහසෙනඟ සමඟ මේඝගිරි විහාරයට පයින්ම ගියේය.

එහි ගොස් සර්වඥ දළදා වහන්සේ දැක මහත් වූ සතුටට පැමිණ, ‘මා ඔටුනු පලන් සිරස පිදුවත් එය සුදුසු පූජාවක් නොවේ’ යයි සිතා ලංකා රාජ්‍යයෙන්ම දළදා වහන්සේට පූජා කළේය. මේ අවස්ථාවේ ත්‍රිපිටකධාරි භික්ෂූන්ද තෙරුවන් සරණ ගිය මහත් වූ ජනකායක්ද එහි රැස් වූහ.

එකෙනෙහි දළදා වහන්සේ පියාපත් විහිද යන රාජ හංසියක මෙන් අහසෙහි දක්ෂිණාවෘතව මඳ වේලාවක් ගමන් කළේය. එවිට රජතුමා සිය ආසනයෙහි සුදු ඇතිරියක් අතුරවා දළදා වහන්සේට එහි වැඩ සිටීමට ආරාධනා කළ කල්හි දළදා වහන්සේ එහි වැඩ සිටියහ. පසුව රජතුමා මහත්සේ පූජා කොට සමන් මල් සමූහයකින් දළදා වහන්සේ වැසීය. දළදා වහන්සේ මල් ගොඩ උඩට නැඟී රිසි සේ සුදු රැස් විහිදුවමින් වැඩ සිටියේය. නැවතත් දළදා වහන්සේ පරීක්ෂා කරනු කැමති වූ රජතුමා මාහැඟි සළු සිය ගණනකින් දළදා වහන්සේ වැසීය. එවිට දළදා වහන්සේ වලාගැබෙන් නිකුත් වන සඳ මඬලක් සේ ඒ සළු බිඳගෙන උඩට නැගී සේක. සුදු රශ්මියෙන් හාත්පස බැබළුණේය. මේ අවස්ථාවේ මහපොළොව කම්පා විය; දිව මල් අහසින් වැටිණි. දිව්‍යාංගනාවක් මිනිසුන්ට පෙනෙන සේ නැටීය. වැසි වැටුණේය. විදුලියෙන් දිසා ආලෝකවත් විය.

මේ ආශ්චර්යය දුටු රජතුමාද වැසියෝද දළදා වහන්සේට මහත් සේ පූජා කළහ. අනතුරුව රජතුමා දළදා වහන්සේ හිස මත තබාගෙන සුදු අසුන් යෙදූ රියක නැඟී අනුරාධපුරයට පැමිණියහ. පැමිණ, සිය සිංහාසනයේ දළදා වහන්සේ තබා පුද පූජා කළේය. ඉතා ඉක්මනින් ඇතුළු නුවර දළදා මන්දිරයක් ඉදි කොට, දළදා වහන්සේ එහි වඩා හිඳුවා, දිවා රාත්‍රී පුද පූජා කිරීමට විධිවිධාන යෙදීය. එසේම දළදා වඩමවාගෙන පැමිණ හේමමාලා හා දන්ත යුවළට නොයෙක් රන්රුවන් ආදියෙන් ත්‍යාග පිරිනමා, කුලවතුන්ට වාසයට සුදුසු ‘කීරවැල්ල’ නම් ගම්වරය ප්‍රදානය කළේය. පසුව සිරිලක ප්‍රකට වූ කීරවැල්ල රජ පරපුර මේ දම්පතීන්ගෙන් පැවෙත ආ බව පිළිගැනීමයි.

දළදා වහන්සේ දැකගැනීමට නොහැකිවූ අනුරාධපුර වැසියෝ දළදා වහන්සේ දැකගැනීමට අවශ්‍ය යයි කෝලාහල කරන්නට වන්හ. අනතුරුව රජතුමා භික්ෂූන් සමඟ සාකච්ඡා කොට දළදා වහන්සේ මිහිඳු හිමි අනුරාධපුරයට වැඩම කළ ප්‍රථම අවස්ථාවේ දහම් දේශනා කළ නන්දන උද්‍යානයේ ‘ධම්ම චක්ක ගේහි’ ප්‍රථම මහජන දළදා ප්‍රදර්ශනය පැවැත්වීය.

එයින් පසු රජතුමා දළදා පූජාවක් පවත්වා, දළදා වහන්සේ යළිත් ඇතුළු නුවරට වැඩමවීය. එසේම රජතුමා මෙයින් මතු සියලු රජ දරුවන් දළදා වහන්සේ වසරක් පාසා අභයගිරියට වැඩමවා, නව ලක්ෂයක් වියදමින් දළදා පූජාවක් හා ප්‍රදර්ශනයක් කළ යුතුයැයි ලේඛනයක් පිහිටුවීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division