Home » පාස්කු මංගල්‍යය අරුත් ගන්වන නාට්‍ය හා ගී සම්ප්‍රදාය

පාස්කු මංගල්‍යය අරුත් ගන්වන නාට්‍ය හා ගී සම්ප්‍රදාය

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
රුක්මාල් සිල්වා

ලොව පුරා කිතුනුවෝ පාස්කු මංගල්‍යය දා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථානය වීම මහත් බැතියෙන් සමරති. කිතුනු ජනතාවගේ අරමුණ වන්නේ සිය ජීවිත තුළින් කිතු සමිඳාණන් පිළිබිඹු කිරීමය. එනිසාම ඔවුහු කිතු සමිඳණන්ගේ චරිතයේ ප්‍රධාන සිද්ධි ස්මරණය කරමින් උන් වහන්සේගේ ජීවිතයේ ප්‍රායෝගික කරුණු සිය ජීවිත තුළට උකහාගැනීමට උත්සාහ දරති.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන සිදුවීම් අතර උන්වහන්සේගේ උපත, මරණය හා උත්ථානය වන අතර, ආගමන කාලයේදී ක්‍රිස්තෝප්ති මංගල්‍යයටත් චතාරික කාලයේදී ක්‍රිස්තුතුමන්ගේ දුක් ප්‍රාප්තියටත් සූදානම් වීම සහ ස්මරණය කිරීම සිදු කරති.

ලොව පුරා කතෝලික බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත මරණය හා උත්ථානය පිළිබඳ කරන සිහිපත් කිරීම්වලදී ඒවා නාට්‍යානුසාරයෙන් හෝ ගීතමය වශයෙන් ඉදිරිපත් කිරීමට පුරුදුව සිටී. විශේෂයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම හා මරණය සැමරෙන පාස්කු සමයේදී පාස්කු නාට්‍ය හා පසම් ගායනාවලට මුල්තැන දීම ප්‍රධාන වශයෙන්ම සිදු කෙරේ.

ලංකාවේ පාස්කු නාට්‍ය පෙන්වීමේ ආරම්භය වර්ෂ 1687 තරම් ඈත අතීතයට දිව යයි. එය ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට මෙරටට පැමිණි වන්දනීය ජුසේ වාස් පියතුමන් විසින් සිදු කරනු ලැබීය. එතුමාගේ කාලයේදී ගෝවේහි ජේසු නිකායික පියවරුන් රූකඩ පාස්කු නාට්‍ය ආශ්‍රයෙන් බැතිමතුන්ට ආගමික දර්ශන හා නාට්‍ය පෙන්වූ බවට කිතුනු ඉතිහාසය සාක්ෂි දරයි. මේ කාලවකවානුවේ උතුරුකරයේ යාපනය ප්‍රදේශයේද රූකඩ නාට්‍ය සම්ප්‍රදාය ජනප්‍රියව පැවති නිසා ජුසේ වාස් පියතුමා ගෝවේ ආගමික නාට්‍ය සම්ප්‍රදාය අනුගමනය කරමින් අප රට තුළද සුරුවම් (ප්‍රතිමා) මඟින් පාස්කු නාට්‍ය පෙන්වීම ආරම්භ කළේය.

චතාරික කාලය හෙවත් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය සිහි කරන කාලයේදී යෙදෙන ශුද්ධ වූ සතියේදී පාස්කු නාට්‍ය පෙන්වීමත්, පසම් ගී ගැයීමත් කතෝලික ජනතාව අතර ජනප්‍රියය. ‘පාස්සු’ හෙවත් ‘පාස්කු’ පෘතුගීසි භාෂාවෙන් අප වෙත ආ වචනයක් වන අතර, කිතු සමිඳාණන්ගේ දුක් ප්‍රාප්තිය නිරූපණය කරන සිතියමක් හෝ සුරුවමක් සහිත පාස්කු දර්ශන අප රටට සංක්‍රමණය වූයේ ගෝවේ නගරයෙනි.

ජුසේ වාස් පියතුමා ලංකාවේ ධර්මදූත කටයුතු කළ මහනුවර හා වන්නි පළාත්වල 1706 වසරේ චතාරික සමයේ පාස්කු දර්ශන පැවැත්වූ බවත්, පසුව ත්‍රිකුණාමලය හා ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පාස්කු දර්ශන පෙන්වීම පැතිර ගිය බවත් ‘ඔරේටෝරියන් මිෂන්’ ග්‍රන්ථයෙහි සඳහන් වී ඇත. මේ කටයුතු සඳහා ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන්ද නිතැතින්ම දායකත්වය දී තිබේ. සුරුවම් මඟින් පෙන්වනු ලැබූ පාස්කු දර්ශනවලට අර්ථයක් දී උච්චාරණය කිරීම සඳහා උන්වහන්සේ යාච්ඤා ඇතුළත් දුක්ප්‍රාප්ති ප්‍රසංගය රචනා කළ අතර, පසන් ගායනා ද පුරුදු පුහුණු කළේය.

වර්තමානයේ අලංකාර විදුලි බුබුළුවලින් සමන්විතව දර්ශනීය සැරසිලිද ඇතිව පාස්කු දර්ශන පෙන්වීමට භාවිත කරන නවීන පන්නයේ වේදිකාව එවකට හැඳින්වූයේ ‘පාස්කු මඩුව’ ලෙසිනි. එය අඩි 8ක් 10ක් පමණ උසකින් යුක්තය. පාස්කු මඩුව ඉදිරියෙන් පැළැල්ලක් තිබිණි. පාස්කු දර්ශනයේ චරිතවලට අදාළ සුරුවම් රංගනයන්ට අදාළ වන ආකාරයෙන් අතින් ගෙන එහා මෙහා ගමන් කරති. වේදිකාව ඉදිරියෙන් අතුරා ඇති පැළැල්ල නිසා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් වෙත සුරුවම් එහා මෙහා ගෙනයන පුද්ගලයෝ දර්ශනය නොවෙති. එබැවින් සුරුවම් වේදිකාව මත රංගනයේ යෙදෙන්නා සේ දිස් වෙයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පෙන්වා දෙන ආකාරයට, වර්තමානයේ දක්නට ලැබෙන සම්ප්‍රදායානුකූල පාස්කු නාට්‍ය දර්ශන පෙන්වීම පළමුවෙන්ම ආරම්භ කළේ මන්නාරම පේසාලය ප්‍රදේශයේය. ඒ ප්‍රදේශයද ජුසේ වාස් පියතුමා ධර්මදූත කටයුතු කළ ප්‍රදේශයකි. මෙහි විශේෂ ලක්ෂණයක් වූයේ සුරුවම් සමඟ ජීවමාන නළුවන්ද පාස්කු නාට්‍යයේ රඟපෑමය. මේ නළු නිළියන්ගේ විශේෂ දක්ෂතාවක් වූයේ බොහෝ ඈතට විහිදී යන පරිදි ඉතා මනහර කටහඬකින් යුතු වීමය. සමහර අවස්ථාවන්වලදී නාට්‍යයේ එන එක් එක් චරිත හඳුන්වා දීමට අන්නාවි රාළ ඉදිරිපත් විය. පේසාලයේ ප්‍රදේශයේ පාස්කු නාට්‍ය දර්ශන පැවතියේ ද්‍රවිඩ භාෂාවෙන් වන අතර, පසුකාලීනව ඒවා යාපනය ප්‍රදේශයටද ව්‍යාප්ත වන්නට වූයේය.

උතුරුකරය යනු මුහුදු මත්ස්‍ය සම්පත බහුල ප්‍රදේශයකි. විශේෂයෙන් පේසාලය සවුත්භාර් වැනි මුහුදු තීර වෙත යන ධීවරයන් අතිවිශාල මත්ස්‍ය සම්පතක් නෙළා ගැනීමට සමත් වන අතර, ඔවුහු එයින් මනා ආර්ථික පැවැත්මක් සරි කරගනිති. දකුණේ ධීවරයන් බොහෝ සෙයින් මසුන් මැරීමට යන්නේ උතුරු මුහුද වෙතය. මේ අතර යාපනය හා මන්නාරම ප්‍රදේශවලට මසුන් මැරීම සඳහා ගිය මීගමුව හා හලාවත වැනි ප්‍රදේශවල සිංහල ධීවරයෝ එකල මන්නාරම හා යාපනය පළාත්වල පාස්කු දර්ශන අනුගමනය කරමින් මීගමුව දූව පිටිපන පමුණුගම කංජුංඩංකරේ කටුනේරිය සහ හලාවත සිංහල පාස්කු දර්ශන පෙන්වීම ආරම්භ කළහ. මෑතක් වන තුරුම මීගමුව වැල්ලවීදිය ද්‍රවිඩ පාස්කු දර්ශන පෙන්වනු ලැබුවේ පේසාලයේ පාස්කු දර්ශන අනුසාරයෙන් උකහාගත් දැනුමෙනි.

ක්‍රමයෙන් විකාශනය වන්නට ගත් පාස්කු දර්ශන සුරුවම් වෙනුවට ජීවමාන මානව සම්පත උපයෝගි කරගනිමින් රඟ දක්වන තත්ත්වයටද පත් විය. මේ අර්ථයෙන් පාස්කු දර්ශනවල එක් අංගයක් වූයේ කුරුසියේ ඇණ ගැසීමේ දර්ශනය හැර අනෙකුත් සියලු ජවනිකා එළිමහනේ රඟ දැක්වීමය. එවකට සියලු ජවනිකා වේදිකාවට පමණක් සීමා වූ යුගය එළිමහනේ රඟ දැක්වීමට කළ ප්‍රයත්නය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට සහ බලවත් ප්‍රසාදයට හේතු විය. ප්‍රේක්ෂකයන් එළිමහන් දර්ශනවලට කොතරම් උනන්දුවක් දැක්වීද කියතොත්: නළු නිළියන් ප්‍රේක්ෂකයන් අතර සමීපව රඟදැක්වීම නිසා නළු නිළියන් කවුරුන්ද සහ ප්‍රේක්ෂකයන් කවුරුන්ද යන්න හඳුනාගැනීම පවා දුෂ්කර විය.

වර්තමානයේ පාස්කු දර්ශන ප්‍රදර්ශනය කිරීම මහසිකුරාදා සිදු කළද එවකට එය හුදෙක්ම සිදු කළේ ගොබ් ඉරිදා දිනයේදීය. ගොබ් ඉරිදා දිනයෙන් එළඹෙන ශුද්ධ වූ සතිය සමයේදී ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම සහ මරණය සිහිපත් කරනු ලබයි. ගොබ් ඉරිදා දිනයේදී සංකේතවත් ලෙස සිහිපත් කරනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ජෙරුසලම් නුවරට ඇතුළු වීමය. විජයග්‍රාහි ලෙස ජෙරුසලමට ඇතුළු වන ක්‍රිස්තුන් වහන්සේ වෙත ජනතාවගේ මහත් පිළිගැනීමක් සහ ආදර භක්තියක් පෙන්නුම් කරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ආකාරයෙන් ජෙරුසලමට පැමිණීම පිළිබඳ ජනතාව ප්‍රීති ඝෝෂා නඟයි. එසේ වුවද පාස්කු රඟදැක්වීම්වලදී මේ දර්ශනය රංගනයෙන් ජනතාවට ඉදිරිපත් කිරීම පිළිබඳව පාස්කු නාට්‍යවලදී මුල්තැනක් දී නැත. මීළඟට එළඹෙන්නේ මහබ්‍රහස්පතින්දා දිනයයි. මේ දිනයේදී සිහිපත් කරනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ගෝලයන්ගේ පාද දෝවනය කිරීමයි. උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ගේ පාද දෝවනය කිරීම මඟින් බැහැපත්කම, නිහතමානිකම පෙන්නුම් කළේය.

පාස්කු දර්ශන අතරින් අදටත් සුවිශේෂත්වයක් පෙන්නුම් කරන්නේ නවතාවකින් නැරඹිය හැකි දූවේ පාස්කු දර්ශනයයි. එය සාම්ප්‍රදායික පැරණි පාස්කු සන්දර්ශන ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි. මේ අතර වසර දහයකට වරක් ජර්මනියේ ඔබර්අමාර්ගව් ග්‍රාමයේ රඟ දක්වන ලෝක ප්‍රකට පාස්කු දර්ශනය හා දේශීය නාට්‍ය සම්ප්‍රදාය සංකලනය කරමින් 1930 ගණන්වලදී ලෝරන්ස් පෙරේරා විසින් කළ පාස්කු දර්ශනය අමුතුම මඟක් ගත්තේය. ක්‍රිස්තියානි ගීත රාග, භාරතීය ගීත රාග සහ දේශීය සංගීත ඇසුරෙන් සකස් කළ ගී ඇතුළත් කොට ජීවමාන නළුවන් මඟින් රඟ දක්වනු ලැබූ මේ මනස්කාන්ත පාස්කු දර්ශනය ලංකාව පුරා රැව් පිළිරැව් දෙමින් විදේශිකයන් පවා වශී කරන තත්ත්වයට පත් වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division