Home » මන්නාරම් දූපත්වල ගංවතුර තර්ජන දිගටම

මන්නාරම් දූපත්වල ගංවතුර තර්ජන දිගටම

by Mahesh Lakehouse
February 1, 2025 12:35 am 0 comment

පේසාලේ ඇතුළු මන්නාරම් දූපත්වල මාස ගණනාවක සිට පවතින ගංවතුර තර්ජනය තවමත් පහව ගොස් නැති බවත්, පසුගිය වකවානුවේ සිදු වූ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව ඇති බවත් මන්නාරම් සංවර්ධන කමිටුව (MMC), මන්නාරම් ජනතාව මෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රය චෝදනා කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් මන්නාරම් සංවර්ධන කමිටුව පවසන්නේ පසුගිය වසර අවසානයේ මන්නාරම් දූපත්වලට බලපෑ ගංවතුර තර්ජනය මාස ගණනාවක් ගියද මේ වන තෙක් බැස ගොස් නැති බවත්, ඒ හෙයින් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් පවතින බවත්ය. ගංවතුර බැස නොයෑම නිසා දෛනික ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, නිවාස බොහෝමයක් මේ වන විට පදිංචියෙන් ඉවත් කර ඇති බවත් සංවර්ධන කමිටුව පවසයි. එසේම බොහෝදෙනාගේ රැකීරක්ෂා පවා මේ වන විට අඩපණ වී ඇති අතර සෞක්‍ය තර්ජනයන්ට මුහුණ පා ඇති බවත් වාර්තා වෙයි. මේ හේතුවෙන් මන්නාරම් දූපත් තුළ පදිංචි වී සිටින දරුවන්ට පාසල් යෑමට තබා නිවෙස්වල දිවිගෙවීමටවත් නොහැකි දුෂ්කරතා මතුව ඇති බව එම කමිටුව පවසයි. පෙර වසරවල ගංවතුර තර්ජන පැවැතියද එම වතුර ස්වාභාවිකව මුහුදට ගලායෑමේ මාර්ග සකස් කර තිබුණත්, පසුකාලීනව සිදු වූ විවිධ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මංමාවත් උස්කර ඉදිකිරීම් හේතුවෙන් එකී මාර්ග අවහිර වී ගංවතුර තර්ජන මාස ගණනාවක් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ පිළිබඳ අදහස් දැක්වූ මන්නාරම් දිස්ත්‍රික් ලේකම් ක. කනකේෂ්වරන් පැවැසුවේ මෙම ගංවතුර පැවති ප්‍රදේශවල වතුර රුපියල් මිලියන 3ක මුදලක් වැය කරමින් පොම්ප කිරීමෙන් ඉවත් කළත් බොහෝ ප්‍රදේශවල එසේ කිරීමට අපොහොසත් වූ බවයි. මන්නාරම් දූපත්වලට එල්ල වී ඇති ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් හා සනීපාරක්ෂක ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division