Home » ටියුෂන් නියාමනයක් අත්‍යවශ්‍යයි

ටියුෂන් නියාමනයක් අත්‍යවශ්‍යයි

රාත්‍රී 12.00ටත් ටියුෂන් පන්ති පටන් ගන්නවා

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

– ඇතැම් ගුරුවරුන්ට කිසිම සුදුසුකමක් නැහැ
– කෝටි 21,000ක ආදායමෙන් කිසිම බදු මුදලක් ලැබෙන්නේ නැහැ

මෙරට සාමාන්‍ය ආදායමක් ලබන ජනතාව පවා රජයට බදු ගෙවිය යුතු තත්ත්වයක අතිවිශාල මුදලක් බදු දැලින් රිංගා යමින් ඇත්තේ අප කාගෙත් ඇස් පනාපිටමය. එයට ස්ථිර විසඳුමක් මේ දක්වා දෙන්නට කිසිදු රජයක් කටයුතු කළේ නැත. පිරිසක් වසරකට රුපියල් කෝටි 21,000ක් හෙවත් රුපියල් බිලියන 210ක අතිවිශාල මුදලක් මෙසේ කිසිදු බදු ක්‍රමයකට යටත් නොවී ආදායම් ලෙස ඍජුවම උපයාගනිති. ඒ උපකාරක පන්ති ගුරුවරුන් හෙවත් ‘ටියුෂන්’ ක්ෂේත්‍රයෙනි. රජයට බදු ආදායම් නොලැබෙන්නාක් මෙන්ම මේ ක්ෂේත්‍රය නිසි ලෙස නියාමනය නොවීම නිසා සිදුව ඇති සමාජ ව්‍යසනයද අතිවිශාලය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ සිළුමිණ සමඟ මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සකසා ඇත.

ශ්‍රී ලංකාව පුරා මේ වන විට නොපෙනෙන විශාල ගැටලු රැසක් ඇති කරන්නට උපකාරක පන්ති ක්ෂේත්‍රය හෙවත් ටියුෂන් පන්ති සමත්ව තිබේ. පාසල් අධ්‍යාපනයෙන් පමණක් මෙරට අධ්‍යාපනය ඉහළ නැංවිය නොහැකිද? හතු පිපෙන්නාක් මෙන් මෙරට මෙතරම් උපකාරක පන්ති බිහි වන්නේ ඇයි? ඒ ගැන විමසුම් ඇසින් සොයා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාසල් 10,096ක් ඇති අතර, එයින් ජාතික පාසල් 396ක් හා පළාත් සභා පාසල් 9,700කි. එම පාසල්හි සිසු දරුදැරියෝ 3,882,688ක් ඉගෙනුම ලබති. ගුරුවරුද 237,787ක් පමණ එහි ඉගැන්වීමේ නිරතව සිටිති. මේ පාසල් අතර සිසුන් 1-50ත් අතර සිටින පාසල් 1,506කි; සිසුන් 51-100ත් අතර සිටින පාසල් 1,638කි; සිසුන් 101-200ත් අතර සිටින පාසල් සංඛ්‍යාව 2,128කි.

මෙරට අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ මෙවන් වපසරියකය. එහෙත් සාමාන්‍යයෙන් නිසි ඵලදායිතාවක් සහිත පාසලක් පවත්වාගෙන යෑමට නම් අවම වශයෙන් සිසු සිසුවියන් 200ක් වත් ඒ පාසලේ ඉගෙනුම ලැබිය යුතුය. එසේ වුව හොත් සිසුන් හා ගුරුවරුන් අතර මනා සබඳතාවක් ඇති වන අතර, පාසලේ කාර්යයන් සියල්ලද ඉතා හොඳින් සිදු කළ හැකි වනු ඇත.

මේ අතර, පාසල්වල ආචාර්යවරුන්ට පාසල්වල ඉගැන්වීම් කටයුතුවලට අමතරව වාර්තා තැබීම් ඇතුළු වෙනත් වැඩකටයුතු රැසක්ද පැවරී තිබේ. එවන් තත්ත්වයක් යටතේ පාසල් ගුරුවරයාට දරුවන් කෙරෙහි අධ්‍යාපනයෙන් දැක්විය හැකි අවධානය යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ. එවන් වටාපිටාවක සිසුන්ගේ පාසල් පැමිණෙන දින ගණනද අඩු වී තිබේ. එයට ප්‍රධානතම හේතුව පෙර මෙන් නොව වර්තමානය වන විට දරුවකු පාසලට යැවීමට මවුපියන්ට ඒ වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් යොමු කළ යුතු වීමයි. එමෙන්ම එහිදී මුදල් හා මුදල් නොවන කැප කිරීම් සිදු කළ යුතුය. ප්‍රවාහනයට, අමතර ආහාර පානවලට මෙන්ම තවත් දේ වෙනුවෙන් මුදල් වැය කළ යුතු අතර ඇතැම් විට තම දුව හෝ පුතා පාසලට රැගෙන යෑමට හා පාසලෙන් රැගෙන ඒමටත් කටයුතු කළ යුතු තත්ත්වයක් ඇත. ඒ සඳහා පාසල් වෑන් රථ හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් යොදා නොගන්නේ නම් මව, පියා හෝ වෙනත් අයකු ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුය.

එසේ පාසල් දූදරුවන් වෙනුවෙන් මුදල් හා මුදල්මය නොවන දේ කැප කිරීමෙන් අවශ්‍ය ප්‍රතිඵලය ඔවුන්ට ලැබෙන්නේද යන්න ගැන ඔවුන්ටම ගැටලුවක් මතු වනු ඇත. එවන් පසුබිමක දූදරුවන් පාසල් වෙත යොමු කිරීම අඩු කර, ඒ වෙනුවෙන් අමතර පන්ති හෙවත් ටියුෂන් කරා යොමු කරන්නට මවුපියන් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත.

ඒ එක් පැතිකඩකි. මෙහි අනෙක් පැතිකඩ වන්නේ තරග විභාගයන්ය. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නිසා දූ දරුවන් ළමා චර්යාවෙන් දුරස්ව ගුණදහමින් හා දැනුමින් තොරව කටපාඩමින් තරග විභාග ජය ගැනීමේ ඉලක්ක කරා යොමුව ඇත.

එහිදී සමාජයට බිහි වන්නේ කටපාඩම් දැනුම සහිත දරුවකු මිස, අත්දැකීම් සහිත ගුණගරුක පුරවැසියෙක් නොවේ. යමක් සිතා මතා කරන්නට හැකි අයකු බිහි වීම ක්‍රමයෙන් ඈත්ව ගොස් ඇත.

මේ කරුණුද සමඟ ජනප්‍රිය පාසල් යන සංකල්පයක් බිහිව ඇත. මේ නිසා ටියුෂන් අධ්‍යාපනය ක්‍රමයෙන් වර්ධනය වී ගොස් මේ වන විට උච්චතම තත්ත්වයට පත්ව තිබේ.

මේ වන විට සතියක් තුළ උසස් පෙළ පාසල් යන දූදරුවන්ට වඩා එම සතිය ටියුෂන් යන උසස් පෙළ දූදරුවන්ගේ සංඛ්‍යාව වැඩි බව පැහැදිලිය. විශේෂයෙන්ම, විභාග ආසන්න වන විට පාසල් දරුවන් පාසල් නොයන තත්ත්වයක්ම මේ වන විට උදා වී තිබේ.

එසේම මේ උපකාරක පන්ති හෙවත් ටියුෂන් පන්ති පවත්වන වේලාවන් සම්බන්ධයෙන්ද විශාල සමාජ ගැටලුවක් මතුව ඇත. ඇතැම් ඉගැන්වීම් සිදු කරනු ලබන අය කිසිදු පුහුණුවක් ලැබූ අය නොවේ.

එමෙන්ම රාත්‍රී 1.00ට පමණද ඇතැම් ප්‍රසිද්ධ තැන්හි මේ පන්ති පැවැත්වීම සිදු කරනු දැකිය හැකිය. ළමා මනසට පමණක් නොව ඕනෑම අයකුට දැනුම ලබා දෙන ලබාගත හැකි වේලාවක් තිබේ. මහ රාත්‍රියේ සිදු කරනු ලබන මෙවන් පන්ති තුළින් ලැබෙන්නේ දැනුමක් නොව කටපාඩමින් විභාගයට මුහුණ දීමට අවස්ථාව උදා කරදීමක් පමණි. එයින් අදාළ විෂයය පිළිබඳ හෝ නිසි දැනුමක් ලබාගත නොහැකිය.

ළමා මනස දියුණු කළ හැකි ක්‍රමවේද මොනවාදැයි යන්න ගැන අතිරේක උපකාරක පන්ති කරනු ලබන ගුරුවරුන්ට අවබෝධයක් නැත. එවැනි අවබෝධයක් තිබුණා නම් කිසිසේත්ම රාත්‍රී 12.00ට උපකාරක පන්ති පවත්වන්නේ නැත.

එම තත්ත්වයට හුරු වන සිසුවා ආත්මාර්ථකාමි කටපාඩමට පමණක් දැනුම ලබාගත් අයකු පමණක් වනු ඇත. ඒ හරහා කිසිදු ලෙසකින් සමාජයකට රටකට ඉදිරියට යා නොහැකිය.

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍ය­යන අංශයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය 
වසන්ත අතු­කෝ­රළ

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍ය­යන අංශයේ අධ්‍යක්ෂ,
ආර්ථික විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය
වසන්ත අතු­කෝ­රළ

එමෙන්ම මේ ටියුෂන් කතාවේ තවත් පැතිකඩක්ද ඇත. ඒ ආදායම් අධික ලෙස ලබා ගැනීමය. මේ වන විට සමස්ත දිවයිනේම ටියුෂන් ආදායම වසරකට රුපියල් බිලියන 210ක් හෙවත් රුපියල් කෝටි 21,000ක් ඉක්මවා උපයනු ඇත.

එහිදී 3,4,5 ශ්‍රේණි සිසුන්ගෙන් 75%කට වැඩි පිරිසක් උපකාරක පන්ති කරා යොමු වන බව තහවුරු වී තිබේ.

සංඛ්‍යාත්මකව එම සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවනු ඇත. එක් දරුවකුගෙන් සාමාන්‍යයෙන් රුපියල් 4,000ක් ඉක්මවා ගාස්තු අය කරනු ලැබේ. එයින් වසරකට ටියුෂන් ගුරුවරුන් විසින් උපයා ගන්නා ආදායම රුපියල් බිලියන 35 ඉක්මවනු ඇත.

ඒ අනුව මවුපියන්ට මීට අමතරව ප්‍රවාහන මෙන්ම අමතර ආහාරත් අමතර කැප කිරීම් කරන්නට සිදුවීමත් නිසා සමාජය අතිශය කාර්යබහුල වී තිබේ. එමෙන්ම 10 හා 11 සිසුන්ගෙන් 80%ක් පමණ උපකාරක පන්ති කරා යොමු වන අතර, එම පිරිස ලක්ෂ හයහමාරක් පමණ වේ. එක් සිසුවකු සාමාන්‍ය වශයෙන් රුපියල් 15,000ක් පමණ මේ වෙනුවෙන් වැය කළ යුතු වේ. ඒ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 94ක් පමණ ටියුෂන් ආදායමක් හිමි වනු ඇත

එසේම උසස් පෙළ විභාග වෙනුවෙන් ද 80%කට වැඩි පිරිසක් ටියුෂන් පන්ති කරා යොමු වන අතර, ලක්ෂ 4කට වැඩි සිසු පිරිසක් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 80ක් පමණ වැය කරති. මේ ශ්‍රේණිවලට අමතරව සෙසු ශ්‍රේණිවල සිසු සිසුවියන් විසින්ද අමතර උපකාරක පන්ති සඳහා ගෙවනු ලබන මුදල් සලකා බැලූ විට වාර්ෂිකව රුපියල් කෝටි 21,000 ඉක්මවා ටියුෂන් වෙනුවෙන් වැය කළ යුතු වේ.

එසේම නාගරිකව පවත්වනු ලබන Group Class හා Individual Class මෙහිදී සැලකිල්ලට ගෙන නැත. එම පන්තිද සැලකිල්ලට ගත හොත් මේ මුදල් ප්‍රමාණය තවත් බොහෝ ලෙස වැඩි වනු ඇත.

එමෙන්ම අතිරේක පන්ති කෙරෙහි සිසු දරුවන් වැඩිදුරටත් ඇදී යෑමට තවත් හේතුවක්ව ඇත්තේ පාසල තුළදී දුර්වල ළමයින්ට වඩා දක්ෂ දරුවන් කෙරෙහි ගුරුවරුන්, විදුහල්පතිවරුන් වඩා ඇලුම් කිරීමයි. ග්‍රාමීය වශයෙන් ඇතැම් පළාත්වල පස්වරුවේ අමතර පන්ති නොමිලේ පවත්වා දුර්වල සිසුන්ට උගැන්වීම් කරනු ලබන පාසල් ආචාර්යවරුන් සිටියත් සමස්තයක් ලෙස දුර්වල සිසුන් කෙරෙහි බොහෝ පාසල්වල අවධානය අඩුවෙන් යොමු වන නිසා උපකාරක පන්ති කෙරෙහි යොමු වීම මෙලෙස වැඩි වී තිබේ. එසේම පෙර සඳහන් කළ පාසල් ගුරුවරුන්ට විෂය බාහිර කටයුතු වැඩිවීමත් අමතර පන්ති කරා සිසුන් යොමු වීමට බලපා තිබේ.

එසේම මේ වන විට නිසි පුහුණුවක් පාසල් ගුරුවරුන්ට නොලැබීමත් පාසලෙන් පමණක් අධ්‍යාපනය ලැබීම මදි වීමට හේතුවක්ව තිබේ.

මීට අමතරට විවිධ වෘත්තීය සමිති විසින් පාසල් ගුරුවරුන්ට තම වෘත්තිය තෘප්තිමත් වෘත්තියක් නොවන බවත් වැටුප් ගැටලු ඇති බව පෙන්වා ඔවුන් කලකිරීමට පත් කිරීම නිසාද අධ්‍යාපන කටයුතු නිසි ලෙස ඉටු නොවීමෙන් ටියුෂන් වර්ධනය වීමට හේතුවක් වී ඇත. ලෝකයේ අනෙක් රටවල පාසල් ගුරුවරුන් මහමඟ විරෝධතා කිරීමක් අපට දක්නට නැත. එවන් සිදුවීම් දකින් දූදරුවන්ද යන්නේ ඒ මඟමය. පාසල් දරුවකු යනු අධ්‍යාපනයම පමණක් ලබන්නකු බව මේ වන විට ඇතැම් දරුවන් තුළ පැලපදියම් වී ඇත්තේ මේ කරුණු නිසාය.

උපකාරක පන්ති නිසා ඇතිව තිබෙන තවත් අර්බුදයක් වන්නේ ජන ජීවිත පවා අවුල් වීමය. මේ වන විට නගරාශ්‍රිතව විශේෂයෙන්ම පෙන්වා දෙන්නේ නම් මහනුවර නගරයේ ඇතැම් තැන්හි රාත්‍රී 12.00ට ආරම්භ වන උසස් පෙළ පන්ති දක්නට තිබේ.

මෙවන් තත්ත්වයක් යටතේ ඔවුන් රැගෙන යෑමට මවුපියන් මහ රාත්‍රියේ මංමාවත් තුළ සැරිසැරීම නිසා ඔවුන්ගේ අනෙක් ජීවන කටයුතුවලට පවා බාධා පැමිණේ. නිවෙසේ අනෙක් දූදරුවන්ගේ කටයුතු පවා නිසි ලෙස සිදු නොවන අතර, පවුලේ ඒකාබද්ධතාවන්ද නිසි ලෙස ක්‍රියාත්මක නොවී යාන්ත්‍රික දූදරුවන් බිහි වන තැනක් බවට පත්ව තිබේ.

මෙරට පවත්වන උපකාරක පන්ති පිළිබඳ කිසිදු දත්තයක් කිසිදු ආයතනයක පද්ධතිගත වී නැත. පන්ති සංඛ්‍යාව, ආචාර්යවරුන් සංඛ්‍යාව හෝ ඒවා පවත්වන ස්ථාන පිළිබඳව හෝ කිසිදු තොරතුරක් නැත.

මේ තත්ත්වය නිසා උපකාරක පන්ති හෙවත් ටියුෂන් පන්ති නියාමනය කිරීම අත්‍යවශ්‍ය කාර්යයකි. ගුරුවරයකු සතු විය යුතු ලක්ෂණ රාශියක් ඇත. මේ නිසා නිසි පුහුණුවකින් හෙබි ආචාර්යවරුන්ට පමණක් එම කාර්යයන් සිදු කිරීමට අවසර දිය යුතුය.

එනිසා ‍මේ වන විට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට මේ සියලු කරුණු යොමු කර ඇත. අනිවාර්යයෙන්ම උපකාරක පන්ති නියාමනයක් සිදු විය යුතුය. මේ නිසා දැඩි ප්‍රතිසංස්කරණයන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු විය යුතුය.

යම් කරුණක් තවත් අයකුට කියා දීමට ඕනෑම අයකුට හැකියාව තිබේ. එහෙත් ගුරුවරයකු වීමට සැමට හැකියාවක් නැත. මේ නිසා උපකාරක පන්ති නියාමනය අවශ්‍ය වන්නේ ප්‍රමිතිගත අධ්‍යාපන රටාවක් ඇති කරලීමට පමණක් නොව, සමස්ත සමාජයම නිසි මඟට ගැනීමට බව පෙන්වා දිය යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division