Home » ඇහැලේපොළගේ රන් ඔරලෝසුව ජේ.ආර්.ගේ මීමුත්තා වංචා කරලා

ඇහැලේපොළගේ රන් ඔරලෝසුව ජේ.ආර්.ගේ මීමුත්තා වංචා කරලා

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
උදේනි සමන් කුමාර

– රන් ඔරලෝසුව ජයවර්ධන පරම්පරාවට අයිති දෙයක් නොවේ
– ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තෑගි දුන්නු කතාව බොරු
– ජාතික කෞතුකාගාරයේ තිබෙන සඳහනත් වැරදියි
– දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි මුදිලි ඇහැලේපොළගෙන් වංචා කරලා

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා වන කොල්ලුපිටියේ කර්නල් ටී.ජී. ජයවර්ධන විසින් 1948දී කොළඹ ජාතික කෞතුකාගාරයට රන් ඔරලෝසුවක් පරිත්‍යාග කර තිබේ. ඔරලෝසුව පරිත්‍යාග කරමින් ඔහු භාර දුන් ලේඛනයේ සඳහන් කර තිබෙන්නේ මේ සාක්කුවේ ගෙනයන ඔරලෝසුව තම පරම්පරාවේ මීමුත්තා කෙනකු වූ දොන් ඒඩ්‍රියන් ජයවර්ධනට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් 1815දී තෑගි දෙන ලදුව තම පරම්පරාවට අයත්ව තිබූ බවයි.

කොළඹ ජාතික කෞතුකාගාරයේ සිංහලයේ අවසන් රජු සඳහා වෙන් වූ විශේෂ මැදිරියක මේ ඔරලෝසුව ප්‍රදර්ශනයට තබා තිබේ. නරඹන්නන්ගේ දැනුවත් වීම සඳහා ඒ පිළිබඳ විස්තර දක්වා ඇති සටහනේ මෙසේ දැක්වේ:

‘ඕලන්ද රජු විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට තෑගි කරන ලද මෙම රන් ඔරලෝසුවෙහි ඉලක්කම් සිංහල ක්‍රමයට දක්වා ඇත. තමන්ට කරුණාව දැක්වීම නිසා මෙය රජු විසින් විජේසිංහ ජයවර්ධන මුදලිතුමාට තෑගි කරන ලද්දකි.’

අවුරුදු ගණනාවකට පෙර මේ සටහන දුටු ප්‍රථම අවස්ථාවේම මා තුළ කුකුසක් හට ගැනිණි. ඊට හේතුව: අප ඉගෙනගෙන ඇති ඉතිහාසයට අනුව දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි මුදියන්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දී සිංහලයේ අවසන් රාජධානිය බිඳදැමීමට කරන ලද කුමන්ත්‍රණයේ මුල් පෙළේ චරපුරුෂයකු වීමයි. රජු අල්ලා කුදලාගෙන එනු පිණිස උඩුනුවරට ගිය පිරිසේ තම්බි මුදියන්සේද නායකයෙකි.

ඒඩ්‍රියන් ජයවර්ධන හෙවත් තම්බි මුදියන්සේ කිසිදු අවස්ථාවක රාජසිංහ රජුට කරුණාව දැක්වූ බවක් ඉතිහාසයෙන් අපට තොරතුරු සොයා ගත නොහැකිය. ඒ නිසා මෙම ඔරලෝසුව පිටුපස සැබෑව සැඟව ඇති බවට මම සැක කළෙමි. මේ පිළිබඳ කරුණු සොයා වෙහෙසෙන කල මගේ සැකය නිවැරදි බවට කරුණු රැසක් දැනගන්නට ලැබිණි.

මෙයට පෙර විවිධ අවස්ථාවල ඉතිහාස විෂයය පිළිබඳ අදහස් පළ කරන විද්වතුන් මේ සම්බන්ධයෙන් මත ඉදිරිපත් කර ඇති බව සොයාගත හැකි විය. නුවර කෞතුකාගාරයේ කියුරේටර්වරයකු වන සෙනරත් පනාවැන්න 1995 ජූලි 2 දින ‘සන්ඩේ ඔබ්සවර්’ පත්‍රයට මේ පිළිබඳ ලිපියක් ලියා ඇත. එහිදී ඒ මහතා සඳහන් කරන්නේ රන් ඔරලෝසුව තබා ඇති වීදුරු ආවරණය අසල මුලින් තබා තිබූ සටහන පසු කලෙක කෞතුකාගාර පාලනය විසින් වෙනස් කර තිබෙන බවයි. සෙනරත් පනාවැන්න දක්වන අන්දමට ප්‍රථමයෙන් එහි තිබී ඇති සටහන මෙසේය:

‘1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගෙන මහනුවර සිට කොළඹට ගෙනයන ගමනේදී දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන මුදලි විසින් රජතුමන් වෙත දක්වන ලද දයාව කරුණාව නිසා එතුමා තම රන් ඔරලෝසුව යථොක්ත මුදලිවරයාට තෑගි කරන ලදුව, පසුව එය ඔහුගේ මීමුනුපුරකු වන කර්නල් ටී.ජී. ජයවර්ධන විසින් ජාතික කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලදි. මෙම ඔරලෝසුව රජතුමාට ඕලන්දයේ රජුගෙන් ලැබුණු පරිත්‍යාගයක් බවද සඳහන් වේ.’

මුල් සටහන සහ පසු සටහන සංසන්දනාත්මකව බලන කල ප්‍රශ්න කීපයක් මතු වේ. පසුව කළ සටහනෙහි ඇත්තේ ‘කරුණාව දැක්වීම නිසා’ යනුවෙනි. එහිදී මුල් සටහනෙහි වූ ‘දයාව’ යන්න දෙවැනි සටහනින් ගිලිහී ඇත. රාජසිංහ රජුට තම්බි මුදියන්සේ කරුණාව දැක්වූයේ කුමකටද? කොහේදීද? කවර අවස්ථාවකදීද? යන්න අලුත් සටහනෙහි සඳහන් වන්නේ නැත. පැරණි සටහනෙහි ඊට කරුණු කෙටියෙන් දක්වා ඇත. මෙහි බැලූ බැල්මට කිසියම් කාරණයක් සඟවන බව ඉතා පැහැදිලිය.

මේ සටහන් වෙනස් කිරීමේදී කෞතුකාගාර පාලනයද එකී ගැටලුවට මුහුණ දී සිටින්නට ඇතුවාට සැක නැත.

පාඨකයන්ගේ දැනගැනීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් තමාට රන් ඔරලෝසුවක් දුන්නාය කියන ‘දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන’ හෙවත් ‘තම්බි මුදලි’ කවුද යන්න පැහැදිලි කළ යුතුය. හෙතෙම හිටපු ජනාධිපති ජයවර්ධනගේ මීමුත්තා කෙනෙකි. ඔහු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළේ සිට ලංකාවට පැමිණ වෙළෙඳාමේ යෙදුණු මුස්ලිම් වෙළෙන්දෙකි. තරුණ වයසේ වෙළෙඳාමේ යමින් කන්ද උඩරටට සේන්දු වූ ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ රජ මාලිගාවේ කෝකියකු ලෙස රාජ සේවයට සම්බන්ධ වූ අයෙකි.

රජ පවුලේ විශ්වාසය දිනාගනිමින් තනතුරු මාරු කරගනිමින්, මුහන්දිරම් තනතුර දක්වා ඉදිරියට යෑමට ඔහු සමත් විය. එතැන් පටන් හේ ‘තම්බි මුහන්දිරම්’ නම භාවිත කරන අතර, පසුව සිය නම ‘දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන’ නමින් වෙනස් කරගනිමින් කතෝලික ආගමේ බෞතීස්මය ලබා ගනී. ඔහුගේ මුල් පදිංචිය හලාවත වූ අතර, කතෝලිකාගම වැලඳගැනීමත් සමඟ ඔහුගේ ඥාතීහු කොළඹට නුදුරු සේදවත්තේ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වෙති.

ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලනය අල්ලාගත් 1922දී මුදලි තනතුර ලබා ‘තම්බි මුදලි’ බවට පත් වෙයි. එතැන් සිට උඩරට සිංහල කිරීටය බිඳදැමීමට ඉංග්‍රීසීන් සමඟ කුමන්ත්‍රණය කරන ඔහු කන්ද උඩරට රාජධානිය අත්පත් කරගැනීමේදී ඉංග්‍රීසීන්ගේ උඩරට ඒජන්තවරයා වූ ජෝන් ඩොයිලිට සිටි සමීපතම සහායකයා විය. තම්බි මුදලි ඉංග්‍රීසීන් වෙනුවෙන් කැප වූ බව ඩොයිලිගේ දින සටහන්වල සඳහන් වේ. ඊට අමතරව තෙන්නකෝන් විමලානන්ද විසින් එළිදක්වන ලද උඩරට රහස්‍ය ලිපි ලේඛනවලද තම්බි මුදලි ඉංග්‍රීසීන්ට දැක්වූ අනුග්‍රහය පිළිබඳ සඳහන්ව තිබේ.

කොල්ලුපිටියේ කර්නල් ටී.ජී. ජයවර්ධන මාවතේ පදිංචිව සිටි කර්නල් ටී.ජී. ජයවර්ධන තම්බි මුදියන්සේගේ තුන්වැනි පරම්පරාවේ මුනුපුරෙකි.

හෙතෙම ඉහත විස්තරය දක්වමින් එම රන් ඔරලෝසුව කෞතුකාගාරයට භාර දුන්නේ 1948දීය. එකල කෞතුකාගාර අධ්‍යක්ෂ ධුරය හෙබවූයේ පී.ඊ.පී. දැරණියගල මහතාය. හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂවරයකු වූ පී.එච්. සිල්වා මේ ලියුම්කරු සමඟ පැවසුවේ බොහෝ විට යම් කෞතුක වස්තුවක් කෞතුකාගාරයට භාර දෙන තැනැත්තා විසින් දක්වන විස්තරය අනුව සටහන යෙදීම සාමාන්‍ය සිරිත බවයි.

දැන් අපට මතු වන ප්‍රශ්නය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇත්ත වශයෙන්ම එතුමාගේ අත් ඔරලෝසුව තම්බි මුදලිට ප්‍රදානය කළාද යන්නය. තම්බි මුදලිගේ මරණය සිදු වන්නේ 1830 පෙබරවාරි 18 දිනදීය. ඔහුගේ අභාවයෙන් දෙමසකට පසු 1830 අප්‍රේල් මස 15 දින ඉංග්‍රීසි ආණ්ඩුව ඔහු පිළිබඳ ගැසට් පත්‍රයක් පළ කර තිබේ. දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන ඒ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය:

‘1803 ජනවාරි මාසයේ ඉංග්‍රීසි හමුදාව මැක්ඩොවෙල් යටතේ සිංහල රාජධානියට ඇතුළු වීමේදී මාර්ගෝපදේශකයා වූයේද ඒඩ්‍රියන් ජයවර්ධන මුහන්දිරම්ය. 1815දී සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ අණ පරිදි ජයවර්ධන මුදලි සර් ජෝන් ඩොයිලි ප්‍රමුඛ ඉංග්‍රීසි බළඇණියක් සමඟ ගමන් ගත්තේය. රට ගැන ඔහුගේ දැනීම කොතරම්ද යත්: සිංහලේ රජුට පැනයන්නට නොහැකි වන පරිදි බෝමුරේ උඩුපිටියේදී කොටු කර අල්ලා දුන්නේය. ගැලවීමට ඉඩක් නොදී රජුගේ කඩුව අතින් උදුරා ගෙන ඇවිත් ඩොයිලිට බාර කළේය.’

දැන් අපට මතු වන ප්‍රශ්නය කඩුව උදුරාගත් මිනිසාට ඔරලෝසුවක් තෑගි දුන්නාය කියන කතාව පිළිගන්නේ කෙසේද යන්නය. තම්බි මුදලි රජුගේ කඩුව උදුරා ඩොයිලි අතට පත් කිරීමේ සිද්ධිය ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයටම 1911දී සී.ජේ. ස්ටේප්ලස් විසින් ලියන ලද මේජර් ටී.ජී. ජයවර්ධන ජීවන චරිතය පොතේද ,1941දී ඕ.ඊ. මාටින්ස් විසින් ලියන ලද කර්නල් ටී.ජී. ජයවර්ධන චරිතය පොතේද විස්තර කර තිබේ.

එසේ නම් ජාතික කෞතුකාගාරයේ රාජසිංහ ප්‍රදර්ශන කුටියේ දැනට ප්‍රදර්ශනයට තබා ඇති රන් ඔරලෝසුවේ සැබෑ හිමිකරු කවුද? ඒ පිළිබඳ නිවැරදි

තොරතුරු හමුවන්නේ ඇහැලේපොළ නිලමේ විසින් 1826දී එවකට ලංකාණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් වෙත එවන ලද පෙත්සමකිනි. ඇහැළේපොළ නිලමේ 1823දී සිරකරුවකු ලෙස මුරිසියට පිටුවහල් කරන ලද අතර, මේ පෙත්සම යොමු කර තිබුණේ මුරිසියේ සිටය. දැනට මහනුවර කෞතුකාගාරයේ තිබෙන මේ පෙත්සම කියවා සමාජය දැනුවත් කර තිබෙන්නේ සෙනරත් පනාවැන්න මහතා විසිනි.

ඇහැලේපොළ නිලමේ මුරිසියේ සිරගතව සිටිමින් ලංකාවේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාට එවූ පෙත්සමේ සඳහන් වන්නේ මෙසේය:

‘ඇහැලේපොළ වන මා සතුව අත් ඔරලෝසුවක් තිබුණේය. එය පගෝදි 1000කට මා විසින් මිල දී ගත් ඕලන්ද ඔරලෝසුවකි. මා මහනුවර සිටියදී ඔරලෝසුවේ කටු නතර වූ බැවින් අලුත්වැඩියා කරගැනීමට කල්පනා කරන විට අලුත්වැඩියා කර ආපසු දෙන පොරොන්දුව පිට තම්බිමුදලි ඔරලෝසුව ගත්තේය. ඒ අතර මා සිර භාරයට ගෙන 1818 මාර්තු මාසයේ කොළඹට ගෙනාවේය. කොළඹ සිටින කාලයේ ඔරලෝසුව ඉල්ලා කොල්ලුපිටියේ සයිමන් අප්පු අත පණිවිඩයක් යැවූ නමුත් ඔහු එය පසුවට කල් දැමුවේය. ඔරලෝසුව ඉක්මනින් එවන බව පවසා පණිවිඩකරු ආපසු එවුවේය. මම සයිමන් අප්පු සතියකට පසු නැවත පිටත් කෙරුවෙමි. ඒ වර ඔහු ඔරලෝසුව ගැන කිසිදු සඳහනක් නොකර, ඔහුට අයත් පොතක් මා අත ඇති බැවින් ඒ ආපසු එවන ලෙස දන්නවා එවා තිබුණි. ඔහු සඳහන් කරන පොත ස්ථිර ලෙසම මම ඔහුට දී තිබුණි. ඔරලෝසුව අවශ්‍ය නිසා ඒ පොතේ වෙනත් පිටපතක් ඔහු වෙත යවා ඔරලෝසුව ඉල්ලා සිටියෙමි. මෙසේ දින දෙක තුනකින් දෙන්නම් කියා කීවා මිස මට මගේ ඔරලෝසුව ආපසු දුන්නේ නැත.’

කර්නල් ටී.ජී. ජය­ව­ර්ධන

කර්නල් ටී.ජී. ජය­ව­ර්ධන

ඔරලෝසුව හෝ එහි වටිනාකම තම්බි මුදලිගෙන් අය කර දෙන ලෙස ඇහැලේපොළ මේ පෙත්සම මඟින් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර තැන එකී පෙත්සම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සටහනක් යොදා ඇත. එහෙත් පෙත්සම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වූ බවක් දැනගන්නට නැත. කෞතුකාගාරයේ තිබෙන්නේ ඒඩ්‍රියන් ජයවර්ධන තම්බි මුදලි විසින් ඇහැලේපොළගෙන් වංචා කරගන්නා ලදුව දීර්ඝ කාලයක් ජයවර්ධන පරම්පරාව සන්තකයේ තිබී 1948දී ජාතික කෞතුකාගාරයට භාර දුන් රන් ඔරලෝසුව බව මේ අනුව තහවුරු වේ.

සත්‍යය අනාගත පරපුරට දැනගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වා, සත්‍ය සටහනක් ඔරලෝසුව අසල තැබීම ජාතික කෞතුකාගාර පාලන අධිකාරියේ වගකීමකි.

මෙයින් සනාථ වන එක් කරුණක් නම්: අද මෙන්ම එදාද ලොකු මිනිසුන් හොරුන් වූ බවය. ස්වකීය රටත්, ජාතියත්, අඹුදරුවනුත්, සියලු වස්තුවත්, මහාදිකාරම් තනතුරත් අහිමි කරගනිමින් ඇඳිවතට පමණක් සීමා වූ අසරණ ඇහැලේපොළ නිලමේ සිරකරුවකු ලෙස සිටිමින් ඔරලෝසුව ඉල්ලා සිටියේ මන්ද යන්න ප්‍රශ්නයකි. ඇතැම් විට අනෙක් නැති වූ සියල්ල ඔහුගෙන් බලය යොදා උදුරාගත් දේය. ඔරලෝසුව ජයවර්ධනලා පැහැරගත්තේ ඔහු රැවටිල්ලට භාජනය කරමිනි. එවැනි වංචාවකට හසු වීම උඩරට රදළයකු වූ ඇහැලේපොළට දරාගත නොහැකි තරම් මානසික වධයක් වන්නට ඇත. සොරකම් කර ජාතික කෞතුකාගාරයේ තබා ඇති එකම භාණ්ඩය සමහර විට ඇහැලේපොළගේ රන් ඔරලෝසුව වන්නට බැරි නැත. ශ්‍රී ලංකාවේ ප්‍රභූ පෙළැන්තියේ කැත ඉතිහාසය හෙළි වන තවත් එක් අවස්ථාවක් ලෙසද මෙය සැලකිය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division