Home » ඇකඩමික් ප්ලේයර් පියවර දාහතර

ඇකඩමික් ප්ලේයර් පියවර දාහතර

by sachintha
March 23, 2025 1:00 am 0 comment

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යන අංශයේ එක් ප්‍රධාන විෂයක් වන නාට්‍ය හා රංගකලාව අධ්‍යනය කරන ශිෂ්‍ය ප්‍රජාවගේ ‘ ඇකඩමික් ප්ලේයර්’ ශිෂ්‍ය සංගමය සහ අධ්‍යන අංශය සංවිධානය කරනු ලැබූ ‘ කැලණි සරසවි නාට්‍ය උළෙල’ 2025 වර්ෂයේ දාහතර වැනි වතාවට පවත්වන ලදී. මේ ඒ පිළිබඳ ව සංවාදයකි.

‘ප්‍රේක්ෂකයාට දිරවා ගත හැකි,ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගත හැකි නාට්‍ය නිර්මාණය වෙනවානම් ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්ෂකයා එනවා.එහෙම වුණත් නාට්‍ය සඳහා යන පිරිවැය ඉතා ඉහළ ගිහින්. ප්‍රේක්ෂකයාට ඒ සඳහා ගෙවිය යුතු මුදල ඉහළ ගොස් පවතිනවා. මෙවර කැලණි සරසවි නාට්‍ය උළෙල තුළ ප්‍රේක්ෂකයා ඒ අපහසුතාවයට පත්වුණේ නැහැ. නමුත් නාට්‍ය කලාව සඳහා යටිතල පහසුකම් අවමයි.

‘කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව, විෂයක් ලෙස උගන්වන්න අරගෙන වසර විසි හතක්. මේ නාට්‍ය හදාරන දරුවන් ‘ඇකඩමික් ප්ලේයර්ස්’ කියන නාට්‍ය සංගමයක් හදාගෙන ඒ හරහා කැලණි සරසවි නාට්‍ය උළෙල 2002 වසරේ දී ආරම්භ කළා. විවිධ අභියෝග සමඟ අඛණ්ඩව මේ උළෙල කරගෙන එන්න බැරි වුණත් මෙවර දාහතරවෙනි වතාවට සරසවි නාට්‍ය උළෙල පැවැත්වුණා. ආධුනික නාට්‍ය උළෙල සහ සරසවි නාට්‍ය උළෙල විදිහට කැලණි විශ්ව විද්‍යාලයේ වාර්ෂික නාට්‍ය උළෙල දෙකක් පවත්වනවා. මේ සඳහා අවසන් වසර නිර්මාණය, විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ නාට්‍ය නිර්මාණ සහ ඒ ඒ කාලවකවානු තුළ නිර්මාණය වෙලා තියෙන හොඳ නාට්‍ය කියන කොටස් තුනම මේ සරසවි නාට්‍ය උළෙලේ වේදිකාගත වෙනවා. නාට්‍ය සංවිධානය සහ වේදිකා පරිපාලනය , ප්‍රවීණ නාට්‍යවේදීන්ගේ ඇසුර කියන අත්දැකීම විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ට ලබා දීමත් මෙහි අරමුණක්. ඒ හරහා ප්‍රේක්ෂකාගාරයක් සකස් කර ගැනීමේ වැදගත්කමත් ඔවුන් ඉගෙන ගන්නවා. මෙවර කැලණි සරසවි නාට්‍ය උළෙල තුළ නාට්‍ය නිර්මාණ හතක් වේදිකාගත වුණා. රාජිත දිසානායක සහ සචිත්‍ර රාහුබද්ධ යන ප්‍රවීණ නාට්‍යවේදීන්ගේ නාට්‍ය අපි තෝරගත්තා. අපේ විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව හදාරා දැනට පිටත නිර්මාණකරණයේ යෙදී සිටින අසංක ගුරුසිංහගේ ප්‍රේමයේ නගරය සහ අනුරාධ සුබසිංහගේ ඉන්ද්‍රජාලික පෙම්වතිය යන නාට්‍ය ද්විත්වයත් අපි තෝරගත්තා. අනෙක් නාට්‍ය අධ්‍යයන අංශයේ ආචාර්යවරු විද්‍යාර්ථීන් සමඟ කළ නිර්මාණයන් සහ අවසන් වසර නිෂ්පාදනයක්. ස්වතන්ත්‍ර නිර්මාණ 3ක් සමඟ අනුවර්තන හතරක් එහි දී වේදිකාගත වුණා.’

‘කැලණි සරසවි නාට්‍ය උළෙල ‘ නිර්මාණය වනුයේ ම හරයක් සහිත නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයාට ප්‍රේෂණය කරන්න ප්‍රේක්ෂකාගාරය මෙහි ප්‍රයෝජන ලබා ගත්තා ද?

‘විශ්ව විද්‍යාල සංස්කෘතිය සමස්ත ලාංකික සංස්කෘතියේ නියෝජනයක්.ඒ හරහා අපට සමාජය හදුනාගත හැකි යි. නමුත් යම් හරයක් සහිත නාට්‍ය නිර්මාණවලට වඩා සරල හාස්‍යෝත්පාදන නාට්‍යවලට ප්‍රේක්ෂක ප්‍රජාව වැඩි වෙලා තියෙනවා. නාට්‍යයකින් ලැබිය හැක්කේ හාස්‍යරසය පමණක් කියලා හිතන ප්‍රේක්ෂක ප්‍රජාවක් නිර්මාණය වෙලා තියෙනවා. හරවත්, ගැඹුරු, ඥානයක් ලබා දෙන නාට්‍ය නරඹන ප්‍රේක්ෂකාගාරය සීමාසහිතයි. ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට උසස් නිෂ්පාදන අවශ්‍ය වුණාට ඒ සඳහා ප්‍රමාණවත් ගුණාත්මක නිර්මාණ අවමයි. ඒ නිසා ම වර්තමානයේ දියුණු ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවද කියන එක සැකසහිතයි. මෙවර ‘සරසවි නාට්‍ය උළෙල’ සාර්ථක වුණත් ප්‍රේක්ෂකාගාරයේ අඩුවක් තිබුණා. නමුත් මෙවර කැලණි විශ්ව විද්‍යාල පරිපාලනය මඟින් ආරාධිත නාට්‍යවල වියදම දැරුවා. ඒ නිසා ඒ අඩුව ප්‍රශ්නයක් වුණේ නැහැ.’

-සංජීව ගුණරත්න-

හැමෝම ඉහළින් වැලඳ ගත්තා

කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යන අංශයේ කථිකාචාර්ය සංජීව ගුණරත්නගේ අධ්‍යක්ෂණයෙන් ‘අපි ගෙවන්නේ ම නෑ’ වේදිකා නාට්‍ය මෙවර සරසවි නාට්‍ය උළෙලේ වේදිකාගත විය.

‘කැලණි සරසවි නාට්‍ය උළෙල ‘ පසුගිය කාල වකවානුව තුළ විශ්ව විද්‍යාල ප්‍රජාවට අත්විදින්න ලැබුණෙ නැහැ.නමුත් මෙවර උළෙල ආරම්භ වීම සමඟම ප්‍රේක්ෂකයන් ඉතාමත් උනන්දුවෙන් නාට්‍ය උළෙලට පැමිණියා වගේ ම දින හතම නාට්‍ය නිර්මාණ නැරඹූ ප්‍රේක්ෂකයන් හිටියා. විශ්ව විද්‍යාලය අවට ප්‍රජාව ඇතුළු විශාල සංඛ්‍යාවක් නාට්‍ය වෙත ඇදී ආවා. සියලු ආසනවල ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් නොවුණත් හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණා වගේ ම ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තිබුණා. ඒක සතුටට කරුණක්. ‘අපි ගෙවන්නෙ ම නෑ ‘ නාට්‍යය අධ්‍යන කාර්යයක් සඳහා සිදු කළ නාට්‍යයක්.

‘අපි ගෙවන්නෙ ම නෑ ‘ නාට්‍යය. ඉතාලි ජාතික නාට්‍ය රචකයකු වන Dario Fo විසින් රචනා කළ ‘Can’t Pay? Won’t Pay’විජිත ගුණරත්න පරිවර්තනය කළ පිටපත ආශ්‍රයෙන් ‘ අපි ගෙවන්නේ ම නෑ ‘ නාට්‍යය නිර්මාණය කළා.මෙහි දී මගේ ගුරු භූමිකාව ශාස්ත්‍රවේදී දෙවන වසර විද්‍යාර්ථීන් සමඟ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව බවට පත් වෙනවා . අනාගතයේ වෘත්තීය නාට්‍යවේදීන් වීමේ බලාපොරොත්තුවෙන් සිටින විද්‍යාර්ථීන්ට ඒ සඳහා ලැබුණු විචාර සහ විවේචන ඉතා ම වැදගත්.’

‘නාට්‍ය නිර්මාණයක පවතින ගුණාත්මකබව, නිර්මාණාත්මකබව , අර්ථය සහ රසය හැමවිටම ප්‍රේක්ෂකාගාරයේ පැමිණීමට බලපානවා. ජනතාව තමන්ගෙ රසවින්දන මාධ්‍ය ලෙස වේදිකා නාට්‍ය කලාව විශ්වාස කරනවා ද කියන එකත් මේකට හේතුවක්. වර්තමානයේ බහුවිධ කලා මාධ්‍යන් රසවින්දනයට තියෙනවා. ඒ නිසාම නාට්‍ය නිර්මාණ සිදු කිරීම වගේ ම ඒවා ප්‍රේක්ෂකයා අතරට ගෙන යාම සම්බන්ධව නාට්‍යකරුවාට විශාල වගකීමක් තියෙනවා.ලංකාව තවම වෘත්තීය මට්ටමේ නාට්‍ය කර්මාන්තයක් සහිත රටක් නොවේ. එහෙමෙ වුණානම්, නිර්මාණකරුවගේ කාර්යය කළ විට අනෙකුත් කළමනාකරණ කාර්යය සහ ප්‍රචාරණය සහිතව ජනතාව අතරට ගෙන යාම වෙනත් ආයතනයකට පැවරිය හැකි යි. මේ හේතු නිසාම අපි ළඟට ප්‍රේක්ෂකයා එනකම් බලා නොසිට ප්‍රේක්ෂකයා ළඟට අපි යා යුතු යි. ඒ සඳහා නාට්‍ය ආකෘති වෙනස් කරන්න, ප්‍රේක්ෂකයා දැනුවත් කිරීමේ යාන්ත්‍රණය වෙනස් කරන්න සිදු වේවි.’

ඒ වගේ ම විෂයට පමණක් සීමා නොවී තවදුරටත් නාට්‍ය කලාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් නවක පරම්පරාව තුළ දකින්න ලැබීම සතුටට කරුණක්. කලාකරුවා නිරුත්සාහික ව බිහි විය යුතු කෙනෙක්. කැලණියේ නාට්‍ය හා රංග කලාව උපාධි පාඨමාලාව හරහා එය සිදු වන බව මම හිතනවා.හොඳම උදාහරණය යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශය වගේ ම දිගු නාට්‍ය අංශයේ සම්මාන දිනා ගත් කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හැදෑරූ සහ හදාරමින් සිටින දරුවන් සිටීම.නවක පරම්පරාව පිළිබඳ මේ සතුට අපට තියෙනවා.

-සම්පත් පෙරේරා-

හැම්ලට් පොදු කළා

සිනමා හා රූපවාහිනී අධ්‍යන අංශයේ කථිකාචාර්ය, නාට්‍යවේදී සම්පත් පෙරේරා අධ්‍යක්ෂණයෙන් මෙවර සරසවි නාට්‍ය උළෙලේ ‘හැම්ලට්’ නාට්‍ය වේදිකාගත විය.

‘මෙය නිර්මාණය වෙන්නේ නාට්‍ය හා රංගකලාව ප්‍රථම වසර විද්‍යාර්ථීන්ගේ රංග අභ්‍යාසයක් විදිහට නමුත් මෙවර තාක්ෂණික සාධක මත නැවත ප්‍රොසිනියම් වේදිකාවට ගැළපෙන ලෙස සකසන්න සිදු වුණා. ‘ශේක්ෂ්පියර්ගේ’ නාට්‍යවල ස්ථානය පිළිබඳ ඒකීයත්වයක රැදෙන්නෙ නැහැ. එය සොහොන් පිටියක්, බලකොටුවක්, නැව් යන මාර්ගයක්, වීදියක් වගේ විවිධ ස්ථාන නිර්මාණය කළ යුතු යි.අපි ඒ සඳහා ප්‍රේක්ෂකයාට නීරස අත්දැකීමක් නොවෙන ආකාරයට වේදිකාව වෙනස් නොකර උප වේදිකාවක් භාවිතා කරනවා. භූතයන්, අවතාර වගේ දේවල් ඒ හරහා නිර්මාණය කරනවා. මේ සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් ඉතා ඉහළයි. ශේක්ෂ්පියර් නාට්‍ය නිර්මාණ ගද්‍ය , පද්‍ය පවා ඉහළ ප්‍රභූ පැලැන්තියකට සහ ඉහළ සමාජ පන්තියකට සීමා වුණු ස්වභාවයක් දකින්න ලැබෙන දෙයක්. ඒ නිසාම මෙවර හැම්ලට් නාට්‍ය පොදු සමාජයට ගැලපෙන ලෙස සකස් කරන්න අපට සිදු වුණා’

‘ප්‍රේක්ෂකයාට දිරවා ගත හැකි,ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගත හැකි නාට්‍ය නිර්මාණය වෙනවානම් ප්‍රේක්ෂකාගාරයට ප්‍රේක්ෂකයා එනවා.එහෙම වුණත් නාට්‍ය සඳහා යන පිරිවැය ඉතා ඉහළ ගිහින්. ප්‍රේක්ෂකයාට ඒ සඳහා ගෙවිය යුතු මුදල ඉහළ ගොස් පවතිනවා. මෙවර කැලණි සරසවි නාට්‍ය උළෙල තුළ ප්‍රේක්ෂකයා ඒ අපහසුතාවයට පත්වුණේ නැහැ. නමුත් නාට්‍ය කලාව සඳහා යටිතල පහසුකම් අවමයි.දැනට මේ නාට්‍ය කලාව පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ නාට්‍යකරුවන් අපහසුවෙන් වුණත් කරන දැඩි කැපවීම නිසයි.

-අනුරාධ සුබසිංහ-

ප්‍රේක්ෂකයා රැල්ලෙන් ගලවා ගන්න

නාට්‍ය හා රංග කලාව පිළිබඳ කථිකාචාර්ය අනුරාධ සුබසිංහ අධ්‍යක්ෂණය කළ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ මෙවර සරසවි නාට්‍ය උළෙලේ වේදිකාගත විය.

‘කැලණි සරසවි නාට්‍ය උළෙල දශක දෙකක් වගේ කාලයක් පුරාවට සංවිධානය වූ දෙයක්. ක්‍රියාකාරීම කලා මාධ්‍යක් වන වේදිකා නාට්‍ය කලාව පොදු මහජන ප්‍රේක්ෂක අවකාශය එක්ක සම්බන්ධ කිරීමේ අරමුණ සමඟ තමයි මේ නාට්‍ය උළෙල නිර්මාණය වන්නේ. විද්‍යාර්ථීන්ට ඔවුන්ගේ නාට්‍ය නිර්මාණය, නිශ්පාදනය පමණක් නොවෙයි රඟ දැක්වීම පිළිබඳ ව තක්සේරුවක් ලබා ගන්නත් මේ හරහා අවස්ථාවක් ලැබුණා. විශ්ව විද්‍යාල හරහා නිශ්පාදිත ඥානය පොදු මහජනයා වෙත සම්ප්‍රේෂණය කරන්නත් මේ හරහා හැකියාව ලැබුණා.’

‘ මෙවර ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය ‘ නාට්‍ය නිර්මාණය මගේ අධ්‍යක්ෂණය සමඟ වේදිකාගත වුණා. මුලින්ම එය නිර්මාණය වන්නේ 2019 වර්ෂයේ දී. මම මේ නාට්‍ය කිසිම කාලයක හෝ අවකාශයක පිහිටුවන්නේ නැහැ. එයට හේතුව නාට්‍යයේ ප්‍රස්තුතය. එනම් පුද්ගලයා තමන් සොයා ගෙන යෑම සහ තමන්ගේ අනෙකාව සොයා යෑමේ අරගලය. එය සර්වත්‍රික, සර්වකාලීන ගැටලුවක් . වර්තමාන සමාජ දේහය තුළම අපට ඒ සඳහා උදාහරණ තියෙනවා. ලෝකයේ පවතින උත්තරීතරම කරුණ ආදරය. මිනිස් ජිව්තය යම් සාධනීය මට්ටමකට රැගෙන යා හැකි දෙයක්. නමුත් මේ සමාජ පසුතලය තුළ ආදරය,ප්‍රේමය,මරණයෙන් පවා කෙළවර වෙන ආකාරය අපිට දැකගන්න පුලුවන් . ඒ නිසා ම මනුෂ්‍යයාට තමන් කවුද ? අපි සමඟ ජීවත් වන අනෙකා කවුද ? අපේ පැවැත්මේ පදනම කුමක් ද යන ගැඹුරු අදහස සාමාන්‍ය ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කිරීමක් මේ හරහා සිදු වෙනවා.

නාට්‍ය ක්ෂේත්‍රයේ සංකීර්ණත්වය නම් පවතින අර්බුද පිළිබඳ ව කතා කිරීම පව විවිධ විවරණ ඉදිරිපත් කළ හැකි විමයි.

‘ මනුෂ්‍යා ශිෂ්ට බව සමඟ මනුෂ්‍යත්වය තහවුරු කරගනු ලබනවා. ඒ පිළිබවඳ ව කතා කරනු ලබන එක කලා මාධ්‍යක් නාට්‍යය. මේ කලා මාධ්‍යයේ හරවත් බව නැති වුණොත් ප්‍රේක්ෂකයාගේ පැමිණීම බලාපොරොත්තු විය නොහැකියි. පහුගිය කාල වකවානුව තුළ සරල සහ පහත් රසවින්දනයක් සහිත නාට්‍ය බහුල විදිහට ව්‍යාප්ත වුණා. ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයේ හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ගුණාතමකභාවය නැති වුණා කියන්න පුලුවන්. සමාජ හර පද්ධතියෙන් බැහැරව රැළිවලට ප්‍රේක්ෂකයා හසු වීම අපට දැකගන්න පුළුවන් වුණා. නමුත් මේ ගුණාත්මක නිර්මාණ පිළිබඳ ව කතිකාවත් ඇති විය යුතුයි. දුර්වල මට්ටමක පවතින මේ කතිකාව නැවත ගොඩ නැගීමේ වගකීම රාජ්‍ය මට්ටමින් වගේ ම විශ්ව විද්‍යාල වැනි බුද්ධිමය අවකාශ ගොඩ නැඟිය හැකි ආයතන මඟින් ගත යුතු යි.කලාව කියන්නේ විද්‍යාත්මක පදනමක් තියෙන විෂයක්.එය සවිඥානික ව භාවිත කළ යුතුයි.කියවීම,නැරඹීම හරහා සිද්ධාන්ත නිවැරදි හදුනා ගැනීමක් සහිත ව නව පරම්පරාව නාට්‍ය කලාවේ නිරත විය යුතු යි.’

 

සම්මාන නිකම්ම ලේබල් කළා

අසංක ගුරුසිංහගේ අධ්‍යක්ෂකවරයා ලෙස ‘ප්‍රේමයේ නගරය ‘ මෙවර සරසවි නාට්‍ය උළෙලේ වේදිකාගත විය.

‘ඇමරිකානු නාට්‍යවේදී ටෝල්ටන් වයිල්ඩර්ගේ ‘Our town’කියන නාට්‍යයේ ගයාන් රන්දීරගේ සිංහල පරිවර්තනය වන ‘ප්‍රේමයේ නගරය ‘ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රැසක් දිනාගත් නාට්‍යයක්. ගතිකත්වය, ශුන්‍ය බව කියන සංකල්පය ඇමරිකාවේ කල්පිත නගරයක මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාව සමඟ මෙහි දී ඉදිරිපත් කරනවා. ජීවිතය සහ මරණය, මරණයෙන් පසු ජීවිතය වගේ දාර්ශනික ඉසව් මෙහි දී ස්පර්ශ කරනවා. මේ නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.කැලණිය වගේ නාට්‍ය කලාව ඉහළින්ම තියෙන විශ්ව විද්‍යාලයක මේ නාට්‍ය වේදිකාගත කිරීම සහ නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ලැබීම තරුණ නාට්‍යකරුවෙක් විදිහට මට ලොකු වටිනාකමක්. ‘

‘ප්‍රේමයේ නගරය ‘ 2021 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය විය

‘හොඳම නාට්‍ය ලේබල් එක විතරයි. එතනින් එහාට නාට්‍යය, නාට්‍යය කරුවා අත්හරිනවා. සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින රඟහලවල් ටිකේ හරි දිස්ත්‍රික්කයට එක ගානේ නාට්‍ය පෙන්වන්න සංවිධානය වීමක් අවශ්‍යයි. එවැනි වැඩපිළිවෙලක් අවශ්‍යයි. එය නාට්‍යකරුවාට, නාට්‍ය ක්ෂේත්‍රයට සහනයක් සැපයීමක්. ලෝකයේ වෙනත් රටවල්වල නාට්‍යකරුවාව පවත්වා ගෙන යෑමට යාන්ත්‍රණයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීවත් මේ සඳහා නිවැරදි යාන්ත්‍රණයක් හැදෙයි කියන එක.’

නමුත් නාට්‍ය කලාවේ අනාගතය පිළිබඳ ව සියලු දෙනා තුළ ඇත්තේ ධනාත්මක චිත්‍රයකි.

‘ විශ්වවිද්‍යාල ගණනාවකින් නිසි හැදෑරීමක් සහිත පිරිසක් බිහි වෙනවා. ඒ පිළිබඳ ව සතුටු වෙන්න පුළුවන්. නමුත් හොඳම අධ්‍යාපනය තියෙන්නේ විශ්ව විද්‍යාල ජීවිතෙන් එළියෙ. වර්තමානයේ විද්‍යාර්ථීන්ගේ අරමුණ රූපවාහිනිය තුළ ජනප්‍රිය වීම. ඒ නිසා ම වේදිකාව අතාරිනවා. නමුත් වේදිකාව කියන්නේ හොඳම විශ්ව විද්‍යාලයක්. නාට්‍ය කියන විෂයයේ ප්‍රසාරණය අපිට හිතාගන්නවත් බැරි තරම්. ඒ නිසාම නවක ප්‍රජාව වේදිකාවට ආදරය කරන අවංක මිනිහෙක් විය යුතුයි.

-භවන්ත නුෂාන්-

දුෂ්කර වුණත් අත් හරින්නේ නෑ භවන්ත නුෂාන් අලුතින් ම නාට්‍ය අධ්‍යක්ෂණය සමඟ එකතු වන තරුණ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව හැදෑරූවෙක්.

‘ ‘මොණරු පිලක් උඩ’ නාට්‍යය අපේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය. රුසියානු නාට්‍ය රචක මැක්සිම් ගෝර්කිගේ ‘The Lower Depth’නාට්‍යය ඒ සඳගා අපි තෝරගත්තා. එහි රංජිත් ධර්මකීර්ති සර්ගේ සිංහල පරිවර්තනය අපේ සමාජයට ගැලපෙන පරිදි ලංකාවේ මුඩුක්කු පරිසරයකට අදාළ ව අපි නිර්මාණය කළා. ‘The lower depth’ලෝකයේ විශිෂ්ඨතම නාට්‍ය නිර්මාණ දහය අතර පවතින්නක්. එහි දීර්ඝ බව නිසා ම එය නාට්‍යක් විදිහට ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන යෑම අභියෝගයක්. මුලින් සංජීව ගුණරත්න සර් , අපි එකතු වෙලා අනුවර්තනයක් විදිහට සකස් කරපු මේ නාට්‍යය සරසවි නාට්‍ය උළෙල සඳහා පැය එකයි විනාඩි පනහක් වගේ කාලයක් දක්වා අඩු කරන්න මට සිද්ධ වුණා. අවසානයේ ‘ මොණරු පිළක් උඩ’ තේමාව බවට පත් වුණේ බලය නිර්ධන පන්‍තියට ලැබුණත් ඒ මිනිසුන් වෙනස් වන බව. විශ්ව විද්‍යාල ඇතුළෙ වගෙම පිටත ප්‍රේක්ෂකයා කියන දෙපිරිසම සම්බන්ධ කරගන සිද්ධ වන නිසා ආධුනික නිර්මාණ ශිල්පියෙක් වුණු මට ‘සරසවි නාට්‍ය උළෙල’ ලොකු අවස්ථාවක් සහ සතුටක්’

වසර හතරක විශ්වවිද්‍යාල ජීවිතය තුළ න්‍යායාතමකව හා ප්‍රායෝගිකව ලබා ගත් අත්දැකීම් සහිතව පොදු සමාජයට පා තබන ඔහු නාට්‍ය කලාව තුළ පවතින විවිධ ගැටුම් සහ ගැටලු පිළිබඳ ව අදහස් දක්වනු ලැබී ය.

‘වසර හතරක විශ්වවිද්‍යාල ගමන ඉවර කරලා පොදු සමාජයට අඩිය තියලා ප්‍රායෝගිකව නාට්‍ය කලාවේ භාවිතය අත්දකිද්දි එය සතුටුදායක මට්ටමක නැහැ. මම හිතන්නේ ලංකාවේ නාට්‍ය කලාව කියලා දෙයක් නැහැ.දැනට තියෙන්නේ නාට්‍ය කරන්න උණක් තියන මිනිස්සු ටිකක් එකතු වෙලා හදාගත්ත දෙයක් . නාට්‍ය කලාව කියන එක ජපානය වගේ රටක , බටහිර රටවල්වල බැලුවොත් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වෙන දෙයක්. නළුවගේ, අධ්‍යක්ෂකවරයගේ පටන් විශ්‍රාම වැටුපක් පවා ලබා දෙනවා. අපේ රටේ කලාකරුවා ,නාට්‍යකරුවා අතෑරිලා. උදාහරණයක් විදිහට මම නාට්‍ය හා රංගකලාව පිළිබඳ හදාරලා විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට මගෙ රැකියාව වෙන්නේ මාධ්‍ය ආයතනයක. අඩුම තරමේ අපට නිර්මාණයක් ඉදිරිපත් කරන්න ලංකාවේ රාජ්‍ය මැදිහත් වීමෙන් පවතින රාජ්‍ය නාට්‍ය උළෙල සහ යෞවන නාට්‍ය උළෙලවත් නිසි යාන්ත්‍රණයක් නැහැ.කිසිම තැනක නාට්‍යකරුවාට තෘප්තිමත් විය හැකි පරිසරයක් නැහැ.න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමින් පරිපූර්ණ විද්‍යාර්ථින් පිරිසක් හැම වසරකම විශ්වවිද්‍යාලවලින් මේ ක්ෂ්‍රේත්‍රයට එනවා. නමුත් ඉන් නිසි ඵල නෙළා ගැනීමක් දකින්න නැහැ.’

‘ඒ වගේ ම ග්‍රාමීය මට්ටමට මේ නිර්මාණ යන්නෙත් නැහැ. ආර්ථිකයේ තියන අසීරුතා වගේම නාට්‍යය පෙන්නන්න සුදුසු රංගශාලා නැහැ. කොළඹ ඉදන් කෑගල්ලට නාට්‍යයක් අරන් යද්දි වෙන වියදම එක්ක තමයි සියල්ල තීරණය වෙන්නෙ. හොඳම නාට්‍ය කරුවෙකුගේ නාට්‍යයක් වුණත් වියදම සලකලා ගෙන්නන්නෙ නැතුව හරසුන් නිර්මාණ පෙන්වන තැනට දැන් පත්වෙලා තියෙනවා.’

ඔහුගේ අනාගත ගමන් මඟ ද නාට්‍ය සමඟ රැදී ඇත.

‘මගේ අනාගතය සම්පූර්ණ රැදෙන්නේ නාට්‍ය මත ම තමයි. නාට්‍ය අතාරින්න සූදානමක් නැහැ.’

සදුනි දිසානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division