හොලිවුඩ් පුරය සිසාරා විස්මිත නිමැවුම්කරුවෝ වෙසෙති. අසූහත් හැවිරිදි රිඩ්ලි ස්කොට් එවැනි එක් සිනමා නිර්මාණකරුවෙකි. හතළිස් හැවිරිදි වියේදී චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය ලොවක් වසඟයට ගත්තේය. ඒ, හොලිවුඩ් පුරයේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම විසින් ලොව පුරා බෙදාහරින ලද ‘ඒලියන්’ (Alien, 1979) චිත්‍රපටය මඟිනි. පිටසක්වළ ජීවින් පිළිබඳ ලෝකයට ලොමුඩැහැගන්වන කතාවක් රැගත් මේ චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක් වූ චිත්‍රපටයකි. මේ වන විට හොලිවුඩ් චිත්‍රපට තිහකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ රිඩ්ලිගේ චිත්‍රපට අතර ඇති ‘බ්ලේඩ් රනර්’ (Blade Ranner, 1982) චිත්‍රපටය සිනමා සංස්කරණය පිළිබද අලුත් අත්පොතක් ලෙස පිළිගැනීමකට ලක්විය.
ඊට අමතරව තෙල්මා ලුවිස් (Thelma Loiuse, 1991), හැනිබල් (Hannibal,2001), බ්ලැක් හෝක් ඩවුන් (Blak Hawk Down, 2001), අමෙරිකන් ගැන්ස්ටර් (American angster, 2007), රොබින්හුඩ් (Robinhood, 2010), ප්‍රොමිතියස් (Prometeus, 2012), ද කවුන්සිලර් (The Counselor, 2013), නැපෝලියන් (Napolean, 2023) යනාදී චිත්‍රපට රැසක අධ්‍යක්ෂවරයාද රිඩ්ලිය.
ඔහු අධ්‍යක්ෂණය කළ ‘ග්ලැඩියේටර්’ (Gladiator, 2000 ) චිත්‍රපටය ලොව පුරා දැඩි අවධානයකට හා කතාබහට ලක් වූ චිත්‍රපටයකි. එහි දෙවැනි කොටස ලෙස ග්ලැඩියේටර් 2 (2024) මීට සති කිහිපයකට පෙර ලංකාවේ ද ප්‍රදර්ශනය විය. ලොවම දන්නා සත්‍ය සිදුවීම් දෙකක් පාදක කරගනිමින් ඔහු නිමැවූ චිත්‍රපට දෙකක තොරතුරු මේ ලිපියට පාදක වෙයි. එහි පළමු විවරණය ‘ඕල් ද මනි ඉන් ද වර්ල්ඩ්’ (All the money in the world, 2017) චිත්‍රපටය පිළිබඳවයි.
මේ කතාවට පාදක වන්නේ ‘පෝල් ගෙටී’ නම්, ඛනිජ තෙල් හා හා බැඳුණු ව්‍යාපාරයක් හිමි අමෙරිකානු කෝටිපති ව්‍යාපාරිකයෙකි. දාහතරක් වූ ඔහුගේ මුනුපුරු මිනිපිරියන් අතරින් මුනුපුරෙක් 1973 වසරේ ඉතාලියේදී පැහැර ගනු ලැබීය. පැහැරගත් පුද්ගලයන් මුනුපුරා නිදහස් කිරීමට ඩොලර් මිලියන 17ක් ඉල්ලා තිබුණු අතර, එහි ගැටලු සහගත තත්ත්වය වන්නේ මේ කප්පම් මුදල ගෙවීමට ගෙටී අකැමැති වීමයි. එසේ ඉල්ලන මුදල ගෙවීමෙන් තමන්ගේ අනෙක් මුනුපුරු මිනිපිරියන් තව තවත් පැහැර ගැන්මට ලක්වනු ඇතැයි ඔහු පැවසුවේය.
රිඩ්ලි ස්කොට්ගේ චිත්‍රපට අධ්‍යක්ෂණයේ අපූරු චරිත මෙහෙයවීමක් සහ රූගතකිරීමක් සහිත මේ චිත්‍රපටය 2017 වසරේ තිරගත වීමට ආසන්නව තිබියදී නොසිතූ බාධකයක් මතු වූයේය. ඒ, එහි කෝටිපති ව්‍යාපාරික පෝල් ගෙටීගේ චරිතයට පණ දුන් කෙවීන් ස්පේසි වසර ගණනාවකට පෙර ආධුනිකයකු ලෙස කර්මාන්තයට පිවිසි නළුවකු ලිංගික අපයෝජනයකට ලක් කිරීම හෙළිදරව් වීමයි. මේ සිදුවීම් සමඟ හොලිවුඩ් පුරයේ සියලු වෘත්තීය සමිති කෙවින් ස්පේසි රඟන තිරගත වීමට නියමිත සියලු චිත්‍රපට ප්‍රදර්ශනය නවතා, කර්මාන්තය තුළ ඔහුගේ වෘත්තීය භාවය අහෝසි කිරීමට තීරණය කළේය.
මේ තීරණයෙන් රීඩ්ලි ස්කොට් සසල විය. හදිසි නිෂ්පාදක රැස්වීමක් කැඳවූ ඔහු චිත්‍රපටයට සම්බන්ධ වූ දෙසීයක පමණ පිරිසගේ වෘත්තීය කඩාවැටීම වැළැක්වීමට පියවර ගන්නා බවත්, ඒ අනුව කෙවින් ස්පේසි රඟපෑ දර්ශන ඉවත් කොට, වෙනත් නළුවකු යොදා දින නවයක නැවත රූගත කිරීමක් කරන බවත් දන්නවා සිටියේය. ඔහු පැවැසූ පරිදි ක්‍රිස්ටෝපර් ප්ලමර් යොදා නැවත කරන ලද හදිසි රූගත කිරීම කිසි සේත්ම වෙනස් නොවන පරිදි චිත්‍රපටයට බද්ධ කිරීමට ඔහු හා කණ්ඩායමේ සාමාජිකයෝ වගබලා ගත්හ. රිඩ්ලි ස්කොට් සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කළ අනෙක් චිත්‍රපටය වන්නේ ලොව ප්‍රකට විලාසිතා මැවුම්කරුවකු වූ මොර්සියෝ ගුසීගේ ජීවිත කතාව පාදක කරගත් ‘හවුස් ඔෆ් ගුසි’ (House of Gucci, 2021) චිත්‍රපටයයි. සත්‍ය සිදුවීමක් නිසාම මෙහි සැබෑ චරිතවලට සමානවම නළු නිළියන් වෙස්ගැන්වීමට රිඩ්ලි ස්කොට් වගබලා ගත්තේය. එය කොතරම්දුරට සාර්ථක වීද යන්න ඒ වසරේ කේශාලංකාර හා වෙස්ගැන්වීමේ ඔස්කාර් සම්මානය ‘හවුස් ඔෆ් ගුසි’ චිත්‍රපටයට හිමි විය. එහි විස්මය වන්නේ ගුසිගේ භාර්යාවගේ චරිතයට තෝරාගනු ලැබූ ජනප්‍රිය ගායිකා ලේඩි ගාගාගේ පැහැපත් සම සහ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කොට සත්‍ය චරිතය හා සම වීමට වෙස්ගන්වා තිබීමයි. එමතුද නොව, ගුසිගේ සොහොයුරකු ලෙස රඟපෑ ජෙරාඩ් ලෙටෝගේ විස්මිත වෙස්ගැන්වීමට සරිලන රංගනය සම්මානනීයත්වයට ද පත්විය.
සම්භාවනීය සිනමාවට නෑකම් කියන මෙම චිත්‍රපට දෙක නැරඹීමේදී කිසිදු කම්මැළිකමක් ඇති නොවේ. ධාවනය වන කැමරා කෝණ තුළ චරිත පරිස්සමෙන් හැසිරවීමට අලුත් අරමුණු ඇති අධ්‍යක්ෂවරුන්ට අත්පොතක් බඳුය.
චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වීමට ප්‍රථම වෙළෙඳ ප්‍රචාරක පට දෙදහසකට වැඩි සංඛ්‍යාවක් රූගත කර තිබූ රිඩ්ලි චිත්‍රපට අධ්‍යක්ෂණයේදී බැහැර කළ යුතු ප්‍රධානම දේ ‘විවාද ඇති කරගැනීම නිසා කෝපය ජනිත වීම’ බව පවසයි. එවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදු වුවද ඒ නරක තත්ත්වය විනාඩි අටක් තුළ සංසිඳුවාගෙන කරන කටයුත්තට අලුත් ප්‍රවේශයකින් එළඹීම ඔහුගේ ක්‍රමය බව පවසයි. තවදුරටත් අදහස් පළ කරන ඔහු මෙසේ ද පවසයි:
“හොඳ තිරනාටකයක්, චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට අවශ්‍ය ප්‍රධානම දෙයක්. එය නිවැරදි තත්ත්වගතව පවතිනවා නම්, ඉතිරි කොටස් සංවිධානය පහසුයි. චිත්‍රපට පාසලක් තුළ මොන දෙයක් ඉගැන්නුවත්, අධ්‍යක්ෂණයේදී චිත්‍රපටය තුළ කාලය කළමනාකරණය කරගැනීම හා එහි චරිත හැසිරවීමට අවකාශය සලසා දීම තමා විසින්ම උගෙන යුතු දෙයක්. තමා චිත්‍රපටයේදී කියන්න යන අදහස තත්ත්පර තිහක් වැනි අඩුකාලයකදී දැනෙන්න කියන්න පුළුවන් නම් ඒ තුළ කරන කටයුත්ත පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. මා දකින දේ පිළිබද විශ්වාසයකින් ඉන්නේ. හොඳ චිත්‍රපටයක දෙබස්වලට වඩා දකින දේ වැඩි කිරීමෙන් ප්‍රබල ප්‍රකාශනයක් ඇති කරන්න පුළුවන්.
නළුවකු හෝ නිළියක රූගත කිරීම්වලදී සුවපහසු මානසික තත්ත්වයකින් සිටීම ඉතා වැදගත්. ඒකට සරිලන විදියට චරිතය අවබෝධ කර දෙන්න මම දන්නවා. තිරරචනය මූලික කියවීම්වලදී ඔහුගේ මතකය, දරාගැනීමේ ශක්තිය පිළිබද මම විමසිලිමත් වනවා. ඕනෑම පුද්ගලයකු අධ්‍යක්ෂවරයකු විමට බලාපොරොත්තු වන්නේ නම්, ඔහුට හෝ ඇයට හොඳ දරාගැනීමේ ශක්තියක් අවශ්‍යයි.
පද්මකුමා මෙත්තසේන