– ජර්මනියේදීත් ලංකාවේ එළවළු වවනවා
– පියා මිය ගියේ අවුරුදු 13දී
අපේ රටින් එතෙරට යන බොහෝ දෙනාට තම ආගම-දහම, ගුණ-ධර්ම, ආහාර-පාන, ඇඳුම-පැලඳුම ඇතුළු බහුතර ගුණාංග අමතක වී යෑම අද බොහෝ විට දැකිය හැකිය. එතෙරට ගොස් පදිංචි වූ පසු උපන් රට වෙනුවෙන් යමක් කරන්න පෙලඹෙන්නේද එහෙමත් පිරිසක් පමණි. එයින්ද වැඩි පිරිසක් භික්ෂූන් වහන්සේය. තමා උපන් රට අමතක නොකර, තම රටේ නම, තම රටේ ආහාර-පාන මෙන්ම තම රටේ භවභෝග පවා එතෙර ජනතාවට ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් එය මහත් සේ අගනා කටයුත්තකි.
එවන් කාර්යයක් සිදු කරන්න යම් අයකුට හැකි නම් ඇත්තෙන්ම ඒ තැනැත්තා හෝ තැනැත්තිය ‘ශ්‍රී ලාංකික’ යන නාමයට සුදුස්සකු වන අතර, ඔහු හෝ ඇය අගය කළ යුතුමය. එවන් තැනැත්තියක ගැන අප අද කතා කරන්නේ ‘ශ්‍රී ලාංකිකයන්’ යන නාමය එතෙර බොහෝ දෙනකු තුළ රැඳී ඇත්තේ ඇය නිසා බවද පෙන්වා දෙමිනි.
ඇය නමින් නිලන්තිය. නිලන්තිගේ පදිංචිය ජර්මනියේය.
ශ්‍රී ලංකාවේ වගා කරන එළවළු පලතුරු රැසක් ඇය පදිංචි ජර්මනියේ වගා කිරීමට ඇය කටයුතු කර තිබේ. ඒ අතර මඤ්ඤොක්කා, නිවිති, කංකුං, මුකුණුවැන්න, තක්කාලි මෙන්ම තවත් එළවළුත් පලතුරුත් බොහෝ දේ ඇත. එමෙන්ම ජර්මනියේ හොඳින් වගා කළ හැකි මිදි, ස්ට්‍රෝබෙරි වැනි පලතුරු රැසක්ද ඇයගේ දෑතේ වීරිය නිසා එහි ඵල දරා තිබේ.
එපමණක් නොව, ජර්මනියේ සිටියද ඇය එරට සිට මෙරටද වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් මෙරට සිටින ඇයගේ මිතුරු මිතුරියන් රැසකගේ සහාය ඇය ලබාගෙන ඇත. එම වගා ව්‍යාපෘතියට සම්බන්ධව මේ වන විට 16,000කට අධික පිරිසක් ඇය හා එක්ව වගා කටයුතු සිදු කරති.
නිලන්ති එතෙර සිට ඔවුන් දිරිමත් කරන අතර, වසරකට වරක් හෝ දෙවරක් මෙරටට පැමිණ ඔවුන් ඇගැයීමට කටයුතු කරන්නීය. එහිදී ඔවුන් දිරිමත් කරමින් වතු වගා කරන්නන්ට තිළිණ පවා පිරිනැමීමටද ඇය කටයුතු කරන්නීය.
ලංකාවේ සිටින ඇයගේ මිතුරු මිතුරියන් මඟින් ඇය මේ වන විට මෙරට වගා ව්‍යාප්තියේ විශාල ජයක් ලබා ඇත. වවන්න කැමැති අයට අවශ්‍ය බීජ ලබා දෙන්නට පවා ඇය කටයුතු කරන්නීය. ඔවුනොවුන් අතරේ බීජ හුවමාරු කරන්නට ඇය මෙරටට පැමිණ සිටින කෙටි නිවාඩු කාලයන්හි පවා කටයුතු කරන්නීය. ‘දිරියට දිරියක් නිලන්ති’ නම් සමූහය මඟින් මේ සියලු කටයුතු ඇය සිදු කරන්නීය.
මේ සියලු කටයුතුවල නිරත වන්නේ හද පිරි සතුටින්, සම්පූර්ණයෙන්ම නොමිලේය. වගාකරුවන්ට තිළිණ පවා ප්‍රදානය කරන්නේ ඇයගේ පෞද්ගලික මුදලිනි. මෙවන් දිරිමත් කිරීමක් එතෙර සිට සිදු කරන්නට ඇයට හැකි ව ඇත්තේ කෙසේද? ඇය උපතින්ම ගෙන ආ ධනවත්කම නිසාද? නොඑසේ නම් ඇය එතෙරදී අසීමිත ලෙස ධනය ඉපයිය හැකි රැකියාවක් කරන නිසාද? එසේත් නැති නම් ඇය උසස් අධ්‍යාපනය මැනවින් හදාරා ලද එතෙර රැකියාවක් නිසාද?

අස්වනු නෙළාගෙන එමින්…
ඒ ගැන දැනගැනීමට නිලන්ති මේ දක්වා ආ ගමන් මඟ දෙස ආපසු හැරී බැලිය යුතුය.
නිලන්ති කුඩා කල පදිංචිව සිටියේ මතුගම යටදොළ ප්‍රදේශයේය. පස් දෙනකුගෙන් යුතු පවුලක වැඩිමහල් දියණිය වූ ඇයට වයස අවුරුදු 13 සම්පූර්ණ වන විට ඇයගේ ලෝකයම කඩා වැටිණි. ඒ ඇයගේ පියා මිය යෑමෙනි. මව කළ සුළු රැකියාවෙන් ජීවිතය ගැටගසාගෙන යෑමට ඔවුන්ට සිදු විය. ඇයට තම පාසල් අධ්‍යාපන කටයුතු පවා නිසි ලෙස කරගෙන යන්නටද අපහසු විය. ආර්ථික දුෂ්කරතා නිසා ඇයට පාවහන් පවා නැතිව පාසල් යන්නට සිදු වූ අවස්ථාද විය. එහෙත් ඇය සැලුණේ නැත. අධ්‍යාපනයට පමණක් නොව, ක්‍රීඩාවටද එක සේ දස්කම් දැක්වූ නිලන්ති දුවන්න පනින්න උපන් හපනියක වූයේ සහභාගි වූ සියලු තරග ඉසවුවලින් ප්‍රථම ස්ථාන පවා හිමි කරගනිමිනි.
යටදොළ කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ නිලන්ති, පියාගේ වියෝව සිදු වන විට අධ්‍යාපනය ලබමින් සිටියේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්ව උසස් පෙළ පන්තියට අකුරු කරන්න ඇය සතුටින් සූදානම් වුවද පියාගේ වියෝවෙන් වූ ආර්ථික අහේනිය ඇයට හරස් විය. එබැවින් ඇය දැඩි සිත් වේදනාවෙන් වුවද අධ්‍යාපනයට ආයුබෝවන් කීවාය. තම මවගේත් බාල සොහොයුරන් හා සොහොයුරියන්ගේ කුසගිනි නිවීමේ අරමුණින් ඇය කුඩා කඩයක බිල් ලියන්නියක ලෙස රැකියාවට ගියාය. ඒ රුපියල් 300ක සොච්චම් මාසික වැටුපකටය.
තම පළමු වැටුපෙන් ගෙදර ගෙන ගිය බනිස් ගෙඩියකින් කුස පුරවාගත් බාල සහෝදරයා බඩ අතගාමින් ඇය දෙස බලා සිනාසී ආලය පෑ අයුරු නිලන්තිට තාමත් හොඳින් මතකය. තමා කුස ගින්නේ සිටියද තමා හැදූ වැඩූ මව හා බාල සහෝදර සහෝදරියන් කුසගින්නේ තබන්නට ඇය කිසිවිටක කැමැති වූයේ නැත.
රුපියල් 300ක සොච්චම් මාසික වැටුපකින් පවුලක් නඩත්තු කළ නොහැකි වූයෙන් ඇය විදෙස් රැකියාවකට ගියාය. වසර 10ක් පමණ විදෙස් රැකියාවේ සිට පැමිණි ඇය පසුව කළුතර කුඩා ආපනශාලාවක (රෙස්ටුරන්ට්) සේවය කළාය. ඒ 1999 වසරේදී පමණය.

සරුසාර වගාවෙන් කොටසක්
ඇයගේ දිවි මගේ හැරවුම් ලක්ෂ්‍යය ආරම්භ වන්නේ එතැනදීය. එහිදී ආහාර ගැනීමට ආ ජර්මන් ජාතික ක්ලව්ඩියොස් ජොහැම් නම් තරුණයා ඇයට හමු විය. ඔහු නිර්මාංස ආහාර ගන්නා අයෙකි. දින කිහිපයක් එහි සංචාරය කළ ඔහු ආහාර ගැනීමට නිතරම පැමිණියේ නිලන්ති සේවය කළ අවන්හලටය. ඔවුහු දෙදෙනා ඉතා හොඳ මිතුරන් බවට පත් වූහ. තම සංචාරය නිමවා යළි මවුරටට යද්දී ඔහු නිලන්ති වෙනුවෙන් කදුළු සැලුවේ හිත හොඳ මිතුරියකගේ වෙන් වීම වෙනුවෙනි.
මවු රටට ගිය පසු වරින් වර ඇය හා කතා කළ ඔහු හා ඇය අතර වූ සම්බන්ධය ලියලන්න විය. මාස කිහිපයකින් යළි මෙරටට පැමිණ ඔහු නිලන්ති හා විවාහ විය. විවාහයෙන් පසු ජර්මනියේ පදිංචියට ගිය නිලන්ති හා ජොහැම් ශ්‍රී ලාංකිකත්වයට මහ ඉහළින් ගරු කළහ. මෙරට එළවළු පලතුරු ජර්මනියේ වැවීම අත්හදා බැලූ නිලන්ති එහි සාර්ථකත්වය දැක දිගින් දිගටම වගාව වැඩිදියුණු කරන්නට වූවාය. මෙරටදී මෙන්ම ලැබෙන මඤ්ඤොක්කා ඵලදාව දුටු ඇය එවන් ආහාර එරට ජනතාව අතර ජනප්‍රිය කරන්නද පියවර ගත්තාය. නිවෙසේ වත්තේ වවන එළවළු, පලතුරු වැඩි ප්‍රමාණයක් අනෙක් අයට පිරිනැමීමටද ඇය පියවර ගත්තාය.
හෝමියෝපති වෛද්‍යවරයකු වුණු ජොහැම් මහතාගේ ආරෝග්‍යශාලාව පිහිටා තිබුණේද නිවෙසේමය. නිලන්ති මෙරට ක්‍රමයට ආහාර පිසීම කරන අවස්ථාවන්හිදී ඒ සුවඳ ආරෝග්‍ය ශාලාවට පැමිණි රෝගීන්ට හා භාරකරුවන්ට දැනී, ඔවුහු ඒ ආහාර ගැන නිලන්තිගෙන් විමසා සිටියහ. අවසානයේ සිංහල ක්‍රමයට ඉවුම්-පිහුම් සිදු කරන ආකාරය ගැන ඔවුන්ට ඉගැන්වීමටද සිදු විය. අද දක්වාම ඒ සිංහල ඉවුම්-පිහුම් පන්තිය කරන්නට නිලන්තිට සිදුව තිබේ.
මේ වන විට රෝහලක දැඩි සත්කාර ඒකකයක සේවය කරන නිලන්ති තම වත්තේ වගාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කරන්නේද එහි ප්‍රතිකාර ගන්නා දරුවන් වෙනුවෙනි.
තමා කුඩා කල පාසල් යෑමට පාවහන් පවා නොවූ අයුරු සිහි කරන ඇය වසරකට වරක් මෙරටට පැමිණ, තමා උගත් යටදොළ පාසලේ දරුවන්ට පාවහන් ඇතුළු තිළිණ කට්ටල පිරිනැමීමට කටයුතු කරන්නීය.
“මට ඕනෑ කරන්නේ මම විඳපු වේදනාව අපේ රටේ දරුවන්ගෙන් පුළුවන් තරම් ඈත් කරන්නයි. මම ගල් ඇනීගෙන ඉස්කෝලෙ ගිය හැටි මතක් වෙන නිසා තමයි හැම මාසෙකම දරුවන් වෙනුවෙන් කීයක් හරි ඉතුරු කරලා ඒ මුදලින් දරුවන්ට පාසල් යන්න සපත්තු අරන් දෙන්නෙ. මගේ පණ තියෙන තුරා මම ඒ කාර්යය කරනවා,” ඒ ඇයගේ අදිටනකි.
එමෙන්ම ඇය විදෙස්ගතව සිටින සමස්ත ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය:
“මම හුඟක් වෙලාවට දැකපු දෙයක් තමයි යුරෝපයේ ජීවත් වන බොහෝ දෙනෙක් තම මවු බිම, ආගම, මවු බස ද අමතක කරලා ඉන්නෙ. ඒත් මම ලංකාවේ රසවත් කෑම ජර්මන් ජාතික විශාල පිරිසකට අවුරුදු 10ක් තිස්සේ උගන්වනවා. අපේ රටේ රස, සුවඳ ජර්මනියේ පතුරවන්න ලැබීම මම ලබපු භාග්‍යයක් ලෙසයි මම දකින්නෙ. මම ජර්මනියෙ පදිංචියට ඇවිත් දැන් අවුරුදු 25ක් වෙනවා. ඒත් සිංහල භාෂාව, මගේ ආගම, අපේ හැදියාව මේ සියල්ල මට හොඳින් මතකයි. කොයි රටක හිටියත් තමන්ගේ රට, ජාතිය, ආගම සහ සදාචාරය අමතක කරන්න එපා.”
ජර්මනියේ උපත ලැබූ සිය දියණියගේ ආගම ‘බුද්ධාගම’ ලෙස යොදාගැනීමට හැකි වීමත් ඇය දකින්නේ ලෝකයේ ලැබූ විශාල ජයග්‍රහණයක් වශයෙනි. එමෙන්ම ඇයගේ ස්වාමි පුරුෂයාගේ ආගම දියණියගේ උප්පැන්නයේ දක්වා ඇත්තේද පියා බුද්ධාගම වැලඳගත් අයකු බවයි. අදටත් නිර්මාංසාහාරික ජෙරොම් මහතා චීස්, බටර් වැනි සත්ත්වයන්ගේ සම්බන්ධයක් සහිතව නිපදවන කිසිදු ආහාරයක් නොගනියි. අපේ රටේ ආගමික බව හිස් මුදුනින් තබාගෙන සිටිනා ‘බෝඩ් ආගමික’ පුද්ගලයන්ටත් සරු බිම් පසෙකලා සියල්ල තම බත් පතට වැටෙන තෙක් හෝ සියල්ල සහනාධාර ලෙස ලැබෙන තෙක් සිටින සමාජයටත් ජොහැම් මහතාත්, නිලන්තිත් දී ඇත්තේ ඇස් පනා පිටම පෙනෙන, ප්‍රායෝගික ආදර්ශයකි.