Home » මහේල ගිය පාරේ ගිය ස්මිත් ගාල්ලෙන් 11,000 ගමන අරඹයි

මහේල ගිය පාරේ ගිය ස්මිත් ගාල්ලෙන් 11,000 ගමන අරඹයි

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු දසදහසේ (10000) සීමාව ඉක්මවූ පිතිකරුවන්ගේ සමාජයට ඇතුළත් වන්නට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් පසුගිය 29 දා සමත් වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී මේ දස්කම කරන්නට ඔහුට දින 24ක් ඉවසා බලා සිටීමටද සිදු විය.

පසුගිය ජනවාරි මස 5දා සිඩ්නි ක්‍රීඩංගණයේදී නිමා වූ ඉන්දියා-ඔස්ට්‍රේලියා 5 වැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීත් ලකුණු 4කට දැවී යන්නට සිදු වූ නිසා ස්මිත් ශ්‍රී ලංකාවට පැමිණියේ ලකුණු 9999ක් පමණක් රැගෙනය. තමන්ගේ රටේදී මේ අඩුව පුරවාගන්නට බැරිව සිටි ඔහු මානසිකව කොතරම් වදයක් විඳින්නට ඇත්දැයි වැටහුණේ ශ්‍රී ලංකාවට පැමිණ මුහුණ දුන් පළමු පන්දුවටම ඉක්මන් ලකුණකට දිවයමින් ලකුණු 10,000 සම්පූර්ණ කළ ආකාරය දෙස බැලීමෙනි.

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ 31 වැනි පන්දු වාරය යැවූ ප්‍රභාත් ජයසූරියගේ දඟපන්දුවක් හමුවේ ෂෝට් මිඩ්විකට් කලාපයට පහරක් එල්ල කරමින් ස්මිත් මේ ‍ඓතිහාසික කඩඉම පසු කළේය. ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස පැමිණ පළමු අවස්ථාවේදීම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව සලසා ගැනීමම එතෙක් ඔහු තුළ තිබූ මානසික පීඩනයෙන් යම් තරමකට හෝ මිදෙන්නට හේතුවක් වූවාද විය හැකිය. කෙසේ වෙතත් ධනාත්මක රිද්මයක් ආරෝපණය කරගෙන ලකුණු රැස් කරන්නට පැමිණි බව පෙන්නුම් කළ ඔස්ට්‍රේලියානු නායකයා අංක 4 පිතිකරුවා ලෙස දිවා භෝජන විවේකයට පෙර ඒ විශිෂ්ට දස්කම කළේ එවන් ටෙස්ට් ලෝක වාර්තාවකට හිමිකම් කියන 15 වැනි පිතිකරුවා බවට පත් වෙමිනි.

මෙසේ ටෙස්ට් ලකුණු 10,000 පසු කළ ලැයිස්තුවේ 9 වැනියා වූ මහේල ජයවර්ධන ලකුණු 9,999 දී දැවී ගිය ලොව පළමු ටෙස්ට් පිතිකරුවාය. 2011දී ශ්‍රී ලංකා කණ්ඩායම කළ දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ 2 වැනි ඉනිමේදී ලකුණු 15ක් ලබා සිටි මහේල දුවද්දී දැවී යෑම නිසා ඔහුට ලකුණු 9999 ක් අතැතිව දෙවැනි ටෙස්ට් තරගය තෙක් දින 9ක්ම බලා සිටීමට සිදුවූයේ එම දෙසැම්බර් මස 15-19 දිනවලට තිබූ ටෙස්ට් තරගය දින 3 කින් අවසන් වූ නිසාය. ඒ අනුව 2011 දෙසැම්බර් මස 26 දා ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ඩේල් ස්ටේන්ගේ වේග පන්දුවට පන්දුව තල්ලු කර ඉක්මන් ලකුණක් වාර්තා කරමින් මහේල ටෙස්ට් ලකුණු 10,000 පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවටද පත් විය.

තවද, අඩු ඉනිම සංඛ්‍යාවකදී – එනම්: වේගවත්ම ලෙස – ටෙස්ට් ලකුණු 10,000 පසු කළ පිතිකරණ ලැයිස්තුවේ ලොව 5 වැනියා බවට පත් වීමටද ස්මිත් ගාල්ලේදී සමත් විය. ටෙස්ට් ඉනිම 195කදී මේ දස්කම කළ තිදෙනා වන්නේ බ්‍රයන් ලාරා, සචින් තෙන්ඩුල්කාර් සහ කුමාර් සංගක්කාර යන පිතිකරුවෝය. ඔවුන් එසේ ලකුණු 10,000 සීමාව පසු කළේ පිළිවෙළින් 2004 , 2005 සහ 2012 යන වසරවලදීය‍. රිකී පොන්ටින් තම 196 වැනි ඉනිමේදී ටෙස්ට් ලකුණු 10,000 පසු කළේ 2008 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදීය. ස්මිත් ඒ දස්කම ශ්‍රී ලංකාවේදී පෙන්වූයේ තම 205 වැනි ටෙස්ට් ඉනිමේදීය. කෙසේ වෙතත් මේ වේගවත්ම ලැයිස්තුවේ පළමු වැන්නා වන බ්‍රයන් ලාරාද ටෙස්ට් ලකුණු 10,000ට ලකුණු 10ක් අඩුව තිබියදී දෙවරක්ම දැවී ගොස් තිබීමද විශේෂත්වයකි.

එසේම මෙවන් ලොව ඉහළම කඩඉමක් පසු කළ සිව්වැනි ඔස්ට්‍රේලියානුවා බවටද ස්ටීව් ස්මිත්ගේ නම ඉතිහාසයට එක් වන අතර රිකී පොන්ටින්, ඇලන් බෝඩර් සහ ස්ටීව් වෝ ඒ දස්කම කළ අනෙක් ඔස්ට්‍රේලියානුවෝ තිදෙනාය. මේ වාර්තාවට හිමිකම් කියන 15 දෙනා අතර රැස් කළ ලකුණු සාමාන්‍යය (56.44) අතින් ස්මිත් 3 වැනි ස්ථානයට පත්ව සිටින අතර, 4 වැනියා වන්නේ කුමාර් සංගක්කාරයි (සාමාන්‍ය 55.96). ඉහළම ලකුණු සාමාන්‍ය (58.72) රිකී පොන්ටින් හිමි කරගෙන සිටින අතර, 2 වැනි ලකුණු සාමාන්‍යය (57.61) සටහන් කරගෙන ඇත්තේ සචින් තෙන්ඩුල්කාර්ය.

තවද,මේ පිතිකරුවන්ගේ දක්ෂතා සලකා බැලුව හොත්: එක දිගට ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 100කදී වැඩිම ලකුණු රැස් කරගෙන ඇත්තේ ස්ටීව් ස්මිත්ය (ඉනිම 32 – 131 දක්වා). ඒ මුළු ලකුණු සංඛ්‍යාව 6,257ක් වන අතර, එහිදී ශතක 24ක් වාර්තා කරමින් 71.92ක ලකුණු සාමාන්‍යයක්ද රඳවා ගෙන ඇත. මේ දක්ෂතාව පෙන්වා ඇති ලැයිස්තුවේ 2 වැන්නා සහ 3 වැන්නා පිළිවෙළින් රිකී පොන්ටින් (ඉනිම 85 – 184 දක්වා ලකුණු 6228 ) සහ කුමාර් සංගක්කාර (ඉනිම 100 – 199 දක්වා ලකුණු 6041) ය. මේ දෙදෙනාත් එම ඉනිම 100 තුළ ශතක 24 බැගින් වාර්තා කර ඇත. කෙසේ වෙතත් 2011 වසරින් පසු ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක ජයක් සොයන ඔස්ට්‍රේලියානුවන් මෙවර පැමිණ ඇත්තේ හොඳ පෙර සූදානමකිනි. එනම්: ඔවුන් වෙනදා මෙන් නොව, ගාල්ලේ තණතීරුවලට සමාන තණතීරු සොයා ගොස් ඩුබායිහිදී පුහුණු කඳවුරුවලට සහභාගි වී මෙහි පැමිණ ඇත. මේ පුහුණුවෙන් බොහෝ දේ උකහාගෙන ඇති බව මෙවර ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට ගාල්ලේදී ඔවුන් සලකන ආකාරයෙන්ම පැහැදිලිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division