වසර 1981 විය යුතුය. තංගල්ලේ විතාරන්දෙණියේ විජිත රණවීර අයියලාගේ නිවෙසේ පැවති ජවිපෙ මධ්‍යම කමිටු සැසි වාරයකට අපි සහභාගි වෙමින් සිටියෙමු.
සැසිය දින තුනකින් නිමා විය. ඊට සහභාගි වූ සියල්ලෝම කඩිමුඩියේ තම-තමන් දේශපාලන කටයුතු කරන දිස්ත්‍රික්ක බලා ආපසු යන්නට සූදානම් වූහ.
“මල්ලි, අපි දෙන්නට ගමනක් යන්න තියෙනවා. ඔයා මා එක්ක එන්නැ,” යි විජේවීර සහෝදරයා මා සමඟ කීවේ සෙස්සන් එකිනෙකා පිටව යද්දීය.
පක්ෂයට අයත් කළු පැහැති 504 වර්ගයේ පර්ජෝ රථය එවකට යොදවා තිබුණේ විජේවීරගේ දේශපාලන වැඩවලටය. අපි දෙදෙනා පර්ජෝ කාරයේ තංගල්ලේ, මැදකැටිය, මැඬිල්ලේ පිහිටි විජේවීරගේ නිවෙසට ගියෙමු.
මඩකලපුව හරහා පොලොන්නරුවටත්, එතැනින් ආපසු කොළඹටත් පැමිණෙන දිග ගමනක් විජේවීර සහෝදරයා යොදාගෙන තිබුණේය. ඒ ගමන හුදෙකලාව නිදහසේ යෑමට විජේවීර කැමැත්තෙන් සිටියේය. අපි පසුදින දහවල් ගමන පිටත් වුණෙමු. රථය පැදවූයේ විජේවීර සහෝදරයාය. මෝටර් රථයේ රේඩියේටරයේ කාන්දු වීමක් තිබූ බැවින් හම්බන්තොටින් වීරවිල හන්දියට පැමිණෙන විට උෂ්ණත්ව දර්ශකය තරමක් ඉහළ නැඟ තිබුණේය. අපි වීරවිල මැද මෝටර් රථය නවත්වා වතුර දමාගෙන, අමතර බෝතලයක්ද පුරවාගතිමු. පන්නියගමුවට ආසන්න වන තෙක්ම මාවත වැටී තිබෙන්නේ වීරවිල හරහාය. දෙපැත්තේ පෙනෙන නොපෙනෙන මානයේ විල පැතිර තිබේ.
මොනරාගලදී උපාලි මෝටර් ගරාජයෙන් අපි රේඩියේටරය පිළිසකර කරගතිමු. ඉන් පසු වැලියායේදී පක්ෂයේ අයද හමු වී, එදින සැන්දෑවේ අපි සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල හරහා අක්කරෙයිපත්තුවට පැමිණියෙමු. අපේ පැමිණීම අපේක්ෂාවෙන් ඉබ්‍රාලෙබ්බේ අක්කරෙයිපත්තුවේ සිටියේය. මුස්ලිම් ගොවියකු වූ ලෙබ්බේ අක්කරෙයිපත්තුවට සිටින එකම මුස්ලිම් කොමියුනිස්ට්කාරයාය. ඔහු පල්ලි නොගියත් ප්‍රදේශයේ සෑම සියලු සමාජ වැඩකම පෙරමුණ ගත් බැවින් ලෙබ්බේ ආදර්ශවත් පුද්ගලයකු වශයෙන් බොහෝ දෙනා සැලකූහ. ඔහු හැඳින්වූයේ ‘තෝලර්’ (සහෝදරයා) කියාය. විජේවීර සහෝදරයා ආලින්දයට ගොඩ වූ සැණින් ලෙබ්බේ සිය මෝටර් සයිකලයේ නැඟී නිවෙසින් පිටව ගියේය. අඩ පැයක් යන විට ඔහු සාකච්ඡාවට අදාළ 15ක පමණ පිරිස කැඳවාගෙන පැමිණියේය. විජේවීර ඒ මුස්ලිම් ජාතිකයන්ට පැය තුනක පමණ දේශනයක් කර, තවත් පැයක් පමණ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. පළමු දින රාත්‍රිය අපි මඩකලපුවේ මුබාරක්ගේ නිවෙසේ ගතකළෙමු. ඒ අතර එහි පැමිණි මුස්ලිම් ජාතික පිරිස් විජේවීර හමු වී කතාබහ කළහ.
මුබාරක් දේශපාලනයට සම්බන්ධ කරගෙන තිබුණේද විජේවීරමය. එයත් අපූරු කතාවකි. සිරගතව සිට නිදහස ලැබ ප්‍රථම වරට මඩකලපු ගිය විජේවීර කොළඹ පැමිණීමට මඩකලපු බස් නැවතුම්පොළේ සිටියදී පාපැදියකින් පැමිණි තරුණයකු විජේවීර සමඟ කතා කර, සමරු පොතකට අත්සන් ගෙන තිබේ. ඒ සම්බන්ධකම ඔස්සේ විජේවීරට ලිපි යවා මිතුරුකම තහවුරු කරගන්නට මුබාරක් සමත් විය. අවසානයේ විජේවීරට මඩකලපුවේ සිටි හොඳම සගයා මුබාරක් වූයේය.
අපි පසුදින උදෑසනින්ම පොලොන්නරු යන්නට පිටත් වීමු. සැබැවින්ම එයද සුන්දර අත්දැකීමකි. ඔට්ටමාවඩි පාලමට ඇතුළු වන විටම අප පැමිණි පාර අතුරුදන් වී රේල් පාරක් මතු වේ. අපි පාලම උඩින් රිය පදවන්නේ රේල් පාර ඔස්සේය. නොබෝ වේලාවකින් අප පිවිසුණේ පූනානි වනාන්තරයටය. ඇස් දෘෂ්ටියක් දුරට ලඳු කැලෑව විහිදේ. විජේවීර රුසියානු මොල්දාවියාවේ ඇපල් ගොවිපොළ ගැන අපූරු කතා කියයි. මම සමාජවාදි සමූහාණ්ඩුවක් ගැන කෑදරයෙන් තොරතුරු අසමි. රියෙහි ඇති ගුවන්විදුලියේ නන්දා මාලනියගේ ගීතයක් වාදනය වේ. අපි දේශපාලන කතාබහෙන් බැහැර වී, නිහඬ වීමු. විජේවීර ඊට බෙහෙවින් මනාපය.
‘ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ…’
නන්දා ගයන්නීය.
අපි දෙදෙනාම නිහඬව එය රස වින්දෙමු.
ඒ දිනවල අලුතින්ම අසන්නට ලැබුණු ‘ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි’ ගීතය ගැන මම විජේවීරට කීවෙමි. එහි පද මතකයෙන් කියන්නැයි ඔහු මගෙන් ඉල්ලා සිටියේය.
ඒ වන විටත් අපේ මෝටර් රිය පූනානි කැලෑවේ සෑහෙන දුරක් පැමිණ තිබුණේය. උදෑසන නැවුම් හිරු කිරණ වැටී පරිසරය ප්‍රබෝධවත්ව පැවතියේය.
“හෝල්ට්!” කියා කෑගසමින් වාහනය නවත්වන්න සංඥා කළ හමුදා නිලධාරීන් කිහිප දෙනකු නිසා විජේවීර හදිසියේ රිය නතර කළේය. පාරට ඔබ්බෙන් හමුදා නිලධාරීන් රැස්ව සිටිනු අප දුටුවේ එවිටය. ඒ පිරිසේ ඉහළ නිලධාරියා අප වෙත පැමිණියේය.
“මේ මල්ලිලා ඇයි දන්නෑ… අපි පොලොන්නරුවේ යනවා,” විජේවීර කීවේය.
“අපි ඔබතුමා කියල අඳුනගත්තේ නැහැ. අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා,” නිලධාරියා කීවේය.
“හරි දුෂ්කරයි නේද? කොහෙද ගම් පළාත් එහෙම…”
“අපේ සීඕ නම් කළුතර. මම ගාල්ලෙ. මේ දෙන්න තිස්සයි, වලස්මුල්ලෙයි.”
“කට්ටියම අපේ ගම් පළාත්වල අය වගේ. ඉතින් අපි යන්නද?” විජේවීර ඇසුවා.
“අපට පොඩි උදවුවක් කරන්න. අපි මේ ටී56 බුලට්ස් පහක් තියෙන පාර්සලේ කාර් එකේ හංගනවා.”
“ඒක නම් කරන්න එපා. මේකෙ පතරොම් තිබිල අහු වුණොත් ආණ්ඩුව කියාවි විජේවීර ආයෙත් සන්නද්ධ වෙලා කියල.”
“නැහැ නැහැ. මේව ඔර්ජිනල් බුලට්ස් නෙවේ. ට්‍රේනින් කෑම්ප්වල පාවිච්චි කරන ඒවා…” නිලධාරියා පතරොම් කිහිපය විජේවීර අතට හැලුවේය.
“ඉතින් මොකක්ද කරන්න ඕනෑ…”
“ඕක කාරෙකේ හංගන්න. කිලෝමීටර් 3ක් යද්දි අපේ අය කාරෙක නවත්තල සර්ච් කරයි. එයාලා හොයාගනීවි. අපි සර්ච් කරන හැටි ට්‍රේනින් දීලා තියෙන්නෙ.”
“මේ පාරෙ වාහන එන්නෙ කලාතුරකින්. ඒකයි කරදර කළේ…”
“හොඳයි එහෙනම්, අපි යන්නම්,” විජේවීර බුලට්ස් කිහිපය මා අතට දෙමින් රිය පණ ගැන්වීය.
“දැන් මේවට මොකද කරන්නෙ…” රිය තරමක් දුරට ගමන් කළ පසු මම විජේවීරගෙන් ඇසුවෙමි.
“ඕක කවරෙට දාල ගුළි කරලා, මගෙ ඔළුව උඩින් තියලා, අර තොප්පිය ඔළුවට දාන්න,” රිය පදවමින්ම විජේවීර මට කීවේය. මම ටී56 පතරොම් 5 සහිත කවරය ගුළි කොට විජේවීරගේ හිස මත තබා, කැබිහෝලය මත වූ තරුවක් ගැසූ තද නිලට හුරු කළු පැහැති සුප්‍රසිද්ධ ‘බෙර කැප් එක’ විජේවීරට පැලඳවීමි.
කිලෝමීටර් කිහිපයක් යද්දී හමුදා භටයෝ පිරිසක් නැවත වරක්, අප ගමන් කළ මෝටර් රථය නැවැත්වූහ. සෙබළු තිදෙනෙක් වාහනයේ දොරවල් හැර පරීක්ෂා කරන්නට වූහ. නිලධාරීහු ඈතින් බලා සිටිති. කිසිවක් නැත. බලාපොරොත්තු සුන් වූ ඔවුහු අප දෙදෙනා සිටි ආසන යට සහ අපේ සාක්කු පවා සෝදිසි කළෝය. සෙබළුන් තිදෙනාගේ මුහුණු සුදුමැලි වී තිබේ.
විජේවීර සහෝදරයා රියැදුරු අසුනේ සිටිමින්ම “මල්ලී, මොකද… බඩු නැහැ නේද?” යි ඇසීය.
“ඒකනෙ අයියෙ… අපට පනිෂ් කරාවි…” ඔහු කීවේය.
“තොප්පිය ගලවල බලන්න.”
විජේවීර සහෝදරයා ඉතා සෙමෙන් කීවේය.
සෙබළා වීරයකු මෙන් විජේවීරගේ හිස මත වූ බුලට්ස් රැගෙන රියෙන් එළියට පැන්නේය.