Home » පාතාලය මඬින මෙහෙයු‍මේ ඇතුළු පැත්ත

පාතාලය මඬින මෙහෙයු‍මේ ඇතුළු පැත්ත

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

පාතාලයේ තුවක්කු පිස්තෝල පසුගිය සතියේ මුල් දින තුනේදී නිහඬ වුවත් බ්‍රහස්පතින්දා වන විට තත්ත්වය වෙනස් විය. කුලී ඝාතක කල්ලියක් අම්බලන්ගොඩදී මිනිස් බිල්ලක් ගැනීමට උත්සාහ කළත් එය වැරදී ගිය අතර, උණ්ඩ පිට නොවූ පිස්තෝලය විසි කළ කුලී ඝාතකයෝ පලා ගියහ. ටී 56 තුවක්කුවකින් පිට පිට නිකුත් වූ වෙඩි උණ්ඩවලින් හිනිදුම, පනංගල අවන්හලක තිදෙනෙකුට දිවි අහිමි කළේ ද බ්‍රහස්පතින්දා රාත්‍රියේය. ගිය සතියේ ද මෙලෙසම පාතාල තුවක්කු පිස්තෝල ක්‍රියාත්මක විය. පාතාලය එලෙස වැඩිපුර ක්‍රියාත්මක වී තිබුණේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්‍රදේශ කීපයකය. මන්නාරමේ කොන්ත්‍රාත් ඝාතන දෙකක්ද සිදු වී තිබුණු අතර, ඊට සම්බන්ධ අය මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය.

ගල්කිස්සේ පාතාලය ගැන කතා කරද්දී එහි අතීතය ගැන කිව යුතුමය. ඩුබායි රාජ්‍යයේ වෙසෙමින් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා ඝාතන සහ ජාවාරම් සිදු කරන ‘බඩෝවිට අසංක’ සහ ‘කොස් මල්ලිගේ’ ගැටුම් නිසා මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති සංඛ්‍යාව 7කි. දින කීපයක් ගල්කිස්ස පාතාලයේ තුවක්කු පිස්තෝල නිහඬ වී ඇතත්, ඊට හේතුව මේ කල්ලි දෙක තවත් බිල්ලක් ගැනීමට කුරුමානම් ඇල්ලීමදෝ යන්න විමර්ශන නිලධරයන්ටත් සැක පහල වී තිබේ. බඩෝවිට අසංක සහ කොස් මල්ලිගේ අරගලය නිසා ඝාතනය වූ අයගේ මරණවලට සම්බන්ධ කීප දෙනකු මේ වන විට අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වීම නම් සුවිශේෂය. පාතාලය ගැන තව දුරටත් ලොකු කතාවක් එළියට ආවේද පසුගියදාය. ඒ, යුද හමුදා කඳවුරක තිබූ ටී. 56 ස්වයංක්‍රිය තුවක්කු 80ක් පමණ ආගිය අතක් නැති වීමයි. ඉන් 38 ක් සොයාගෙන තිබුණු බවද හෙළි විය. ඉතිරි ඒවා කොහේදැයි කිසිවකු නොදන්නා අතර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත ඒ ගැන විමර්ශන පසුගියදා ආරම්භ වී තිබිණි.

මීට සමානම තවත් කාරණාවක් සමාජය කලඹන්නට සමත් වූයේද පසුගියදාය. ඒ වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක සෙබළකු විසින් සිදු කරන ලද ටී56 ස්වයංක්‍රිය තුවක්කු ජාවාරමක් පිළිබඳ තොරතුරු කරළියට ඒම නිසාය. මේ සෙබළාගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේ එම ජාවාරම ගැනය. මේ සෙබළාගෙන් ප්‍රශ්න කරද්දී සොයා ගැනුණු ටී56 ස්වයංක්‍රිය තුවක්කු ගණන 2කි. සැකකාර සිවිල් ආරක්ෂකයා කොටි සංවිධානය සමඟ සබඳතා පවත්වමින් ටී56 තුවක්කු ජාවාරම් සිදු කරගෙන ගොස් ඇත්දැයි මේ වන විට සොයාගෙන යයි. ඔහු එක් ටී56 ස්වයංක්‍රිය තුවක්කුවක් පුද්ගලයකුට විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ 2 කටය. මේ සෙබළා ගැන පොලීසිය කරුණු කාරණා සොයාගෙන තිබුණේ වැල්ලම්පිටියේදී අල්ලා ගත් පුද්ගලයෙකුගෙනි. ඔහු සතුව පිස්තෝලයක්ද තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී තුවක්කු පිස්තෝල සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සුවිශේෂ මෙහෙයුමක් පොලිස් ස්ථාන 607ම ආවරණය වන සේ ආරම්භ වන්නේ මේ සිදුවීම්වලට පිළිතුරුක්ද වශයෙනි. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මතය.

ඒ අනුව අදාළ මෙහෙයුම ආරම්භ වූයේ ජනවාරි 11 වනදාය. දවස් දහයක් ගත වෙද්දී මේ මෙහෙයුම සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබුණු බවද හෙළි විය. ඒ බව සඳහන් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනතුංගට අනුව අදාළ මෙහෙයුම දින 16ක් ආසන්නයේදී ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණු අතර, වරෙන්තුකරුවෝ 5,083ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් අපරාධවලට සම්බන්ධ වරෙන්තුකරුවන් සංඛ්‍යාව 327කි. පුද්ගලයන් 347913ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර රථ වාහනද 133,144ක් පරීක්ෂාවට ලක් කළ බව වාර්තා විය. ජනවාරි 1 දින සිට මේ දක්වා අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය, තුවක්කු ගැනද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මාධ්‍යයට හෙළි කළේය. ගංජා කි.ග්‍රෑ. 314ක් කුෂ් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 15ක් අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 7ක් එලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. ටී 6 ස්වයංක්‍රිය තුවක්කු 3ක් පිස්තෝල 6ක් මේ කාලයේදී සොයාගෙන තිබිණි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත ජනවාරි 11 දින පටන්ගත් මේ මෙහෙයුමට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශයද එක්කාසු වී සිටීම නම් සුවිශේෂය. මේ අතර මෙරට අපරාධවල නිරතව සිටි පසුව පිටරවලට ගොස් සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු 167 දෙනකුට ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තු නිකුත් කර ඇති බවද රහස් පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි. මේ අය අතර කාන්තාවන් සිව් දෙනෙකුද සිටින බවට තොරතුරු ඇත. මින් වැඩි දෙනෙක් රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. සෙසු අපරාධකරුවන් ප්‍රංශය, ඉන්දියාව, එංගලන්තය, ඉතාලිය ඇතුළු තවත් රටවල් කීපයක රැඳී සිටින බවද හෙළි වී ඇත.

තොරතුරු මඟින් හෙළි වන අන්දමට පසුගියදා ඝාතනයට ලක් වූ ‘ක්ලබ් වසන්ත’ හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ මරණයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයකු බවට සැක ‍ෙකරෙන ‘කංජිපානි ඉම්රාන්’ ප්‍රංශයේ රැඳී සිටින බවට තොරතුරු හෙළි වී ඇති අතර, ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන ‘රත්මලානේ කුඩු අංජු’ ද ඉම්රාන් සමඟම එහි සිටින බවට වැදගත් තොරතුරු හෙළි වී තිබේ. මේ දෙදෙනාම අල්ලාගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය රතු වරෙන්තු නිකුත් කර ඇතැයි දැනගන්නට ඇත.

මීට අමතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන ‘අන්නාසි මොරිල්’ මොහොමඩ් සිද්ධීක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාවාරම්කරුවන්ද වන කොස්ගොඩ සුජී, කරන්දෙණියේ සුද්දා, ලොකු පැටී, පොඩි පැටී, අහුංගල්ලේ සංජීව, ඌරු ගුණේ, වික්ටර් ඇතුළු අපරාධකරුවන් රැසක්ද විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබේ.

ඉන්දියාවේ රැඳී සිටින පූකුඩුකණ්නා, බුම්මා සහ කිඹුලාඇළ ගුණාද සංවිධානාත්මක අපරාධකාරයන් මෙන්ම ජාවාරම්කරුවන් වන අතර, ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කර තිබේ.

රතු වරෙන්තු ලබා සිටින මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබීමද සුවිශේෂය. මේ අතර විදේශයන්හි රැඳී සිටින තවත් මෙරට අපරාධකරුවන් රැසකට එරෙහිව රතු වරෙන්තු ලබා ගැනීමට ද නියමිතය.

මෙලෙස රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවන් තිදෙනකු ඔවුන් සිටින රටවලදී අත්අඩංගුවට ගන්නා ලදැයි නිල නොවන වාර්තා ද ලැබී තිබිණි. ‘පොඩි ලැසී’ ඉන්දියාවෙන් ද ලලිත් කන්නන්ගර ඩුබායිහිදී ද තවත් අපරාධකරුවන් යුරෝපීය රටකදී අල්ලා ගෙන ඇති බවට නිල නොවන වාර්තා ලැබී තිබුණි. ඇප මත මුදාහැර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුරේ කුඩු සලිඳු ද ඉන්දියාවට පලාගොස් එතැනින් යුරෝපීය රටකට යාමට පිඹුරුපත් සකසමින් සිටින බවට ද ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී තිබිණි.

මේ අතර ජනවාරි 25 දා උදෑසන 6 සිට ජනවාරි 26 දා උදෑසන 6 දක්වා පොලීසිය විසින් රට පුරා සිදු කරන ලද මෙහෙයුම්වලදී නීති විරෝධී තුවක්කු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 15 දෙනකු තුවක්කු 15 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වීමද සුවිශේෂය. මෙරටදී නිෂ්පාදිත කුවක්කු 2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්ගමුව සහ සිරිපුරදී අල්ලා ගැනිණි. අල්ලේ සඟවාගෙන යා හැකි ස්වයංක්‍රිය පිස්තෝලයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනුණේ කහතුඩුව මාගම්මන නිවෙසකදීය. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරු මාගම්මන හෝමාගම මුණසිංහ ගම පදිංචි පුද්ගලයකු බව හෙළි විය. ජනවාරි 11 දා සිට රටපුරා සිදු කරන මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවීමද සුවිශේෂිය. ලග්ගලදී ද වැටලීමක් සිදු කළ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයෝ සැකකටයුතු පුද්ගලයන් 18ක් අල්ලා ගනු ලැබූහ. මත්කුඩු ජාවාරම්කාර ලොකු පැටීගේ ඥාතියකුට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවකු අහුංගල්ලේදී අල්ලා ගැනිණි. මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා සූදානම් කෙරුණු මෝටර් බයිසිකල් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් විසින් අල්ලා ගැනුණේද පසුගියදාය.

ගල්කිස්ස විමලසිරි මෙල් මාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන ලද වැටලීම්වලදී හැෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 යි ග්‍රෑම් 349 ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් මත්පෙති 320ක් මත් මුද්දර 129ක් වායු පිස්තෝලයක් කඩු 2ක් සමඟ සැකකරුවෝ 4ක් අඩංගුවට ගනු ලැබූහ. දෙහිවල සහ හැටන් ප්‍රදේශවලදී මත්පෙති මත් කරල් අලෙවි කළ තිදෙනෙක් පොලීසියට කොටු වූහ. අපරාධයක් සිදු කිරීමේ අරමුණින් සූදානම් වි සිටි පුද්ගලයකු කඩු 4ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගන්නේද පසුගියදාය. පොලිසිය, පොලිස් විශේෂකාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශයේ පෙරදැරිව සිදු කරගෙන යන මේ පාතාල සහ නීති විරෝධී ගිනි අවි මර්දන මෙහෙයුම් සඳහා යුද හමුදාවද සක්‍රියව දායකත්වය සපයයි.

මේ අනුව අනාවරණය වන්නේ 2024 වසරේ යුද හමුදාව රැස් කරගත් බුද්ධි තොරතුරුවලට අනුව පොලීසිය සහ පොලිස් විශේෂකාර්ය බළකාය සමඟ සිදුකරන ලද වැටලීම්වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා 370කදී පුද්ගලයන් 451 දෙනකු අල්ලාගෙන ඇති බවයි. මේ වැටලීම්වලදී ගංජා කි.ග්‍රෑ. 3,570කට ආසන්න ප්‍රමාණයක් කේරළ ගංජා කිලෝ 1,040ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 11ක් හෙරොයින් කි.ග්‍රෑ. 61කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගැනීමට හැකි විය. කුෂ් සහ හැෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනිණි.

මේ අතර අපරාධ මර්දනය සඳහා අලුත් වැඩක් ද ආරම්භ කිරීමට සැලසුම් සකස් වී ඇති බව දැනගන්න තිබේ. ඒ අපරාධ වැඩි පොලිස් කොට්ඨාසවලට අයත් පොලිස් වසම් තෝරාබේරාගෙන ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායෙන් නිලධාරීන් වැඩිපුර යෙදවීමයි. ඒ සඳහා මූලික අදියරේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 400ක් පමණ අදාළ පොලිස් වසම්වල ස්ථානගත කිරීමට නියමිතය. පසුගිය කාලයේ දිගින් දිගටම පාතාල ක්‍රියා සිදු වූ ප්‍රදේශවලට එලෙස එස්.ටී.එෆ්. නිලධරයන් යෙදවීමට නියමිතය. එසේම පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමටද නියමිත බව දැනගන්නට තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division