Home » චීනයේ ඩීප්සීක් AI මොඩලය ලොව කලඹයි

චීනයේ ඩීප්සීක් AI මොඩලය ලොව කලඹයි

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

චීනයේ නව චන්ද්‍ර වර්ෂය උදාවට දින කිහිපයක් තිබියදී, ඩොනල්ඩ් ට්‍රම්ගේ පදවි ප්‍රාප්තියෙන් සතියකට පසු, චීනය අමෙරිකාව පරයාලමින් තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. බටහිර රටවල් රැසක් කෘත්‍රිම බුද්ධියෙන් වශීකෘතව සිටින අතරම, කොටස් වෙළෙඳපොළ තක්සේරු කිරීම් එම තාක්ෂණයේ වෘද්ධිය සමඟ මුළුමනින්ම පාහේ බැඳී පවතින අවධියක චීන සමාගමක් එම කර්මාන්තයේ සමස්ත පිරිවැය ව්‍යූහයේ විප්ලවීය වෙනසක් ඇති කරන නිෂ්පාදනයක් ලොවට හඳුන්වාදී තිබේ.

ඩීප්සීක් යනුවෙන් හැඳින්වෙන මේ විවෘත මූලාශ්‍රය ආකෘතිය මුළු මහත් ලෝකයටම නොමිලේ නිකුත් කරන ලද අතර, ඕනෑම කෙනකුට තමාගේම සේවාදායකයක් (server) මඟින් එය ක්‍රියාත්මක කළ හැකිය. මෙය නිසැක වශයෙන්ම ලොව තාක්ෂණික භූ දර්ශනයේ ධනාත්මක වර්ධනයකි. මේ ප්‍රවෘත්තිය මාධ්‍යයට නිකුත් වීමත් සමඟ බටහිර ලෝකය තුළ, පළමුව කම්පනයක් සහ දෙවනුව කලබලයක් සහ අනතුරුව භීතියක් නිර්මාණය කළේය. තාක්ෂණික ලෝකයේ ආධිපත්‍යයට හිමිකම් කී සමාගම් මෙතෙක් විශ්වාසය තබා තිබූ ඔවුන්ගේ නව ආර්ථික ආකෘතිය ඒ සමඟ දෙදරා යනු දක්නට ලැබිණ. ‘නොමිලයේ කිසිවක් ලැබෙන්නේ නැත’ යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් තිබේ. එහෙත් දෛවයේ සරදමකට මෙන් චීනය විසින් නොමිලයේ බෙදාහරින නිෂ්පාදන මුදාහැරීමෙන් වඩාත් මිල අධික කොටස් වෙළෙඳපොළ ව්‍යසනය ඇති කළේය.   

මෑතක් වන තුරුම පරිගණක ක්‍රීඩාලෝලීන්ගේ ග්‍රැෆික් කාඩ් පත් සෑදීම සම්බන්ධයෙන් බෙහෙවින් ප්‍රසිද්ධියට පත් අමෙරිකානු බහුජාතික සහ තාක්ෂණික සමාගමක් වන Nvidia සමාගමට සඳුදා දිනයේ වෙළෙඳපොළ විවෘත කරන විට තම වෙළෙඳ ප්‍රාග්ධනීකරණයෙන් ඩොලර් බිලියන 600ක් අහිමි විය. මානව ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම පාඩුව ලෙස මෙය සැලකේ. එලෙස පාඩු ලැබූ එකම සමාගම එය නොවේ: “චීනයේ යමෙකු වඩා හොඳ චැට්බොට් එකක් නිර්මාණය කර ඇත’’ යන ප්‍රවෘත්තිය මත කොටස් වෙළෙඳපොළ වටිනාකමට ක්ෂණිකව සිදු වූ අලාභය සමස්ත කැනේඩියානු ආර්ථිකයට වඩා වැඩිය. OpenAIහි ප්‍රධාන විධායක සෑම් ඕල්ට්මන් චීනය තමන්ගේ නිර්මාණයක් කොපි කිරීම සම්බන්ධයෙන් කුපිත වීම මවිතයට කරුණක් නොවේ.

කෘත්‍රිම බුද්ධියට අදාළ තාක්ෂණය සහ බුද්ධිමය දේපොළ සාම්ප්‍රදායිකව බොහෝ සෙයින් බටහිර සතුව පවතී. චීනය එම ක්ෂේත්‍රයේ බටහිරට පසු පසින් සිටී. චීනයේ අර්ධසන්නායක නිෂ්පාදනය සීමා කිරීමට සහ විදුලි සංදේශ සහ 5G වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ චීන ආධිපත්‍යය වළකාලීමට ක්‍රියා කිරීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයට සහ ඊට හිතවත් රටවලට චීනයට වඩා ඉදිරියෙන් සිටිය හැකි එකම ක්ෂේත්‍රය වූයේ සජීවකරණ සැකසුම් ඒකක (graphics processing units – GPUs) නිෂ්පාදනය පමණකි. කෘත්‍රිම බුද්ධි සැකසුම්හි කොදු නාරටිය බඳු මෙම සජීවකරණ සැකසුම් ඒකක ආරක්ෂා කර ගැනීම සඳහා බයිඩන් පාලනය තම අවසන් දින කිහිපය තුළ ඒවා අපනයනයට දැඩි ආනයනික බදු පැනවීය.

එහෙත් ගැටලුව නම්, මෙම සීමාවන් චීනය තව තවත් ශක්තිමත් කිරීමට හේතුවීමයි. මෙම ඩීප්සීක් නවෝත්පාදනයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, එය සජීවකරණ සැකසුම් ඒකක සහ සැකසුම් බලය අතින් ඇදහිය නොහැකි ප්‍රගතියක් අත්කර ගැනීම පමණක් නොව ඒවා බෙහෙවින් අඩු මිලකට නිෂ්පාදනය කළ හැකි වීමත්ය.

අමෙරිකාවේ නීති විරෝධී සංක්‍රමණිකයෝ ග්වාන්ටනාමෝ කඳවුරට 

ට්‍රම්ප් කියුබාවේ ගුවන්තනාමෝබේ එක්සත් ජනපද සිර කඳවුර තුළ නීතිවිරෝධි සංක්‍රමණිකයන් ගාල් කිරීමට සැරසේ. කියුබාවේ විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගුවෙස් පැරිල්ලා කියා සිටියේ ට්‍රම්ප්ගේ මේ අදහස ‘මිනිසත්බවට සහ ජාත්‍යන්තර නීතියට නිගාවක්’ බවයි. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා සහ ජෝ බයිඩ්න් යන දෙදෙනාම මේ රැඳවුම් මධ්‍යස්ථානය වසාදැමීමට උත්සාහ කළ නමුත් අමෙරිකානු කොංග්‍රසය ඊට එරෙහිවීම නිසා එය අද දක්වාම විවෘතව පවතී.

GUANTANAMO කඳවුරේ ශෝචනීය තත්ත්වය මානව හිමිකම් කණ්ඩායම්වල සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගේ නිරන්තර විරෝධයට හේතු වී තිබේ. මේ සිර කඳවුරෙන් වාර්තා වන මතභේදකාරි සිදුවීම් අතර ආහාර වර්ජනයේ යෙදී සිටින රැඳවූවන්ට බලහත්කාරයෙන් ආහාරපාන දීමද ඇතුළත් ය. එක්සත් ජනපද හමුදාව ග්වාන්ටනාමෝ සිර කඳවුර අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වා දෙන නමුත් විවේචකයන් පවසන්නේ එය වධකාගාරයක් බවයි. පසුගිය වසර 20 තුළ කඳවුර තුළ අවම වශයෙන් රැඳවියන් 9 දෙනකු මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් 7 දෙනකුගේ මරණ සියදිවි නසාගැනීම් ලෙස පෙනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම සියදිවි නසාගැනීමක්ද?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ වැඩ භාරගත් පළමු දිනයේදීම, ගෝලීය මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වගකීම් පැවරී ඇති එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අදාළ විධායක නියෝගයකට අත්සන් තැබීය. එයින් දිනකට පසු, ඔහුගේ නව පරිපාලනය ෆෙඩරල් සෞඛ්‍ය ආයතනවලට මහජනතාව සමඟ සන්නිවේදනය කිරීම තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් දුන්නේය. එය අමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක ආහාර හා ඖෂධ පරිපාලනය, ජාතික සෞඛ්‍ය ආයතන, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින අනෙකුත් ආයතනවලට අදාළ වන නියෝගයකි.

මෙම විධායක නියෝග දෙක මඟින් එක්සත් ජනපද මහජන සෞඛ්‍ය ආයතන ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන්ගෙන් ඵලදායි ලෙස විච්ජේදනය කෙරෙන අතර අමෙරිකානු මහ ජනතාව, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ පර්යේෂණ මධ්‍යස්ථාන බෝ වන රෝග, අංකුර වසංගත රෝග සහ ආහාර හා ජලයෙන් බෝවන රෝග පවා පැතිරීම පිළිබඳ තොරතුරුවලින් වෙන් කෙරෙනු ඇත.

විස්කොන්සින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය ආයතනයේ සමාරම්භක අධ්‍යක්ෂ සහ වසර 15 ක් තිස්සේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ හිටපු ප්‍රධාන කතුවරයකු වන ජොනතන් පැට්ස් පැවසුවේ “අපි ජීවත් වන්නේ ගෝලීයකරණය වූ ලෝකයක වන අතර රෝගවලට සීමා මායිම් නැත. අප රෝග නිවාරණය පිළිබඳ මේ අදූරදර්ශී දෘෂ්ටිය මත පිහිටා ලෝකයේ සෙසු දේ නොසලකා හරිනවා නම්, එමඟින් අප කරනුයේ අපවම අනතුරක හෙළීමයි.”

අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම වොෂින්ටනයට සෞඛ්‍ය අර්බුද තත්ත්වයන් කල් තියා හඳුනාගනිමින් ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙනත් රටවල් සමඟ සම්බන්ධීකරණයක් ඇති කිරීම වළක්වයි.

අවි පාලන සාකච්ඡා යළි ඇරඹීමට ට්‍රම්ප් සහ පූටින් සූදානම්

යුක්රේන ගැටුම අවසන් කිරීම සහ අවි පාලන සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වීමට සූදානම් බව ක්‍රෙම්ලින ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසයි. පසුගියදා අවසන් වූ ඩාවෝස් සමුළුව හමුවේ දී අදහස් දැක්වූ අමෙරිකානු නායකයා රුසියානු සහකරු සමඟ මේ කාරණා දෙකම සාකච්ඡා කිරීමට තමා කැමැති බැව් කියා සිටියේය.

ලොව වැඩිම න්‍යෂ්ටික යුද ශීර්ෂ ප්‍රමාණයකට හිමිකම් කියන රටවල් දෙක ලෙස, අමෙරිකානු විද්‍යාඥයන්ගේ ෆෙඩරේෂනයේ 2024 සංඛ්‍යාලේඛනවලට අනුව, රුසියාව සතුව යුද ශීර්ෂ 5,580ක් සහ එක්සත් ජනපදය සතුව යුද ශීර්ෂ 5,428ක් බැගින් පවතී. මේ රටවල් දෙක සතුව ඕනෑම මොහොතක ප්‍රහාර සඳහා න්‍යෂ්ටික යුද ශීර්ෂ 1,600ක් බැගින් සීරුවෙන් තබා ඇත. එක්සත් ජනපදය සහ රුසියාව අතර New START අවි පාලන සම්මුතිය 2026 පෙබරවාරියේදී කල් ඉකුත් වන බැවින් ආයුධ පාලන සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වීම සැලකිය යුතු කරුණකි. මක්නිසාද යත් එම සාකච්ඡා ක්‍රියාවලිය 2023 සිට ඇන හිට පවතින බැවිනි. අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව සහ රුසියාව අතර යුක්රේනයේ පවතින ප්‍රොක්සි යුද්ධය New START ප්‍රතිස්ථාපනයකින් තොරව කල් ඉකුත් වුව හොත්, වඩාත් නරක අතට හැරිය හැකිය.

රුසියාව සහ චීනය සමඟ න්‍යෂ්ටිකරණ සාකච්ඡා යළි ආරම්භ කරන බව සිය මැතිවරණ ප්‍රචාරක සමයේ ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේය. අවි පාලන සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් පවත්නා එක්සත් ජනපද-රුසියානු උනන්දුව යුක්රේනියානු සාම ක්‍රියාවලිය වේගවත් කිරීමට මග සලසනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division