Home » රනිල් – සජිත් දීගයට එරෙහිව බකට් මෙහෙයුමක්

රනිල් – සජිත් දීගයට එරෙහිව බකට් මෙහෙයුමක්

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

77 වැනි ජාතික නිදහස් උත්සවය පෙබරවාරි 4 දා චාම් සහ අභිමානවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම්ය. ආණ්ඩුවේත්, විරුද්ධ පක්ෂයේත්, දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකුගේ අවධානය ඒ දෙසට යොමු වී ඇත. ඒ අතර ඉදිරි අය වැය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව හමුවේ කරන ලද අදහස් දැක්වීම්වලට ද දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුව තිබේ.

ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල ඉදිරි අය වැයෙන්

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අය වැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 28 දින පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමිනි. ‘ආර්ථික පරිවර්තනය’ මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි. දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි. එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය:

“අපි මීට පෙර බලය හොබවපු නැති දේශපාලන ව්‍යාපාරයක්. පසුගිය කාලය තුළ ව්‍යාපාරික කණ්ඩායම්, ආයෝජකයන් සහ ඇතැම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ අප කෙරෙහි සැකයක් තිබුණා නම්, මේ වන විට එම සැකය තුරන් කර රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සහ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීමට අපට හැකි වී තිබෙනවා. එය පසුගිය මාස දෙක තුළ අප ලැබු සුවිශේෂී ජයග්‍රහණයක්. මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. ආර්ථික කඩා වැටීම හමුවේ එය අභියෝගයක් වුවත් එය සාර්ථක කර ගත හැකි අභියෝගයක් ලෙස අපි සලකනවා. එහිදී අප ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටිනවා.

“විශේෂයෙන් ඉදිරි අය වැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වනු ඇති. පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය වීම සිදු වුණේ නැහැ. 75%ක් – 80%ක් වගේ මුදලක් පමණයි වැය කරනු ලැබුවේ. නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රණය අපි සකස් කරනවා.

“ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ අපි පසුගියදා දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා. සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගත යුතු බව එහිදී අනාවරණ වුණා. එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගත වෙනවා.

“පරිසර ක්ෂේත්‍රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් තිබෙනවා. ඒ සඳහා දින 269ක කාලයක් ගත වෙනවා. ප්‍රායෝගිකව ගතහොත් වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. එය දින 82කට අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ප්‍රායෝගිකව සති 184ක් ගත වී තිබෙනවා. එය දින 102ක් වැනි කාලයකට අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා. ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබාදීමට ආයෝජන මණ්ඩලය දින 80කට ආසන්න කාලයක් ගන්නවා. එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීම අපේ අපේක්ෂාවයි. ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කරනවා නම් ඍජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.

“ඒ වගේම සංචාරක කර්මාන්තයේ වේගවත් පිම්මක් ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. මිලියන 03ක් ඉක්මවා යන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ මෙරටට කැඳවා ගැනීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කර ගත හැකියි. මේ මාර්තු මාසයේ බටහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජූලි මාසය වන විට නැඟෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කළ හැකියි. ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකියි. අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට භාජනය කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකියි.”

ආයෝජකයන්ට පහසුකම් සැලසීමට ජනපතිගෙන් තීරණ රැසක්

“මේ වන විටත් අපි සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව පළ කර තිබෙනවා. ඒ වගේම වරායේ දීර්ඝ කාලයක් සිරවී තිබු සැපයුම් මධ්‍යස්ථානය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ගණනාවක් සිරවී තිබෙනවා. අපි එම ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය අවසරය සහ බලපත්‍ර ලබාදීමට කටයුතු කරනවා.

“එමෙන්ම අපි ඉන්දියාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා සැලකිය යුතු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවාගත හැකියි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා. ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩු අසමත් වී තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමතාවයකින් වැඩ කර නැහැ. එම නිසා නව ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මඟින් යෝජනා කර තිබෙනවා. නමුත් එහි සම්පූර්ණම ක්‍රමවේදයක් නැහැ. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේදී දේශපාලන අධිකාරිය ලබාදුන් තීන්දු රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිවිරෝධයක් මතු වුණා. රාජ්‍ය යන්ත්‍රණය හැමදාම සිතුවේ දේශපාලන අධිකාරිය සඟවා ගත් දෙයක් ක්‍රියාත්මක කිරීමට යනවා කියලා. නමුත් මේ වනවිට දේශපාලන අධිකාරියේ සැඟවුණු අරමුණු නැහැ කියා අපි ඔප්පු කර තිබෙනවා. ඒනිසා රාජ්‍ය යන්ත්‍රණය අපට සහයෝගය ලබා දෙයි කියා විශ්වාස කරනවා. මෙහිදී රාජ්‍ය යන්ත්‍රණයේ ආකල්ප පවා වෙනස් විය යුතුයි. නිශ්චිත කාලයට තීන්දු තීරණ නොගත් විට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඩිජිටල්කරණය කිරීම තුළින් පහසුව, කාර්යක්ෂමතාවය පමණක් නොව රට තිබෙන තැනින් නව තලයකට ඔසවා තැබීමට ද හැකියාව තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනවා.”

ජනපති යාපනයේ

“ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතුයි. උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබාදීම කඩිනම් කරනවා. යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම්.පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණ­ියන් සඳහා වැඩි අවස්ථාවක්. පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප ඇති කිරීමට අවධානය යොමු වී තිබෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.”යැයි ජනපතිවරයා මෙහිදි පැවසීය.

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම්දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතු මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබාදිය යුතු බවද කියා සිටියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා (31) පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය. යුද්ධය නිසා අවතැන්වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනාගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව මේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත්, එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළේය. ඒ අතුරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත්, ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ඉතාලි රැකියා වීසා ගැටලුව විසඳීමට විජිතගේ අවධානය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා සමඟ ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් පැවත්විණි. එම අවස්ථාවේ දැනට ඉතාලියේ රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම පිළිබඳව අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් කළ විමසීමට ඉතාලි රජය විසින් රටවල් කිහිපයකට රැකියා වීසා ලබාදීම නැවත විමර්ශනයකට ලක් කර ඇති අතර, එය තාවකාලික පියවරක් බව තනාපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබාදීම නැවත ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවට තානාපතිවරයා එකඟ විය. තවදුරටත් අමාත්‍ය විජිත හේරත් මහතා ඉතාලි රාජ්‍යයේ තානාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම අප්‍රමාදීව අවසන් කිරීමට සහය වන බව ද පැවසීය. දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සලකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට සෑම සහයක්ම දෙන බවටත් තානාපතිවරයා එකඟ විය.

ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් ගණනාවක් අත්සන් කර ඇති අතර, දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන මට්ටමේ සාකච්ඡා අවසන් කර ඇති ගිවිසුම් නුදුරේදීම අත්සන් කිරීමට නියමිතය. එමෙන්ම සංක්‍රමණික සහ සංචරණ සබඳතාවයක් පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් දෙරට අතර සාකච්ඡා කර අවසන් බැවින් එය ද නුදුරේදීම අත්සන් කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟතාව පළ විය.

මීට අමතරව ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1952 වර්ෂයේදී ආරම්භ කර මේ වන විට ඉතාලිය ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ අතුරින් 5 වැනි ස්ථානය දිනාගෙන ඇතැයි පෙන්වාදුන් තානාපතිවරයා දැනට ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් ජීවත් වන බවත්, 2024 වර්ෂයේ ඉතාලි සංචාරකයන් 38709ක් පමණ ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බවත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව හා ඉතාලි රජය අතර පවතින ආර්ථික, සංස්කෘතික හා සංචාරක අංශයේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට තානාපතිවරයාගේ සහයෝගය ඉල්ලා සිටි අමාත්‍යවරයා ඉතාලි රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම අවස්ථාවකදීම දක්වන සහයෝගය අගය කළේය.

බිමල් දිනපතා වරායේ

දීර්ඝ කාලයක් තිස්සේ යම් යම් අවස්ථාවලදී මතු වන කොළඹ වරායේ භාණ්ඩ බහලුම් තදබදය සහ රේගු නිෂ්කාශන කඩිනම් කිරීම සඳහා මේ දිනවල වරාය අමාත්‍ය බිමල් රත්නායක දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

දිනපතා වරායට ගොස් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර බහාලුම්වල තදබදය අවම කර ගැනීම සඳහා බිමල් රත්නායක අමාත්‍යවරයා ගන්නා වෙහෙස ආර්ථික විශේෂඥයන්ගේද අවධානයට ලක්‌ව ඇත. විශේෂයෙන්ම රටේ ආර්ථිකයට වරායෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය. වසර ගණනාවක් තිස්සේ පවතින බහලුම් ගැටලුව විසඳීමට බිමල් රත්නායක අමාත්‍යවරයාත් නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාත් කටයුතු කිරීම බොහෝදෙනාගේ පැසසුමට ලක්ව තිබේ.

රනිල් – සජිත් එක් කිරීමට තිස්සගෙන් සැලසුමක්

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවේදී එක ලකුණකින් මුළු රටම තරග කළ යුතු යැයි යෝජනාවක් පැමිණ තිබේ. එමෙන්ම තෝරා ගත් පළාත් පාලන ආයතන කිහිපයකට පමණක් එක ලකුණකින් තරග කරමු යැයිද යෝජනා වී තිබේ. සාමාන්‍යයෙන් එජාපය ජයග්‍රහණය කළ හැකි කොළඹ මහ නගර සභාව, නුවරඑළිය නගර සභාව, කුලියාපිටිය නගර සභාව, ආදී වසර 15ක් 20 එක දිගට ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සඳහා විතරක් එකට තරග කරමු. අනික් ඒවායේ වෙන වෙනම තරග කරමු. වැනි කතාවක් ඒ අනුව සිදුව තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් පිරිසකගේ අදහස වී ඇත්තේ එය එතරම් හොඳ යෝජනාවක් නොවන බවයි. එය එසේ වුවහොත් මේ ඇති කර ගැනීමට යන එකඟතාව බිඳවැටී අනාගතයේ දී කිරීමට යන වැඩපිළිවෙළ කඩාකප්පල් වේවි යැයි ඔවුන් පෙන්වාදී තිබේ. මේ සියල්ල අතර 2014දී සජිත්-රනිල් අතර අර්බුදය ගොඩනැඟුණු අවස්ථාවේදී තිස්ස අත්තනායක ඌව මහ ඇමති ලෙස හරින් ප්‍රනාන්දු නම්කොට සජිත් රනිල් එක වේදිකාවකට ගෙන්වා ගත් ආකාරයේ වෙනස් වැඩක් කිරීමටද තිස්ස අත්තනායක යළිත් වතාවක් සූදානම් වේ. තිස්ස සිය හිතවතුන් සමඟ පවසා ඇත්තේ සජිත්-රනිල් පාර්ශ්ව එක් කළ හොත් මිස ඉදිරි මැතිවරණවල ජයග්‍රහණය ගැන සිතීමට නොහැකි බවයි.

බකට් මෙහෙයුම

තිස්ස අත්තනායක එසේ සැලසුම් කළ ද පොදු ලකුණක් යටතේ තරග කිරීමට සමගි ජන බලවේගයේ පිරිසක් දැඩි අකමැත්ත ප්‍රකාශ කොට තිබෙන බවද වාර්තා වේ.

හර්ෂණ රාජකරුණා, එස්.එම්. මරික්කාර්, සුජීව සේනසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මීට දැඩි විරෝධය පළ කර ඇති අතර, එම පිරිස හැඳින්වීමට බකට් කල්ලිය නමින් නාමයක්ද පටබැඳ ඇත. රනිල් සජිත් දීගයට කැමැති දෙපාර්ශ්වයේම පිරිසක් මේ පිරිසට බකට් කල්ලිය යන නම යොදා තිබේ.

සිලින්ඩරය අනුර යාපා වෙනුවෙන්

රනිල් ලන්ඩන් සංචාරයට පෙර සිලින්ඩරයෙන් තරග කළ පක්ෂ නායකයන් කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයට කැඳවා තිබිණි. හමුව තිබුණේ බ්‍රහස්පතින්දා හවසය. අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට පත්වීම ගැනද එහිදී විශේෂ කතා බහකට ලක් විය.

“හොරු අල්ලන එකට කවුරුවත් විරුද්ධ නෑ. ඒත් මිනිස්සුන්ට නිකුරුනේ හිරිහැර කරන එක අනුමත කරන්න බෑ නේ… ආණ්ඩුව කළ යුතු වැඩකටයුතු කිසිම දෙයක් පටන් ගන්නේ නැතුව මේ දේවල් කරන එක හරිද?” රනිල් කී කතාවට පක්ෂ නායකයෝ සියල්ලෝම එකඟතාව පළ කළහ.

වැටුප් වැඩිවීම ගැන රනිල් අවධියෙන්

“අය වැයෙන් වැටුප් වැඩි කරනවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ වෙලාවේ ඇත්තෙන්ම ඒක නම් වෙන්න ඕන දෙයක්. මිනිස්සු අමාරුවෙන් ඉන්නේ…” අනුරාධ කීවේ කතාව වෙනතකට හරවමිනි.

“පඩි වැඩි කරන්නේ කුමන ක්‍රමවේදයක් අනුවද කියන එක ප්‍රශ්නයක්. උදය සෙනෙවිරත්න වාර්තාව අනුව සම්පූර්ණ පඩි වැඩි කිරීම සිදු කෙරෙනු ඇතැයි රජයේ සේවකයන් බලාපොරොත්තු වෙනවා. ඒ සම්පූර්ණ පඩි වැඩි කිරීම කරනවද? නැතිනම් කොටසක් කරනවද? කියලා ජනාධිපති දැන්වත් පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනෑ…” තලතා කීවේ තර්කානුකූල කතාවකි.

“මම අවුරුදු දෙකක් වැඩ කළේ රටේ බංකොලොත් බව නැති කර ගන්න. බංකොලොත් බවෙන් නිදහස් වුණා කියලා ප්‍රකාශ කළාට පස්සේ ඊළඟ පියවර වෙන්න ඕනෑ රට ස්ථාවර කරන එක…” රනිල් තමා කළ කාර්යභාරය ගැන පැහැදිලි විවරණයක් කළේය.

හැමෝම සතුටු කරන්න බෑ

“අපි දැන් රටේ ස්ථාවර බවක් තිබෙනවාද? නැද්ද? යන කාරණය ගැන හිතලා ඊළඟට කටයුතු කරන්න ඕනෑ. අය වැය ඉදිරිපත් කළාම මූල්‍ය අරමුදලේ පිරිස ලංකාවට එනවා එනවා. ඇවිත්, ඒ අයගෙ ගයිඩ්ලයින් ක්‍රියාත්මක කළා ද කියලා බලනවා. 2024 ඇස්තමේන්තු කරපු මුදල් තමයි ලැබෙන්නේ. ඒ ලැබෙන මුදල් හසුරුවන ආකාරය ගැන අනිවාර්යයෙන්ම මූල්‍ය අරමුදල බලනවා…” රනිල් කීවේ නළල රැලි ගන්වමිනි.

“අය වැයෙන් හැමෝම සතුටු කරන්න බෑ. හැමෝටම යම් යම් දේවල් දෙනවා කියල ඒවා කළමනාකරණය කරගන්න එක රජයට ප්‍රශ්නයක්.” ශෙහාන් කීවේය.

“කරන්නේ මොනවද කියලා ආණ්ඩුවේ කිසිම කෙනෙක් දන්නේ නෑ. නිකම්ම දිනුම ආවා වගේ පරාජයත් නොදැනීම එන්න පුළුවන්.” චාමර කීවේ දෙවරක් සිතා බැලිය යුතු කතාවකි.

එජාප – සජබ දීගය

සජබ – එජාප එකතුවීමේ සාකච්ඡා ගැන මේ දිනවල එක එක ජාතියේ මත පළ වෙමින් තිබේ. ඇතැමකු කියන්නේ එය නොකෙරෙන දීගයක් බවයි.

“නිදහසේ සාකච්ඡා කරගෙන යන්න. මම ඔය සාකච්ඡාවලට සම්බන්ධ වෙන්නේ නෑ. සාකච්ඡා සාර්ථක කර ගන්න හැම උත්සාහයක්ම ගන්න. ඊට පස්සේ මම මගේ තීරණය දෙන්නම්. මම කිසි දේකට සම්බන්ධ වෙන්නෙ නෑ. සාකච්ඡා අවසානයේ තීරණය පිළිගන්න මම සූදානම්.” රනිල් එජාප නායකයන්ට පවසා තිබුණේ එසේය.

රනිල් වික්ටර් අයිවන්ගේ ගෙදරට

අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් වෙනුවෙන් ඥාතීන් හමු වී සොව පළ කරන්න රනිල් ඉකුත් සතියේ ගාල්ලේ ඔහුගේ නිවෙසට ගියේය. රනිල් හමුවන්නට ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක්ද එහි පැමිණ සිටියහ.

“සර් පොලුත් නෑ, හාලුත් නෑ,. ජීවත් වෙන්න අමාරුයි. මොනවා හරි කරන්න බලන්නකෝ!” ඔවුහු රනිල් හමුවේ කීහ.

“අපි බලමුකෝ මොනවද වෙන්නේ කියලා…” රනිල් එසේ කියමින් මෝටර් රථයට නැඟුණේය.

“රනිල් ජනාධිපති කාලේ 25 වතාවක් රට ගියා” යැයි ආණ්ඩුවෙන් ඉකුත් සතියේ චෝදනාවක් නැඟුණි. හිනිදුම එජාප බල මණ්ඩල රැස්වීම අමතමින් වජිර වාක්‍ය දෙකෙන් ඒ කතාවට අපූරු පිළිතුරක් දුන්නේය:

“පෝලිම්වල හිටපු මිනිස්සු ගෙදර ගියේ රනිල් රට ගිය නිසා තමයි.”

වජිර අලියා කරේ තබාගනී

මහජන පරමාධිපත්‍ය බලගන්වමු යටතේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 2025 බලමණ්ඩල පිහිටුවීමේ පළමු අදියර පසුගිය සති අන්තයේදී ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සංවිධායකත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පැවැති මේ රැස්වීම් මාලාවට පළමු දිනයේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය සහභාගී වූ අතර, මේ දින දෙක පුරාම හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාත් සම්බන්ධ වී සිටියේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි මේ මැතිවරණ කොට්ඨාසවලම මේ රැස්වීම් පැවැත්වුණු අතර, එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකවරුන්, ක්‍රියාකාරීන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මේ සඳහා සහභාගගිව සිටියහ.

කිසිදු අඩුපාඩුවක් නොවන්නට මැතිවරණ කොට්ඨාස සියල්ලෙහිම මෙම රැස්වීම් වජිර විසින් සංවිධානය කර තිබූ අතර, පැමිණ සිටි බොහෝදෙනෙක් ප්‍රකාශ කළේ වජිර ඉතින් වැඩක් කළොත් ඒකේ අඩුපාඩුවක් තියන්නේ නෑ නේ යනුවෙනි.

කෙසේ වෙතත් මේ රැස්වීම් රැස්වීම් ආකාරයට නැතිව ඉතා කුලුපගව පැමිණ සිටි අය සමඟ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සුහදව කතාබහ කරමින් ඔවුන්ට ඔවුන්ගේ මත ප්‍රකාශ කරන්නට දෙමින් වජිර විසින් මෙම රැස්වීම් පවත්වාගෙන යාම විශේෂත්වයක් විය.

මේ ආකාරයට සංවිධානය කරන කුමන රැස්වීමකට වජිර සහභාගි වුවත් පැමිණ සිටිනන්ගේ අදහස් සහ යෝජනා විමසමින් රැස්වීමේ කටයුතු කරගෙන යෑම වජිරගේ සිරිත විය. ඒ අනුව පැමිණ සිටි බොහෝදෙනෙක් වජිරගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම ගැනත් රනිල් වික්‍රමසිංහ VIII වැනි විධායක ජනාධිපතිතුමා 25 වතාවක් විදේශ ගත වීම ගැනත් රටේ ජනතාව දැනුවත් කරන ලෙසය. වර්තමාන ආණ්ඩුව මේ ගැන කියමින් මාධ්‍ය සංදර්ශනයක් දියත් කොට ඇති බැවින් ඒවාට මේ අවස්ථාවේදී පිළිතුරක් දීම වඩාත් උචිත යැයිද පැමිණ සිටි පිරිස ප්‍රකාශ කළහ.

ඒ අනුව වජිර මේ සම්බන්ධ දීර්ඝ විග්‍රහයක් කළේ එහිදී ඉදිරිපත් කළේ පැමිණ සිටි අයටත් මාධ්‍ය හරහා මේ සම්බන්ධව අනිත් අයවත් දැනුවත් කිරීමටය.

නිවස ගිනි ගත්තත් රනිල් මන්දිරවලට නොගිය බව වජිර කියයි

“රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිධුරයට පත් වුණාම විසිපස් වතාවක් රට ගියාලු. ඉතින් එතුමා රට භාර අරගෙන ගෙදරට වෙලා නිදාගෙන හිටියේ නැහැ. එතුමා රට භාර අරගෙන මේ රට ගොඩගන්න රෑ 12 වෙනකල් වැඩ කළා. ජාත්‍යන්තරයට ගිහින් මේ ප්‍රශ්නවලට විසඳුම් හෙවුවා. ඒ කරපු කැපවීම් සහ උත්සාහයන්ගේ ප්‍රතිඵල නිසා තමයි පෝලිම්වල හිටපු මහජනතාව ගෙවල්වලට ගියේ, ඒ නිසා තමයි බංකොලොත් වෙලා නැත්තටම නැතිවෙලා තිබුණු රටක් අද මේ තත්ත්වයට අරගෙන ආවේ. හැබැයි එතුමා මේ දේවල් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වේ නෑ. එතුමා කිව්වද ටීවී එක ඉස්සරහට ඇවිත් මම රෑ 12 වෙනකන් වැඩ කරනවා කියලා.

“ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජ්‍ය දේපළ භාවිතා කරපු හැටි ගැන කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිධුරය දරන අවස්ථාවේදීවත් කිසි දවසක අරලියගහ මන්දිරයේ නිදාගෙන නෑ. එතුමා රාජකාරී අවසන් කරලා තමන්ගේ ගෙදරට එනවා. එතුමාගේ නිවස ගිනි තියපු අවස්ථාවේදීවත් එතුමා අරලියගහ මන්දිරය භාවිතා කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි එතුමා ජනාධිපතිධුරය දරපු අවුරුදු දෙකහමාරක කාලය තුළත් කිසිම දවසක ජනාධිපති මන්දිරයේ නිදාගත්තේ නෑ.

“එහෙත් 2018 වසරේ දින 53 ප්‍රශ්නය වෙලාවෙදී නම් එතුමා අරලියගහ මන්දිරයේ නැවතුණා. ඒ ප්‍රශ්නය ඇති වෙලා මහින්ද රාජපක්ෂ මහත්මයට අගමැතිකම දෙන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියේ ගාල්ලේ විජයානන්ද විහාරයේ ගොඩනැඟිල්ලක් විවෘත කරන උත්සවයකට සහභාගී වෙලා. මාත් හිටියා එතුමාත් සමඟ. මේ අවස්ථාවේදී තමයි කොලඹ මෙවැනි දෙයක් වෙනවා කියලා අපිට ආරංචි වෙන්නේ. එතුමා කලබල වුණේ නෑ. එතුමා ගාල්ලේ තිබුණු උත්සවය අවසන් වුණු පසු කොළඹ එන්න පිටත් වුණා. ඒ අවස්ථාවේ මාත් එතුමාත් සමඟ කොළඹ ආවා. ඒ අවස්ථාවේදී නම් එතුමා මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියට කතා කරලා තමන්ගේ ඇඳුම් බෑග් අරලියගහ මන්දිරයට එවන්න කියලා ප්‍රකාශ කළා. එදා තමයි එතුමා අරලියගහ මන්දිරයට තමන්ගේ ඇඳුම් අරගෙන ආවේ. එතැන් පටන් දින 53 ක් එතුමා සටන් කළා. එතුමා ඒ අවස්ථාවේදී එසේ ක්‍රියා කළේ රටේ වැළලීයාමට නියමිතව තිබු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන්. එහෙත් මේ දේවල් එතුමා තැන් තැන්වල කියව කියවා ගියේ නෑ.” යනුවෙන් වජිර අබේවර්ධන විසින් පැහැදිලි කරන ලදි.

ගාමිණී බණ්ඩාරනායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division