ඇතැම් අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේදී පවතින නීති ප්‍රමාණවත් නොවන බව පසුගිය කාලය පුරා සාකච්ඡාවට බඳුන් වුණා. එහෙත් ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් නෑ…
ඔය කතාවේ සත්‍යයක් වගේම යම් අතිශයෝක්තියකුත් ගැබ් වනවා. මූලික වශයෙන් දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය යුක්තිය පසිඳලීම සඳහා ප්‍රමාණවත්. එහෙත් මෙහි වැඩිදියුණු විය යුතු බොහෝ දේ තිබෙනවා. මේ නිසා මින් යුක්තිය සාධාරණය ඉටු වන බවක් මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. එයට හේතු වී තිබෙන්නේ මේ කටයුතුවල සිදු වන ප්‍රමාදයයි. උදාහරණයකට: වයස අවුරුදු 9ක දැරියක් කිසියම් අපයෝජනයකට ලක් වුණා කියා සිතමු. නඩුව අහන්නේ ඇයට අවුරුදු 20ක් වුණාම නම්, මෙතන යුක්තියක් ඉටු වී නැති බව මිනිස්සුන්ට දැනෙනවා. මේ ගැටලුව සෑම නඩු කටයුත්තකම තිබෙනවා.
මෙහෙම වෙන්නේ ඇයි?
අවුරුදු 20-30ක් තිස්සේ ගොඩනැඟුණු තත්ත්වයන් යටතේ ගොඩගැසුණු නඩු තමයි තාමත් මේ විසඳමින් තිබෙන්නේ.
මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්?
මේ රටේ පොලිස් සේවයේ 80,000ක් සිටිනවා යැයි උපකල්පනය කර, ඉන් 40,000ක් සාමාන්‍ය එදිනෙදා ගැටලු විසඳීම සඳහා යොමු කළ අය බවත්, ඉතිරි 40,000න් 20,000ක් මහේස්ත්‍රාත් උසාවි කටයුතුවලට යොදවා ඇතැයි සිතමු. ළමා අපචාර හා බරපතළ අපරාධ සම්බන්ධයෙන් නඩු දාන්නේ නීතිපතිවරයා. එයාට ෆයිල් එවන්න 20,000ක් ඉන්නවා. ඒත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු මෙහෙයවීම සඳහා ඉන්නේ 200කට අඩු සංඛ්‍යාවක්. මේ ආකාරයට කාලයක් තිස්සේ පැවති සම්පත් හිඟය වගේම තාක්ෂණික අඩුපාඩු මීට මුල් වී තිබෙනවා. එය පොලිස් විමර්ශන මට්ටමේදීත් අප දකිනවා. අධිකරණයට ගියාම අධිකරණ කාර්යමණ්ඩලවල අඩුපාඩුත් මෙයට බලපානවා. අද වන විට උසාවි පද්ධතිය තුළ සෑම වර්ගයකම නඩු ලක්ෂ 11ක් පමණ හිරවී තිබෙන්නේ මේ සියලු දේවල බලපෑම මතයි.
නීති පද්ධතිය අලුත් වෙන්න ඕනෑ නැද්ද? විශේෂයෙන් ළමා අපචාර සම්බන්ධයෙන්?
ඔව්, නීතිය අලුත් වෙන්න ඕනෑ. එය ළමා අපචාර වැළැක්වීමට පමණක් නොවෙයි; සියලු ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. අප ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත අලුත් කිරීමට අනුමැතිය ඉල්ලා තිබෙනවා. ඒකත් ඉදිරියේදී එනවා. කොච්චර අලුතින් නීති ගෙනාවත්, මේවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රමාණවත් ශක්තිමත් යන්ත්‍රණයක් නැත්නම්, නඩු පමා වෙනවා. නඩු පමා වනවා නම් කිසිදු අයකුට යුත්තිය ඉටු වන්නේ නැහැ.
මේ හිරවීම තිබෙන්නේ කොතැනද?
මේක අද-ඊයේ ඇති වූ තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන් 1977න් පස්සේ නඩු ප්‍රමාණය විශාල ලෙස වැඩි වී තිබෙනවා. ඒත් ඊට සාපේක්ෂව අධිකරණ පද්ධතියක් නිර්මාණය වන්නේ නැහැ. එනිසා මේ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය, නීතිපතිවරයා සහ අධිකරණ පද්ධතිය යන සියලු පාර්ශ්ව එක්වී සොයා බැලිය යුතුයි.
ඒ සඳහා කවරාකාරයේ ක්‍රියාමාර්ගයක්ද ගැනීමට බලාපොරොත්තු වන්නේ?
මේ ගැටලුව විසඳන්න නම් හොඳ ඉලක්කගත මැදිහත්වීමක් අවශ්‍යයි. උසාවි වැඩි කළ පමණින් මේ ගොඩගැසී තිබෙන නඩු ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ ක්‍රමවේද වෙනස් වෙන් ඕනෑ. මට අධිකරණ අමාත්‍යවරයා ලෙස කළ හැකි මූලික කාර්යය වන්නේ මේ සඳහා විශේෂඥ දැනුම තිබෙන පුද්ගලයන් කැඳවා, දැනට හඳුනාගෙන තිබෙන මේ ප්‍රශ්නයට අදාළ විසඳුම් යෝජනා කරන ලෙස ඔවුන් වෙත යොමු කිරීමයි.
එතෙක් මේ සම්බන්ධයෙන් අනුගමනය හැකි වැඩපිළිවෙළක් ඔබ අමාත්‍යාංශයට නැතිද?
ඒ සඳහා සමථ මණ්ඩල වැඩපිළිවෙළක් මේ වන විට අපි අධ්‍යයනය කරමින් යනවා. ඒ අයගෙන් ඉලක්කගත මැදිහත්වීම මත එහි ප්‍රතිඵල ඉදිරියෙදී ලැබේවි. අපි ලොව හොඳම ක්‍රමය හැදුවත් මේ ගොඩගැසී තිබෙන නඩු විසඳන්න තවත් වසර හතරක් පහක් යාවි. ඊට කලින් මට බලන්න ඕන අප විසින් නිර්මාණය කර ඇති සමථ මණ්ඩල කවරා කාරයේ ප්‍රතිඵලයක් අත්කර දේවිද කියන කාරණය. මෙය අධිකරණයට නොයා ආරවුල් විසඳිය හැකි විකල්ප ක්‍රමයක්. මෙය වැඩිදියුණු කිරීම හරහා අධිකරණයට පැමිණෙන නඩු අඩු වේවි යැයි අපි අපේක්ෂා කරනවා. එය තමයි තවදුරටත් ශක්තිමත් කළ යුතු වන්නේ.
මේ ප්‍රමාදයට විනිසුරුවරුන් හිඟවීමත් ප්‍රධාන ගැටලුවක් නේද?
සාමාන්‍යෙයන් අපේ රටේ මිලියනයකට එක විනිසුරුවරයකු වගේ ඉන්නේ, එහෙත් දියුණු රටක මිලියනයකට විනිසුරුවරුන් 42ත් 50ත් අතර සිටිනවා. 2019 කරපු පර්යේෂණ වාර්තාවකින් මේ බව හෙළි කර තිබෙනවා. ඒ අනුව එක විනිසුරුවරයකුට 3,500ක් පමණ නඩු කටයුතු වෙනුවෙන් පෙනී ඉන්න සිදු වෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ එක් විනිසුරුවරයකුට මේක කරන්න තියා හිතන්නවත් පුළුවන්කමක් නැහැ.
පසුගිය කාලයේ විවිධ දූෂණ, අක්‍රමිකතා සිදු කළ අයට නිසි දඬුවම් මේ ආණ්ඩුවෙන් ලැබේවි කියා ගොඩක් දෙනා කල්පනා කළා. එහෙත් ඔවුන් අද ඉන්නේ කලකිරීමෙන්…
ඒ විදියට කල්පනා කරන මහජනතාවට මම දොස් නඟන්නේ නැහැ. දශක ගණනාවක් තිස්සේ ඔවුන් දැක්කේ අත්වින්දේ එවැනි තත්ත්වයක්. රටක නීතියේ විධානයේ ආධිපත්‍යය කඩාවැටුණම ඇති වන්නේ අරාජික තත්ත්වයක්. මේ තියෙන ආර්ථික හා සමාජයීය අර්බුද සියල්ල පැන නඟින්නේ එතනින්. මිනිස්සුන්ගේ හැඟීමක් තිබුණා ධනය, බලය ඇති අයට එක නීතියකුත්, ඒ දේවල් නැති අයට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවයි කියලා. එහෙම හිතුණාම රට තුළ අරාජිකත්වයක් නිර්මාණය වනවා.
මේ නිසා සාධාරණ හේතු මත ජනතාව නීතිය බෙදන පද්ධතිය කෙරෙහි අවිශ්වාසයක් ඇති වී තිබෙනවා. නීතිපති විශ්වාස නැහැ; අධිකරණය දූෂිතයි කියා සිතනවා; පොලීසිය දූෂිතයි කියා සිතනවා. මිනිස්සු එහෙම හිතන්නේ අතීතයේදී ඒ ආකාරයෙන් දේශපාලන මැදිහත්වීම් තිබුණයි කියල කරුණු වාර්තා වී තිබෙන නිසයි. විශේෂයෙන්ම 2013-2024 දක්වා කාලය තුළ මෙවැනි තත්ත්වයන් අප අත්වින්දා. අගවිනිසුරුවරියක වූ ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැව්වා. අන්ත දූෂිත වැරදි පුද්ගලයන් නිදොස් කොට නිදහස් කළා. ඒ නිසා මිනිස්සු එහෙම හිතෙන එක සාධාරණයි.
ඔබ අමාත්‍යාංශයට මෙය විශාල අභියෝගයක් නේද?
අපට තිබෙන ලොකු අභියෝගය ජනතාව තුළ මේ ආයතන පිළිබඳ නැවතත් විශ්වාසය ඇති කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන; නෑ එහෙම නෙමෙයි, තමන්ටත් අන් අයට වගේම සාධාරණයක් ඉටු වනවා යන හැඟීම ජනතාව තුළ ඇති වන්න ඕනෑ. ඔව්, ප්‍රශ්න තියෙනවා, වැරදි කරපු අය ඉන්නවා. ඒ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. එහෙමයි කියලා අපට නීතියට පිටින් ක්‍රියාත්මක වෙන්න බෑ. ඉස්සර නම් මාධ්‍ය සන්දර්ශන තිබුණා. අත්අඩංගුවට අරගෙන, සියලු සැපපහසුකම් සහිතව තියන් ඉඳලා, අන්තිමට නිදොස් කොට නිදහස් කරනවා. දැනුත් සමහරු ඒ පරණ පුරුද්දට හිනා වෙවි අත් උස්සලා පෙන්නලා වීරයෝ වෙන්න හදනවා. ඒත් මේ තියෙන්නේ ජාජබ ආණ්ඩුවක්. අපට කිසි කෙනකුගෙන් දේශපාලනිකව පළි ගන්න ඕනෑ නෑ. අපි යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත්තාම සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් බොරු කතා නිර්මාණය කළා.
ඒවා බොරු නම්, ඇත්ත කතාව මොකක්ද?
නීතිපතිවරයා සඳහන් කරන ආකාරයට මනුස්සයකුට නඩුවක් පවරන්න කලින් එයාව මුලින්ම සැකකරුවකු වශයෙන් නම් කර තියෙන්න ඕනෑ. කෙනකු අත්අඩංගුවට නොගෙන සැකකරුවකු වශයෙන් නම් කරන්න බැහැ. ඒ පියවර තමයි යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් ගත්තේ. කෙනකුට ඇප ලැබුණ පළියට කියන්න බෑ, එයා චෝදනාවෙන් නිදහස් වුණා කියලා. එහෙත් අපේ අයගෙ උසාවි කටයුතු සම්බන්ධයෙන් තිබෙන අඩු දැනුම නිසා; කෙනකු ඇපයක් ලැබිලා නිදහස් වුණාම එයා නඩුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියා හිතනවා. ඒ නිසා තමයි වේදනාවෙන් අපිටත් බණින්නේ; මාත් බැණුම් ඇහැව්වේ. ඒ චෝදනව දැන් එනවා; අධිචෝදනා පත්‍ර ගොනු කරනවා. අපි කළේ අධිකරණයට, නීතිපතිට, නඩු මෙහෙයවන, ආයතනවලට නිදහසේ කටයුතු කරගෙන යෑමට ඉඩකඩ සලසා දීමයි.
එහෙත් මෙය දේශපාලන පළිගැනීමක් බවට චෝදනා නැඟෙනවා…
මෙය දේශපාලන පළිගැනීමක් නම්, මේක වෙන්නේ මෙහෙම නෙමෙයි. නඩුකාරයන්ටත් බලපෑම් කරලා, තව සතියක් දෙකක්, මාසයක් දෙකක් යෝෂිත රාජපක්ෂව කූඩුවේ තියන්න තිබුණා. ඒ අය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට එහෙම කළා මතක ඇති. අපට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. මේ අය වැරදි කරලා තිබෙන බව පරීක්ෂණවලින් පැහැදිලි වෙනවා නම් ඒ සඳහා අධිචෝදනා ගොනු කර අදාළ නීතිමය කටයුතු සිදු කිරීම නීතිපතිවරයාගේ කාර්යයක්.
මේ ආකාරයට යටගහපු නඩු නැවත විමර්ශන කිරීම ඔබේ පක්ෂයේ ඡන්ද පොරොන්දුවක්…
ඔව්, ඒ නිසා තමයි අපි විමර්ශන නොකර ගොඩගැසී තිබුණු නඩු නැවත විමර්ශනය කිරීමට නීතිපතිවරයාට ඉඩ ප්‍රස්තාව සලසා දී තිබෙන්නෙ. ඒ අනුව තමයි ක්‍රිෂ් නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන්නේ. ජනතාව බලාපොරොත්තු වූ දේ තමයි මේ ඉටු වෙමින් පවතින්නේ.
ඡායාරූපය – හිරන්ත ගුණතිලක
රසික කොටුදුරගේ