මාරක රිය අනතුරු හේතුවෙන් 2020 සිට 2024 දක්වා ගත වූ පස් වසර තුළ මෙරට 12,182 දෙනකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පැවසීය.
වසර 2024දී පමණක් 2,381 දෙනකු මියගොස් ඇති අතර, ඒ අතර පදිකයන් 843ක් සහ යතුරුපැදිකරුවන් 738ක් වන බවත්, යතුරුපැදිකරුවන් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් බවත් හෙතෙම සඳහන් කළේය. 2024 වසර වන විට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව 8,454,513ක් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවති රජයන් සමඟ දීර්ඝ කාලයක සිට සාකච්ඡා කළද නිසි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව පැවසූ එම සංගමයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා, ඒ පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවීමට හා කොමිසමක් පත් කිරීමට වත්මන් රජයට යෝජනා කරන බවද සඳහන් කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්