Home » ප්‍රභූ සමාජයද ‘ක්ලීන්’ විය යුතුය

ප්‍රභූ සමාජයද ‘ක්ලීන්’ විය යුතුය

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

“මිනිසාගේ ආසාවන් අසීමිතය. එසේම මිනිසා සතු ශක්තිය කිසිදා සිඳී යන්නේ නැත. එය එසේ වූයේ වී නමුත් ලෝකය ආධ්‍යාත්මික වශයෙන් වෙනස් වන්නේ බොහෝ සෙමෙනි. ඊට හේතුව: නිදහස්ව ජීවත් වනු පිණිස මිනිසා ඥානය ගොඩ ගසා ගන්නවා වෙනුවට මුදල් ගොඩ ගසා ගැනීමයි. මිනිසා මේ කෑදරකමින්

මිදුණු දිනක බලයෙන් ශ්‍රමය සූරාකෑම නැවැත්වූ දිනක ලෝකය වඩා යහපත් වනු ඇති.”
– මැක්සිම් ගෝර්කි

ජනමාධ්‍ය හසුරුවන සෑම ලේඛකයෙක්ම කාලීන සමාජ ආර්ථික හා දේශපාලන පසුබිමේ අතුරු ඵලයකි. එසේ වූ පමණින් ලේඛකයන් විසින් ස්වකීය නිර්මාණ තුළින් කාලීන සමාජ යථාර්ථය නිරූපණය කරන්නේ නැත. මේ තත්ත්වය වර්තමාන සමාජයේ මෙන්ම අතීතයේද පැවතියේය. අප හොඳින් දන්නා බටහිර ලේඛකයන් වන ඩී.එච්. ලෝරන්ස්, මිඩ්ලන්ඩ් මාරේ, එච්.ජී. වේල්ස් වැනි ප්‍රකට ලේඛකයන් පිළිබඳ අපි කොතෙකුත් කියවා ඇත්තෙමු.

ඔවුන් සමාජයේ පහළ පන්තියෙන් පැමිණි ලේඛකයන් බවත්, ජීවන අරගලය පිණිස උරදීමේදී නොයෙකුත් දුක් කම්කටුලුවලට මුහුණ දුන් උදවිය බවත් අපට පෙනී යයි. එහෙත් ඔවුන් ලේඛකයන් හැටියට සමාජයේ තහවුරු වූ පසුව වුවද බුද්ධිමත් සමාජය තුළ පැවති සමාජ අසාධාරණය අධිපතිවාදි සිතුම් පැතුම් විවේචනය කළේ නැත.

ඔවුන් හැසිරුණේ පවතින ක්‍රමයට අනුගතවය.

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව විසින් නව රජය බලයට පත් කිරීමෙන් පසු සමාජ ආර්ථික දේශපාලන හැඩගැස්ම තුළ මේ දිනවල පවතින ස්වභාවය වටහා ගැනීම සඳහා ඉහත කළ සඳහන බෙහෙවින් වැදගත් වන්නේය. හාල්, පරිප්පු, ලුණු ඉල්ලා මාධ්‍යයට ‘කමෙන්ට්’ දෙන පිරිස මෙන්ම දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කර දෙන මෙන් ඉල්ලා සිටින බහුතරයක්ද සිටිති. ඒ දෙවැනි පිරිස විමසිලිමත් වන්නේ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා තමන් වෙතින් ඉටු විය යුතු කොටස කුමක්ද කියාය.

ශ්‍රී ලංකාව පරිහානියෙන් ගොඩ ගැනීම සඳහා සමස්ත සමාජයම පවිත්‍ර කළ යුතුව තිබේ. මහජනයාගේ සිතුම් පැතුම්, දරුවන්ගේ ප්‍රාර්ථනා, ඉෂ්ට සිද්ධ කළ හැකි වන්නේ සමාජයේ භෞතික සම්පත් මෙන්ම ආධ්‍යාත්මික පරිසරයද පවිත්‍ර කිරීමෙන් පමණි. ප්‍රශ්නය තිබෙන්නේ බලය දරා සිටින ඇතැමුන් ආණ්ඩුවේ සමස්ත වටපිටාව පිරිසුදු කිරීම කෙරෙහි දක්වන උකටලී ස්වභාවයයි.

බොහෝ දෙනකු මේ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයේ බරපතළ ස්වරූපය නිවැරදිව වටහා ගෙන නැත. ඇතැමකු හිතන්නේ පිරිසුදු විය යුත්තේ සාමාන්‍ය පුරවැසියා කියාය.

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහිතව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය තහවුරු කර ගත් දේශපාලන පක්ෂයයි. ඒ ආණ්ඩුව ලබා ඇති ජනවරම බොහෝ දෙනකුට නොවැටහේ. ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතා පවතින තත්ත්වය පැහැදිලි කළේ මෙසේය:

“රට හදන්න අපි සියලු දෙනාම එකතු වෙමු. රටට රාජ්‍ය සේවය ලබාදීම සඳහා විශාල වශයෙන් වැය බරක් දැරීමට සිදුව තිබෙනවා. රාජ්‍ය සේවයේ මිලියන 1.3ක් ඉන්නවා. රාජ්‍ය සේවයේ පහළ ස්තරය අතිරික්තයක් වුවද, මැද ස්තරයේ විශාල සේවක හිඟයක් පවතිනවා. ඒ රික්තය පිරවීම සඳහා විභාගයක් පැවැත්වුව හොත් පෞද්ගලික අංශයේ රැකියා කරන අය පවා ඒ සඳහා පැමිණෙනවා. එයින් අපට වැටහෙන්නේ පෞද්ගලික අංශයට ආකර්ෂණය නොවන, රාජ්‍ය අංශයට ආකර්ෂණය වන රාජ්‍ය සේවාවක් අපේ රටේ පවතින බවයි. ඒ නිසා පෞද්ගලික අංශය ආකර්ෂණීය සේවාවක් බවට පත් කිරීම රටේ ඉදිරි ගමනට අතිශය වැදගත්. පෞද්ගලික අංශය ආකර්ෂණීය සේවාවක් බවට පත් කිරීමේ සංවාදය ඇරඹීමේ කාලය එළඹ තිබෙනවා.”

ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කරන්නේ ඉතා ගැඹුරු අදහසකි. පිරිසුදු විය යුත්තේ අපේ නගර හා මං-මාවත් පමණක් නොවේ. පුද්ගලයන්ගේ මනසද රට ගැන පොදුවේ ආදරය දක්වන්න හැකි වන පරිදි සුවපත් විය යුතුය. ශ්‍රී ලංකාවේ පුරවැසියන් සමාජ පරිවර්තනයෙන් ඉල්ලා සිටි වෙනස එයයි. වැඩ කරන ජනතාව ක්ලීන් වනවා මෙන්ම, තම වගකීම හා රාජකාරිය ඉටු කරනවා මෙන්ම හාම්පුත්තුද ‘ක්ලීන්’ විය යුතුය.

වසර 50කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යවසායකයන්, පෞද්ගලික අංශයේ හාම්පුතුන් රට වෙනුවෙන් හැඟීමක් ඇතිව ක්‍රියා නොකිරීම රට වැටීමට ප්‍රබල හේතුවකි.

1970 දශකයේ එදා පැවැති සමාජවාදි කඳවුර ලංකාවට ත්‍යාග වශයෙන් දුන් කිසිදු කර්මාන්තයක් මේ වන වන විට මෙරට මහ පොළොව මත නැත. හොඳම උදාහරණය: එජාප ආණ්ඩුව විසින් පෞද්ගලික අංශය පාලනයට යටත් කළ තුල්හිරිය, පූගොඩ, වේයන්ගොඩ, මත්තෙගොඩ, පේෂ කර්මාන්තශාලා පෞද්ගලික අංශයට පැවරීමෙන් පසු මුළුමනින්ම විනාශයට පත් වීමය.

කැලණියේ ටයර් සංස්ථාවට, යක්කල ලෝහ භාණ්ඩ සංස්ථාවට, ඔරුවල වානේ සංස්ථාවට, කන්කසන්තුරේ සහ ගාල්ලේ සිමෙන්ති කර්මාන්ත ශාලාවලට, සාලාව සහ ගිංතොට තුනී ලෑලි සංස්ථාවලටද සිදු වූයේ එයයි. පෞද්ගලික අංශයට පරිපාලනය භාර දුන් කිසිදු රජයේ කර්මාන්තශාලාවක් ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වූයේ නැත.

ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 1991 වසරේදී රජයේ වතු රජය විසින් සමාගම්වලට දුන් නමුත්, වසර 32ක් ගියද වතු සේවකයෙකුට දෛනික දීමනාව ලෙස රුපියල් 1,700ක් දීමට ඒ සමාගම් අපොහොසත් වී ඇති බවයි. බොහෝ වතු සමාගම් තේ, රබර්, පොල් වැනි භෝග නැවත වගා කිරීමක් සිදු කර නැත. ගිවිසුම්ගත අක්කර දහස් ගණනක වතුයායේ වැඩි කොටසක් ලඳු කැලෑ බවට පත් වී තිබේ. පසුගියදා සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ ශ්‍රී ලංකාවේ කඳුකර කොටි ගහනය වර්ධනය වීමට හේතුවක් වන්නේ සමාගම්වලට අයත් වතු වනාන්තර බවට පත් වීම බවයි. වතු සමාගම් සාර්ථකද නැද්ද කියා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. පසුගිය රජයන්හි මැති ඇමැතිවරුන් පමණක් නොව, නිලධාරීන් පමණක් නොව, පෞද්ගලික අංශයේ බොහෝ හාම්පුතුන්ද දූෂිත බව ඉතා පැහැදිලිය.

ජනාධිපතිවරයා 2025 ආර්ථික සමුළුවේදී ආසන්නම උදාහරණය වශයෙන් දැක්වූයේ නිසි අනන්‍යතාවක් නොපෙන්වා කොළඹ වරායට ගෙන්වා ඇති බහාලුම් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂා කර බලන විට ඒවා තුළ තිබී ඇත්තේ රටේ මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සමාගමක ලේබලය අලවන ලද භාණ්ඩ බවයි. සේවකයන් මෙන්ම හාම්පුතුන්ද වෙනස් විය යුතුය. එසේ නොවුණ හොත් රට අපේක්‍ෂා කරන වෙනස ළඟා කරගත නොහැකිය.

“මේ අවුරුද්දේ 4%ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. ඒ ඉලක්කය සපුරාගැනීමට නම් ඍජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. වර්තමාන ආණ්ඩුවක් මෙයට පෙර බලය හොබවපු නැති දේශපාලන ව්‍යාපාරයක්. පසුගිය කාලය තුළ ව්‍යාපාරික කණ්ඩායම් ආයෝජකයන් සහ ඇතැම් අන්තර්ජාතික ප්‍රජාව තුළ අප කෙරෙහි සැකයක් තිබුණා. මේ වන විට එම සැකය තුරන් වී රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව තුළත් ආයෝජකයන් තුළත් විශ්වාසයක් ගොඩනැඟීමට හැකි වී තිබෙනවා.

“සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජන කැඳවීමට ආයතන 82 කින් අවසර ගත යුතු බව ආයෝජන සම්බන්ධ අමාත්‍යාංශවල ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවකදී අනාවරණය වුණා. ඒ අනුව ක්‍රියා කළ හොත් අපට ආයෝජන දිනා ගැනීම සඳහා වසර දෙකහමාරකට වැඩි කාලයක් ගත කරන්න සිදු වනවා.

“පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශක්‍යතා වාර්තා ලබාගැනීමට පමණක් ආයතන 11ක් එක්ක ගනුදෙනු කරන්න සිදු වනවා. ගණන් හදා බැලූ විට ඒ සඳහා වැඩ කරන දින 269ක් වැය වනවා. එය දින 82ක් දක්වා අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ආයෝජනයක් ස්ථාපනය කරන්නට අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා ප්‍රායෝගිකව සති 184ක් ගත වනවා. එය දින 120ක් වැනි කාලයකට අඩු කිරීමට අපේක්ෂා කරනවා.

“ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආයෝජන මණ්ඩලයට දින 80කට ආසන්න කාලයක් වැය කරනවා. එය සති 2ක් වැනි කෙටි කාලයක් දක්වා අඩු කර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා. මේ ඉලක්ක සපුරාගැනීම සඳහා ඊට අදාළ සෑම අංශයකම සහාය රජයට අවශ්‍යයි.”

පටන් ගත යුත්තේ කොතනින්ද? පටන් ගත යුත්තේ අප තුළින් මිස, අන් තැනකින් නොවන බව ශ්‍රේෂ්ඨ ලෙනින් සහෝදරයා ප්‍රකාශ කර තිබේ.

දේශපාලන ලියුම්කරු විසිනි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division