Home » කතුන්ගේ නිරුවත ජාලයට දමා කප්පම් ඉල්ලන කණ්ඩායම්

කතුන්ගේ නිරුවත ජාලයට දමා කප්පම් ඉල්ලන කණ්ඩායම්

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

න්තර්ජාලය පරිශීලනය කරන ඇතැම් ළමයින්, සිසුවියන්, තරුණ යුවතියන්, කාන්තාවන් අපහසුතාවට අසරණභාවයට පත් කරමින් ඒ අයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කරන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම්වල කටයුතුවල යම් ප්‍රවණතාවක් පෙනෙන්නට ඇත්තේ පොලීසිය, ළමා සහ කාන්තා කාර්යාංශය සහ රහස් පොලීසියට මේ සම්බන්ධව ලැබෙන පැමිණිලිවලද යම් වැඩිවීමක් ඇති බව දක්නට ඇති නිසාය.

අන්තර්ජාලය ඔස්සේ සැරිසරමින් ළමයින්, කාන්තාවන්, තරුණ යුවතියන්, සිසුවියන් මෙලෙස අපහසුතාවට ලක්කරන කල්ලි කණ්ඩායම්වලින් ඇතැමෙකුගේ අරමුණ ඒ අය බිය ගන්වා මිල මුදල් ලබා ගැනීමයි. තවත් අයගේ අදහස ලිංගික අල්ලස් ඉල්ලීමයි. මෙවැනි සිදුවීම් ගණනාවක් පිළිබඳ මේ වන විට විමර්ශන පැවැත්වෙමින් තිබීමද සුවිශේෂීය. පොලීසිය, රහස් පොලීසිය, ළමා සහ කාන්තා කාර්යාංශය මේ අන්තර්ජාල ලිංගික හිංසන ගැන විමර්ශන සිදු කරන බව දැන ගැනීමට ඇත.

මේ අතර පසුගියදා වාර්තා වුණ සුවිශේෂීම සිදුවීම වූයේ අන්තර්ජාල ලිංගික හිංසන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන 30ක් පිළිබඳව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කිරීමයි. ඉන් 15ක් වයස අවුරුදු 16 සිට 52 දක්වා වයස්වල පසුවන කාන්තාවන්ගේය. එලෙස කාන්තාවන් 15 දෙනකුගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලදැයි පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට සිදු කරන ලද පැමිණිලි 15ක් සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිනිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 15ක් ගොනු කළේ පසුගියදාය.

අදාළ කතුන් 15 දෙනා අන්තර්ජාලය ඔස්සේ තමන්ට සිදු වූ ලිංගික අතවර, සාපරාධි බලහත්කාරය පිළිබඳ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට මෙලෙස පැමිණිලි කර තිබුණු අතර ඒ පිළිබඳව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාය. අදාළ පැමිණිලි 15 සම්බන්ධයෙන් තොරතුරු ද ස්ථානාධිපතිනිය අධිකරණයට ඉදිරිපත් කළාය.

අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප බෙදාහරිමින් ලිංගික අතවර සිදු කරන ලදැයි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක සහ දඹදෙණියේ පදිංචි 18 හැවිරිදි තරුණියක් රත්මලානේ පදිංචි 28 හැවිරිදි තරුණියක් සහ නුගේගොඩ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණු බවද එහි ස්ථානාධිපතිනිය අධිකරණයට දැන්වූවාය.

කොටහේන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණියක් පල්ලේගම පදිංචි 30 හැවිරිදි තරුණියක් සහ පිළියන්දල පදිංචි 48 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට කළ පැමිණිලිවල සඳහන්ව තිබුණේ නිරුවත් ඡායාරූප බෙදාහරින බවට තර්ජන සිදුකර ලිංගික අතවර කළැයි කියන සිදුවීම් සම්බන්ධයෙනි.

අන්තර්ජාලය ඔස්සේ ලිංගික අතවර සිදු කරන ලදැයි චෝදනා කරමින් නාරාහේන්පිට පදිංචි 44 හැවිරිදි කාන්තාවක් මොරටුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක් කිරුළපන පදිංචි 21 හැවිරිදි තරුණියක් පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබුණ අතර ඒ පිළිබඳව ද ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය අධිකරණය දැනුම්වත් කළාය.

පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය සිදු කරන අදාළ විමර්ශන 15 සම්බන්ධයෙන් ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් සිසුවියකට තර්ජනය කළ බව කියන ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනකු ද නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ද පසුගියදාය.

ඉමෝ තාක්ෂණය ඔස්සේ හඳුනාගත් 17 හැවිරිදි සිසුවියකට තර්ජනාත්මක ඇමතුම් ගෙන අන්තර්ජාලය ඔස්සේ ලිංගික අතවර කර ඒවා ප්‍රචාරය කිරීමේ චෝදනා ලද පුද්ගලයකු විවෘත වරෙන්තු ලබා සැඟවී සිටියදී පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය. ඒ වසර 4කට පමණ පසුය. සැකකරු පෙදරේරුවකුගේ වෙස්ගෙන මොරටුව අඟුලාන පැල්පත් නිවාසයක සැඟවී සිටියදී එලෙස අත්අඩංගුවට ගැනිණි.

සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගතව කණ්ඩායම් පන්තිවලට සහභාගීවන දැරියන් ඉලක්ක කරගනිමින් සිදුවන වංචාවන් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තොරතුරු හෙළි කළේ පසුගියදාය. මාර්ගගතව කණ්ඩායම් පන්තිවලට සහභාගි වන සිසුවියන් සිය ගිණුමට ඔවුන්ගේ සැබෑ ඡායාරූප උඩුගත කර ඇති අවස්ථාවලදී කිසියම් වංචනික කල්ලියක් එම ඡායාරූප බාගත කරගෙන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූපයක් ලෙස ඒවා සකස්කර අන්තර්ජාලයට උඩුගත කිරීම සිදු කරන බව එම සංසදයේ නිලධරයන් විසින් තොරතුරු හෙළිකරගෙන තිබුණි.

එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුකපොළ සඳහන් කර තිබුණේ 2024 වසරේ ෆේස්බුක් ආශ්‍රිත සයිබර් අපරාධ 1600ක් පමණ වාර්තා වී ඇති බවයි.

අන්තර්ජාලය ආශ්‍රිතව ළමා හිංසන 137361ක් 2023 වසරේ වාර්තා වූ බව ඉන් 46% ක් වයස අවුරුදු 10ට අඩු ළමයින් බව පීස්එක්පැට් ආයතනයේ වැඩසටහන් නිලධාරිනි අමාලි රණසිංහ හෙළිකර තිබුණේද පසුගියදාය. ළමයින්ගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට යොමු කිරීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 151ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගිය වසරේදී ලැබී තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division