ජනවාරි 26 වෙනිදා කොංගෝ ජනරජයේ ගෝමා නගරය සන්නද්ධ කැරලිකරුවන් යටත් කරගැනීමත් සමඟ දරුණු ගැටුම් හටගෙන තිබේ. කැරලිකාර M23 කණ්ඩායම විසින් පතුරුවනු ලබන මහා ප්‍රචණ්ඩත්වය හමුවේ සී සී කඩ දුවන කොංගෝ වැසියන්, හමුදාව හා කැරලිකාර කණ්ඩායමේ ගැටුම්වල දරුණුභාවය රැගත් දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පළ කරනු ලැබීය. රාජ්‍ය නොවන පාත්‍ර වර්ගයන්ගේ නැඟීම 21 වැනි ශතවර්ෂයේ බහුතර සන්නද්ධ අරගලවල කැපීපෙනෙන ස්වරූපය වී ඇත.
කිසිදු ආකාරයක මැදිහත්කරණයකට, සාකච්ඡාමය විසඳුමකට ඉඩක් නොතබා ඇති එම්23 කැරලිකරුවන් රුවන්ඩාවේ සහාය ලබන කැරලිකාර කණ්ඩායමක් ලෙස විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අවස්ථාව වන විටත් ගෝමා නගරයේ පාලනය සියතට ගැනීමට එම්23 කැරලිකාර කණ්ඩායම සමත්ව ඇති බව තහවුරු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක භටයන්ද මේ ගැටුමින් තුවාල ලබා හා මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක ප්‍රජාව වහ වහා කොංගෝවට සාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බල කෙරෙන තත්ත්වයක් පැනනැඟී ඇත.
2023 දෙසැම්බර් ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජයේ පැවති ජාතික මැතිවරණයෙන් පසු කැරලිකරුවන් හා ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජයේ රජය අතර ඉතා දැඩි නොසන්සුන්තාවක්, දේශපාලනික අස්ථාවරත්වයක් හා ගැටුම්කාරිත්වයක් උද්ගත විය. වසර 30ක පමණ සන්නද්ධ ගැටුම් ඉතිහාසයට උරුමකම් කියන ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජය අද මුහුණ දෙන දරුණු ගැටුම්කාරිත්වයද මේ ගැටුම් ප්‍රවාහයේ තවත් එක් සන්ධිස්ථානයක් මිස නවතම ගැටුමක් නොවේ. වත්මන් ගැටුමේ ප්‍රධානතම රංගධරයන් වන්නේ එම්23 කැරලිකාර කණ්ඩායම හා ඒඩීඑෆ් කණ්ඩායමයි. මේ කැරලිකාර කණ්ඩායම් රජය සමඟ ගැටෙන අතර, කොංගෝ නිල හමුදාවේද පාලනයෙන් බැහැරව ඉතා දරුණු ලෙස කටයුතු කරන බව විදෙස් මාධ්‍ය දක්වා ඇත.
කොංගෝ ගැටුම ඇරඹීම
වර්තමාන කොංගෝලියානු ජනපති ලෝරන්ට් ඩෙසිරෙකබිලා (Laurent Desirekabila) බලයට පැමිණීමට සහාය දුන් රුවන්ඩා හා උගන්ඩා මිත්‍රපාක්ෂිකයන්ට එරෙහිව කටයුතු කිරීම, වත්මන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ ගැටුමේ මූල හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අයුරින් ආරම්භ වූ ගැටුම්කාරි තත්ත්වය අද වන විට සමස්ත අප්‍රිකානු කලාපයම යුද භීතියෙන් ඇලළී ගිය දරුණුතම යුද ගැටුමක් බවට පත් වීම මහා ඛේදවාචකයකි. සන්නද්ධ කණ්ඩායම් 25ක් පමණ හා අප්‍රිකානු රටවල් 9ක්ද ඈඳුණු, ඉතා වේගයෙන් ඉහළ ආතතිමය ගැටුමක් බවට පරිවර්තනය වූ සන්නද්ධ අරගලයක්ව ව්‍යාප්තව ඇත.
කොංගෝව වසර 30ක පමණ දරුණු සන්නද්ධ ගැටුම් ඉතිහාසයක් ඇති රටකි. දෙවැනි කොංගෝ ගැටුම රාජ්‍යතාන්ත්‍රික පිරිස් විස්තර කර ඇත්තේ 21 වැනි ශතවර්ෂයේ මාරාන්තික යුද ගැටුම් අටෙන් එකක් ලෙසිනි. දෙවැනි කොංගෝ යුද්ධය, අප්‍රිකානු ලෝක යුද්ධය නැති නම් අප්‍රිකාවේ මහා යුද්ධය ලෙසද හැඳින්විණි. 1998 අගෝස්තු 2 දින ඇරඹි මේ යුද්ධය ඉතා දරුණු විය.
1996දී ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජයේ නැඟෙනහිර දෙසින් ඇරඹි ගැටුමින් ආසන්න වශයෙන් ජීවිත හානි මිලියන 6ක් පමණ සිදු වී ඇති බව වාර්තා වී ඇත. දෙවැනි කොංගෝ යුද්ධයට සමගාමිව ඇති වූ මානුෂීය ඛේදවාචකය හේතුවෙන් 2004 වන විට කොංගෝ වැසියෝ මිලියන 3ක් පමණ අසරණභාවයට පත් වූහ. මෙවැනි ආකාරයෙන් දශක ගණනාවක පටන් ඉදිරියට ඇදී ආ කොංගෝ ගැටුමේ ඉහළ ආතතිමය තත්ත්වය හේතුවෙන් 2002 හා 2003 අතර කාල පරිච්ඡේදයේදී රුවන්ඩාව, උගන්ඩාව හා ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජය අතර සාම ගිවිසුමකට යොමු වූ අතර, කින්ස්නාස්හි ජෝසප් කබීලාගේ නායකත්වයෙන් යුත් සංක්‍රාන්තියක රජයන් පිහිටුවනු ලැබීය. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්, ප්‍රතිසන්ධානගත වීමේ කමිටු පවතිද්දීත් ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජයේ නැඟෙනහිර කොටස දිගින් දිගටම කලබලකාරිත්වයෙන් ගැටුම්කාරිත්වයේ නොවෙනස්ව පැවතීම මේ වන විට උද්ගත වී ඇති දරුණු තත්ත්වයට මඟ පෑදුණු බව පැවසුවා නම් එය වඩාත් නිවැරදිය. ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජය රජයට සාම ගිවිසුම් හරිහැටි ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොවූ බවට ද ලෝක ප්‍රජාවගෙන් චෝදනා එල්ල වේ. වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජයේ නැඟෙනහිර දෙසට වන්නට පිහිටි ගෝමාහි එම්23 හා රජය අතර ගැටුමින් 17 දෙනකු පමණ මියගොස්, තවත් 400ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
‘එම්23’ කැරලිකාර කණ්ඩායමේ ප්‍රභවය
සුල්තානි මකෙන්ගාගේ නායකත්වයෙන් යුත් එම්23 කැරලිකාර කණ්ඩායම ආරම්භයේදී සාමාජිකයන් 300කගෙන් පමණ සැදුම්ලත්, ටුට්සි ජනවර්ගය නියෝජනයෙන් පැමිණි රාජ්‍ය නොවන පාත්‍ර වර්ගයකි. මේ වන විට අප්‍රිකානු කලාපයේ රාජ්‍ය නොවන පාත්‍ර වර්ගයන් 100ක් පමණ සක්‍රියව සන්නද්ධ අරගලවල නිරත බව විදෙස් මාධ්‍ය විග්‍රහ කර ඇත. ‘එම්23’ යන්න විස්තර වන්නේ ‘මාර්තු 23 පෙරමුණ’ වශයෙනි. එම්23 කැරලිකරුවන් වත්මන් කොංගෝ ගැටුම තුළ ප්‍රකාශයට පත්කර ඇත්තේ, ඔවුන් ටුට්සි ජනවර්ගයේ අයිතීන් ආරක්ෂාව හා සුළුතර ජනවර්ගවල සුරක්ෂිතභාවය වෙනුවෙන් සිය සටන මෙහෙයවන බවයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ ආණ්ඩුවට එරෙහිව සටන් වදින මොවුන් ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජයේ නැඟෙනහිර දෙසට වන්නට පිහිටි විශාලතම නගරය වූ මිලියනයක පමණ ජනගහනයක් ජීවත් වන ගෝමා නගරයේ පාලනය සියතට ගෙන මේ වන විට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේය. එම්23 බහුතරය මහජන ආරක්ෂාව උදෙසා වූ ජාතික කොංග්‍රසයේ හිටපු සාමාජිකයන් වූ අතර, මොවුහු කොංගෝ රජයට එරෙහිව නැගී සිටියහ. 2009 මාර්තු 23 (සාම ක්‍රියාවලිය) සාර්ථකව ඉදිරියට ගෙන යෑමට ප්‍රජාතන්ත්‍රවාදි කොංගෝ ජනරජය දැක්වූ අසමත්කම එම්23 වැනි කැරලිකරුවන්ගේ නැඟීම තීව්‍ර කිරීමට යම් බලපෑමක් එල්ල කළ බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ විවරණයයි. කෙසේ වුවද එම්23 කැරලිකාර කණ්ඩායම් සිය බලය කෙතරම් ප්‍රබලව පතුරවා ඇති ද යත්: ඔවුන් එම නගරයේ තානාපති කාර්යාලවලට ද පහර දීම අරඹා ඇති අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ස්වකීය සාමාජිකයන්ට කොංගෝවෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ගෝමාහි පිහිටි ගුවන් තොටුපොළද එම්23 කැරලිකරුවන් අතට පත්ව ඇති අතර, සමස්ත ලෝක ප්‍රජාව වහ වහා ක්‍රියාකාරිව, රාජ්‍යතාන්ත්‍රීයව මැදිහත් වී, මේ තත්ත්වය පාලනය නොකරන්නේ නම් මෙය සමස්ත අප්‍රිකානු කලාපයටම පැතිරෙන දැවැන්ත යුද ගැටුමක් වනු නොඅනුමානය.
ගෝමාහි රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර,මෘත ශරීර වීදිවලින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් දැඩිව සුපරීක්ෂාකාරිව ක්‍රියා කරන අතර, මේ තත්ත්වය සිවිල් වැසියන් උදෙසා වූ මහා පරිමාණ මානුෂීය අයිතීන් කඩ වූ අර්බුදයක් බවට පත්ව තිබේ.