අන්ධකාරයට හුරු ඇස් ඇත්තවුන් දඩයමෙහි යෙදෙන අතර, අන්ධකාරයට නුහුරු ඇස් ඇත්තවුන් ගොදුරු බවට පත් වීම අන්ධකාරයෙහි සැඟවුණ සත්‍යය වෙයි. යුද්ධයද බලය සඳහා කෙරෙන කැරලිද ආලෝකයට දොරටු විවර නොකරන බවද ඉතිහාසය පුරා සනාථ වූ සත්‍යයකි.
විද්‍යා මන්දිරය ඇත්තේ කොළඹ 7 ලෙස හදුන්වන භූ කලාපය තුළය. මීට වසර 19කට පෙර – එනම්: 2006 දෙසැම්බරයේ දවසක – මේ කොළඹ 7 පිහිටි විද්‍යා මන්දිරයේ පැවති විද්වත් සමුළුවකට සහභාගි වන්නට එන එවකට නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් එදිනෙන් පසු දකින්නට නොලැබෙයි. උදේ වරුවේ පැවති සාකච්ඡා මණ්ඩපය නියෝජනය කළ මහාචාර්යවරයා ඔහුගේ සමකාලීනයන් සමඟ කුලුපගව ගෙවූ හෝරා 2-3 මහාචාර්යවරයාගේ ඔහුගේ ඒ මිතුරන්ගේ මතකයේ ඉතිරිව තිබේ.
උපකුලපති සිවසුබ්‍රමනියම්ට එකී තනතුර අත්හැර යන ලෙස නාඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන තර්ජන වැඩි වෙමින් තිබීම නිසා කොළඹ සිට සිය රාජකාරිය කරගෙන යෑමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ලැබුණ උපදෙස් අනුව ඔහු කෙටි කාලයක් කොළඹ සිට නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන ගොස් ඇත. ඔහු අතුරුදන් වන්නේ ඒ අතරතුරදීය. මේ අතුරුදන් වීම සිදු වන කාලය වන විට එල්ටීටීඊ සංවිධානයේ කැපීපෙනෙන නායකයකු වූ කරුණා අම්මාන් එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්ව සිටියේය. කරුණා අම්මාන් එල්ටීටීඊ සංවිධානයේ නැඟෙනහිර පළාතේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළේය. සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එල්ටීටීඊ සංවිධානයට බඳවාගෙන ඇත්තේද කරුණා අම්මාන් විසිනි. පිල්ලෙයාන් එවකට ළමා සොල්දාදුවෙකි.
රනිල් වික්‍රමසිංහ යුද්ධය වෙනුවට සාමය පිළිබඳ වැඩි විශ්වාසයක් තැබූ දේශපාලන නායකයකු ලෙස සැලකෙන අතර, සාම සාකච්ඡා සඳහා අන්තර්ජාතික සහාය ගැනීමට ඔහු කටයුතු කළේය. කරුණා එල්ටීටීඊයෙන් වෙන් වන්නේ රනිල්ගේ සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය. කරුණා සමඟ පිල්ලෙයාන්ද එල්ටීටීඊයෙන් වෙන් වන අතර, එය පසු කලෙක යුදමය වශයෙන් එල්ටීටීඊය පරාජය කිරීමට වාසිදායක වු ප්‍රබල සාධකයක් ලෙස සැලකෙන කාරණයක් විය. ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහ සමඟ දැඩි කෝපයෙන් සිටි බවත්, පසු කලෙක කරුණා අම්මාන් මාධ්‍යට කියා තිබිණි. රනිල් අන්තර්ජාතික දැලක් එළා තම සංවිධානය බිඳදැමීමට උපායමාර්ගයක් ලෙස සාම සාකච්ඡා යොදා ගන්නා බව ප්‍රභාකරන්ගේ මතය වූ බව කරුණා අම්මාන් පසු කලෙක මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වුවද එකට අත්වැල් ගෙන කැලයෙන් එළියට ආ කරුණා සහ ඔහුගේ ගෝලයා වූ පිල්ලෙයාන් අතරද මත ගැටුම් ඇති වන්නට එතරම් කාලයක් ගත වන්නේ නැත. 2007දී කරුණාගේ නායකත්වය යටතේ හැදුණු ටීඑම්වීපී පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් පිල්ලෙයාන් නායකත්වයට පත් වෙයි. කරුණා අම්මාන් ඝාතනය කිරීමට පවා පිල්ලෙයාන්ගේ සැලසුමක් තිබූ බව පසුව කියවිණි.
ප්‍රජාතන්ත්‍රවාදී මඟට පිවිසීම හෙවත් මැතිවරණවලට ඉදිරිපත් වීමට කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් තීරණය කිරීමෙන් පසු ඔවුන් තෝරාගන්නේ රාජපක්ෂ දේශපාලන කඳවුරයි.
නැඟෙනහිර පළාත් පාලන ඡන්දය ඔවුන්ගේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීමේ මෙහෙයුම විය. පසුව නියෝජ්‍ය ඇමැතිකම්, ඇමැතිකම් මෙන්ම මහඇමැති තනතුරද කලෙක ත්‍රස්තවාදීන් වූ මේ දෙදෙනාට හිමි වෙයි.
අවි අත දරා දීර්ඝ කාලයක් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදුණු නායකයන් දෙදනකු, වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට මනස මෙන්ම කයත් පුහුණු කරගෙන සිටි තරුණ නායකයන් දෙදෙනකු සහ ඔවුන්ගේ අනුගාමිකයන් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තැබීම සැලකිය යුතු වන්නේ සතුටු විය යුතු කාරණයක් ලෙසය. කෙසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනයේ යෙදීමට ගත් තීරණය පවා ඔවුන්ගේ මරණ සහතිකය ලියවාගත් කාරණයක් විය.
දේශපාලන අරමුණු වෙනුවෙන් අවි ගැනීම, තමන්ගේ එකී මතයට විරුද්ධ වීම නිසාම අනෙකා ඝාතනයට ලක් වීම අපේ ඉතිහාසය පුරා සිදුව ඇත.
උතුරේ මෙන්ම දකුණේද මේ අඳුරු සමයන්හිදී උගතුන්, කලාකරුවන්, පූජකවරුන් මෙන්ම මාධ්‍යවේදීන්ද ඝාතනයට ලක්ව ඇත. ඒ හැම ඝාතනයක් පිටුපසම ඇත්තේ දේශපාලනික අරමුණක් නොවේය යන්නද බැහැර කළ යුතු නොවන සත්‍යක් බව උතුරු දකුණු වර්ගීකරණයකින් තොරව අතීතය අපට කියා දෙයි. අතිශය පෞද්ගලික කාරණාද ඇතැම් ඝාතනවලට හේතුව බව හෙළි වන්නේ බොහෝ කාලයකට පසුවය.
යුක්තිය, නීතිය, සාධාරණත්වය අඳුරු අවකාශයක පවතින්නේ සියල්ලට පහළින් අපැහැදිලි තැනකය. ඉකුත් දශක කිහිපය පුරා ලංකා භූමියට අරක් ගෙන තිබූ අඳුර යට සිදු වූ ඛේදනීය සිදුවීම්, බොහෝය. කාලයට ඉඩ දී වැළලුණ සිදුවීම්ද බොහෝය.
ළමා සොල්දාදුවකු ලෙස තම වර්ගයාට සිදු වූ අසාධාරණයන් අයුක්තිසහගත සැලකීම්වලට විරුද්ධව අවි අතට ගත් සිවනේශන් අද රහස් පොලීසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ ඔහු ත්‍රස්තවාදි සංවිධානයක සාමාජිකයකු ලෙස සිටියදී සිදු වූ දෙයක් ගැන නොවේ. කැලයෙන් එළියට ඇවිත් සුදු ඇඳගත් පසු සිදුවීමක් ගැනය.
ධවල පැහැයට යටින්ද තුවක්කු මතු වීමේ සම්භාවිතාව ගැන අදහසක්ද සමාජයට ලැබීම වැදගත්ය.
පළි ගැනීම් මෙන්ම පාවා දීම්ද ඕනෑම සටන් බිමකදී මෙන්ම සුදු පරෙවියන් සරන කාලයක වුවද අපේක්ෂා කළ යුතුය. එය නොනවතින සනාතන දහමක් බඳුය.