Home » සියවස් 45ක් පුරා රූපාක්ෂර ලියන චීන්නු
ලොව ම රූපමය සන්නිවේදනයට හැරෙද්දී 

සියවස් 45ක් පුරා රූපාක්ෂර ලියන චීන්නු

by Mahesh Lakehouse
February 22, 2025 12:31 am 0 comment
3. ඇට­කටු අකුරුවල වත්මන් හැඩ­රුව, 7. මැටි අකුරු ඵලක, 6. උණ­බට පතුරු පොතක් සහ 8. මැටි අච්චුවේ මුද්‍රිත පොත් පිටුවක්

ක්‍රිස්තු පූර්ව 2500 පමණ සිට වර්තමානය දක්වා අඛණ්ඩව ම ව්‍යවහාර වන අක්ෂර ක්‍රමයක් වන්නේ චීන භාෂාවේ ලිඛිත ස්වරූපය වන චීන අක්ෂරයි. අද වන විට ලෝක ජනගහනයෙන් පහෙන් එකක් චීන භාෂාව තම මවුබස ලෙස හෝ දෙවැනි බස ලෙස ව්‍යවහාර කරති. එහිදී, මහජන චීන සමූහාණ්ඩුව, තායිවානය හා සිංගප්පූරුව ප්‍රධාන රාජ්‍ය භාෂාව ලෙස චීන භාෂාව ව්‍යවහාර කරන අතර, හොංකොං සහ මැකාවෝ යන ප්‍රදේශ පූර්ණ වශයෙන් චීන අක්ෂර ව්‍යවහාර කරයි. ජපානය සහ කොරියාව ද අර්ධ ලෙස චීන අකුරු භාවිත කරන රටවල් දෙකකි. චීන භාෂාව වනාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ව්‍යවහාර භාෂා හයෙන් එකකි.

චීන අක්ෂරවල මුල් ස්වභාවය ආදි මානවයා විසින් ගල්ලෙන්වල සහ ගල් මතුපිට අඳින ලද ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර යැයි අනුමාන කළ හැකි වුවත් එබඳු අක්ෂරවලින් රචනා කරන ලද කිසිම ලේඛනයක් මේ වන තුරුත් සොයාගෙන නැත. ඒ කෙසේ වුව ද එබඳු චිත්‍රවලින් පරිණාමය වූ ක්‍රිස්තු පූර්ව 2500 දී පමණ බහුල ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි අනුමාන කළ හැකි ‘ජ්‍යා ගූ වන්’ හෙවත් ‘ඇටකටු අකුරු’ අද වන තෙක් ම දැක ගැනීමට පුළුවන. චීන අකුරුවල දැනට දක්නට ලැබෙන පැරණිම ස්වරූපය ඇටකටු අකුරු ය. මේ අකුරුවලට ‘ඇටකටු අකුරු’ යනුවෙන් කියනුයේ ඒවා සතුන්ගේ ඇටවල සහ ඉබ්බන්ගේ කටුවල කොටා ඇති නිසා ය. මෙහි 1 වැනි රූපයෙන් දැක්වෙන්නේ සතුන්ගේ ඇටකටුවල කොටා ඇති අක්ෂර වන අතර, 2 වැනි රූපයෙන් නිරූපණය වන්නේ ඉබි කටුවල කොටා ඇති අක්ෂර ය. එවක විසූ නිමිත්ත පාඨකයෝ රජතුමාගේ නියමයෙන් නිමිති බැලූ විට එහි ප්‍රතිඵලය රජතුමාට දැනුම් දීම සඳහා නිමිති බැලීම සඳහා යොදාගත් සත්ත්ව ඇටකටු මත අනාගතයේ සිදු විය හැකි දෑ පිළිබඳ සටහනක් දමා, රාජ්‍ය ලේඛනාගාරයට යැවූහ. එසේ ලේඛනගත කරන ලද වාර්තා ‘ජ්‍යා ගූ වන්’ හෙවත් ‘ඇටකටු අකුරු’ යනුවෙන් අද හඳුන්වනු ලැබේ. මේ අක්ෂරවල විශේෂත්වය වන්නේ අකුරුවල හැඩය යම් තරමකට වෙනස් වුවත්, ඒ අකුරුවලින් බහුතරයක් අද ද ව්‍යවහාරයේ පැවතීම ය.

සමීපාතීතයෙහි විසූ චීන ජාතිකයන් කල්පනා කළේ අකුරු ලියූ මේ ඇටකටු මකරුන්ගේ ඇට කියා ය. බොහෝ දෙනා ඒවා තම්බා බීමෙන් ලෙඩ සුවවෙතැයි සිතූහ. එහෙත් 1899 වර්ෂයේදී චීන වාග්විද්‍යාඥයකු වූ ‘වාං ෂී රොං’ හනන් පළාතේ අන් යං ප්‍රදේශයෙන් ලැබුණු අකුරු කෙටූ ඇටකටු සමූහයක් පරීක්ෂා කිරීමෙන් පසු, ඒවා ලේඛන බව සොයා ගත් අතර, ඒවායේ අන්තර්ගතය කියවීමෙන් පසු විස්තර වන්නේ ක්‍රි.පූ. 1250ත් 1200ත් අතර කාලයේ ෂාං අධිරාජ්‍යයේ පාලකයකු වූ තිං පිළිබඳව යැයි හඳුනා ගත්තේ ය. 3 වැනි රූපයෙන් දැක්වෙන්නේ ‘ජ්‍යා ගූ වන්’ හෙවත් ‘ඇටකටු අකුරු’ සහ ඒ අකුරුවල වර්තමාන ස්වරූපයයි.

වසර දහස් ගණනකට පෙර පැවති ඇටකටු අකුරු පිළිබඳව පසු කාලයකදී චීන ජනතාවගේ මතකය නැවත අවදි වීමට මේ සිද්ධිය ඉවහල් විය. එහෙත් ඒ හා සමාන ම ඉතිහාසයක් ඇති චීන ලෝකඩ අකුරු සම්බන්ධයෙන් නම් වසර දහස් ගණනක සිට අධ්‍යයන සිදු කරන ලද බව පැවසීමට පුළුවන. ක්‍රිස්තු පූර්ව 1046ත් 771ත් අතර කාලයේ චීනයේ පැවති ඣොව් රාජ්‍ය සමයේදී බොහෝ සේ ප්‍රචලිත වූ ලෝකඩ අකුරු ඉහත කී ෂාං රාජ්‍ය සමයේ ද ව්‍යවහාරයේ පැවතිණි. මේ අකුරු සකසා ගන්නා ලද්දේ ලෝකඩ උණු කර, භාජන තනන අච්චුවල අකුරු කොටා, ඒවාට වත් කිරීමෙනි. ඒ අනුව තනා ගන්නා ලද ලෝකඩ භාජනවල චීන අකුරු දැක ගැනීමට හැකි විය. එසේ තනා ගන්නා ලද ලෝකඩ භාජන බොහෝ විට භාවිත කරන ලද්දේ ආහාර දැමීමට ය. එසේ ආහාර දමන්නට භාවිත කරන ලද භාජනයක ඇතුළු පැත්තේ කොටන ලද අකුරු සහිත ඡායාරූපයක් 4 වැනි රූපයෙන් දැක ගත හැකි ය. මේ ලෝකඩ භාජන අච්චුවක වක් කරන ලද හෙයින්, ඒවායේ දක්නට ලැබෙන අකුරු ද ක්‍රමානුකූලව අච්චුවේ කොටන ලද ඒවා ම වන අතර, අකුරු ද බෙහෙවින් කලාත්මක ය. තව ද, ඉතා පැහැදිලිව දක්නට ලැබෙන මේ ලෝකඩ අකුරු කියවීමට ද බොහෝ සේ පහසු ය. ඒ අකුරු කිසියම් රවුම් සහ සමාන ප්‍රමාණයන්ගෙන් යුක්ත වන බැවින් වැඩිදුර අධ්‍යයන කටයුතු කිරීමේදී කියවා තේරුම් ගැනීමට ද අපහසු නැති බව දැක ගැනීමට පුළුවන. මේ බව 5 වැනි රූපයෙන් නිරීක්ෂණය කළ හැකි ය.

මින් පසු කාලයක චීනයේ උණපතුරු මත අකුරු ලිවීමේ කලාව ආරම්භ විය. මෙහි විශේෂත්වය වන්නේ මනා ලෙස සකස් කරන ලද උණපතුරුවල මතුපිට තීන්ත පින්සලෙන් අකුරු ලිවීම ය. ක්‍රිස්තු පූර්ව 221ත් ක්‍රිස්තු වර්ෂ 420ත් අතර කාල පරාසය තුළ උණපතුරු මත අකුරු ලිවීමේ කලාව බොහෝ සේ ප්‍රචලිත විය.

ක්‍රිස්තු පූර්ව 259ත් 210ත් අතර කාලයේ රාජ්‍යය කළ චින්ෂ හුවං අධිරාජයා එවකට චීනයේ බෙදී සිටි පාලකයන් අත්අඩංගුවට ගෙන හෝ මරණයට පත් කර යටත් කොට, අධිරාජ්‍යයක් බිහි කළේය. මේ අධිරාජ්‍යයේ පාලන පහසුව තකා වෙනත් රාජධානිවල තිබුණු විවිධ අක්ෂර රූප විනාශ කොට, වර්තමානයේ දක්නට ලැබෙන අක්ෂර සම්ප්‍රදාය ආරම්භ කරන ලදි. මෙහි 6 වැනි රූපයේ දක්නට ඇත්තේ එවකට චීන ජනතාව විසින් පරිශීලනය කරන්නට ඇතැයි අනුමාන කළ හැකි, උණබටවලින් නිර්මාණය කරන ලද ග්‍රන්ථයකි. මෙතැන් පටන් එළඹුණු වසර 2,000ක් පමණ වූ ඉතිහාසය තුළ කවර රටක් හෝ ප්‍රදේශයක් චීන භූමියෙහි බිහි වුව ද, අක්ෂරවල නම් සැලකිය යුතු විශාල වෙනසක් දක්නට නොලැබෙන බව අධ්‍යයනයන්ගෙන් පැහැදිලි වේ.

කෙසේ වුව ද චීන අක්ෂරවල සැලකිය යුතු වෙනසක් ඇති වූ වකවානුවක් වන්නේ අච්චු අකුරු මුද්‍රණය ආරම්භ වූ කාලයයි. ඊට පෙර – එනම්: ක්‍රි.ව. 9 වැනි සියවසේදී පමණ – ලී පුවරු මුද්‍රණ ක්‍රමය ආරම්භ වී පැවති නමුත්, ඉතා පහසුවෙන් පොත්පත් මුද්‍රණය කිරීමට හැකි අච්චු අකුරු මුද්‍රණ ක්‍රමය ක්‍රි.ව. 1045 දී පමණ පී ෂං නම් චීන ජාතිකයා විසින් ආරම්භ කරන ලදි. ඔහු විසින් චීන අච්චු අකුරු නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ මැටි ය. එසේ මැටිවලින් සකස් කර ගන්නා ලද අකුරු අමුණා පොත්පත් මුද්‍රණය කරන ලදි. ඒ මුල් කාලීන මැටි අකුරුවල ස්වභාවය කෙබඳු ද යන්න 7 වැනි රූපයෙන් දැකගැනීමට පුළුවන. මැටි කැබලි මත මනා සංයමයෙන් යුක්තව අකුරු කොටා, ඉන් අනතුරුව අකුරු පෙළගස්වා පොත්පත් මුද්‍රණය කරගන්නා ලද අතර, එසේ මුද්‍රණය කරන ලද පොත්වල ස්වභාවය 8 වැනි රූපයෙන් දැක ගත හැකි ය.

චීන අකුරුවල මුල් කාලයේ දක්නට ලැබුණු සරල රූපමය ස්වභාවය උණබට අකුරු බිහි වන්නට වූ යුගයේ සිට අනුක්‍රමයෙන් අතුරුදන් වන්නට වූ බව පෙනේ. ඒ වෙනුවට වඩා ක්‍රමානුකූල, විධිමත් අක්ෂර සම්ප්‍රදායක් චීනයේ බිහි විය. චීන අක්ෂර විධිමත් ව සකස් වීමට බලපෑ ප්‍රධාන සාධක දෙකකි. ඉන් පළමු වැන්න නම්: ත්සයි ලුන් (ක්‍රි.ව. 63-121) නම් ශිල්පියා විසින් කඩදාසි නිර්මාණය කර ගැනීමේ තාක්ෂණය සොයා ගැනීමයි. හ නන් පළාතේ රාජ්‍ය නිලධරයකු වූ ත් සයි ලුන් විසින් ක්‍රි.ව. 1 වැනි සියවසේදී ලෝකයේ මුල් වරට කඩදාසි නිෂ්පාදනය කරන ලදි. මේ සඳහා ඔහු විසින් භාවිත කරන ලද්දේ ගස්පොතු, පරණ රෙදි, හණ සහ පරණ මාළු දැල් යනාදියයි. පැරණි තාක්ෂණයට අනුව නිපදවන ලද කඩදාසි 9 වැනි රූපයෙන් දිස් වේ. කඩදාසි භාවිත කොට චීන අකුරු ලිවීමට පටන් ගත් බැවින් ඉතා කෙටි කාලයක් ඇතුළත චීන අත්අකුරු විධිමත් ලෙස ලිවීමට ජනතාව හුරු වූහ.

චීන අක්ෂර විධිමත් ව සකස් වීමට බලපෑ දෙවැනි සාධකය වූයේ මුද්‍රණ කර්මාන්තයයි. කඩදාසි භාවිත කර මුද්‍රණය කරන ලද චීන පොත්පත් ක්‍රි.ව. 10 වැනි සියවස වන විට අතිශය සුලබ වීම නිසා ජනතාව අතර සාක්ෂරතාව ද දියුණු වූ බව පෙනේ. මේ නිසා ම චීන අකුරු චීන රාජ්‍යය අවට පිහිටා තිබුණු වෙනත් රටවල ද ප්‍රචලිත විය. උදාහරණ ලෙස දක්වතොත්: කොරියාව මුල පටන් ම ව්‍යවහාර කළේ චීන අක්ෂර වන අතර, ජපානය ද සම්පූර්ණයෙන් ම චීන අකුරු භාවිත කළ නමුත්, අද වන විට තවත් අක්ෂර ක්‍රම 2ක් චීන අකුරුවලට අමතරව භාවිත කරයි. ඈත අතීතයේ පටන් ම වියට්නාමය ද චීන අක්ෂර භාවිත කළ නමුත්, බටහිර ආක්‍රමණ කරණ කොට ගෙන මේ වන විට ලතින් අකුරුවලින් සකසා ගන්නා ලද අක්ෂර ක්‍රමයක් යොදා ගනී. මෙලෙස චීනය අවට රටවල් අතර චීන අකුරු ප්‍රචලිත වීමට ප්‍රධාන ම හේතුව වූයේ කඩදාසි යොදා ගෙන චීන අකුරුවලින් පොත්පත් මුද්‍රණය වීමයි. තව ද, ඒ වන විට චීනය අවට රටවල අක්ෂර ක්‍රම භාවිත නොවීම ද ඒ සඳහා බොහෝ සේ බලපා ඇත. මේ හේතුවෙන් ලොව පුරා චීන අක්ෂර ප්‍රචලිත වීම වසර 2,000කට පමණ පෙර සිට ම සිද්ධ වූ බව සනාථ වේ.

මෙලෙස රූපාක්ෂර ස්වරූපයෙන් ආරම්භ වී, අනුක්‍රමයෙන් විකාශනය වූ චීන අකුරු මුද්‍රණ කර්මාන්තයේ ආරම්භයත් සමඟ ම – එනම්: ක්‍රි.ව. 5-6 සියවස් පමණ වන විට – සංකේතාක්ෂර බවට පත් විය. රූපාක්ෂරවලින් පරිණාමය වූ චීන අක්ෂර අද වන විට පරිගණක අක්ෂර බවට පත්ව තිබීම ද විශේෂයෙන් ම සැලකිය යුත්තකි.

ඒ කෙසේ වුව ද, චීන අකුරු ‘අකාරාදි’ ක්‍රමයකට සකස් වී නැත. ඒවා අයත් වන්නේ සංකේතවලට ය. එබැවින් ඈත අතීතයේ පටන් අද දක්වා – කොපමණ චීන අකුරු සංඛ්‍යාවක් තිබේ දැයි කීමට කාට වත් පුළුවන්කමක් නැත. ෂ්‍යූ ෂන් නම් වාග් විද්‍යාඥයා විසින් ක්‍රි.ව. 1 වැනි සියවසේදී සංග්‍රහ කරන ලද මුල් ම චීන ශබ්දකෝෂය වූ ‘ෂුඔවන්ජිඑත්ස’ නම් ග්‍රන්ථයෙහි චීන අකුරු 9,353ක් සංග්‍රහ වී ඇත. වර්තමානයේ භාවිතයේ පවතින චීන මහා වචන කෝෂයේ 2010 මුද්‍රණයෙහි ඇතුළත් අක්ෂර සංඛ්‍යාව 60,370කි. චීනයේ මුද්‍රණය කරන ලද විශාලතම චීන අකුරු කෝෂය වන්නේ ‘සමස්ත චීන අක්ෂර සාගරය’ නම් වූ කෘතියයි. මෙහි අකුරු 85,568ක් ඇතුළත් වී ඇත. එහෙත් 1988දී හඳුන්වා දෙන ලද, නිතර භාවිත වන චීන අක්ෂර මාලාව අකුරු 3,500කින් සමන්විත වේ. එමෙන් ම පරිගණකයක භාවිත වන චීන අක්ෂර සංඛ්‍යාව 6,763කි. තව ද වර්තමානයේ ජංගම දුරකතනය, නොයෙකුත් විදත් උපාංග සහ වෙනත් ඕනෑ ම භාෂාවක් භාවිත වන නවීන තාක්ෂණික උපකරණ සමඟ කටයුතු කිරීමේදී කිසිදු බාධාවකින් තොරව චීන භාෂාව ව්‍යවහාර කිරීමට පුළුවන.

අද්‍යතන ලෝකයේ පොදු ස්ථානවල සිද්ධ කරනු ලබන සන්නිවේදන කටයුතු සඳහා භාෂාවලට වඩා සංකේතවලට මුල් තැන දෙන බව ඉතා පැහැදිලි ය. උදාහරණ ලෙස ගත හොත්: ගුවන් තොටුපොළ, බස් හා දුම්රිය නැවතුම්පොළ, රෝහල් ආදි ස්ථානවල පොදු සංකේත භාවිත කර ආපණශාලා, වැසිකිළි, පඩිපෙළ, විදුලි සෝපාන, විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා ගමන් පථ වැනි දෑ හඳුන්වා දෙන අයුරු අතිශය ඵලදායි වේ. එනයින් ම, චීන භාෂාව ද ලිඛිත ව්‍යවහාරයේදී භාෂා සංකේත භාවිත කිරීම වඩාත් පහසුවෙන් අදහස් සන්නිවේදනය කිරීමට හේතු වන බව කිව යුතු ය.

4-5. ලෝකඩ බඳුන් අකුරු, 1. ඇට­කටු අකුරු, 2. ඉබි කටු අකුරු සහ 9. පැරණි තාක්ෂ­ණ­යෙන් නිපැයූ කඩ­දාසි

4-5. ලෝකඩ බඳුන් අකුරු, 1. ඇට­කටු අකුරු, 2. ඉබි කටු අකුරු සහ 9. පැරණි තාක්ෂ­ණ­යෙන් නිපැයූ කඩ­දාසි

මහාචාර්ය නැදලගමුවේ 
ධම්මදින්න හිමි 
නූතන භාෂා අංශාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division