Home » බිත්තිය සමානයි කැන්වසය

බිත්තිය සමානයි කැන්වසය

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

ලබලකාරී ජනාකීර්ණ වීදියක වාහන තදබදය අතරින් ඇවිද යන විට හෝ බසයක් එනතුරු බස්නැවතුම් පොළක බලා සිටින විට එසේත් නැතිනම් දුම්රිය ස්ථානයක බිත්ති හෝ තාප්ප මත ඇඳ ඇති විශාල සිතුවම් නරඹන විට අපේ විඩාව තුනී පමණකුත් නොව මනස ද සන්සුන් වන්නේය. කඩිසර ගමනින් එහා මෙහා යනෙන විටෙක වුව එවැනි ඇතැම් සිතුවමක් අසල මඳකට නතර වී හෝ ආපසු හැරී බලමින් රසවිඳින්නට අප බොහෝ දෙනෙක් පෙළඹෙන්නේද එබැවිනි. දුර්වර්ණ වී ගිය හෝ මිනිසුන් අතින්ම අපවිත්‍ර වූ නාගරික තාප්ප, ගොඩනැඟිලි බිත්ති වෙනුවට මෙවැනි වීදි සිතුවම්වලින් හැඩවූ අවකාශ නගරාලංකාරයටද හේතුවකි. මෙවැනි තැන් සංචාරකයන් වැනි පිරිස් අතර ආකර්ෂණීය ජායාරූප පසුතල බවටද පත්ව ඇත්තේය. වැහිබර හැන්දෑවක අවන්හල් කොනක මේසයකට වී හුදෙකලාව කෝපි කෝප්පයක් රසවිඳින විටෙක එහි බිත්තියක ඇඳි සිතුවමක් සෞන්දර්යාත්මක හෝ රොමාන්තික හැඟීම් දැනවීමෙහි සමත්ය.

වීදි සිතුවම් හුදෙක් රූපමය සෞන්දර්යයක් මතුකිරීමෙන් ඔබ්බට කිසියම් පණිවිඩයක් අරුතක් රැගෙන එන අයුරු කියවා ගතයුත්තේ ඉවසීමෙනි. එසේම, එවැනි සිතුවම් කිසියම් රටක හෝ ප්‍රදේශයක ජනජීවිතය, සමාජ සංස්කෘතික වටපිටාව මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් ගැන බොහෝ දෑ නිහඬවම ප්‍රකාශ කරන්නේය. ඇතැම් විට මෙවැනි වීදි සිතුවම්වල අරමුණ වාණිජමය දැන්වීම්කරණය වුවද මේ මාධ්‍යයෙන් ඉදිරිපත් වන දැන්වීම් පවා බොහෝවිට නිර්මාණශීලී මෙන්ම කලාත්මක බවින්ද යුතුය. ඒ නිසාම, මේ බොහෝමයක් වීදි සිතුවම් ඇසට හෝ මනසට විඩාවක් ගෙන දෙන්නේ නැත. මෙහි තවත් පැතිකඩක් නම් ගෘහ නිර්මාණ ශිල්පය සමඟද ඊට සම්බන්ධතා තිබීමය.

භූ ගෝලීය සීමා මායිම්වලට කොටු නොවෙමින් ආසියාවේ, අප්‍රිකාවේ, අමෙරිකාවේ, යුරෝපයේ ආදි සෑම කලාපයකම ඒ ඒ සංස්කෘතීන්ට අනුරූපීව ප්‍රකාශයට පත්වන්නා වූ වීදි සිතුවම් දැකිය හැකිය. එවන් ඇතැම් ස්ථානවල සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමටද ඒවා හේතු වී තිබේ.

දෘෂ්‍ය කලා (Visual Art ) අංගයක් වන ” වීදි සිතුවම්” (Street Art) ගැන අපේ අවධානය වඩාත් යොමුවූයේ , මීට වසර කිහිපයකට පෙර නගරවලට සීමා නොවෙමින් ගම්බිම් දක්වා ප්‍රසිද්ධ ස්ථාන, කඩ පිල් , බස් නැවතුම්පොළ වැනි තැන්වල තරුණ සිත්තරුන් බොහෝ විට සමූහ වශයෙන් එක්ව කළ සිතුවම් නිසාය. ඉතාමත් ඉක්මනින් එය රැල්ලක් බවට පත්වූ අතර,අපවිත්‍රව, අවපැහැව පාළු ස්වභාවයකින් යුතුවූ බොහෝ තැන් ඉන් පසුව ඇසට ප්‍රිය උපදවන කලාප බවට පත්විය. එවැනි ඇතැම් නිර්මාණ අදටත් දක්නට ලැබේ. කෙසේ වුවද, වීදි සිතුවම් කලාව ලාංකිකයන්ට ආගන්තුක දෙයක් නම් නොවේ. වීදි සිතුවම් සැලකෙන්නේ, කුරුටු ගී/සිතුවම් (Graffiti ) වලම විකාශනයක් ලෙසිනි. එසේ බලන විට ලෝක උරුමයක් මෙන්ම පුදුමයක් ද වන සීගිරියේ කැටපත් පවුර මත අපේ මුතුන් මිත්තන් සිංහලෙන් කුරුටු ගී ලීවේ 6 – 13 සියවස් තරම් ඈතදී බව සිහිපත් වේ. ගල් බිත්ති මත ජීවමාන රූ මෙන් පෙනී සිටින සීගිරි ලලනාවෝ නරඹන්නාගේ සෞන්දර්යාත්මක හැඟීම් අවදි කළ අයුරු මෙන්ම ආලකමන්දාවක සැරීමෙන් ලද තෘප්තියද මේ කුරුටු ගීවලින් මනාව ප්‍රකාශ වේ.

වීදි සිතුවම් සඳහා නිර්මාණකරුවා සාමාන්‍යයෙන් තෝරාගන්නේ ප්‍රසිද්ධ ස්ථානය. නිදහස් කලා සම්ප්‍රදායක් වන එය “පශ්චාත් ගැෆිටි “හෝ “නව ග්‍රැෆිටි” යනුවෙන් ද හැඳින්වේ. එමෙන්ම මේවා “ගරිල්ලා කලාව” යනුවෙන් ද ප්‍රචලිතය. මේ වනවිට වාණිජමය කලා මාධ්‍යක් ලෙස එය බොහෝ දුරට විකාශනය වී ඇතත් නිර්මාණශීලිත්වය අතින්ද තවමත් ඉහළ මට්ටමක පවතින්නේය. කැන්වසය මත කළ නිර්මාණයක් කලාගාරයක ප්‍රදර්ශනය කිරීම මෙන් නොව වීදි සිතුවම් සම්බන්ධයෙන් නීති රෙගුලාසි ද අදාළ වන්නේය. එබැවින්, චිත්‍ර ශිල්පියාට ඒ පිළිබඳ දැනුවත් භාවයක් ද අවශ්‍ය වේ. කෙසේ වුවද විරෝධාකල්ප ප්‍රකාශයට පත්කිරීමෙහිදී ද වීදි සිතුවම් ජනප්‍රිය මාධ්‍යයක්ව ඇත්තේය. ජර්මනිය බර්ලින් තාප්පයේ ඇඳි සිතුවම් ඊට නිදසුනකි. වීදි චිත්‍ර නිර්මාණයේ යෙදෙන සිත්තරු අත බොහෝ විට ඇත්තේ පින්සල හෝ පැලටය නොව විවිධ වර්ණවලින් යුතු ස්ප්‍රේ කෑන් ය. පින්සල් හෝ ස්ප්‍රේ කෑන්වලින් චිත්‍රනය කරන සිතුවම් පමණක් නොව ප්‍රසිද්ධ ස්ථානවල හෝ වීදිවල LED විදුලි බුබුළු උපයෝගී කරගනිමින් හෝ ඩිජිටල් ආලෝක ධාරා ඇසුරින් මතුකරන සිතුවම් මෙන්ම ස්ටිකර් මාධ්‍යයෙන් කරන නිර්මාණ ද වීදි සිතුවම් වශයෙන් සැලකේ. මේ කවර හෝ ක්‍රමයකින් වීදි චිත්‍රකරණයේ යෙදෙන සිත්තරු වඩාත් ප්‍රියකරන අවකාශ වන්නේ නගරවල තාප්ප , උස් ගොඩනැඟිලි බිත්ති වැනි මතුපිටය. එවැනි වීදි සිතුවම් ජායාරූප ශිල්පීන්ට මෙන්ම සිනමාකරුවන්ට ද මනා පසුතල වනු බොහෝ විට දැකිය හැකිය.

නූතන වීදි සිතුවම් කලාවේ ආරම්භය 60 – 70 දශක වශයෙන් සැලකේ. 80 ගණන්වලදී එය වඩාත් විකාශනය විය. අපේ කුරුටු ගී 6 වැනි සියවස තරම් ඈතට යද්දී 21 වැනි සියවසේ අමෙරිකාවේ ඇතැම් නගරවල පදික මං තීරු ආශ්‍රිතව කාව්‍ය නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අයුරු දක්නට ලැබේ. ලොව ප්‍රකට වීදි සිතුවම් දැක්ම කිහිපයකි. 1980 ගණන්වලදී වොෂින්ටනයේ ද 2000 ගණන්වලදී තුර්කියේ ඉස්තාන්බුල් නුවරද පැවැති ප්‍රදර්ශන ඊට නිදසුන්ය. ලොව විශාලතම වීදි සිතුවම් දැක්ම වශයෙන් ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ, 2010 වසරේදී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්‍තයේහි පැවැති ප්‍රදර්ශනයයි. ඊට සිත්තරු 600 කට අධික පිරිසක් එක්වූ අතර,100,000 කට අධික පිරිසක් එය නැරඹූහ.

“නාගරික කලාව” (Urban Art ) වශයෙන් ද විස්තර කෙරෙන වීදි සිතුවම්, ප්‍රජාව සමඟ සන්නිවේදනයේ දී විශාල මෙහෙවරක් කරන බව සැලකේ. කලාගාරයක ප්‍රදර්ශනය කෙරෙන සිතුවම් රසවිඳීමට ඇතැම් විට මුදලක් ගෙවීමට සිදුවුවද වීදි සිතුවම් කිසිදු සමාජ පංති ස්ථරයකට සීමා නොවෙමින් නොමිලේම රසවිඳීමට හැකිය. ඒවා රසවිඳීමට කාලවේලා හරස් වන්නේද නැත. එබැවින් වීදි සිතුවම් බොහෝ දුරට පොදුජනයාට වඩාත් සමීපය. සිංගප්පූරු ජාතික දෘෂ්‍ය කලා ශිල්පී යිප් යූ චොංග් මෑතදී එරට පළවන “ස්ට්‍රේට් ටයිම්ස්” පුවත්පත සමඟ සාකච්ඡාවක යෙදෙමින්, වීදි කලාව තාක්ෂණිකව වෙනස් මාධ්‍යයක් ලෙස හැඳින්වීය.

“මගේ නිර්මාණ වීදි බිතු සිතුවම් නැතිනම් මහජන කලාව හෝ නාගරික කලාව කියල හඳුන්වා දෙන්න මම කැමැතියි…”යනුවෙන් ඔහු පවසන්නේ, වීදි සිතුවම් කලාවේ අරුත මනාව දක්වමිනි. සමාගමක මූල්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරන අතර 2015 දී චිත්‍ර ශිල්පයටද යොමුවූ යිප්, 2018 වනවිට සිය රැකියාව අත් හැරියේ පූර්ණකාලීන ච්ත්‍රශිල්පියෙක් වෙමිනි.

1970-80 ගණන්වල සිංගප්පූරු ජන ජීවිතය දැක්වෙන මීටර් 60 ක් දිගින් යුතු කැන්වස් සිතුවමක්ද ඔහුගේ නිර්මාණ අතර වේ. කෙසේ වුවද එවැනි නිර්මාණවලට වඩා පොදු ජනයාගේ ඇස ගැටෙන්නේ වීදි සිතුවම් බව ඔහු පවසන්නේ ලිට්ල් ඉන්ඩියා, චයිනා ටවුන් වැනි ප්‍රදේශවල තම නිර්මාණ දක්වමිනි. ඒවා අදටත් එම ප්‍රදේශවලදී රසවිඳීමට හැකිය. දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි මීටර් 15 × 14 ප්‍රමාණයේ විශාල වීදි සිතුවමක් කරමින් යිප්, ඉන්දීය ජනජීවිතය ගෙනහැර දැක්වූයේ ඉකුත් වසරේදීය. පසුගිය වසරේම චීනයේ වූහාන් පළාතේ කළ යැංග්ෂි නදිය අද්දර ඔහු නිර්මාණය කළ වීදි සිතුවම නදිය ආශ්‍රිත ජන ජීවිතය කදිමට නිරූපණය කරන්නකි.

වීදි සිතුවම්කරණයටද කෘත්‍රිම බුද්ධිය (AI) පිවිසීමත් සමඟ එය තාක්ෂණිකව තවදුරටත් විකාශය වෙමින් ඇති අයුරු දැකිය හැකිය. කෙසේ වුවද , පොදු ජනයාට වඩාත් සමීප මෙන්ම ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් ලෙස හා කලා මාධ්‍යයක් ලෙස ඊට ඇති අවකාශය අනාගතයේ දී මීටත් වඩා පුළුල් වනු ඇතැයි සිතිය හැකිය.

ධම්මික සෙනෙවිරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division