Home » කෙළින් යන්න උපදෙස් දෙන කකුළුවෝ

කෙළින් යන්න උපදෙස් දෙන කකුළුවෝ

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

වෙනත් අවුරුදුවල පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය එළඹීමත් සමඟ අපේ රටේ ඇමැතිවරු අහසේ පියා සලන කුරුල්ලන් මෙන් ලෝකය පුරා ඉගිළ ගියෝ ය. මහජන නියෝජිතයන් වීමේ මහිමය මේ යැයි පවසමින් එකල වයස්ගත මැති ඇමැතිවරුන් බොහෝ දෙනකුගේ පවා ගමනාන්තය වූයේ බැංකොක් ය. ශ්‍රී ලංකාවේ වයස්ගත කැබිනට් ඇමැතිවරුන් බැංකොක් නුවර නිල් වීදිවල ඇවිදින අන්දම එකල සමාජ මාධ්‍යවල ද ප්‍රචාරය විය. අපේ ඇමැතිවරුන් බොහෝ පිරිසක් සීතල හිම කිරම පහස විඳින්නට ලන්ඩන්, පැරිස් ආදි යුරෝපා නගරවලට යෑම පුරුද්දක් කරගෙන සිටියෝ ය.

සමහර ඇමැතිවරුන්ගේ අඹුදරුවන් සිටින්නේ යුරෝපා රටවල ය; ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ යුරෝපා රටවල විශ්වවිද්‍යාලයවල ය; කැනඩාවේ නැති නම් ඔස්ට්‍රේලියාවේ ය. කැබිනට් මණ්ඩලයේ වැඩි දෙනකු අවුරුදු උත්සවය සැමරුවේ දූදරුවන් සමඟ ලන්ඩනයේදී හෝ මෙල්බර්න්වල ය. රට කොපමණ අගහිඟයෙන් පෙළුණත්, ඇමැතිවරුන් දරුවන්ගේ උපන්දින සාද සඳහා විදේශගත වීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණි.

ඇති ඇත්තන් ඇති සැටියෙන් කා බී ප්‍රීති වීමේ වරදක් නැත. එහෙත් මෙහි සැඟවී පැවති ඛේදවාචකය නම් පාලකයන් මේ සියලු ප්‍රීති සම්භාෂණ, විදෙස් චාරිකා සිදු කළේ මහජනතාවගේ මුදලින් වීම ය. බොහෝ අමාත්‍යාංශවල ලේකම්වරුන් අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන විට ඇමැතිවරයාට විදේශගත වීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඇතුළත් සියලු ලිපිගොනු හදා හමාර ය. සියල්ලන් ම විදෙස්ගත වන්නේ නිල රාජකාරි සඳහා ය.

එවැනි අනීතික ගමන් සඳහා ප්‍රොටකෝලයට අනුව ලිපිගොනු හැදීම සමහර ස්ථිර ලේකම්ලාට කජු කනවා වැනි සෙල්ලමකි. කිසි ම හිතක් පපුවක් නැතුව ඔවුන් විද්දේ හිඟන්නාගේ පාත්තරයට ය. ඇමැතිවරුන්ගේ ගමන් බිමන්, විනෝද සංචාර සඳහා කිසි කලක මේ රටේ ඩොලර් හිඟයක් තිබුණේ නැත.

ඉතිහාසයේ ප්‍රථම වරට මේ සියල්ල කණපිට හැරී ඇත. මෙවර අවුරුදු නිවාඩුවේදී වර්තමාන ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයකු සංචාරය සඳහා රටින් බැහැරව ගියේ නැත. අවුරුදු උත්සවය සමරන ජනතාවගේ අවශ්‍යතා සපුරා දීම සඳහා මුළු කැබිනට් මණ්ඩලය ම වෙහෙසෙනු පෙනිණි.

ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ප්‍රවාහන ඇමැතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් වෙහෙසුණු අයුරු රට ම දුටුවේ ය. ශ්‍රී ලංකාවේ උතුර දකුණ යා කරමින් ප්‍රවාහන අංශ සිදු කළ විප්ලවීය මෙහෙයුම පක්ෂ භේදයෙන් තොරව ජනතාවගේ ප්‍රසාදයට ලක් විය.

ආණ්ඩුවේ ඇමැතිවරු ජනතාවත් සමඟ එකතුව අවුරුදු සැමරූ අතර, මහජන ප්‍රසාදයටත් ලක් වූහ. ආණ්ඩුවේ මැති ඇමතිවරු අවුරුදු නිවාඩුව ගෙවා දැමුවේ මහජනතාව අතරය. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති පණ ගැන්වීම සඳහා බොහෝ මන්ත්‍රීවරු වෙහෙසුණහ. ඔවුන්ට අවශ්‍ය නායකත්වය සහ ආදර්ශය ජනාධිපතිවරයාත් අගමැතිනියත් සපයා තිබිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේ මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික භාණ්ඩ සඳහා බදු වැඩි කිරීම හේතුවෙන් ආණ්ඩුවට කාර්තුවක් සඳහා ඩොලර් මිලියන 300ක පමණ පාඩුවක් සිදු වන බැවින් ඉදිරියේදී ආර්ථිකය කඩාවැටීමේ අනතුරක් අත ළඟ බව ය.

සභානායක බිමල් රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හිටපු ජනපති රනිල් ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී පෞද්ගලික චරිකාවක් සඳහා ලන්ඩන් ගොස් තිබෙන අතර, ලන්ඩනයේදී එය රාජකාරි ගමනක් ලෙස ලියවිලි වෙනස් කර පෙන්වා ඩොලර් මිලියන 16ක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති බව ය. හෙතෙම එසේ කළේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මුදල් නැති බව පුන පුනා කියමින් සිටි අවධියේ ය.

‘කකුළුවා ඇදේට ගමන් කරන ගමන් කෙළින් යන ලෙස පැටියන්ට උපදෙස් දෙනවා’ යනුවෙන් ප්‍රස්තාව පිරුළක් තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division