අපරාධ නීතිය පිළිබඳ දර්ශනපති උපාධියක් හිමි ආචාර්ය අතුල පතිනායක වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද දරයි. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥයකු වශයෙන් කලක් සේවය කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ දශක දෙකකට වැඩි කාලයක් සේවය කළ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකි.
ඔබ දකින විදිහට ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පවතින්නේ මොන වගේ මට්ටමකද?
අපි මුලින්ම කතා කරමු ලෝකයේ ‘නීති අධ්‍යාපනය’ පටන් ගැනීමේ අරමුණ, ඒ අරමුණ සපුරාගන්න ලෝකයේ රටවල් අනුගමනය කරපු ක්‍රියා පටිපාටි මොනවද, කියන එක. නීති අධ්‍යාපනය ඇති කළේ නීතිඥ වෘත්තියට පිවිසෙන අයගේ පසුබිම විධිමත්ව සැකසීමේ අරමුණින්. එතනදී එංගලන්තය හෝ වෙනත් යුරෝපීය රටවල්, එහෙමත් නැති නම් අමෙරිකාව බොහෝ කාලයක සිට මේ අරමුණ සාක්ෂාත් කරගන්න ගත් පියවර, ඒ වගේම ආසියාතික රටවල් සිංගප්පූරුව, ඉන්දියාව වගේ රටවල්. ඒ රටවල් මොන වගේ නීති රාමුවක් තුල ද නීති අධ්‍යාපනය නියාමනය කළේ කියල උදාහරණ ගන්න පුළුවන්. කාලයත් සමඟ මේ සෑම රටක්ම නීති රාමුව කාලානුරූපව වෙනස් කරලා තියනවා. විසිඑක් වැනි ශත වර්ෂය එන්නත් කලින් ඒ රටවල් දැක්කා කොයි ආකාරයටද ඒ තිබිච්ච පරණ නීති වෙනස් කළ යුත්තේ යන්න සහ විසිඑක් වැනි ශත වර්ෂය එළඹෙන විට නීති රාමුව තිබිය යුත්තේ කියලා. අපි ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලුවොත් පසුකාලීනව සංස්ථාගත නීති අධ්‍යාපන සභාව බවට පත් වූ 1873දී ස්ථාපනය කළ නීති අධ්‍යාපන සභාව මඟින් කාලීනව සැලකිය යුතු වැඩිදියුණු කිරීම් සහ වෙනස්කම් සිදු නොවුණු රීති මාලාවකින් තමයි රටේ නීති අධ්‍යාපනය පාලනය වන්නේ.
මේ තත්ත්වය මීට කලින් හඳුනාගත් අය ඉන්නවද?
නීති අධ්‍යාපනය අනිවාර්යෙන්ම නියාමනය විය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මෙතන ගැටලුව තියෙන්නේ නීති අධ්‍යාපන සභාවේ වත්මන් කාර්ය ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය නියාමනය කරන්න ප්‍රමාණවත්ද කියන එක. නීති විද්‍යාලයට පත්වුණ පළමු විදුහල්පතිවරයාම නීති අධ්‍යාපන සභාවෙන් පමණක් සියලු දේ කරන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. ඔහු තමයි බ්‍රිටෝ මුතුනායගම් මැතිතුමා, ඔහු එක්දාස් නවසිය තිස්ගණන්වල පැහැදිලිවම පෙන්වා දුන්නා 1874දී ඇති කරපු නීති විද්‍යාලයේ කටයුතු කරගෙන යන්න විදුහල්පතිවරයෙක් සහ වෙනම කාර්යමණ්ඩලයක් සහිත පරිපාලන ඒකකයක් අවශ්‍ය බව. මේ විදුහල්පතිවරයා පරිපාලනය පිළිබඳ අවබෝධයක් ඇති, නිසි වේලාවේදී නිසි තීරණ ගත හැකි අයකු විය යුතුයි. මේ කරුණු අදටත් ගැළපෙනවා.
නීති විද්‍යාලය පිහිටුවා වසර ගණනාවකට පසු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවනවා. මේ වගේ පසුකාලයක නීති පීඨයක් වූ නීති දෙපාර්තමේන්තුවක් කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටුවීමේ පරමාර්ථය වුණේ මොකක්ද? එතෙක් නීති විද්‍යාලයට සීමා වූ නීති අධ්‍යාපනය වඩාත් විධිමත් කිරීමත් නීති විද්‍යාලය නීති අධ්‍යාපනයේ ප්‍රායෝගික පුහුණුව දෙන ආයතනය විදිහට පවත්වන්නත්. හැබැයි ඒක එහෙම සිද්ධ වුණේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ නෑ නීති විද්‍යාලය නීති අධ්‍යාපනය දෙන්න සුදුසු නෑ කියලා, පසුගිය දශක ගණනාවකදී නීති විද්‍යාලයෙන්ම බිහි වූ ඉතා දක්ෂ නීතිඥවරු ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ පවතින ක්‍රමය සාර්ථකයි කියලත්, වර්තමාන අවශ්‍යතාත් එයින් සපිරෙනවා කියලා.
නීති පීඨ, කොළඹ විශ්වවිද්‍යාලයේ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනවලත් ඇති වෙලා තියෙනවා. එහෙත් නීති විද්‍යාලයේ වෙනස් වීමක් වෙලා තියෙනවද? අපේ නීති අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙලා තියෙනවද? විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වුණත් අවස්ථානුකූලව යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා. ඒත් වත්මන් අවශ්‍යතාවන්ට, මේ සියවසට අවශ්‍ය ආකාරයේ වෙනසක් සිදු වෙලා නැහැ.
මේ සියවසට ගැළපෙන වෙනස්කම් පවතින නෛතික රාමුව තුළ සිදු කරන්න බැරි ද?
නීති විද්‍යාලය කියන්නේ මොකක් වත් කරන්න බැරි වුණාම එන්න තියන තැන විදිහට සලකන අයත් ඉන්නවා. මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. නීතිඥ වෘත්තිය කියන්නේ බොහොම භාරධුර වගකීමක්. නීතිඥවරයෙක් විදිහට දිවුරුම් දුන්නට පස්සේ පසුවදාම වුණත් මිනීමැරුම් චෝදනාවකට චෝදනා ලැබූ කෙනෙකු වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. නැත්තම් රජයේ අධි නීතිඥවරයෙක් වුණොත් ඉතා කෙටි කාලයකින් යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට මරණීය දණ්ඩනය නියම කරන නඩුවක පැමිණිල්ල මෙහෙයවන්න පුළුවන්. එවැනි භාරධුර කටයුත්තක් තමයි නීතිඥයෙක් කරන්නේ. එතනදී බලන්න ඕනෑ අපි එවැනි නීතිඥවරුන්ට අවශ්‍ය අධ්‍යාපනය සහ කුසලතා ලබා දෙනවද කියලා. දැනට පවතින යන්ත්‍රණය තුළ මේ අවශ්‍යතාව නිසි පරිදි පරිපූරණය වන බවක් පේන්න නැහැ.
දැනට වසරකට නීති විද්‍යාලයට ඍජුවම ඇතුළත් වන ශිෂ්‍යයන් 225කට ආසන්න සංඛ්‍යාවට අමතරව විශාල නීතිවේදී උපාධිධාරීන් පිරිසක් ඇතුළත් වෙලා වසරකට එක්දාස් පන්සීයක් විතර නීතිඥවරු එළියට යන එක විතරයි. ඒ කට්ටියට අවශ්‍ය දැනුම සහ කුසලතා නිසි පරිදි ඇති කිරීමක් සිදු වන්නේ නැහැ. මෙතනදි මම පළමුවෙන්ම දකින්නේ නීති අධ්‍යාපන සභාවට සම්බන්ධ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් වීමක් වෙන්න ඕනෑ බවයි.
ඔබ නීති අධ්‍යාපනය සහ නීති වෘත්තිය අතර සබඳතාව දකින්නේ කෙසේද?
දැනට තිබෙන නෛතිත රාමුව තුළ නීති අධ්‍යාපන සභාවට විශාල බලයක් තිබෙනවා. ඒක විනිවිද පෙනෙන සංවරණයන් හා තුලනයන් සහිත බලයක් විය යුතුද කියන එක වෙනම සාකච්ඡා කළ යුතුයි. මා දකින විදිහට ශ්‍රී ලංකාවේ වෘත්තීය නීති අධ්‍යාපනයේ සම්පූර්ණ බලය තිබිය යුත්තේ උපරිමාධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීරණය කරන්න ඕනෑ නීති අධ්‍යාපනය ක්‍රියාත්මක විය යුතු ආකාරය. නීති අධ්‍යාපනය ලැබූ පමණින්ම නෙමේ වසරකට කොච්චර ප්‍රමාණයක් නීතිඥ වෘත්තියට බඳවාගත යුතුද කියලා තීරණය කරන්න අවශ්‍යයයි. ඒක සෑහෙන්න අමාරු කාර්යයක්. ඒක සංබ්‍යාලේඛන බලලා, නීති අධ්‍යාපනයේ ඒ වන විට යෙදී සිටින පිරිස බලලා, අනාගත අවශ්‍යතා බලලා තීරණය කරන්න ඕනෑ දෙයක්. මේක වසරින් වසර කරන දෙයක් නොවේ, වසර පහක හෝ දහයක ඉදිරිය සලකා බලලා ‘මෙන්න මේ ආකාරයට තමයි අපි දියුණු වන ලෝකයත් එක්ක යන්න ඕනෑ’ කියලා තීරණය කරන දෙයක්. මේකෙදි ශ්‍රී ලංකාවේ තත්ත්වය විතරක් නොවේ අපි බලන්නේ, අපේ නීතිඥවරුවන්ට වෙන රටවල රැකියා අවස්ථා උදා කරගන්න පුළුවන් නම් ඒවත් බලන්න ඕනෑ.
ඒ සියල්ල සලකා බලලා තමයි මෙච්චර ප්‍රමාණයක් නීතිඥවරුන් බඳවාගත යුතුයි කියලා තීරණය කරන්න ඕනෑ. ඒ වගේම බලන්න ඕන කාලානුරූපව වෙනස් වන විදිහට මොන විෂයන් ද ඒ විෂයන්ට අදාළ විෂය පථය නීති ශිෂ්‍යයන් හැදෑරිය යුත්තේ කියලා. නීතිඥවරයකු දැනගත යුතු විෂයන් හැමදාම නියතව පවතින්නේ නෑ, ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. නව විෂයන් පමණක් නොවේ ඒ වන විට පවතින විෂයන් තවදුරටත් පැවතිය යුතු ද මූලික විෂයන් විකල්ප විෂයන් විය යුත්තේ මොනවා ද එක් එක් විෂයක දළ වශයෙන් අඩංගු විය යුතු කරුණු මොනවද කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් වෙන්න ඕන කොච්චර අවම පැය ගාණක් අධ්‍යයනයට අවශ්‍ය වෙනව ද ඒ වගේම නීතිඥයෙක් වීමට පෙර කොච්චර ප්‍රායෝගික දැනුමක් ඔවුන්ට තියෙන්න ඕනද කියන එක.
ඔබේ අදහස අනුව නීති විද්‍යාලයේ භූමිකාව මින් එහාට යා යුතුද?
මගේ විදුහල්පති ධුර කාලයේදී ප්‍රායෝගික පුහුණු වැඩසටහන මා විශේෂ අවධානය යොමු කළ කරුණක්. නීති විද්‍යාලය නීතිඥ වෘත්තියට පිවිසීමේදී ප්‍රායෝගික පුහුණුව සඳහා සම්පූර්ණ වගකීම දරන ආයතනය විය යුතුයි. වෙන රටවල ඒ විදිහට තමයි සිද්ධ වන්නේ. එංගලන්තයේ කාලයක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු යටතේ වැඩ කරන්න ඕනෑ. ඔස්ට්‍රේලියාවෙත් එහෙම තිබ්බා. ලංකාවෙත් තියෙනවා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් යටතේ වැඩ කිරීම. හැබැයි සමහර අවස්ථාවල ඒක ඒ විදිහටම වෙනවාද කියලා අපට කියන්න හරි අමාරුයි. මගේ අත්දැකීම් අනුව සමහර වෙලාවට ආරම්භක සහ අවසන් කිරීමේ ලිපි පමණයි දෙන්නේ. ඒ ශිෂ්‍යයා ආවද නැද්ද කියන එකවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා දන්නෙ නෑ. අනෙක් අතට මේ ප්‍රායෝගික පුහුණු කාලය අඩුම ගානේ අවුරුදු එකහමාරක් හෝ අවුරුදු දෙකක් තිබිය යුතුමයි.
මා පිළිගන්නවා ඉතා දක්ෂ නීතිඥයන් නීති විද්‍යාලයෙන් බිහි වූ බව. හැබැයි දැන් තියෙන තත්ත්වය අනුව, ක්‍රමය අනුව මේ තත්ත්වය වෙනස් විය යුතුයි. මං කියන්නේ නීති විද්‍යාලයේ අධ්‍යයන අංශය වසා දානවා කියන දේ නෙමේ. නීතිඥයකු වීමට මූලික නීති උපාධියක් තිබීම කාලීන අවශ්‍යතාවක්. එය ලෝකයම පිළිගත් අවශ්‍යතාවක්. නීති විද්‍යාලයෙන් නීති උපාධියක් දීම වැනි ක්‍රමවේදයක් සකසලා, වෙනත් විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් සමඟ නීති විද්‍යාලයටම සුවිශේෂ වූ ප්‍රායෝගික පුහුණුවට යැවිය යුතුයි. එසේ නැතුව අවුරුදු තුන හාමාරක අධ්‍යයන කාලයකින් පසු නීතිඥයකු ලෙස දිවුරුම් දීම නොවේ. වත්මන් සමාජය සංකීර්ණයි; අධ්‍යාපන අවස්ථා පුළුල්. මේ පොදු අරමුණ මත පදනම්ව ක්‍රියා කරන්න විශ්වවිද්‍යාලවලටත් ලොකු වගකීමක් තිබෙනවා.
ඔබ යම් තැනක නීති අධ්‍යාපනය නියාමනය සඳහා වෙනම නියාමන අධිකාරියක අවශ්‍යතාව මතු කර තිබුණා. ඒ පිළිබඳ පැහැදිලි කළ හැකිද?
මම දකින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහළ තත්ත්වයක සිට නිර්දේශ සහ මඟපෙන්වීම් ලබා දෙන නීති අධ්‍යාපනය නැත්තම් නීතිඥ වෘත්තියට බඳවාගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනම නිදහස් ආයතනයක් පිහිටුවිය යුතු බව. එහි ප්‍රධානියා හැම විටම නීතිඥවරයකු වීම අවශ්‍ය නැහැ. ඒක වෙනත් දියුණු රටවල් වල තිබෙනවා වගේ වෙනම නියාමන අධිකාරියක්. එය රජයට අනුබද්ධ, ඒත් සම්පූර්ණයෙන්ම ස්වාධීන ක්‍රියාකාරිත්වයක් ඇති ආයාතනයක් විය යුතුයි.
ඔබට අවසාන වශයෙන් කියන්න ඇත්තේ කුමක්ද?
සිංහලේ අර්ථවත් කියමනක් තියෙනවා, ‘මඟ හොඳට තිබේ නම් යන්න දෑසත් පෙනේ නම්, කිම බැදිවල යන්නේ මං මංමුළා වූ අයකු සේ’ කියලා. ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනයට දැන් ඇති වී තිබෙන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. කිසිම පරිපාලන ඒකකයක ක්‍රියාකාරිත්වයට පෞද්ගලික මතිමතාන්තරවලින් බලපෑම් වන එක ඉතා නරකයි. ඒ වගේ තත්ත්ව අවම වන විදිහට නියාමන අධිකාරියක් ස්ථාපනය කරන්න නීති සැකසිය යුතුයි.
සංවාදය : ඉශිරා ඉද්දගොඩ