Home » සජබ – එජාප පාක්ෂිකයන් පක්ෂ අත්හැර යන්නේ නෑ

සජබ – එජාප පාක්ෂිකයන් පක්ෂ අත්හැර යන්නේ නෑ

සමගි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

ඔබ දැන් සිටින්නේ කොතැනද?

මම තවමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදිහටයි. එහෙත් මැතිවරණයේදී සමගි ජන බලවේගය සමඟ පක්ෂ ගණනාවක් එකතු වෙල ප්‍රබල සන්ධානයක් ගොඩනැඟුවා‍. එය ගොඩනැඟුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහායි. එහි පාර්ශ්වකරුවකු ලෙස අපි සමගි ජන බලවේගයත් සමඟ ඡන්දය ඉල්ලුවා. ඒ අනුව සමගි ජන බලවේග මන්ත්‍රීවරයකු ලෙස මම පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. අප තව දුරටත් සමගි ජන බලවේග සන්ධානයේ කොටස්කරුවකු ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට පත්වෙලා තියන තත්ත්වයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ ඔබ හවුල්කරුවන් කියලා චෝදනාවක් නැඟෙනවා…

මම කිසිම හවුල්කාරයෙක් නෙවෙයි. ඒ විනාශය කළේ පළවෙනියෙන්ම නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු, පක්ෂය ගත්ත තීන්දුවලට පිටින් ගිහින් ගෝඨාභය මහත්තයාගේ සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත් අයයි. දෙවනුව ඒ ගැටලු හරිහැටි කළමනාකරණය කර ගන්න බැරිව මෝඩ තීන්දු තීරණ ගත්ත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා තමයි අනෙක් වගඋත්තරකරු. මම ඒ සියලු දෙනාගේ වින්දිතයෙක් පමණයි. ඒ සියලු දෙනාම එකතු වෙලා මට පහර දුන්නා; අවසානයේදී ලේකම් තනතුරෙන් ඉවත් කළා. ඒ අසාධාරණයට ලක් වුණ කෙනකු මිස පක්ෂයේ සිද්ධ වුණ දේවල්වලට හවුල්කාරයෙක් නොවෙයි. කිසිදු වෙලාවක මම පක්ෂයේ තීන්දු තීරණවලට විරුද්ධව කටයුතු කළ කෙනෙක් නොවෙයි. අදත් මමයි පක්ෂයේ නියම ලේකම්වරයා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්ත ලේකම් ඔබ කියලා ඔබ කියනවා. එහෙමනම් බොරු ලේකම් කවුද?

දුමින්ද දිසානායක මහත්තයා. එය වැරදි තනතුරක්. ඒක නීත්‍යනුකූල නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් පුටු දෙකේ ඉන්නේ සම්පූර්ණයෙන්ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. ඒ සම්බන්ධයෙන් අපි උසාවි ගිහින් තියෙනවා. උසාවියේ නඩු තීන්දුව එන්න තියෙනවා. ඒ නඩු තීන්දුවෙන් අපට සාධාරණයක් වෙයි කියලා හිතනවා.

පෙබරවාරි 7 වැනිදා දිසා අධිකරණයෙන් නඩු තීන්දුවක් ලැබුණොත් නැවත ඔබ පක්ෂයේ වැඩ කරන්න ලෑස්තිද?

එදිනට තීන්දුවක් එයිද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිප ලෙස අප කටයුතු කරන්න අවශ්‍යයි. එයට තිබෙන ලොකුම බාධක ඉවත් වුණාට පසු අපට ඉදිරියේදී පක්ෂයේ වැඩ කරන්න අවකාශය ලැබෙයි කියා මම හිතනවා. ඒ අනුව ඉදිරි මැතිවරණයට අපට ශ්‍රිලනිප ලෙස කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවුලෙන් බේරගන්න පුළුවන් වුණොත් හොඳයි.

සජබ සමඟ සන්ධානගත වීමෙන් පසු ඔබ ප්‍රමුඛ පිරිස අපේක්ෂා කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වුණේ නෑ නේද?

අපි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අපේක්ෂා කළා. ඒ තනතුරට මහචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස නම් කළා. එහෙත් එතුමාට ඒක ලැබුණේ නැහැ. මන්ත්‍රී ධුර පහක් පමණයි ලැබුණේ. දිස්ත්‍රික් දහයකට පමණ අප තරග කළා. ඒත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහිමි වීම ගැන කනගාටුවක් තියෙනවා.

සජබ සහ එජාප නැවත සන්ධානගත වීමට සූදානම් වනවා. එහෙත් ජනතාව ඒ අය නැවත පිළිගනී කියා ඔබ හිතනවාද?

ජනතාව පිළිගැනීම කෙසේ වෙතත්, මේ පාක්ෂිකයන් එකතු වීම මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා. පාක්ෂිකයන් දෙකට බෙදී සිටිම නිසා ඒ අයට ජයග්‍රහණය කිරීමට අපහසුයි. දෙගොල්ල එකට එකතු වීම අත්‍යවශ්‍ය කාරණාවක්.

සජබ සහ එජාප එකතු වුණා කියලා ජනතාව ඒ කෙරෙහි විශ්වාසයක් ඇති කරගනීවි කියා ඔබ හිතනවාද?

මේ පක්ෂ දෙකේ පාක්ෂිකයෝ අනෙක් අය වගේ නොවෙයි. ඒ අය වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රීලනිප පිරිස පොදුජන පෙරමුණට ගියා; පොදු පෙරමුණේ අයම මාලිමාවට ඡන්දය දුන්නා. ශ්‍රී ලංකා එකේ පිරිසක් ජවිපෙට ගියා. ඒත් සජබ සහ එජාප අය පක්ෂ අත්හැරලා යන්නේ නෑ. කලකිරීමකදී වුණත් ඒ අය කරන්නෙ ඡන්දය ප්‍රකාශ කරන එක නතර කරන එකයි. මේ පක්ෂ දෙකේ අය පක්ෂ මාරු කිරීම දුර්ලභයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සහ නිල නිවාස නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?

බොහොම පැහැදිලිව 1986 වරප්‍රසාද බලතල පනත යටතේ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන්, ඔවුන්ට ලැබිය යුතු දේවල් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් ලැබිය යුතු වරප්‍රසාද නව නීතියක් ගෙනල්ලා ඉතිහාසයට බලපාන ලෙස පරිච්ඡින්න කරන්න බැහැ කියලා පැහැදිලිව එහි තියෙනවා. අතීතයට බලපාන ලෙස ඒය සිදු කරන්න බැහැ කියලා තියෙද්දියි, මේ දේවල් කරන්න හදන්නේ. 36/2 වගන්තියෙත්, 36/4 වගන්තියෙත් ඒ බව තියෙනවා. ජනාධිපතිවරුන්ගේ පඩි වැඩි කරන්න පුළුවන්; අඩු කරන්න බැහැ කියලා එහි පැහැදිලිව සඳහන් වෙනවා. මේවා ගැන අධ්‍යයනයක් කරන්නේ නැතුව; ජනතාව සතුටු කරන්න ලොවෙත් නැති බොරු කියලා වැඩක් නැහැ. දැන් තේරිලා තියෙනවා මේවා කරන්න බැහැ කියලා.

ඒත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිටි බහුතර මන්ත්‍රීවරුන්ට ජනතාවගේ විරෝධයක් මතු වුණා නේද?

මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන කෙනාව මේ මාලිමාව විසින් විනාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී කියන කෙනා ගැන වෛරයක් ඇති කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජනතාවගේ මතය වෙනස් කළා. මේ 225ම මිනීමරපු, මංකොල්ලකාපු, හොරකම් කරපු අය නොවෙයි. ඒත් මෙසේ නොකරපු අය සියලු දෙනා කෙරෙහිම මේ අය වෛරය වැපිරුවා. ඒ වගේම ජනාධිපතිවරුන්ටත් එහෙම කළා. ඇතැමුන්ගේ වැරදි තියෙන්න පුළුවන්. ඒ වැරදි අපි අනුමත කරන්නේ නැහැ. කෙසේ වෙතත් උචිත නිවෙසක් මේ හිටපු අයට දීමට අපි එකඟයි.

ඒත් හිටපු ජනාධිපතිවරුන් ජනතාවගේ මුදලින්, ජනතා දේපොළවලින් ජීවත් වෙන එක සදාචාරාත්මක නැහැ නේද?

සදාචාරාත්මක නැහැ යන කරුණ පිළිගන්න පුළුවන්. ඒත් ලෝකයේ බොහෝ රටවල හිටපු ජනාධිපතිවරුන්ට මේ වරප්‍රසාදය තියෙනවා. මේක ජේ.ආර්. ජයවර්ධන ගෙනාපු නීතියක් නොවෙයි. යම් පහසුකම් ප්‍රමාණයක් සියලු ජනාධිපතිවරුන්ට දෙනවා. ඒක මේ රටෙත් ජනාධිපතිවරුන්ට දෙනවා. ඒත් බලතල වැරදි ලෙස පාවිච්චි කරන එක නම් වැරදියි.

නීතිමය ගැටලු විසඳුණාම ශ්‍රීලනිපයට ගිහින් පක්ෂය ගොඩනඟන කාර්යභාරයට ඔබ ඇතුළු අනෙක් පාර්ශ්ව සූදානම්ද?

අනිවාර්යයෙන්ම. මාව ලේකම් ලෙස පත් කළ හොත් අනිවාර්යයෙන් පක්ෂය නැවත ගොඩනැඟීමට සියලු දෙනාම ඒකරාශි කරගෙන මෙය සිදු කරනවා. ඒ තුළ පක්ෂයේ වගකිව යුත්තන්ට විශාල වගකීමක් තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත එකතු වුණොත් වෙනම පක්ෂයක් විදිහට ඉදිරියේදි ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවාද?

ඔව්. මේ නීතිමය ගැටලු ටික විසඳගන්න පුළුවන් වුණොත්; සියලු දෙනාම එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගොඩනඟාගෙන මැතිවරණයට තරග කරන්න පුළුවන්.

මේ රට ආගාධයකට ගිහින් තිබෙන අවස්ථාවක සජබ ප්‍රමුඛ විපක්ෂයෙන් ඒ කාර්යභාරය නිසි ලෙස ඉටු වන්නේ නැහැ කියා කිවුවොත්…

අප අපේ කාර්යභාරය කරනවා. මේ ආණ්ඩුව පත් වෙලා තවමත් මාස තුනයිනේ. එක පාරට විපක්ෂයේ හඬ මතු වන්නේ නැහැ; ක්‍රමානුකූලව අපි ඒ හඬ අරගෙන යනවා. පාර්ලිමේන්තුව තුළ සහ පිටත අප අපේ කාර්යභාරය ඉටු කරනවා.

මානුෂීය ජනතා සන්ධානයට මොකද වුණේ?

ඒක තියෙනවා. පක්ෂයක් ලෙස එය තවම ලියාපදිංචි වෙලා නැහැ. ඒ නිසා පක්ෂයක් ලෙස එයින් තරග කරන්න බැහැ.

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ඔබ මොකද හිතන්නේ?

මේ ආණ්ඩුව එක පෑන් පහරින් සියල්ල කරනවා කියලා කිව්වනේ .ඒත් ඔවුන් තවමත් විපක්ෂයේ ඉන්නවා වගේ කලින් ආණ්ඩුවට සහ ජනාධිපතිවරුන් ඇමැතිවරුන්ට බැනවදිමින් ඉන්නේ. ආණ්ඩුවේ ඉන්නවා කියලා වැඩ කරන්න අවශ්‍යයි. අපියි විපක්ෂයේ ඉන්නේ කියලා හිතට ගන්න . මේ කිව්ව දේවල් එකක්වත් කර ගන්න බැරිව ඒ අය දැන් අසහනයට පත්වෙලා . හිටපු ඇමැතිවරු තුනෙන් දෙකක බලය අරගෙන කිව්වේ අවුරුදු තුනකින් විදුලි බිල අඩු කරනවා කියලා.

ඒත් මේ තත්ත්වය අපි පැහැදිලි කරලා දුන්නට පස්සේ මෙය සියයට විස්සකින් අඩු කරන්න තීරණය කළේ; විදුලි බිල අඩු කළේ ආණ්ඩුව නොවෙයි. ඒ අය කියපු කිසිම ‌දෙයක් ක්‍රියාත්මක කරන්න බැරිව ගියා. මේ අය කිව්ව කිසිම දෙයක් කළේ නැහැ. එක් පෑන් පහරින් හාල් මිල අඩු කරනවා කිව්වා. කිසිම දෙයක් කරන්න මේ ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට මඩ ගහනවා. වාහනවල වටිනාකම් ගෙවල් පරිහරණය ගැන කියන්නේ ඒ අයගේ අසාර්ථක බව නිසයි. මේක තමයි දිගටම කළේ. අපි කියන්නේ මේ ආණ්ඩුවට වැඩ කරන්න කියලා. සමාජ වෛරය ජනතාව කුපිත කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ .මිනිසුන්ට රටේ තියන උද්ධමනය වසන් කරන්න වෙන දේවල්වලට අවධානය යොමු කරවනවා. ඒ නිසා වෛරය පැත්තකින් තියලා වැඩකරන්න කියලා අපි කියන්නේ. ජනතාව බලන් ඉන්නේ ඒ දිහා. මේ වන විට සංචිත අඩු වෙලා තියෙනවා.

පසුගිය රජය කිව්වේ IMF එකත් සමඟ මේ ආණ්ඩුවට වැඩ කරන්න බැරි වෙයි කියලා. නමුත් මේ රජය IMF සමඟ පසුගිය රජයටත් වඩා හොඳින් කටයුතු කරනවා නේද?

ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා 15.2% ඉදිරි 2025 වසරෙදි බදු ආදායම තියා ගන්න කියලා. ඒසේ බදු ආදායම පවත්වා ගන්න නම් බිලියන 800ක් එකතු කරන්න වෙනවා. අනිවාර්යෙන් 5% සිට 10% දක්වා රඳවා තබා ගැනීමේ බද්ද වැඩි කර තියෙනවා. සුළු මුදලක් තැම්පත් කළ මිනිසුන්ට මෙයින් වෙන්නේ අසාධාරණයක් . මේ අය මේ මුදල් බැංකුවලින් නිදහස් කර ගන්න පටන් ගන්නවා. මේ සල්ලි ටික අරගෙන එදිනෙදා ආදායමක් ලබාගන්න දේකට යොමු කරන්න ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්‌ෙන් මේ රඳවා තබා ගැනීමේ බද්ද 5% සීමාවේ තියන්න කියලා. මේ 10% අඩු කරන්න කියලා. මේ අය අඩු ආදායම් ලබන පිරිසට මේ සම්බන්ධයෙන් සහනයක් සැලසිය යුතුයි. ව්‍යාපාර හැදුවොත් ආනයනය වැඩි වෙන්නත් පුළුවන්. මේ ආනයනය වැඩි වීමත් සමඟ විශාල අර්බුදයක් ඉදිරියේදි ඉන්නත් පුළුවන්. ඒ නිසා ආණ්ඩුවට තියෙනවා; විශාල වැඩ කොටසක් කරන්න. ආණ්ඩුව කියනවා පඩි වැඩි කරනවා කියලා. ඒ අස්වැසුම වැඩි කරන බව කියනවා. රටේ බදු ගැසීම තවත් වැඩි වෙනවා; මිසක වෙනත් දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රට අමාරු තැනකට එන්න පුළුවන් . මෙයට මුහුණ දෙන්න බැරි වීම නිසා පරණ ඉතිහාසයට බැණලා මේවා විසඳන්න හදනවා. ජනතාව විශාල බලයක් දීලා තියෙනවා. මේ අය විශ්වාස කරලා. රටේ ජනතාව බලය දුන්න නම් වැඩ කරන්න.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division