ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සොරුන්ගේ ග්‍රහණයට නතු වීම හේතුවෙන් දශක ගණනාවක් ශ්‍රී ලංකාව පැවතියේ විවිධාකාරයෙන් මහජන දේපොළ සොරකම් කරන දූෂිතයන් අතේ ය. පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව පිරිසුදු කර දෙන ලෙස ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදයේ සැබෑ රන්දෙවොලක් බවට පත් නොකොට රටට ඉදිරි ගමනක් යා නොහැකි ය.
සකලවිධ දූෂිත කණ්ඩායම් පාර්ලිමේන්තුවෙන් පලවාහැර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි යහපත් මහජන නියෝජිතයන් පිරිසක් අසුන් ගන්වා, මෙරට ඡන්දදායකයෝ ඕනෑවටත් වඩා ඉහළින් ඊට ප්‍රතිචාර දැක්වූවෝ ය.
එහෙත් අභාග්‍යයකට මෙන් කිරි කළයට ගොම කඳුළක් මුසු වී තිබේ. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්රදාය කැත කළ නරුම මිනිසුන්ගෙන් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක් කුමන හෝ වරදක් නිසා පාර්ලිමේන්තුවට ඇතුළු වී තිබේ. ඔවුහු ඔවුන්ට හුරු පුරුදු මජර දේශපාලන සංස්කෘතිය පාර්ලිමේන්තුව තුළ නැවතත් ඇති කිරීමේ වෑයමක් පසුගිය දිනවල දැක ගන්නට ලැබිණි. මේ දුෂ්ට වෑයම උපන් ගෙයි ම පරාජය කළ යුතු ය. ඒ අන් කිසිවක් නිසා නොව, දූෂිතයන්ට තවත් පරම්පරාවක් බිලි දීමට රට සූදානම් නැති නිසා ය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සැලකෙන්නේ මෙරට ව්‍යවස්ථාදායකයේ මුදුන් මල්කඩ ලෙස ය. 1944 සෝල්බරි කොමිසම විසින් වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හඳුන්වා දුන් තැන සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙසත්, 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ ජාතික රාජ්‍ය සභාව ලෙසත්, 1978 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙසත් අපේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වේ. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නැඟෙන්නේ පාර්ලිමේන්තුව මඟිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 (2, 3, සහ 4) විධානවලට යටත්ව පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය කිසිදු තත්ත්වයක් යටතේ අත්හළ නොහැකි ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද බලතල නිශ්චය කොට දැක්වීම පිණිසත්, භාෂණයේ සහ විවාදයේ නිදහස ආරක්ෂා කිරීම පිණිසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීම සහ විධිවිධාන සැලැස්වීම පිණිසත් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 5 දරන පනත සම්මත කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගර්භයේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් නියාමනය සඳහා එකඟ වූ නීති සමුදාය ‘පාර්ලිමේන්තු ස්ථාවර නියෝග’ නමින් හැඳින්වේ.
යථොක්ත කරුණු නැවතත් මෙසේ පෙළගැස්වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඔවුන්ගේ පැරණි රඟ මඬල බවට පත් කර ගැනීමට අතළොස්සක් පිරිස ගන්නා වෑයම පරාජය කළ යුතු බව අවධාරණය කිරීමට ය. දේශපාලන වශයෙන් මුහුණ දී ඇති පරිහානිය නිසා ගමට යා නොහැකි ඇතැමුන් පාර්ලිමේන්තු වීරයන් වීමට දඟලන අයුරු බලන්නත් ජුගුප්සාජනක ය.
මේ පිරිස් ඉතිහාසය පුරා කළේ කුමක් හෝ කාරණයක් අල්ලාගෙන සභාව මැදට කඩා පැන පාර්ලිමේන්තුවේ සියලු කටයුතු අවුල් කර දැමීම ය. මෙයට පෙර බලයේ සිටි ප්‍රධාන පක්ෂ දෙක ම ඊට වග කිව යුතු ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ පාලන සමයේ ඔහුගේ අනුගාමිකයන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ බජාර්කාරයන් ලෙස හැසිරෙමින් කථානායක පුටුව පැහැර ගත් අන්දමත්, දේපොළවලට අලාභහානි කළ අන්දමත් පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සටහන්ව තිබේ. කථානායක කරු ජයසූරිය එදා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට අසමත් විය.
මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පිජාමා සූට්වලින් සැරසී සභා ගැබ තුළ රාත්‍රිය ගත කළ අන්දම ද, කථානායක චමල් රාජපක්ෂ ඔවුන්ට එළු සුප් දුන් අන්දම ද ජනතාවට අමතක නැත.
වත්මන් විපක්ෂනායකයා හැසිරෙන්නේ ඉතිහාසයේ පැවති අයුරු, පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් කර ගැනීමට නම්, ඊට කිසි සේත් ඉඩ දිය යුතු නැත. ඒ නින්දිත ප්රයත්නය රටේ සැබෑ වෙනසක් අපේක්ෂා කරන යුක්තිගරුක මිනිසුන්ගේ නාමයෙන් වහා මැඬලිය යුතු ය.