Home » ස්පා කත හෙළි කළ අබිරහස

ස්පා කත හෙළි කළ අබිරහස

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– ව්‍යාජ ලිපි ලේඛන රැසක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
– බොරලැස්ගමුවේ ස්පා කතගේ ව්‍යාජ හැඳුනුම්පත හොර කච්චේරියක් අල්ලා දෙයි
– පොලීසියෙන් බේරෙන්න හොර අයිඩෙන්ටියක් හදාගෙන ඇත්තේ රුපියල් 40,000කට
– අනීතික ස්පා නිසා මහජනයාට සිදුවන කරදරත් වැඩිවෙලා

‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගැන මාධ්‍ය මඟින් දිනපතාම පාහේ පුවත් පළ කරයි. ඒවා ගැන කතා කිරීමේ ප්‍රවණතාවක් ද පෙන්වයි. ඒ ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවල සිදුවන සිදුවීම් නිසාය. සමහර ඒවා සුවිශේෂීය. ‘ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ගණනාවක් පවත්වාගෙන යන්නේම අනීතික ලෙසය. බොහෝ ඒවාට බලපත්‍ර නැත. මේවායේ සේවය කරන කතුන්ට ආරක්ෂාව ද නැත. සම්බාහනය මුවාවෙන් සමහර ස්ථානවල සිදු වන්නේ ගණිකා ජාවාරමයි. පොලීසිය මෙවැනි ස්ථාන ගණනාවක් මේ වනවිට වටලා ඇතත් ඇතැම් අනීතික ස්ථාන නැවත නැවතත් ක්‍රියාත්මක වෙයි.

කොළඹින් දුරබැහැර ප්‍රදේශවල තරුණ කතුන් ඉතා උපක්‍රමශීලීව මේ ස්ථානවල සේවයට කැඳවන්නේ සහ බඳවා ගැනෙන්නේ ආකර්ෂණීය වැටුපක් ගෙවන මුවාවෙන් වුවත් බොහෝ අවස්ථාවල ඔවුනට එවැනි වැටුපක් නොලැබෙන අතර සිදුවන්නේ කාම පිපාසයෙන් පෙළෙන පුද්ගලයන්ගේ පවස නිවීමටය. එවැනි අවස්ථා ගණනාවක් ද පසුගිය කාලයේ වාර්තා විය.

පොලීසිය සඳහන් කරන අන්දමට මෙලෙස කිසිම බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යන ‘ස්පා’ ආයතනවල කළමනාකාරිත්වය පාතාලය සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ඔවුන්ගේ අඩන්තේට්ටම්වලින් බේරීම සඳහාය. පාතාලය පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම් ද සමහර ස්පා ආයතන ගිලගෙන ඇති බව කීම මුසාවක් නොවේ. මෙලෙස අනීතිකව පවත්වාගෙන යන ස්පා ආයතනවල සේවය කරන සමහර කාන්තාවෝද හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටිති.

මෙවැනි ස්ථානවලට සේවය ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන් බිය ගන්වා මුදල් කොල්ලකෑම් සිදුවීම් ගැනද පොලීසිය විමර්ශන පවත්වා තිබේ. සම්බාහනය ලබා දෙන මුවාවෙන් යම් පුද්ගලයන් නිරුවත් කර ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර මුදල් කප්පම් ලෙස ලබා ගැනීම් සිද්ධීන් ද පොලීසියට වාර්තා වී තිබේ. රජයේ රෝහලක සේවයේ නිරත වෛද්‍යවරයකු පසුගියදා එවැනි සිද්ධියකට මුහුණපෑවේ වැල්ලවත්තේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකදීය. සම්බාහනය ලබා ගැනීමට ගිය වෛද්‍යවරයාට සිදු වූයේ කිසියම් සංවිධානාත්මක පිරිසකගේ අඩන්තේට්ටම්වලට ද ලක්ව ඔවුන්ට තමන්ගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබා දීමටය. පසුව පොලීසිය කළ විමර්ශනයේදී එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන තිබුණි.

පෞද්ගලික රෝහලක සේවයේ නිරත වෛද්‍යවරයකු සතු රුපියල් කෝටියක පමණ දෙස් විදෙස් මුදල්, දියමන්ති, අත්පලඳනා සොරකම් කළ පුද්ගලයකු පොලීසියෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ වෛද්‍යවරයා කළ පැමිණිල්ලකට අනුවය. මේ පුද්ගලයා වෛද්‍යවරයා සම්බාහනය කරන මුවාවෙන් ඔහුගේ නාරාහේන්පිට මහල් නිවාසයට පැමිණ වැඩ අවසන් කර මේ සොරකම සිදුකර තිබූ බව විමර්ශනවලදී හෙළි විය.

තලංගම ප්‍රදේශයේ ස්පා ආයතනයකින් සේවය ලබා ගැනීමට ගිය පුද්ගලයකු එහිදී ඇතිවූ කිසියම් සිදුවීමකින් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් ද පසුගියදා වාර්තා විය.

කුරුණෑගල අනීතික ලෙස පවත්වාගෙන යන ස්පා ආයතන ගැන ප්‍රසිද්ධියක් උසුලන බව රහසක් නොවේ. සමහර සිසුන්ද මේ ස්ථානවලට යන එන බව ද කියවේ. නිවසේ තිබූ රුපියල් පනස් දහසක් සොරකම් කරගෙන එවැනි ස්පා ආයතනයකට ගිය 15 හැවිරිදි සිදුවකු එහි සිටි තෙරපිවරියන් දෙදෙනෙකු විසින් බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ද කුරුණෑගල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණේ පසුගියදාය.

එලෙසම කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන යන ස්පා ආයතනයක සේවය කරන සේවිකාවක් ඒඩ්ස් රෝගය වැලඳුණු අයකු බවට තොරතුරු හෙළි වූ අතර ඇය අදාළ ස්පා ආයතනයට පැමිණ පුද්ගලයන් ගණනාවකට සේවය ලබා දී ඇති බව ද හෙළි විය.

මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් කොල්ලකෑම් සිදු කරන කල්ලි කණ්ඩායම්වලට ද මෙවැනි අනීතික ස්පා ආයතන ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා උදවු සපයන බව විමර්ශන නිලධාරීන්ගේ අදහසයි. මත්ද්‍රව්‍ය සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මේ ස්ථානවලට කඩා වදින කල්ලි කණ්ඩායම් ඒවායේ සිටින කතුන්ට ද ලිංගික හිංසන, අඩන්තේට්ටම් සිදු කරන සහ මුදල් කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක්ම පොලීසියට පසුගියදා වාර්තා වී තිබුණි. ගම්පහ කොට්ඨාසයට අයත් පොලිස්බල ප්‍රදේශයක පිහිටි ස්පා ආයතනයකට පසුගියදා කඩා වැදුණු කල්ලියක් එහි මුදල් කොල්ලකා සේවයේ නිරතව සිටි කතුන් දෙදෙනෙකු ද පැහැරගෙන ගොස් සිටි අතර පසුව එම කල්ලිය අත්අඩංගුවට ගන්නා ලදි. මිරිහාන ප්‍රදේශයේ ස්පා ආයතනවලට කඩා වැදී එහි සිටි කතුන්ට මන්නා පහර දී මුදල් කොල්ලකන කල්ලියක් ද පොලීසියට පසුගියදා කොටු විය.

කඩවත සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනවලට කඩා වැදී එහි සේවිකාවන්ට සහ ගනුදෙනුකරුවන්ට පහරදී මුදල්, ජංගම දුරකතන සහ භාණ්ඩ පැහැරගෙන යන කල්ලියක තිදෙනෙක් මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද පසුගියදාය. මේ කල්ලිය ස්පා කතුන්ට සහ ගනුදෙනුකරුවන්ට පහර දෙමින් මුදල් කොල්ලකන අයුරු ද සීසිටීවී දර්ශන රැසක් ද පොලීසිය මඟින් සොයාගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ අය බවට හෙළි විය.

මේ අතර පසුගියදා වාර්තා වූ සුවිශේෂී සිද්ධියක් වූයේ අනීතිකව පවත්වාගෙන ගිය ස්පා ආයතනයක සේවය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් කතක සතුව තිබුණු ව්‍යාජ හැඳුනුම්පතක් ඔස්සේ පොලීසිය සිදු කළ විමර්ශනයකදී හොර කච්චේරියක් හෙවත් ලිපි ලේඛන හොරට මුද්‍රණය කරන ස්ථානයක් වැටලීමට පොලීසියට හැකි වීමයි. එම විමර්ශනය සිදු කර තිබුණේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසිනි. එම කතාව පෙළගැසෙන්නේ මෙසේය.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමකට පසුගියදා තොරතුරක් ලැබෙන්නේ බොරලැස්ගමුව ප්‍රදේශයේ අනීතිකව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක සිදුවන අකටයුතු ක්‍රියා සම්බන්ධවය. පොලිස් කණ්ඩායමක් ඒ අනුව එහි ගොස් වැටලීම සිදුකර සැකකාරියක් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. ඉන් එකක් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව පොලීසිය කළ විමර්ශනයේදී හෙළි වූ අතර සැකකාරියගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ද එය තහවුරු විය. අදාළ ව්‍යාජ ජාතික හැඳුනුම්පත පිළිබඳව පොලීසිය මේ සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ තවත් අබිරහසකි. ඇය එම ව්‍යාජ ජාතික හැඳුම්පත සාදාගෙන ඇත්තේ පොලීසියෙන් තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවල එහි සඳහන් ව්‍යාජ තොරතුරු පොලීසියට පෙන්වා නීතිමය කටයුතුවලින් ගැලවීම සඳහාය. ඒ සඳහා ඇය එම ව්‍යාජ ජාතික හඳුනුම්පත උපයෝගී කරගෙන ඇති බව හෙළි විය.

ඇය සතුව තිබූ එම ව්‍යාජ ජාතික හැඳුනුම්පතේ සඳහන් තොරතුරුවලට අනුව ඇයට නීතිමය පියවර ගැනීමට පොලීසියට හැකිවී නැති බවද හෙළි වී ඇති අතර නඩු කටයුතු සඳහා ද ඇය පෙනී නොසිට ඇත්තේ මෙලෙස සාදාගත් ව්‍යාජ හැඳුනුම්පත උපයෝගී කරගෙනය.

ඇය පදිංචි ලිපිනයට අයත් නගරයේ මීගමුව ලෙස එම ව්‍යාජ හැඳුනුම්පතේ සඳහන්ව තිබුණත් ඇගේ නියම පදිංචිය වෙනත් ප්‍රදේශයක බව ද පොලීසිය හෙළිකරගෙන තිබුණි.

පොලීසිය ඊළඟට ඇගෙන් ප්‍රශ්න කරන්නේ මේ ව්‍යාජ ජාතික හැඳුනුම්පත සකස් කර ගත් ස්ථානය සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහාය. එහිදී ඇය පොලිස් නිලධරයන්ට පවසන්නේ රුපියල් හතළිස් දහසකට තමා එම ව්‍යාජ හැඳුනුම්පත සකස් කර ගත්තේ වැලිකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් බවය.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ ඇතුළු කණ්ඩායම ඉන් අනතුරුව සිදු කරන්නේ මේ ගැන විමර්ශනය කිරීමයි. සැකකාරියගෙන් රුපියල් 40,000ක් ලබාගෙන ඇයට ව්‍යාජ හැඳුනුම්පත සකස් කර දුන් පුද්ගලයා ගැන තොරතුරු හෙළිකර ගැනීම පොලීසියේ අරමුණ විය.

සැකකරු පිළිබඳව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී හෙළිවන්නේ නිවෙසක මේ හොර කච්චේරිය පවත්වාගෙන යන බවයි.

පොලිස් කණ්ඩායම එම නිවෙස වටලා නිවෙස් හිමියා සහ ඔහුගේ සහායට සිටි පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. නිවස ඇතුළත සිදු කරන ලද පරීක්ෂාවේදී හොර කච්චේරිය සහ එහි උපකරණ සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

ව්‍යාජ ලෙස සකස් කරන ලද හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම මුද්‍රණය කිරීම සඳහා යොදාගත් යන්ත්‍රසුත්‍ර උපකරණ ද පොලීසිය විසින් සොයා ගන්නේ අනතුරුවය. බැලූ බැල්මට ඉතාම නිස්කලංක ප්‍රදේශයක පිහිටි අදාළ නිවෙසේ මේ ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ කිසිවකුට සැක නොසිතෙන ලෙසය. ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම සඳහා සැකකරු ගනුදෙනුකරුවන්ගෙන් රුපියල් දහස් ගණනින් මුදල් ලබාගෙන ඇති බව ද හෙළි වී ඇත.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී ඒකනායක යන නිලධරයන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන බුද්ධික චතුරංග සහ රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කරන ලදි.

You may also like

Leave a Comment