Home » හොර බීඩී කොළ කල්ලියේ පොලීසියට දෙන්න හැදූ අල්ලස

හොර බීඩී කොළ කල්ලියේ පොලීසියට දෙන්න හැදූ අල්ලස

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
මිහිර විජේසේකර මාරවිල සමූහ

– ලක්ෂ 5ක අල්ලස් දෙන්න හැදූ ජාවාරමුන් දෙදෙනාම අල්ලයි

“සර් අපිට යන්න දෙන්න… මෙතැන රුපියල් ලක්‍ෂ පහක් තියෙනවා… සර්ලා තුන්දෙනා බෙදාගන්න… සර් සමාවෙන්න ඕන එහෙම කියනවට…”

“තමුසෙ හිතුව ද අපි පගාව ගන්නවා කියලා… තමුන්ලව අල්ලස් දීමට තැත් කිරීමේ චෝදනාවත් එක්ක උසාවි දානවා…”

ඒ බීඩි කොළ ජාවාරමේ නියුතු ජාවාරම්කරුවෙකු සහ වෙන්නප්පුව මූලස්‌ථාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන අතර ඇතිවූ දෙබසක කොටසකි. මේ සිද්ධිය වූයේ වෙන්නප්පුව, කඩවතවැල්ල වෙරළ තීරයේදීය. ඒ ඉකුත් 07 වැනි දින අලුයම 3.00ට පමණය. අත්අඩංගුවට පත් බීඩි කොළ තොගය සහ ඔවුන්ව නිදහස් කරන ලෙස ජාවාරමුන්ගේ කන්නලව්ව විය.

ඉන්දියාවේ සිට නීති විරෝධී අන්දමින් ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එන බීඩි කොළ තොගයක් සම්බන්ධ තොරතුරක් ලැබුණේ වෙන්නප්පුව පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාටය. ඒ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙනි.

ඒ අනුව දිගින් දිගටම ඒ සම්බන්ධව සිදුකළ සොයා බැලීම්වලදී අනාවරණය වූයේ 07 වැනි දින අලුයම වෙන්නප්පුව, ‘කඩවතවැල්ල’ වෙරළ තීරයට ධීවර යාත්‍රාවකින් බීඩි කොළ තොගයක් රැගෙන එන බවය. ඒ අනුව දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා මේ ගැන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි දැනුම්වත් කළේය.

අනතුරුව මූලස්ථාන ප්‍රධන පොලිස් පරීක්ෂකවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන පොලිස් නිලධාරීන් සමඟ වැටලීම සිදු කරන ආකාරය සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අදාළ ස්ථානයට පිටත්ව ගියේ ඉකුත් හය වැනි දින රාත්‍රියේය. යාත්‍රාව පැමිණෙන බව සඳහන් වූ ස්ථානය පාළු ප්‍රදේශයකි. වැටකෙයියා පඳුරුවලින් ගහන මෙම ස්ථානය අන් කෙනෙකුට නොපෙනෙන සේ සැඟව සිටීමට හැකිවීම ද නිලධාරීන්ට වැටලීම සිදු කිරීමට පහසු විය.

බොහෝදුරට මෙවැනි ජාවරම් සිදුවන අවස්ථාවේ ජාවාරම්කරුවන්ගේ ඔත්තුකරුවෝ ද සිදුවීම වන ‘ඉසව්වේ’ ස්ථානගත වී ජාවාරමට සහාය ලබාදීමට කටයුතු කරති. එවැනි දේ සැලකිල්ලට ගනිමින් පොලිස් නිලධාරීන් විවිධ වෙසින් රැකවල් යොදා සිටීමට කටයුතු කළේය. ඉලක්කගත ස්ථානයට නුදුරින් ඉතා විමසිලිවන්තව පොලිස් නිලධාරීන් තිදෙනා ස්ථාන තුනක රැඳී සිටීමට කටයුතු කළේය. ජංගම දුරකතන මඟින් කෙටි පණිවිඩ ඔස්සේ තොරතුරු හුවමාරු කරගනිමින් සිටින අවස්ථාවේ ඈත දියඹේ යාත්‍රාවක් වෙරළ දෙසට එන අයුරු එක් නිලධාරියකුගේ ඇස ගැටුණි. ඒ සමඟම සෙසු නිලධාරින් දෙදෙනා ද දැනුම්වත් කිරීමට ඔහු කටයුතු කළේය.

වේලාව අලුයම තුනට පමණ විය. මඳ වේලාවකින් බීඩි කොළ පටවාගත් යාත්‍රාව ඉතා වේගයෙන් මුහුදු තීරයට පැමිණියේය. ලහිලහියේ ඉන් බැස ගත් දෙදෙනෙක් මහත් ආයාසයෙන් යාත්‍රාව ගොඩට ගැනීමට කටයුතු කරන අතරතුර සැඟව සිටි නිලධරයෝ එකවරම ඒ දෙසට කඩාපැන්නෝය.

නිලධාරින් දැක තැති ගත් ජාවාරමුන් පලා යාමට උත්සාහ කරන අයුරු දැක දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා,

“දුවන්න හදන්න එපා… දිව්වොත් දන්නවනෙ වෙන දේ…” කියනවාත් සමඟ ස්ථානාධිපතිවරයාගේ අණ පිළිගත් ප්‍රධාන ජාවාරම්කරු කඩිනමින් ඔහු ඉදිරියට පැමිණියේ කළු පැහැති බෑගයක් ද අතැතිවය. බෑගයෙන් පහන්දාහේ නෝට්ටු මිටියක් අතට ගනිමින් ලක්ෂ පහක මුදලකට නිලධාරීන් නතු කර ගැනීමට ගත් උත්සාහය නිෂ්ඵල බවට ඒත්තු ගැනුණේ ජාවාරමුන් හොඳ පදමට පොලිස් නිලධාරීන්ගෙන් බැණුම් ඇසීමත් සමඟය. අවසානයේ සිදු වූයේ බීඩි කොළ ජාවාරමට පමණක් නොව අල්ලස් දීමට තැත් කිරීමේ චෝදනාවත් පොලිස් පොතේ සටහන් වීමය.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනෙක් සැකකරු වෙන්නප්පුව ප්‍රදේශයේය. අත්අඩංගුවට පත් ධීවර යාත්‍රාවේ ජලය කාන්දු නොවන සේ ආරක්ෂිතව සැකසූ කිලෝග්‍රෑම් හතළිහක් බර බීඩි කොළ ඇසුරුම් තිස් හතක් තිබී මෙහිදී පොලිස් බාරයට ගැනිණි. එහි වටිනාකම රුපියල් කෝටියකට අධිකය.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 805ක් ද පොලීසිය විසින් සොයා ගන්නා ලදි.

අල්ලස් ලබා දීමට තැත් කළ රුපියල් ලක්ෂ පහක මුදල නඩු භාණ්ඩ වශයෙන් ගෙන අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් සහ නීති විරෝධීව බීඩි කොළ මෙරටට රැගෙනඒම සම්බන්ධයෙන් මෙන්ම හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම යන චෝදනා ගොනුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.අයි. රොහාන් පෙරේරාගේගේ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි අසේල පුල්වංශගේ අධීක්ෂණයෙන් වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන, පොලිස් සැරයන් (72471) නිශාන්ත, කොස්තාපල් (24045) දිල්මින් යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

වැට­ලීම කළ නිල­ධා­රින් කණ්ඩා­යම අත්අ­ඩං­ගු­වට ගත් බීඩි කොළ පරීක්ෂා කරන අයුරු

වැට­ලීම කළ නිල­ධා­රින් කණ්ඩා­යම අත්අ­ඩං­ගු­වට ගත් බීඩි කොළ පරීක්ෂා කරන අයුරු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division