Home » මත්කුඩු ගන්න සල්ලි හොයන්න පෙම්වතිය සමඟ ගිය අපරාධ චාරිකාව

මත්කුඩු ගන්න සල්ලි හොයන්න පෙම්වතිය සමඟ ගිය අපරාධ චාරිකාව

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
කේ. ප්‍රියංකර කළුපහන වනාතවිල්ලුව සමූහ

– පෙම්වතියගේ වාහන ආශාව සංසිඳුවන්න කුලී රථ ආයතනයක වැගන්ආර් රියක් කොල්ලකාලා

පැහැ­ර­ගත් වැග­න්ආර් රථය

පැහැ­ර­ගත් වැග­න්ආර් රථය

ආශාවන් පසුපස හඹාගොස් කරදරේ වැටුණු අඹුසැමියන් ගැන මේ කතාව වාර්තා වූයේ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සිදුකරන ලද විමර්ශනයකදීය. ප්‍රදීප් වයස අවුරුදු 24ක අයෙකි. මොහු පරිගණක ක්ෂේත්‍රය ආශ්‍රිතව ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ දඹදෙණිය සිය නිවසේදීය. ටික කලක් එම වෘත්තියේ නියැළි සිටි මොහුට කාලයාගේ ඇවෑමෙන් පෙම්වතියක් මුණගැසෙන්නේ පුදුමාකර හමුවීමක් ලෙසිනි. ඇය ආඬිගම පදිංචි වයස අවුරුදු 22ක තරුණියකි.

ඇය අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා පසුකාලීනව ආඬිගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස සේවයේ යෙදී සිට ඉන් ඉවත්ව වෙනත් රැකියාවක් සොයා දඹදෙනිය ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදී ඇයට නවාතැන් ගැනීමට හමුව ඇත්තේ ප්‍රදීප්ගේ නිවෙසේය. ටික කලක් ඇය එහි පදිංචිව සිටිමින් රැකියාවක නිරත වූවාය. ඇය සහ ප්‍රදීප් අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවන්නේ ඔය අතරය.මේ යුවළ නීත්‍යනුකූලව විවාහ ගිවිස නොගත්තත් අඹුසැමියන් ලෙස එකම නිවසේ වාසය කරන්නට විය. ඔය අතරේ මේ තරුණ යුවළ අධික ලෙස හොරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූහ. දෙදෙනාගේ හෙරොයින් පානයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට මොවුන් පසු කාලීනව විවිධ වෘත්තීන්වල නියැළෙන්නට විය. දිනක් මෙම තරුණිය තරුණයාට යෝජනාවක් ගෙන එමින් මෙසේ පවසන්නට විය.

“සුදූ“… හැමදාම අපි මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ. අපිටම කියලා යන්න එන්න වාහනයක්වත් තියෙන්න එපා“ යැයි ඇය පැවසුවාය.

එයට එකපයින්ම කැමති වූ තරුණයා පෙම්වතියගේ යෝජනාව අනුව මීට මාස කිහිපයකට පෙර එනම් ඉකුත් දෙසැම්බර් මස 24 දා හෝ ඊට ආසන්න දිනකදී මීගොඩ ප්‍රදේශයේ කුලී රථ සේවාවකට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ තමන්ට හංවැල්ල බස් රථයකට භාණ්ඩ කිහිපයක් ලබාදීමට අවශ්‍ය බැවින් මීගොඩ සිට හංවැල්ල දක්වා යාමට අවශ්‍ය බව පවසමින් ත්‍රිරෝද රථයක් කුලී පදනම මත ලබා දෙන ලෙසය. අනතුරුව කුලී ත්‍රිරෝද රථය මොවුන් සිටින ස්ථානය වෙත ළඟා විය. පසුව මෙම යුවළ එම රථයේ නැඟ ටික දුරක් ගමන් කරන්නට විය.

මෙම යුවළ කුලී ත්‍රිරෝද රථයේ රියදුරුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගෙන එම ස්ථානයෙන් පලා යන්නේ අනතුරුවය. එසේ තිබියදී මෙම යුවළ නැවතත් වාහනයක් පැහැර ගැනීමට පිඹුරුපත් සකස් කරන්නේ ඉතා සූක්ෂම අයුරිනි. එය සිදුවන්නේ මේ ආකාරයෙනි.

තරුණිය විසින් ඉතාමත් සැලසුම් සහගත ලෙස කුලී රථ සේවා ආයතනයක දුරකතන යෙදුම ඔස්සේ දුරකතන ඇමතුමක් ලබාගෙන පවසා ඇත්තේ වෙන්නප්පුව තෝප්පුව සිට ආඬිගම මදවක්කුලම දක්වා යාම සඳහා මෝටර් රථයක් අවශ්‍ය බවයි. පසුව මොවුන් දෙදෙනා ‘වැගන්ආර්’ වර්ගයේ එම මෝටර් රථයේ පසුපස ආසනයේ අසුන්ගෙන රියදුරුට උපදෙස් දී ඇත්තේ ආඬිගම මදවක්කුලම දෙසට යාමට අවශ්‍ය බවයි. පසුව මෝටර් රථය කෙමෙන් ආඬිගම වෙත ළගාවීමට ආසන්නව තිබියදී රියදුරු විමසා ඇත්තේ ඔවුන්ට යාමට අවශ්‍ය නියම ස්ථානය පවසන ලෙසය. ටික දුරක් යාමට මත්තෙන් පිටුපස අසුනේ සිටි තරුණිය සඟවාගෙන තිබූ තියුණු ආයුධයකින් රියදුරුගේ ගෙල ප්‍රදේශයට පහරක් එල්ල කරනවාත් සමඟ පිරිමියා රියැදුරු අල්ලාගෙන ඔහුගේ අතපය සහ මුහුණ ගෙල ආදී ප්‍රදේශයන්වලට බරපතළ කැපුම් තුවාල සිදුකර ඔහුව අසල කැලෑවක දමා ඔහුගේ මුදල් පසුම්බිය දුරකතනය සහ මෝටර් රථය කොල්ලකා පලා ගොස් තිබුණි.

බරපතළ ලෙස කැපුම් තුවාල ලත් රියදුරු අසල තිබූ පුද්ගලික වතු යායක ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් එහි මුරකරුට සිද්ධිය පවසා තිබුණි. අනතුරුව රියදුරු ගම්මුන් කිහිපදෙනෙකු විසින් ලොරියක පටවා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබුණි. ඒවන විටත් මේ යුවළ හලාවත ඔස්සේ වත්තල දක්වා පැහැරගත් මෝටර් රථයෙන් ගමන් කරන්නේ තමන්ට අවශ්‍ය හොරොයින් ලබා ගැනීම සඳහාය. පසුව වත්තලට පැමිණි යුවළට එදින රෑ බෝවීමත් සමඟ තරුණයාගේ සමීපතම මිතුරකු පදිංචි පමුණුගමට පැමිණ මිතුරාගේ නිවසට ළඟා වන්නේ එහි රාත්‍රිය ගත කිරීමේ අරමුණ ඇතිවය. අනතුරුව උදෑසන මෙම යුවළ මිතුරාට පවසා ඇත්තේ තමන් වත්තල ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීමට පැමිණි බවත් මුදල් අඩුපාඩුවක් හේතුවෙන් ස්මාර්ට් වර්ගයේ දුරකතනය රුපියල් දස දහසකට විකුණන බවයි. එය ඇසූ මිතුරා එම දුරකතනය මිලදී ගන්නේ මේ ගැන හාන්කවිසියක්වත් නොදැනීම නිසාය. මොවුන් විකුණා ඇත්තේ කුලී රථ රියැදුරාගෙන් පැහැරගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා ස්මාර්ට් වර්ගයේ දුරකතනයයි. පසුව මොවුන් දඹදෙණිය දක්වා එන්නේ ඉන් අනතුරුවය.

ඒ වන විටත් මෙම මෝටර් රථය පැහැර ගැනීම හා රියදුරුට බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇති යුවළ පිළිබඳව පල්ලම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව එම පැමිණිල්ලේ මූලික විමර්ශන කටයුතු භාර කෙරුණේ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් ඇතුළු කණ්ඩායමටය. ඒ වන විට අදාළ සැකකාර තරුණ යුවළ පෙබරවාරි 14 වන දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන නඩු කටයුත්තක් සඳහා පැහැර ගන්නා ලද මෝටර් රථයෙන්ම පැමිණි බවට ද පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට දැන ගන්නට ලැබී තිබුණි. ඒ නඩුව පවරා ඇත්තේ ද මීට වසර කිහිපයකට පෙර මෙම තරුණයා පරිගණක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකු වී රහස් පොලිසිය විසින් පවරා තිබූ නඩුවක් හේතුවෙනි. පසුව මෙම යුවළ අධිකරණයට ගොස් ආපසු දඹදෙණිය නිවස බලා පැමිණ නිවසේ සිටියදී ඉකුත් පෙබරවාරි 15 දා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී පොලිස් නිලධාරින් විසින් ඔවුන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී ත්‍රිරෝද රථයක ඉදිරිපස හා පසුපස අංක තහඩු දෙකක් සොයා ගැනීමට හැකිව තිබූ අතර, ඒ ඔස්සේ ද විමර්ශනයක් ආරම්භ කර ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ පන්නල පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී නිවැසියන් බිය ගන්වා රුපියල් 1,686,000ක් වටිනා දේපළ සහ මුදල්ද කොල්ලා එහිදී පැහැර ගත් ත්‍රිරෝද රථයේ අංක තහඩු බවයි. එයින් නොනැවතුන පොලිස් නිලධාරින් සිද්ධියට සම්බන්ධ තෙවන පාර්ශ්වයේ මොවුන්ගේ සමීපතම මිතුරා ද උස්වැටකෙයියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිදෙනාම පල්ලම පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර, එහිදී කළ මූලික ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියේ පළමු සැකකරු සහ ඔහුගේ පෙම්වතිය විසින් ඉකුත් පෙබරවාරි 10 වන දින පල්ලම පොලිස් ස්ථානය වෙත වාර්තාවූ NW CBG 6410 අංක දරන වැගන්ආර් වර්ගයේ මෝටර් රථය කොල්ලකෑම සහ එහි රියදුරුට බරපතළ ලෙස පහරදී අනර්ථය සිදු කිරීම ඔහුගේ දේපළ සොරා ගැනීම, මොවුන් විසින් සංවිධානාත්මකව සිදුකර ඇති බවයි. ඒ අනුව මොවුන් සන්තකයේ තිබී NW CBG 6410 අංක දරන වැගන්ආර් වර්ගයේ මෝටර් රථය, එම මෝටර් රථයේ රක්ෂණ සහතිකය සහ අදායම් බලපත්‍රය, රියදුරුගේ මුදල් පසුම්බිය, ඔහුගේ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය සහ ස්වයංක්‍රිය බැංකු කාඩ්පත් කිහිපයක්, රියදුරුගේ ජංගම දුරකථනය, සැකකරුවන් විසින් මෙම අපරාධය සිදු කිරීමට යොදා ගත් බව කියන ජංගම දුරකතනය සොයා ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව තවදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මීගොඩ පොලිස් වසමේදී ABC අංක දරන ත්‍රිරෝද රථය කොල්ලකෑම, පන්නල පොලිස් වසමේ රාත්‍රී කාලයේ නිවසකට ඇතුළු වී නිවැසියන් බිය ගන්වා රුපියල් 1,686,000ක් වටිනා දේපළ හා මුදල්ද කොල්ලකා ඇති බවයි. එහිදී පැහැරගත් ත්‍රිරෝද රථයේ BAT 9672 අංක දරන අංක තහඩු සොයාගෙන පල්ලම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබුණි.

වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් බණ්ඩාර නිලධාරින්ගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ. චන්ද්‍රසිරිලාල්ගේ මෙහෙයවීමෙන්, කොස්තාපල්වරුන් වන (67611) නිශාන්ත, (83736) ජයසුන්දර, (87153) සමීර, පොලිස් කොස්තාපල් රියදුරු (80271) බාලසූරිය යන නිලධාරින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division