වවුලන් සම්බන්ධව අපේ සංස්කෘතික ආකල්පයත් විචිත්‍රය. ඔවුන්් විවිධ ගුඪ චිත්ත රූප මවන කතා රැසකට මූලාශ්‍රය වී අපේ ළමා කාලය වර්ණවත් කළ අයුරු මතකය. දැන් අප දන්නා පරිදි මේ බියගන්වන සුලු මී මුහුණක් සහිත උල් දත් ඇති මේ ක්ෂීරපායි කුරුල්ලා පරිසරය තුළ අප ස්ථාවර කිරීමට අප්‍රමාණ මෙහෙයක් කරන අහිසංකයෙකි. පරිසරයේ කෘමි ගහන තුළනය සහ බීජ ප්‍රචාරණය සම්බන්ධයෙන් දැවැන්ත මෙහෙයක් කරන සත්ත්වයෙකි.
වවුලා ගැන අලුත් වටයකින් අපට කතා කරන්න වෙන්නේ සිත්ගන්නා සුලු වාර්තාවක් සමඟිනි. ඒ, අවුරුදු හැටක් තිස්සේ කිසිම වාර්තාවක් නැතිව, දත්ත හීන ගොනුවට වැටී සිටි ශ්‍රී ලංකාවෙන් හමුවන විශේෂයක් වූ ‘අවර වවුලා’ යළි වාර්තා කිරීමය.
අවර වවුලා හඳුන්වන්නේ Tickell’s Bat කියාය. විද්‍යාත්මක නම Hesperoptenus tickelli ය. දශයක හයක් තිස්සේ හමුනොවුණ අවර වවුලා වාර්තා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය තාරක කුසුමින්ද ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමකටය. ඔවුහු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ වවුලන් ගැන පර්යේෂණ කරමින් සිටින විද්වත් පිරිසකි. ආචාර්ය තාරක කුසුමින්දගේ කණ්ඩායමට සම්මානිත මහාචාර්ය විපුල බණ්ඩාර යාපා, චාමර අමරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලකවංශ චන්ද්‍රතිලක, රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමානි මාන්නක්කාර, තරුණ ජීවවේදීන්ගේ සංගමයේ පසිඳු අබේගුණවර්ධන, විතානගේ සෙන්තිල හා විවෘත විශ්වවිද්‍යාලයේ සමීර අබේරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වවුලන් ගැන මේ තරම් උනන්දු ඇයි?
ශ්‍රී ලංකාවේ වවුල් විශේෂ 28ක් වාර්තා වී තිබිණි. මිලියන ගණනක වවුල් ගහනයක් රට තුළ විය. මෙතෙක් අප රටට ආවේණික වවුල් විශේෂයක් හඳුනාගෙන නැතත්, මේ වවුල් ගහනය රක්ෂා කර ගත යුතු නියත අවශ්‍යතාවක් පර්යේෂකයන් පෙන්වාදී තිබිණි.
මේ වවුල් විශේෂවල ආහාර පුරුදු මත ගොඩනැඟෙන අතිශය වැදගත් පාරිසරික ආරක්ෂණයන් දෙකකි. කෘමි භක්ෂක වවුලන් යනු ගොවිතැනේ පළිබෝධකයන් මෙන්ම මිනිසාට අහිතකර කෘමීන්ගේ ගහන පාලනයෙහිලා පරිසරය විසින් නිර්මාණය කර දුන් මිල කළ නොහැකි සම්පතකි. පර්යේෂකයන්ට අනුව දිනකට කෘමි භක්ෂක වවුලෙක් කෘමීන් 100ක් – 1,000ක් අතර ප්‍රමාණයක් ආහාරයට ගනී. මිලියන ගණනක වවුලන්ගෙන් සිදු වන මේ ගහන පාලනයෙන් තොර වූ පරිසරයක් ගැන සිතන්නටවත් පරිසර විද්‍යාඥයෝ මැළි වෙති.

ආචාර්ය තාරක කුසුමින්ද
එමෙන්ම පලතුරු භක්ෂක වවුලන් යනු ශාක ප්‍රචාරණයේ සහ පරාගනයෙන් විශේෂ කාර්යයක් සිදු කරන සත්ත්ව විශේෂයකි. පාරිසරක අධ්‍යයනවලින් තහවුරු වී ඇත්තේ වැසි වනාන්තරවල ගහන ව්‍යාප්තිය සහිත පැවැත්ම සාධනය කරන ප්‍රධානම සාධකය පලතුරු භක්ෂක වවුලන්ය.
එමෙන්ම එවුන්ගේ මලද්‍රව්‍ය අතීතයේ සිට අපේ ගොවිතැනේ සාර පොරහොරක් ලෙස භාවිතා විය. මේ තත්ත්වය තුළ වවුලා සැලකෙන්නේ මහා පාරිසරික සම්පතක් ලෙසිනි. අවුරුදු හැටකට වඩා වැඩි කාලයක් තිස්සේ වාර්තා නොවුණ වවුල් විශේෂයක් වන ‘අවර වවුලා’ වාර්තා කිරීම පරිසරයට ආදරය කරන කවුරුත් ප්‍රහර්ෂයට පත් කරන්නේ එබැවිනි.
අවර වවුලා වාර්තා කිරීමේ පර්යේෂණ කාර්යයෙහි යෙදුණ විද්වත් කණ්ඩායම අප සම්බන්ධ කර ගන්නේ ඒ කතාව ගැන විමසන්නටය. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ආචාර්ය තාරක කුසුමින්ද ය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙකි. වවුලන් සම්බන්ධව විශේෂ පර්යේෂණයක නිරත වන ආචාර්ය කුසුමින්ද කෘෂිකාර්මික ජීවවිද්‍යාව, කෘෂිකාර්මික පරිසර විද්‍යාව, ජෛව ධ්වනි විද්‍යාව, චර්යාත්මක පරිසර විද්‍යාව වැනි ක්ෂේත්‍රවල පර්යේෂණ ආවරණයක් සහිත විද්වතෙකි.
අවර වවුලා සොයාගැනීමේ සිද්ධියට අදාළ පර්යේෂණ අත්දැකීම ඔහු අප සමඟ බෙදා ගත්තේ:
1963 වන විට ශ්‍රී ලංකාෙව්දී වවුල් විශේෂ 28ක් පමණ හඳුනාගෙන තිබුණා. ප්‍රධාන වශයෙන් ජන වහරේ එන මා වවුලා, තල වවුලා කිරි වවුලා, කොස්ඇට වවුලා වගේ වවුලන් අතරේ මේ විශේෂ 28ක් හිටියා. කෘමි භක්ෂක සහ පලතුරු භක්ෂක කියලා වවුල් වර්ග දෙකක් ඉන්නවා. කෘමි භක්ෂක වවුල්ලු සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩායි. අපි කිරි වවුල්ලු, කොස් ඇට වවුල්ලු කියන්නේ කෘමි භක්ෂක වවුලන්ට.
පලතුරු භක්ෂක වවුලන් තමයි විශාල වවුල්ලු. මාවවුලන් එහෙම පලතුරු භක්ෂණය කරන්නේ. අවර වවුලා කියන්නේ මේ අතරේ ඉන්න කුඩා කෘමි භක්ෂක වවුල් විශේෂයක්. මගේ පර්යේෂණවලට මුල් වුණ එක් ඉලක්කයක් තමයි අපෙන් මෑතකදී වාර්තා නොවුණ වවුල් විශේෂ ගැන යළි සොයා බැලීම. මොකද: වර්ෂ 1998- 2000 වගේ කාලෙදි කළ පරීක්ෂණයක් වාර්තා වුණේ හැටේ දශකයෙදී වාර්තා වුණ වවුල් වර්ග 28න් 15ක් විතර ප්‍රමාණයක් තමයි. ඒ අතරෙ අවර වවුලා හිටියෙත් නෑ.
අවර වවුලා
අවර වවුලා මධ්‍යම ප්‍රමාණයේ වවුලෙකි. අවර වවුලා වාර්තා වීමත් අහම්බයකි. ආචාර්ය කුසුමින්ද අපට කියන්නේ මෙවැනි කතාවකි:
“1963 දී අන්තිමට වාර්තා වුණ මේ වවුලා ඉන් අනතුරුව මුලින්ම හමුවන්නේ කොළඹට නුදුරු හෝකන්දරින්. ඒ මියගිය සත්ත්ව නිදර්ශකයක් ලෙසයි. සතා ගසකින් බිම වැටී සිටියා. දෙවැන්නා හමු වනුයේ ඇහැළියගොඩට නොදුරු එක්නැළිගොඩින්. ඒ අත්තටු තුවාල වීම නිසා ගසකින් බිම වැටී ඉන්න කොට. තෙවැනි නිදර්ශකය වාර්තා වූයේ මහනුවරට නොදුරු හල්ලොලුවෙන්. පුද්ගලයෙක් ගසක අත්තක් කැපීමේදී මේ වවුලා බිම ඇදවැටී තිබුණා. නිදර්ශන තුනම හමුවීම අහම්බයන්. ඒත් වවුල්ලු තුන්දෙනා හම්බ වෙන්නේ රටේ වෙනස් පළාත් තුනකින්. ඒ හින්දා සෙසු පළාත්වලත් මේ වවුලන් ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන්” ආචාර්ය කුසුමින්ද කීවේය.
අවර වවුලා මෙතෙක් හමු නොවුණේ ඇයි?
වවුලන් එළි බහින්නේ රාත්‍රියේ පමණි. විශේෂ අධ්‍යයනයකින් ඔවුන්ගේ ගමන් රටා හඳුනාගෙන, සියුම් දැල් ආධාරයෙන් සත්ත්ව විද්‍යාඥයෝ ජෛව නිදර්ශක එකතු කරති. මේ දැල් විශේෂය හඳුන්වන්නේ Mist Net නමිනි. මේ දැල් පක්ෂියකුගේ පවා පියවි ඇසට එක එල්ලේ ගැටෙන්නේ නැත. එහෙත් කම්පන තරංගවලින් යන මඟ සොයාගන්නා වවුලාට මේ දැල් ආවරණ මඟහැරීමේ හැකියාවක් තිබේ. ඊට අමතරව අවර වවුලා විශේෂ වූ ආකාරය ආචාර්ය කුසුමින්ද අපට කීවේය:
“ජෛව දර්ශක එකතු කර ගන්න රාත්‍රී කාලයේ දැල් සවි කළා. විවිධ ක්‍රමවේද හරහා වවුලන්ගේ ශබ්ද තරංග පටිගත කරලා, ඒ දත්ත අධ්‍යයනය කරලා විශ්ලේෂණය කරලා සතුන් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒත් අවර වවුලා අපට හම්බ වුණේ නෑ. එත් මේ දර්ශක හමු වුණාට පස්සේ අපට තේරුණා ඇයි අවර වවුලා වාර්තා නොවුණේ කියලා.
“මේ වවුලා ලැගුම්හල් විදිහට භාවිත කරලා තිබෙුනෙ උස ගස්. විශාල කොළ වියනක් සහිත විශාල කොළ ඇති සෙවණ වැඩි ගස්. ඔවුන් ගමන් කරලා තියෙන්නේ අපි දැල් යෙදූ උස ප්‍රමාණයට වඩා බෙහෙවින්ම උසින්.
“ඒ නිසා කෘමි භක්ෂක වවුල් වාසස්ථාන ලෙස අප මෙතෙක් සැලකූ ගල් ගුහාවල ගස් බෙණවල වැනි අප දන්නා වවුල් ගහන සහිත භූමිවලන් හමුවෙන්නෙ නෑ. මේක ජෛව විද්‍යාත්මක පැත්තේන් වැදගත් සොයා ගැනීමක් වෙන්නේ ඒ නිසා. මොකද කෘමි භක්ෂක වවුල් විශේෂ මෙතෙක් උස ගස්වල කොළ අතරෙදි හමුවෙලා නෑ. හොඳ උඩුවියනක් තියන ගස් තියන පරිසරයක තමයි අවස්ථා තුනේදිම අවර වවුලා හමු වුණේ.”
මෙතෙක් කල් වාර්තා නොවුණ නිසා දත්ත හීනව සිටි අවර වවුලාගේ ප්‍රශ්නය විසඳුණේ ඒ අයුරිනි. එහෙත් මේ පාරිසරික සම්පත් රැක ගැනීමට අප සූදානම්ද? ඒ සඳහා අභ්‍යන්තරයේ පරිවර්තනීය වෙනසකට අප ඉඩ දෙන්නේ කවරදාද? ආචාර්ය කුසුමින්ද ඒ අවශ්‍යතාව අපට අවධාරණය කළේය:
“ඒ අය පරිසර පද්ධතියෙ කොටසක්. පරිසර පද්ධතියක් එකකට එකක් අනෝන්‍ය සේවාවන් සමඟ බැඳිලා ඉන්නවා. ඉන් එක් කොටසක් ගැලවිලා ගියොත් මුළු සිස්ටම් එකක්ම නැති වෙන්න පුළුවන්. වවුලන්ගෙන් විශාල පරිසර සේවාවක් සිදුවනවා. කෘමි පළිබෝධ සහ ගහන පාලනයට ස්වභාව ධර්මය විසින් දී තිබෙන වැදගත්ම සාධකය තමයි වවුලා. මේ එක වවුලෙක් එක රැයකට කෘමින් සීයක් දාහක් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. මිලියන ගණන් වවුල් ජනපද තියෙනවා ලංකාවේ. ඒ ලොකු ජනපද නිසා කෘමින් කොපමණ ප්‍රමාණයක් පරිසරයෙන් ඉවත් වෙනවද? ඒ තත්ත්වය ඉවත් වුවහොත් මොනවා වෙයිද? උස් ගස්වල සිදු වන පරාගන ක්‍රියාවලිය නැවතුණොත්, ස්වාභාවික ශාක ව්‍යාප්තිය නැති වුණොත් පරිසරයට ඇති වන තත්ත්වය කොහොම වේවි ද?” ආචාර්ය කුසුමින්ද අපෙන් අසයි.
මේ ප්‍රකාශිත ගැඹුරුම කතාව අප තේරුම් ගත යුතුය. අපේ ළමා කාලයේ කිරි වවුලන් අරුමයක් වූයේ නැත. වැසි බර නොවුණ හවසක හවස පහ හය වන විට ඇඟේ වැදී යන ගානට කිරි වවුල්ලුය. මා වවුලන් අහස පුරා රෑන් පිටින් පියඹා ගිය අයුරු මතකය. එහෙත් දැන් වවුලකු දකින්නට ලැබේ නම්, ඒ කලාතුරකිනි. උන්ගේ වාසස්ථාන බොහෝමයක් නිස්කාරණයේ විනාශ වී ගොසිනි. අප සිතමින් ඉන්නේ අප ගැන පමණි. එහෙත් අප පමණක් හුදෙකලා වන ලෝකයක, අවසන අපත් නැති බව තවමත් අපට තේරෙන්නේ නැත.
ටානියා මෝසස්