“කට නැත්තං මහත්තයො, මෙලහකට බල්ලො ඇදගෙන ගිහිල්ලා…”
මේ ප්‍රකාශය නිතර ඇසුණේ ගුවන්විදුලි විනෝද සමයේ අමාරිස් අයියාගෙනි. එය, එම චරිතය නිර්මාණය කළ අපේ තාත්තාගේම ආදර්ශ පාඨයකි. අපේ තාත්තාට අනුව මිනිසකු සතු ප්‍රබලම අවිය කටයි. බොහෝ අසීරු අවස්ථාවල මම තාත්තාගේ මේ ස්ථාවරය අනුගමනය කර ඇත්තෙමි.
ඒ 2006 වසරේ අවසාන භාගයයි. එකල මා සේවය කළ පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා වැඩසටහනක් තිබිණි. මේ වැඩසටහනේ විශේෂත්වය නොමිලයේ දුරකතන ඇමතුම් දීමය. දුරකතන පහසුකම් නැති ගම්බද මවුපියන් දුරකතනයක් ඇති ගෙදරකට කැඳවා විදෙස් ඇමතුමකට සම්බන්ධ කරවීම මෙහි ක්‍රියාදාමයයි. අද මෙන් ඇමතුම් තාක්ෂණය නොදියුණු කාලයක එය ඉන්ද්‍රජාලික ක්‍රියාවකි.
ගම්බද මවක සහ විදේශගත ගෘහසේවිකා දියණියක අතර සංවාදය ඇසට කඳුළු නංවනසුලුය. අපි ඒ කඳුළුවලට වාණිජ වටිනාකමක් සොයාගත්තෙමු.
ශ්‍රී ලංකාවට මුදල් එවීමේ කඩිනම් ක්‍රමයක් සුප්‍රකට සමාගමක් විසින් ඉදිරිපත් කරනු ලැබිණි. අපි වහාම අප සතු ඉන්ද්‍රජාලික දුරකතන ඇමතුම් හැකියාව ‘අලෙවි යෝජනාවලියකට’ පරිවර්තනය කරගත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අලෙවි අංශයේ ප්‍රධානීන් දෙදෙනකුට සහ මට ඩුබායි සහ සිංගප්පූරු සංචාරයක එක්වර යෙදීමේ හැකියාව ලැබිණි.
මේ සමාගමේ සභාපතිවරයාගේ උපන්දින සාදය සිංගප්පූරුවේ පැවැත්වෙයි. මේ නව මුදල් එවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඊට සමගාමිවය.
‘මුදල් එවන ස්වාමිපුරුෂයා’ සමඟ මා සිංගප්පූරුවේය. අපේ රේඩියෝවේ නිවේදකයෙකු ‘ශ්‍රී ලංකාවේ සිට මුදල් ලබා ගන්නා බිරිය’ සමඟ බත්තරමුල්ල බැංකු ශාඛාවේය. මුදල් එවූ බව සැමියා සිංගප්පූරුවේ සිට කියයි. තත්පර කිහිපයකට පසු එම මුදල් ලැබුණු බව බිරිය කියයි.
මෙබඳුම සජීව වැඩසටහනක් ඩුබායි නගරයේ සිට ක්‍රියාත්මක කළ යුතුය. පසුදා අප සිංගප්පූරු ගුවන් තොටුපොළට ගියේ ඩුබායි වැඩසටහන්වල සැලසුම් සකස් කරමිනි. ගුවන් යානයට ඇතුළු වීමට හැකි අවසර පත්‍රය ලැබුණේ අලෙවි සගයන් දෙදෙනාට පමණි.
“ඔබට යන්නට බැහැ!” ප්‍රවේශපත්‍ර කවුළුවේ සිටි තරුණයා කීවේය. මම විමතිය පළ කළෙමි.
“ඔබගේ ගමන් බලපත්‍රය ලබන මාර්තු මාසයේ අවසන් වනවා. වෙනත් රටකට යන්න නම් අඩුම තරමින් හය මාසයක් තිබෙන්නට ඕනෑ.”
“ඉතින් මට ලංකාවෙන් එන්න දුන්නෙ කොහොමද?”
“ඒක ලංකාවේ හිටපු අයගෙ ප්‍රශ්නයක්. ඒත් මේ තමයි නීතිය. අපට ඔබට යන්න ඉඩ දෙන්න බැහැ.”
මා සමඟ සිටි ගමන් සගයෝ මැනවින් ඉංග්‍රීසිය හසුරුවන්නට දත්තෝය.
“පීනන්න මුහුදට දැම්මට පස්සේ, ආපහු මඟදී ගොඩට ගන්න එක වැරදියි. ශ්‍රී ලංකාවෙදි කියන්න තිබුණා.” ඔවුහු අවධාරණය කළහ.
එහෙත් ඒ කිසිවකින් පලක් නොවීය. මගේ ගමන් බලපත්‍රය ආපසු දෙනු ලැබිණි. තවත් පැය හයකින් පමණ ශ්‍රී ලංකාවට පිටත් වන යානයක් තිබේ. ආපසු යන්නට කටයුතු පිළියෙල කරගන්නා ලෙස ඔවුහු මට දැනුම් දුන්හ.
විපිළිසර වූ මගේ සගයෝ මා දෙස බලා සිටිති.
“ඔය දෙන්න යන්න; මම ආපහු යන්නං.”
“අපි ගියා වගේ නෙවෙයි; කවුද අප්ඩේට්ස් දෙන්නේ?”
අලෙවි යෝජනාවලියට අනුව ඩුබායි නගරයේ සිට සජීව වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කළ යුතුව තිබේ.
මගේ සගයෝ මා වැලඳගත්හ. එකකුගේ ඇස්වල කඳුළුය. අනෙකා සුසුම් හෙළයි. මම මගේ ගමන් මලු දෙක ආපසු ට්‍රොලියට පටවා ගත්තෙමි.
තවත් පැය හයක් තනිව මෙහි ගත කළ යුතුය. මම කෙළවරක වූ පුටුවකට බර වීමි. ඩුබායි ගුවන් ප්‍රවේශපත්‍ර කවුළුව ඈතින් පෙනේ. දැන් එහි කිසිවෙක් නැත. කවුළුව වසාදමන්නට සැරසෙනු පෙනේ.
කාර්යබහුලත්වය නිසා දරුවන් වෙනුවෙන් කිසිවක් මිල දී ගත නොහැකි විය. සැලසුම වූයේ සියල්ල ඩුබායිහිදී සිදු කරගැනීමටය. දැන් ඉතින් හිස් අතින් ගෙදර යා යුතුය. මා තාත්තා කෙනකුගේ වගකීම පැහැරහැර ඇතැයි මට සිතිණි. අපේ තාත්තා සිහියට ආවේ ඒ වෙලාවේය. ‘ඕනෑම දෙයක් කටින් ජය ගන්න පුළුවන්.’
ප්‍රවේශපත්‍ර කවුළුවල තරුණ තරුණියන් එකිනෙකා විසිර යති.
“මුන්ට කවුරු හරි ලොක්කෙක් ඇති.”
ඒ ඇසුණේ තාත්තාගේ කටහඬය. ගමන් මලුද අමතක කොට මම අදාළ ගුවන් සමාගමේ, සිංගප්පූරු ගුවන්තොටුපොළ ප්‍රධානියා සොයා ගියෙමි. මා විසින් කිව යුතු කරුණුවල සැලැස්මක් හිතේ සටහන් කරගතිමි.
මම ලංකාවේ පෞද්ගලික ගුවන්විදුලියක සාමාන්‍යාධිකාරිවරයා බව කියා, පළමුව මගේ ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කළෙමි. දෙවනුව අප ආ කාරිය විස්තර කළෙමි.
“ඉතින් ඔබ ඇයි මා හමු වන්නේ?” ඉතා සුහදව ඔහු ප්‍රශ්න කළේය. මට අවශ්‍ය තැනට ඔහු පැමිණ තිබේ. මම සිනාසුණෙමි.
“බලන්නකෝ… මට යන්න දෙන්න බැහැ කියනව නේ…”
විමතිය පළ කරමින් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ ඔහු, නළල රැළි ගැන්වීය.
“කිසි ගැටලුවක් නැහැ. ඔබ ප්‍රවේශපත්‍ර කවුළුව ළඟට යන්න.”
“මං හිතන්නෙ දැන් ඒක වහලා…”
“ඒක මම බලාගන්නම්. ඔබ යන්න.”
මම ඔහුට ස්තුති කර, වහා ඉන් ඉගිළුණෙමි. මා එහි යන විට පියකරු යුවතියක් මා බලාපොරොත්තුව සිටියාය.
ගුවන්යානයට මගීන් ඇතුළු කර අවසන්ය. එහෙත් මගීහු දෙදෙනෙක් ගුවන්යානය තෙක් සවි කරන ලද බරාඳය දිගේ ගාටමින් ඇදෙයි. මම ඔවුන් පසුපස ගියෙමි.
“මහත්තයලා ඩුබායි යනවා වගේ…”
වහා ආපසු හැරුණු ඔවුන් දෙදෙනා මා වැලඳගත්තේ ශ්වසන පද්ධතියද අවහිර කරවමිනි.