හොඳම දේ දරුවන්ට’ යන්න හුදු කියමනක් පමණක් නොවේ. එමඟින් අදහස් කෙරෙන්නේ ‘රටේ අනාගතය දරුවන්ය’ යන මහා අරුත්බර ප්‍රකාශයයි. එයින් අදහස් වන්නේ රටක ඉදිරි ගමන, සංවර්ධනය සහ පැවැත්ම රඳා පවතින්නේ දරුවන් මත බවයි. දරුවන් යනු රටේ අනාගතය නම්, ඔවුන් අද ලබන අධ්‍යාපනය, ආකල්ප, කුසලතා සහ අත්දැකීම් අනාගතයේ රටේ සමාජය, ආර්ථිකය සහ දේශපාලනය හැඩගස්වන බව යථාර්ථයයි.
එසේ නම් ඔවුන් ගුණාත්මක අධ්‍යාපනයක් ලැබුව හොත්, ඔවුන්ට නවෝත්පාදනයන් ගෙන ඒමට, ගැටලු විසඳීමට සහ රට ඉදිරියට ගෙන යෑමට හැකි බව පැහැදිලිය. එසේම දරුවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මද රටක අනාගතයට බලපායි. ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්න දරුවන්, වැඩිහිටි වියට පත් වූ විට ඵලදායි පුරවැසියන් බවට පත් වීම නිරායාසයෙන් සිදු වන්නකි.
එනයින් පාසල තුළ දරුවන්ට හොඳ පරිසරයක් නිර්මාණය කර දුන්නොත්, හෙට ඔවුන් රට ඉදිරියට ගෙන යනු නිසැකය. Clean Sri Lanka වැඩසටහන පාසලට එන අපේක්ෂාව රටේ අපේක්ෂාව බවට පත් වන්නේ ඒ අනුවය.
• පාසලට ‘ක්ලීන් ශ්‍රී ලංකා’
අද වන විට දරුවන් පරිසරයෙන් ඈත්ව සිටින අතර අතීතයේ සිටි සුන්දර පාසල් දරුවා වෙනුවට සිතුම් පැතුම් සහ ආකල්ප මෙන්ම ගුණධර්මවලින් පිරිහුණු තරගකාරි දරුවකු නිර්මාණය වී තිබේ. මෙහි වඩාත් ඛේදනීය තත්ත්වය ඔවුන් සමාජයේ මතු වන ඕනෑම නව රැල්ලක් පසු පස යෑමට පුරුදු වී සිටීමයි.
එසේම ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රතිශතය අද ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් සිදුකර ඇති මනෝවෛද්‍ය පර්යේෂණවලින් සොයාගත් කරුණක් නම් වැඩි වශයෙන්ම මේ සමාජ මාධ්‍යවල සැරිසරන්නේ නව යොවුන් වියේ දරුවන් බවයි. පාසල් දරුවන් මේ මනෝභාවයෙන් මුදාගැනීම වෙනුවෙන් පුළුල් ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ දියත් වන පාසල් ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.
• සිසුන්ගේ ආකල්ප වෙනසක්
නවීන තාක්ෂණය වැලඳගැනීමත් සමඟ මේ වන විට බොහෝ පාසල් දරුවන් සෞන්දර්යාත්මක හා කලා කටයුතුවලින් ඈත්ව සිටිති. පාසල් දරුවන්ගේ කලාත්මක කුසලතා සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් සම්පාදනය කිරීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ. ඒ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් පාසල් තුළ දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් වඩාත් සක්‍රිය කිරීමට සැලසුම් කර තිබේ. තවද මේ වන පාසල් සංස්කෘතියෙන් අකර්මණ්‍ය වී තිබෙන සාහිත්‍ය කව, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, චිත්‍ර, සංගීතය, මූර්ති, කැටයම් වැනි විෂයානුබද්ධ දැනුම ප්‍රායෝගිකව හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර, ඒ මඟින් සෞන්දර්යාත්මක දරුවකු බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත.
• පරිසර සංවේදි සහ සහකම්පිත අනාගත පරපුරක්
වැඩිහිටියන්ට සහ ගුරුභවතුන්ට ගරු කරන, පරිසර සංවේදී සහ පොදු දේපළ ආරක්ෂා කරන, අනෙකා වෙනුවෙන් සහකම්පනය සහිත පුරවැසියෙකු පාසලෙන් නිර්මාණය කිරීම වෙනුවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාසල් ව්‍යාපෘතිය යටතේ විවිධ ක්‍රියාකාරකම් දැනටමත් හඳුන්වා දී ඇත. ඒ වෙනුවෙන් විවිධ වැඩමුළු, දේශන සංවිධානය කිරීමටත්, වීඩියෝ පට, කෙටි චිත්‍රපට සහ නාට්‍ය හරහා සිසුන් දැනුවත් කිරීමටත් අපේක්ෂා කෙරේ. එසේම පරිසරය පිළිබඳ දැනුම පොතපතට සීමා කර නොගනිමින්, පරිසර දැනුම භාවිතයක් බවට පෙරළා ගැනීමට සිසුන් හුරු කරවීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
• පාසල් දරුවන්ගේ පෝෂණය සහතික කිරීම
නීරෝගි, සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලි දරු පරපුරක් ගොඩනැඟීමට පෝෂණ තත්ත්වය ඉහළ නංවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ අනුව ක්ෂණික ආහාර සහ කෘත්‍රිම ආහාරවල අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ දේශන සහ වැඩමුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එසේම පාසල් ආපන ශාලා විධිමත් අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය නිසි ක්‍රමවේදයක් හා මාර්ගෝපදේශයන් සැකසීමටත්, ඒ තුළ ක්ෂණික ආහාර වෙනුවට වස විසෙන් තොර පලතුරු, එළවළු වැනි සෞඛ්‍ය හිතකර ආහාර රටාවක් වෙනුවෙන් දරුවන් පෙලඹවීමේ වැඩසටහන් හඳුන්වා දීමටත් සැලසුම් කර ඇත.
• සිසුන්ට ශරීර සුවතා
පාසල් සිසුන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය උසස් මට්ටමික් පවත්වාගෙන යෑම සඳහා ඔවුන් දෛනිකව ශරීර සුවතා වැඩසටහන් සහ බාහිර පාරිසරික ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී පාසල් ආශ්‍රිත ගෙවතු වැඩසටහන් සක්‍රීය කිරීමට අපේක්ෂා කෙරෙන අතර, කෘෂිකර්ම කටයුතු පිළිබඳ පාසල් දරුවන්ට අවබෝධයක් දීමද මෙමඟින් අපේක්ෂා කෙරේ.
• සිසුන්ගේ කළමනාකරණ ව්‍යවසායකත්ව ආකල්ප නැංවීම
පාසල් දරුවන් තුළ කළමනාකරණ සහ ව්‍යවසායකත්ව ආකල්ප සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ට යහපත් ව්‍යවසායකයකු ලෙස සමාජගත වීමට අවශ්‍ය මඟපෙන්වීම නිතැතින්ම හිමි වේ. ඒ වෙනුවෙන් පාසල් තුළ ව්‍යවසායකත්ව කව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර, දරුවන් තුළ එවැනි කුසලතා තිබෙන බවට පූර්ව හඳුනාගැනීම් සිදු කොට එම කුසලතා වැඩිදියුණු කිරීමට අවශ්‍ය මාවත සකසා දීම අරමුණු කර ගනිමින් වැඩසටහන් දියත් කිරීමට නියමිතය.
මේ සියලු ප්‍රායෝගික ක්‍රියාකාරකම් අමතර විෂයයන් ලෙස නොව, දැනට ක්‍රියාත්මක විෂය නිර්දේශයටම ඇතුළත් කොට විෂයානුබද්ධ ක්‍රියාකාරකම් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සියලු රේඛීය අමාත්‍යාංශවල දායකත්වයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හරහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාසල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
• ව්‍යාපෘතියේ පළමු අදියර පාසල් දහසක
‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාසල් ව්‍යාපෘතියේ පළමු අදියර පාසල් දහසක් ඉලක්ක කරගනිමින් පසුගියදා ආරම්භ කෙරිණි. ‘අපේ ඉස්කෝලේ ක්ලීන් කරමු – රට හදන පරපුරක – වෙමුද අපි මුල් පුරුක’ තේමාව යටතේ ක්‍රියාත්මක මේ වැඩසටහන අදාළ පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු පාසල් ප්‍රජාවගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව පාසල්වල කැඩීගිය ඩෙස්-පුටු, උපකරණ, විදුලි පද්ධති සහ ජල නළ පද්ධතිවල අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් සමඟ පාසල පිරිසුදු කිරීම සිදු කෙරන අතර සිය සමාජ වගකීම් වැඩසටහන් ඔස්සේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික දැනුම ලබාදීම සිදු කරයි. මෙමඟින් පාසල අඛණ්ඩව පිරිසුදුව තබාගනිමින් නඩත්තු කටයුතු ඉදිරියට කරගෙන යෑමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලැබීමද වැදගත් කරුණකි.
• යුද හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ අනුගත වෙමින් දිවයිනේ පාසල් 1,000ක් පිරිසුදු කිරීම මෙන්ම අබලන් පාසල් භාණ්ඩ/ උපකරණ පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ‘පිරිසුදු අධ්‍යාපන පරිසරයක්’ යන තේමාව ඔස්සේ ඉකුත් පෙබරවාරි 20 දින දියත් කෙරිණි. එහිදි පළමු අදියර යටතේ ප්‍රමුඛ පාසල් 100ක් හා දෙවැනි අදියර යටතේ පාසල් 400ක් වශයෙන් පාසල් 500ක ව්‍යාපෘති දියත් කිරීමට යුද හමුදාව වෙත වගකීම් පැවරුණු අතර, පාසල්වලින් කළ ඉල්ලීම මත ඇතුළත් කරගත් තවත් පාසල් 2ක් සමඟ සම්පූර්ණ පාසල් 502ක කටයුතු සඳහා යුද හමුදා සාමාජිකයෝ 14,822ක්, පාසල් පුරා මේ සත්කාරයේ නියැළුණහ.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ මූලික අංගයක් වන සාමාජයීය, පාරිසරික හා ආචාරධර්මීය යන තේමාවන් ඔස්සේ වැඩසටහන දියත් කිරීමට උත්සුක වූ ශ්‍රී ලංකා යුද හමුදාව තම අධ්‍යාපනික පරිසරය පිරිසිදුව නඩත්තු කිරීමේ සමාජ වගකීම, පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ආචාරධර්ම මෙන්ම පරිසරය යථාවත් කිරීම සඳහා වූ කාර්යයන් හට මුල් තැන දෙමින් සෑම පාසලකම සමාරම්භක උලෙළක් පවත්වමින් කටයුතු ආරම්භ කරන ලදි.
ඇතැම් පාසල්වල දින ගණනක් පුරා පැවති වැඩසටහනේදී යුද හමුදාව වෙතින් සත්කාරකත්වය ලද පාසල්හි ඩෙස්-පුටු අලුත්වැඩියා කර ඇති අතර, යුද හමුදාවේ සම්පත් දායකත්වයෙන් පාසල් 149ක පින්තාරු කිරීම, ගොඩනැඟිලි පිළිසකර කිරීම මෙන්ම තවත් සුළු නඩත්තු කටයුතුද ඉතා සාර්ථක අයුරෙන් සිදු කෙරිණි.
• නාවික හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව ‘සතුට පිරි පාසලක්’ යන තේමාව මුල් කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරනු ලබන සමාජමය වටිනාකම් ඇතුළත් සහ පරිසර හිතකාමී අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ නාවික හමුදාව පාසල් පරිශ්‍ර ආකර්ෂණීය ලෙස ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘති සඳහා අඛණ්ඩව ප්‍රජාසත්කාරක දායකත්වය සහ සමාජ බලගැන්වීම සි දුකරනු ලබයි.
ඒ අනුව නාවික හමුදාව මගින් මේ දක්වා පළමු අදියර යටතේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ආරම්භ කරන ලද පාසල් 50ක ප්‍රමාණයෙන් පාසල් 25ක සම්පූර්ණ වැඩ අවසන් කර ඇති අතර දෙවැනි අදියර යටතේ පාසල් 210ක ප්‍රමාණයෙන් පාසල් 7ක වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇත.
මේ ජාතික ව්‍යාපෘතිය මගින් පාසල තුළ පිවිතුරු, ආදරණීය, සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර ප්‍රීතිමත්, නිර්මාණශීලි, විනයගරුක සහ කුසලතා සපිරි උද්‍යෝගිමත් පාසල් ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් පන්ති කාමර තුළ කඩතොලු වී ඇති ස්ථාන පිළිසකර කිරීම, පරිගණක අලුත්වැඩියා කිරීම, අනාරක්ෂික විදුලි රැහැන්, විදුලි පද්ධති, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම, අබලන් දොරවල්, ජනෙල්, ඩෙස් පුටු, බංකු අලුත්වැඩියා කිරීම, ජල නළ පද්ධති අලුත්වැඩියා කිරීම, කානු පද්ධති අලුත්වැඩියා කිරීම සහ වැසිකිළි සහ කැසිකිළි පද්ධති අලුත්වැඩියා කිරීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය කර දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍ර බවට පරිවර්තනය කරනු ලබයි.
• ගුවන් හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාසල් වැඩසටහනේ පළමු අදියර යටතේ තෝරාගත් පාසල් 200ක් අතුරින් පාසල් 50ක් හා දෙවැනි අදියර යටතේ පාසල් 815ක් අතුරින් පාසල් 205ක වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාරගන්නා ලදි. පළමු අදියර යටතේ වෙන් වූ පාසල් 50 අතුරින් මූලික පියවර වන මූල්‍ය හෝ ද්‍රව්‍යම ප්‍රතිපාදනවල අවශ්‍යතාවකින් තොරව වෘත්තිමය දායකත්වය පමණක් උපයෝගී කර ගනිමින් සිදු කිරීමට තිබු පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය පාසල් සියල්ලෙහිම අවසන් කර ඇත. ඒ ඒ පාසල්වල තෝරාගන්නා ලද කාර්යයන් අවසන් වන තුරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව පූර්ණ වෘත්තීය දායකත්වය අඛණ්ඩව සපයමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන වඩාත් අර්ථවත් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ.