ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙයි. මිනිසා සහ පරිසරය සියල්ල වෙනස් වන දිශානතීන් කරා ගමන් කරයි. අද පවතින්නේද දැනට වසර සියයකට පෙර පැවැති සමාජ සහ සංස්කෘතික පරිසරය නොවේ. විශ්වය අතැඹුලක් බවට පත් වෙමින් පවතී. ඒ අනුව සමාජය සංකීර්ණ වෙමින් ඇත. ඒ සංකීර්ණත්වයට ගැළපෙන පරිසරයට ස්වභාව ධර්මයට මෙන්ම සංස්කෘතියට මිනිසාද අනුගත වෙමින් ගමන් කරයි.
අපේ සාම්ප්‍රදායික සංස්කෘතියට අයත් එක් සංස්කෘතික අංගයක් ලෙස සිංහල සහ දෙමළ නව අවුරුදු සැමරීම හැඳින්විය හැකිය. මෙයද කාලානුරූපීව යම් යම් වෙනස්කම්වලට ලක් වී ඇත. සිංහල නව වසර ලැබීම යනු කාලය හා බැඳුණු ක්‍රියාවලියකි. අපේ මුතුන් මිත්තෝ සූර්යයා දේවත්වයෙන් සැලකූහ. නක්ෂත්‍රය අනුව සූර්ය රාශි චක්‍රයකට එළඹෙයි. එය අපේ පහසුව සඳහා තත්පර, විනාඩි, දින, සති ලෙස කාලය අනුව බෙදනු ලබයි. එහිදී දින 365ක් අවසන් වී, තවත් 365ක් ලැබීම නව වසර උදාව ලෙස හැඳින්වෙයි.
මේ එළඹෙන අප්‍රේල් 14 වැනි දිනය, 1947 වැනි ශක වර්ෂය ලෙස හැඳින්වෙයි. ශාලිවහන ශක වර්ෂ යනු සූර්්‍ය වර්ෂ සඳහා සිංහලයෙන් භාවිත කරන වර්ෂ ක්‍රමයයි. ක්‍රි.ව. 78දී මේ වර්ෂ ක්‍රමය ආරම්භ වෙයි. බටහිර ක්‍රමයට අනුව මෙය ක්‍රිස්තු වර්ෂ 2025යි.
මෙවර අප්‍රේල් 14 වැනිදායින් උදා වන්නේ වසරක් මැද නව වසරක උදාවකි. එය නියත වශයෙන් උදා වන්නේ කෙදිනද යන්න පිළිබඳ නිවැරදිව සොයාගත යුතුය. මෙය සූර්්‍ය ගමනට අනුව සිදු වෙයි. ක්‍රිස්තු වර්ෂ අනුව දෙසැම්බර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ඊළඟ වසර ආරම්භ වෙයි. එහෙත් සිංහල සහ දෙමළ නව වසර උදාව සූර්යයාගේ ගමන මත පදනම් වූ නිසා එය වසරින් වසර වෙනස් වෙයි. එය සිදු වන්නේ පෘථිවියේ ගමන් මඟ අනුවයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන මොහොත නව වසර උදාවයි. සූර්යා චක්‍රයක් ආකාරයට අප පෘථිවිය වටා ගමන් කරන බවට විශ්වාසයක් පවතී. එහි නැවැතුම්පොළ 12ක් වන අතර ඒවා රාශි 12ක් වන බවත් ඒවා රාශි චක්‍ර ලෙසත් හැඳින් වෙයි. එහි මුල්ම රාශිය මේෂ රාශිය වෙයි. අවසන් රාශිය මීන රාශියයි. මේෂ යනු බැටළුවාගෙන්ද මීන රාශිව මාළුවාගෙන්ද සංකේතවත් කරයි. සූර්යයා මේෂ රාශියේ ගත කරන අවසන් දිනය පරණ අවුරුද්ද ලෙස සැලකෙන අතර, සූර්යයා මේෂ රාශියට සම්පූර්ණයෙන්ම සංක්‍රමණය වූ පසු අලුත් අවුරුද්ද උදා වෙයි. මේ දෙක අන්තරයේ සිටින අවස්ථාව සංක්‍රාන්තියයි. මීනයෙන් මේෂ රාශියට ගමන් කරන අතර කාලපරිච්ඡේදය (නො)නැකත වෙයි. මෙය නොනගතය වෙයි. මේ කාලය තුළ වැඩ කිරීම නතර කරයි. ඉන් අනතුරුව වැඩ ඇල්ලීම සිදු කරයි. මෙය සංස්කෘතියේ පැහැදිලි කරන්නේ සංක්‍රාන්තිය ලෙසයි.
යම් රටක සංස්කෘතියක් සම්ප්‍රදායක් තුළ යම් දේ කළ යුතුයි සහ යම් දෙයක් නොකළ යුතුයි යනුවෙන් වේ. මේවා හඳුන්වනුයේ චාරිත්‍ර වාරිත්‍ර ලෙසයි. එසේ නොමැති නම් සිරිත් විරිත් යනුවෙනි. යම්කිසි සාරධර්මයක් ක්‍රියාවට නැංවීම කරනු ලබන දේ චාරිත්‍රය වෙයි. ඒ ගුණ ධර්මයෙහිම නොතරම් දෙය වාරිත්‍රය නම් වෙයි. ඒ කරන දේ අපිට ඇසට පෙනෙන අතර වාරිත්‍ර ඇසට නොපෙනෙන කෘත්‍යයයි. එසේම අපේ සංස්කෘතිය හා බැඳුණු ඉතා වැදගත් අංගය ලෙස චර්යාධර්ම හැඳින්විය හැකියි. මේ චර්යාධර්ම යනු, හැසිරෙන ආකාරයයි. එසේම අපේ සංස්කෘතිය හා බැඳී පවතින මේ චාරිත්‍ර සහ වාරිත්‍ර එකම අර්ථයෙන් එකම ක්‍රියාවක් ලෙස බොහෝදෙනා එකම අර්ථයෙහිලා සලකයි. නව වසරේදීත් අපි හැසිරෙන ආකාරය වෙනදාට වඩා වෙනස් වෙයි.
වසරක් අවසන් වී තවත් වසරක උදාවක් නිසා මෙය නැවත අලුත් වීමකි. මතුපිටින් පෙනෙන අදහසට වඩා එනම් වාචාර්ථයට වඩා වෙනස් අර්ථයක් මෙහි අර්ථ ගැන්වෙයි. එනම් මේ නැවත අලුත් වීම තුළ සියල්ල කාලානුරූපීව වෙනස් වීම්වලට ලක් කළ හැකිය.
නව අවුරුද්දත් සමඟ බැඳුණ අවුරුදු සිරිත් විරිත් සහ අපේ ජනශ්‍රැතියේ එන විශේෂාංග රැසක් වෙයි. විශේෂයෙන් සිංහල අලුත් අවුරුදු උදාව යනු කෘෂි සංස්කාතිය මත පදනම් වූවකි. එනම්, එය අපේ ගොවිතැනට විශේෂයෙන් සම්බන්ධ වූවකි. මේ ගොවිතැනට ඉර හඳ අතවශ්‍ය සාධකයක් නිසා අතීතයේ ගැමියන් ඉර සඳ දේවත්වයෙන් සැලකීමට හේතු විය. එසේම මේ නොනැකත වෙලාවෙහි අපේ ජනතාව යෑමට ඇති හොඳම ක්ෂේම භූමිය ලෙස හැඳින්වූයේ විහාරස්ථානයටයි.
සිංහල අවුරුදු චාරිත්‍ර චාරිත්‍ර හා බැඳුණු අපේ සංස්කෘතිය සහ සිරිත් විරිත් ඒ කාලයට සාපේක්ෂව යම් වෙනසකට බඳුන් විය. ඒ අනුව වර්තමානය වන විට පරණ සිංහල සිරිත් විරිත් යම් වෙනසකට ලක් වී ඇති බව පෙනෙයි. ගෝලීයකරණය වීම නිසා ලෝකය අනුව රට අනුව ගම, නගරයේ වෙනස්කම් සිදු වෙයි. විශේෂයෙන්ම සමාජය සංකීර්ණ වීමත් සමඟ ගැමියා නගරයට සංක්‍රමණය වීම සිදු විය. නාගරීකරණයත් සමඟ මේ සිරිත් විරිත් සහ චාරිත්‍ර වාරිත්‍ර යම්කිසි වෙනසකට ලක් වී ඇත.
නව වසර උදාවෙන් පසුව පරණ තරහා-මරහා අවසන් වී විරසක පහව ගොස් නව සම්බන්ධතා ඇති වෙයි. සොබාදහමේ ගහකොළ සතා සිවුපාවුන් මෙන්ම ගේදොරවලද නව පරිසරයක් ඇති වෙයි; බොහෝවිට නගරයට සංක්‍රමණය වී සිටි පිරිස අවුරුදු නිවාඩුවට ගමට පැමිණෙති. අසල් වැසියන් සමඟ ඇති වූ විරසක පහව ගොස් නව සම්බන්ධතා ඇති වෙයි. අලුත් අවුරුද්දට පෙර මුළු තැන්ගෙය අලුත්වැඩියා කර හුණු පිරියම් කර මුළුතැන්ගෙය ඇතුළු සියලු තැන් පිරිසිදු වෙයි. පෙරදා තිබූ ළිප් ගල්තුන ඉවත් කරයි. වසරක් පුරා එකතු වූ අළු ටික ඉවත් කිරීමෙන් නැවුම් බවක් ඇති වෙයි.
නොනගතයේදී ළිපගිනි නොදැල්වීම විරිතකි. නොනගතයේදී ජලය සමඟද ගනුදෙනු නොකරයි. ඒ අවස්ථාවේදී කිසිවකුත් ළිඳට නොයයි.
නව වසරේ විසිරී ගිය පිරිස ගමට පැමිණීමත් සමඟ එකමුතුකම සාමූහිකත්වය සංකේතවත් කරයි. දූදරුවෝ මවුපියන් සහ වැඩිහිටියන් වෙනුවෙන් රෙදිපිළි තෑගිබෝග රැගෙන දරුවෝ ගමට එති. රටම එක් අවස්ථාවක සියලු වැඩ අල්ලා අනතුරුව එකම වේලාවකට ළිපගිනි මොළවයි. පවුලේ සියලු දෙනා විහාරභූමියට යති. සුබ නැකත ලැබූ පසු අඟුරු, සුදු මල් තඹ කාසියක් දමා ළිඳ පවිත්‍ර කර ළිඳ සමඟ ගනුදෙනු කරයි. ළිඳට තඹ කාසියක් දමා ජලය නැවත පරිභෝජනයට ගනී. මෙය දකුණු පළාතේ ළිඳ අලෙයි කිරීම නමින් හැඳින්වෙයි.
කෘෂිකාර්මික ආර්ථික රටාවකට හුරු වී සිටින ගැමියෝ නැකතට කුඹුරට, හේනට යෑම සිදු කරති. මේ චාරිත්‍රය ඉටු කිරීමට වර්තමානයේදී ඇතැම් විට ජීවන වෘත්තිය වෙනස් විය හැකියි. එසේ නම් කරන වෘත්තියට අදාළව කාර්යයක් කළ හැකිය. අලුත් හැළියක අලුත් ළිපක අලුත් ජලයෙන් අලුත් සහලින් අලුත් ගින්දරකින් අලුත් කිරිවලින් ලිප් බැඳ ගිනි මොළවා යනුවෙන් පවතින චාරිත්‍රය ඉටු වෙයි. මේ ළිප් මෙළවීම වර්තමානයේ නාගරිකව වෙසෙන පිරිසට නොහැකි නිසා මුළුතැන්ගෙයි පාවිච්චි කරනු ලබන ගෑස් උදුන් පවිත්‍ර කර ඒ අවට හුණු පිරියම් කළ හැකියි. වසරක් ගෙවී නව වසරක උදාවත් සමඟ ජනතාවගේ මනස යළිත් පුබුදුවාලීමට නව ආකාරයෙන් පිබිඳීමක් මෙහිදී අපේක්ෂා කරන අතර, එය තමා සිටින කෙබඳු ස්ථානයක හෝ පරිසරයට ගැළපෙන ආකාරයට සිදු කළ යුතුයි.
වසරක් පුරා කාර්යබහුලව කටයුතු කරන ලොකු කුඩා සියලු දෙනා අවුරුදු ක්‍රීඩා සිදු කිරීමට අවකාශ හිමි වෙයි. විශේෂයෙන් නොනගතය අවස්ථාවේදී සිදු කරනු මේ ක්‍රිඩාවලදී සියලු දෙනා බිම හිඳගෙන අවුරුදු ක්‍රීඩා සිදු කරති. එහිදී වෙනදා ඇති බාල-මහලු, දුප්පත්-පොහොසත්, කුල-මල භේද කිසිවක් එදිනට නැත. පංච දැමීම, ඔළිඳ කෙළිය, මේවර කෙළිය, දාදු කෙළිය සහ එළවන් කෑම වැනි ක්‍රීඩාවල නිරත වෙති. අවුරුදු ක්‍රීඩා අනිවාර්යයෙන්ම සිංහල අවුරුද්දට කළ යුතු සිරිතකි. කිසිදු භේදයකින් සහජීවනයෙන් තොරව ඔංචිලි වාරම් කියමින් ගමෙහි පොදු ස්ථානයක බැඳි ඔංචිල්ලාව පැදීම සිරිතකි. එමෙන්ම ක්‍රීඩා කිරීමෙන් සහයෝගිතාව වර්ධනය වෙයි. අද වන විට මේ සංකීර්ණ සමාජ වටපිටාව තුළ මෙවැනි දේ ප්‍රායෝගිකව කළ නොහැකි අවස්ථා වෙයි.
සමගිය, සහ ජීවනය, කළගුණ සැලකීම, ගින්න ජලය, කිරි යන අංශ අපේ ජීවිත හා බද්ධ වී සාම්ප්‍රදායික ජීවන රටාව අනුව නීරෝගිභාවය සහජීවනයෙන් යුතු ජීවත් වීමට සමාජ වටපිටාවක් සකස් කිරීම සාම්ප්‍රදායික ජීවන රටාවට නැවත සිහි ගැන්වීමක්ද විශේෂයෙන් අද පවතින අවිවේකී දින චර්යාවෙන් මිදී මඳක් මනසට නිදහස් ලබාගැනීම මේ නව අවුරුද්ද වඩා සුදුසු වෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක
නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලින් හෙළිදරවු වන්නේද මේ නිදහස සහජීවනය සහ සමගිය සමාදානයයි. සමහර චාරිත්‍ර වාරිත්‍ර වාච්‍යාර්ථයෙන් මතු පිටින් ගැනීමට නොහැකි වන්නේ ඒ නිසාය. නැකතට වැඩ ඇල්ලීම සම්බන්ධයෙන් ඇත්තේද එවැනි දෙයකි. නැකත යනු හොඳ වේලාව යන්නයි. නව වසර සඳහා භෞතික පරිසරය වෙනස් කර ගැනීම නැවත අලුත් වීමක් සිදුවෙයි. ලිප ගිනි මොළවන නැකත උදා වත්ම නැවත නිවෙසේ වැඩ ඇල්ලීම ආරම්භ වී ක්‍රියාශීලී වෙයි. අලුතින් බැඳි ළිප මත අලුත් හැළියක අලුත් සහලින් කිරි බතක් පිසීමට සෑම නිවෙසකම මව ප්‍රමුඛ වෙයි. පළමුව අනුභව කරන ආහාර වේලට පියා ප්‍රමුඛව කිරිබත්, කැවුම්, කෙසෙල් අනුභවය සිදු කරයි. මේසයට සුදු රෙද්දක් එළා, ඒ මත ආහාර තබා පොල්තෙල් පහනක් තැබීම සිරිතකි. සියල්ලෝම එකම නැකතකට ආහාර අනුභව කරති.
එයින් පවුලේ සහජීවනය, සමගිය උදා වෙයි. මේ වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම සිරිතකි. මවුපියන්ට බුලත් හුරුලු දී වැඳීම මෙන්ම වසරක් පාසා තමා ජීවත් වන ජීවන වෘත්තිය සිහි කරමින් වැඩ ඇල්ලීමත්, ළිඳට ගරු කිරීමත්, කෘතගුණ සැලකීමක් ලෙස ළිඳට මෙන්ම ළිපට නිදහසක්, විවේකයක් දීමත් සිදු කරයි. ජලය අපේ ජීවිතයට නැතුවම බැරි සාධකයකි. කෘෂිකාර්මික ක්‍රම වේදයක් ඇති පැරැන්නෝ උදැල්ල ගෙන නැකතට වැඩ කරති. පැළයක් සිටුවයි. දරුවෝ අකුරු කරති. ගෘහිණිය ද චාරිත්‍රානුකූලව වැඩ ඇල්ලීම කරයි. දරුදැරියෝ පාසල් පොත්වල වැඩ කටයුතුවල නිරත වෙයි.
හිස තෙල් ගෑමේ චාරිත්‍රය ද නව අවුරුදු උදාවෙන් පසුව සිදු වන අතර, ඖෂධ ගුණ ඇති කොළ වර්ගවලින් සැදූ තෙල් ගල්වා සියලු දෙනා නැකතට ස්නානය කරයි. එදා නැකතට ස්නානයට නාන කාමර නොතිබුණ අතර, එකල බෙහෙත් තෙල් ගල්වා සියලු දෙනා ළිඳ ළඟ රැස් වී නැකතව ස්නානය කරයි. පසුගිය වසරේ ඇති වූ යම් යම් ගැටලු නොහොඳ නෝක්කාඩු විසඳා ගැනීමට හොඳම කාලය මෙයයි.
අලුත් අවුරුද්ද සමයේ තම දරු පවුලත් සමඟ නැදෑ හිතවතුන් දැකීමට ගොස් නැදෑ හිතමිතුරුකම් වර්ධනය කර ගැනීම, අමනාප දුරු කර ගැනීමද සිදු වෙයි. මෙලෙසින් ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ නව අවුරුද්ද තුළ සාම්ප්‍රදායික සිරිත් විරිත් සහ උරුමයන් වෙයි. සිංහල ගැමි සමාජයේ ආගමික, සමාජ, සංස්කෘතික, සමාජ විශ්වාස සහ ඇදහිලි, ආගමික සංකල්ප සමඟ එකට ගැට ගැසී ඇත.
මෙලෙසින් ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය වන අලුත් අවුරුද්ද තුළ සාම්ප්‍රදායික සිරිත් විරිත් සහ උරුමයන් වෙයි. ගැමි සමාජයේ ආගමික, සමාජ, සංස්කෘතික, සමාජ විශ්වාස සහ ඇදහිලි, ආගමික සංකල්ප සමඟ එකට ගැට ගැසී මේ අවුරුදු සිරිත් විරිත් ගොඩනැඟී ඇත. එසේ ම අපේ සංස්කෘතිය හා බැඳුණ ජනශ්‍රැතියත් සමඟ බැඳි ඇති ඉර, හඳ වන්දනාමාන කිරීම සහ නව සඳ බැලීම සිදු වෙයි. ඉර, හඳ ආදි සියල්ල කෘෂි ආර්ථිකය හා ගොවීතැන සමඟ සම්බන්ධ වී ඇත.
එදා කැවිලි සෑදීම සිදු කරනු ලැබුයේ ද මහ පොළොවෙන් බිහි වන ධාන්‍යවලිනි. කැවුම්, මුංකැවුම් ආදි කැවිලි කිසිවක් ශරීරයට අහිතකර නොවෙයි. සම්ප්‍රදායික සිරිත් මෙන්ම සාම්ප්‍රදායික වෙදකම් ද වෙයි. වත්මන් ඇතැම් පිරිස්වලට නව වසර උදාවේ නියම අරුත වැටහී නැත. අවුරුද්දක් ගත වී අලුත් අවුරුද්දක් උදා වීම ගැන හැඟීමක් තිබුණු අප අද නාගරීකරණය වූ සමාජයේ අවුරුදු සමරන්නේ ඇයිද යන්න පිළිබඳ එතරම් දැනුවත් වීමක් නැත.
මෙය චාරිත්‍ර වාරිත්‍රවලට පමණක් ලඝු කළ නොහැකි දෙයක් වන අතර, මෙය වසරින් වසර නැවත අලුත් වීමකි. එය සංස්කෘතික සමාජයීය සහ පරිසරයට අනුව කාලානුරූපීව වෙනස් විය හැකියි.
අවුරුදු ආසිරි !
දිනකර දෙවි මේස රැසට ගෙවදී ලෙස ලෝ නියා
තුරුවැල්වල පවා සතුට උතුරයි මල් පල තියා
රස බෙදනා ගෙයින් ගෙයට බෙදුණා දැන් ඇති කියා
නව අවුරුදු එළඹෙයි හෙට නව යුගයට ගී ගයා
කෙළි නළු ගී රඟ මඟුලකි කූජන නඳ වය වයා
හෙළ දමිළ ය විරසැක නැති එක ම දැයක පා දයා
හැම පියසෙම බත ඉදේ ද නැකතට බලමුකො සොයා
නව සළුපිළි හැඳ පේවෙමු පෙර වැරහැලි හැර පියා
පාලිත අරවින්ද වීරක්කොඩි