මෙවර නිදහස් දින සමරු උලෙළේ වැඩසටහන් 2 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර, 4 අඟහරුවාදා උදෑසන සර්ව ආගමික වතාවත් ආගමික ස්ථාන රැසකදී පැවැත්වේ. නිදහස් දින ප්‍රධාන උත්සවය 4 වැනිදා නිදහස් චතුරස්රයේදී පැවැත්වේ.
එදින පෙ.ව. 7.40ට සම්මාන මුරය උත්සව භූමිය වෙත ගමන් ගැනීම ආරම්භ කෙරේ. අග්‍රවිනිශ්චයකාර මුර්දු නිරූපා බිදුෂිණි ප්‍රනාන්දුගේ පැමිණීමෙන් උත්සවයේ ආරාධිතයන් පැමිණීම ආරම්භ කෙරෙන අතර, ඉන් පසුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැමිණීම සිදු වේ.
අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන් පසුව පැමිණෙන අතර, පෙ.ව. 8.00ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්ප්‍රාප්තිය සිදු වේ. ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජනාධිපති ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යෑම සිදු කෙරේ.
මාතෘ භූමියේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදු සියලු ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාව පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති උත්තමාචාරය සිදු කෙරේ. ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතීම සිදු කරන්නේ ඉන් පසුවය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකාය විසින් පවත්වනු ලබන සම්මාන පෙළපාළිය හා සංස්කෘතික සන්දර්ශනයන්ද පැවැත්වේ. ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම ද මෙහිදී සිදු කෙරෙන අතර, දහවල් 12.00ට නාවික හමුදාව විසින් ගාලුමුවදොර පිටියේදී ආචාර වෙඩි මුර 25ක් පිරිනැමීම සිදු කෙරේ. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුව අබියස පුෂ්පෝපහාර පිරිනැමීම එදින පෙරවරු 6.00ට සිදු කිරීමට නියමිතය.