Home » ටයිල් පොළොවක් සැකසූ ප්‍රාග් ඓතිහාසික මානවයා
වසර 13,000කට පෙර සිංහරාජ වනයේ

ටයිල් පොළොවක් සැකසූ ප්‍රාග් ඓතිහාසික මානවයා

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment
සිංහ­රාජ වනා­න්ත­ර­යේ පිහිටි වසර 13,000ක් පැරණි ‘කැබැල්ල ලෙනේ’ දසුනක්

ශ්‍රී ලංකාවේ ඝර්ම කලාපීය වනාන්තරවල දීර්ඝ මානව ඉතිහාසයක් පැවති බව මෑත කාලීනව සිංහරාජ වනාන්තරයේ සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණයකින් තහවුරු විය. අපගේ පර්යේෂණයට භාජනය වන ‘කැබැල්ල ලෙන’ පිහිටා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, දිගන්න ග්‍රාමයට යාබද සිංහරාජ වනාන්තරයට වන්නටය. මේ ගල්ලෙන 2017 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇති අතර, මෙහි වැඩිදුර පර්යේෂණය ආචාර්ය නිමල් පෙරේරාගේ උපදේශකත්වයෙන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාහියංගල සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව 2022 වර්ෂයේදී සිදු කරනු ලැබීය.

ගල්ලෙන පරිසරයේ පිහිටා ඇති පරිසරය සදාහරිත වන ආවරණයකින් යුක්ත වේ. දැනට මුල් ස්වරූපයේ පවත්නා මේ සිංහරාජ වනාන්තරය අඩුම තරමින් වසර 50,000ක සිට නොවෙනස්ව පැවත ඇත. අප්‍රිකාවෙන් පිටමං වී ශ්‍රී ලංකාවට සපැමිණි නවීන මානවයා මෙරට වාසභූමි කරගෙන ඇත්තේ මේ ඝර්ම කලාපීය පරිසර පද්ධති තුළය. මේ පර්යේෂණයේ වැදගත් සොයාගැනීමක් වනුයේ එහිදී හමු වූ, දකුණු ආසියාවේ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද මුල්ම සුමට කරන ලද ගල් ඇතිරුමක (Floor Stone Tile) සාධක සම්භාරයයි. දකුණු ආසියාවේ මුල්ම ජනාවාසය වන පාහියන් ලෙන පිහිටා ඇත්තේ කැබැල්ල ලෙනට ඉතා නුදුරින් වුවත්, එයින්ද මෙවැනි සාධක හමු නොවේ.

ස්වාභාවික පරිසරයෙන් හමු වන තිරිවාණා, කහඳ වැනි අමුද්‍රව්‍ය භාවිත කරමින් දැවැන්ත අයුධ ගොනුවක් ආදි මානවයා මේ කැබැල්ල ලෙනෙහි වාසය කරමින් නිපදවා ඇත. මේ ලෙනෙහි ජනාවාස පාංශු ස්තරයේ කාබන් 14 කාලනිර්ණය අනුව අදින් වසර 13,000 සිට 7000 දක්වා ජනාවාස වී පැවති ඇති අතර, මේ කාලපරිච්ඡේදයේ ආයුධ කර්මාන්ත ශාලාවක් ලෙස පවතින්නට ඇති බව අප කළ පර්යේෂණ මඟින් හෙළි වී ඇත. මොවුන් විසින් නිර්මාණය කරන ලද ආයුධ ගොනු අතර ක්ෂුද්‍ර ශිලා මෙවලම් විශේෂ ආයුධයකි.

ජ්‍යාමිතික හැඩයේ ක්ෂුද්‍ර ශිලා මෙවලම් ලෙස හඳුන්වන්නේ සෙ.මී. 4.5ට අඩු ජ්‍යාමිතික හැඩයක් සහිත ඉතා සියුම් කුඩා ආයුධයි. මේවා නිෂ්පාදනය කර ඇත්තේ පළිඟු වැනි පාෂාණ භාවිත කරමිනි. මේ ආයුධ මුල්වරට හමු වන්නේ අප්‍රිකාවෙන් වන අතර මීට, සමකාලීනව සාධක හමු වන්නේ ශ්‍රී ලංකාවේ ඝර්ම කලාපීය වනාන්තර පරිසර පද්ධතියෙනි. කැබැල්ල ලෙනෙන් හමු වන ක්ෂුද්‍ර ශිලා ආයුධවල විශේෂත්වය වනුයේ සෙ.මී. 1ට අඩු ආයුධ විශාල වශයෙන් හමු වීමයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් ස්ථානයකින් මේ සාධක හමු වන පළමු අවස්ථාව කැබැල්ල ලෙන වීම මේ පර්යේෂණයේ වැදගත් සොයා ගැනීමකි.

කුඩා සතුන් දඩයම් කිරීම සඳහා අවශ්‍ය ඊතල තුඩු නිර්මාණය කළ බවට සාධක මේ ගල්ලෙනෙන් වාර්තා වන අතර, මෙවැනි සාධක පාහියන් ලෙනෙන්ද හමු වී තිබේ. මේ ඊතල තුඩු ක්ෂීරපායි සතුන්ගේ අස්ථි හොඳින් ගලක අතුල්ලා උල් හැඩයක ආකාරයට සකසා ඇත. වර්ෂා වනාන්තරවල ජීවත් වන කුඩා කඩිසර සතුන් දඩයම් කිරීම සඳහා මේ ආයුධ බෙහෙවින් උපකාරි වන්නට ඇත.

ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වයන්ට අනුගත වූ ප්‍රාග්-ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජනයෙන් පසු අවශේෂගත වූ සත්ත්ව අස්ථිවලින් ආහාර රටා සංචිතය පිළිබඳ විවිධ නිගමනවලට එළඹිය හැකිය. අපගේ පර්යේෂණ අනුව, කුඩා ප්‍රමාණයේ ක්ෂීරපායි සතුන්, ගස් බෙල්ලා, උභය ජීවීන්, පක්ෂීන් හා උරගයන් ආදි සත්ත්ව විශේෂ 50කට වැඩි සංඛ්‍යාවක් පැහැදිලිව හඳුනාගත හැකි විය. මෙයින් බහුලව ආහාරයට ගෙන ඇත්තේ තෙත් කලාපය මූලික කරගනිමින් ජීවත් වන මිරිදිය හා ගොඩබිම වෙසෙන ගොළුබෙල්ලන්ය. සමස්තයක් ලෙස ගත් විට හරකා, වල් ඌරා හා ගෝණා වැනි විශාල ප්‍රමාණයේ ක්‍ෂීරපායි සතුන් මෙන්ම කොටියා හෙවත් දිවියා, ව්‍යාඝ්‍රයා වැනි මාංස භක්ෂක සතුන්ගේ අවශේෂද සොයාගැනීමට හැකි වී ඇත. තෙත් කලාපීය ගල්ලෙන් පහතරට ඝර්ම කලාපීය වැසි වනාන්තර කලාපයට අයත් බැවින් මෙහි බහුලව දක්නට ලැබෙන්නේ කොඳු ඇට පේළිය කුඩා සත්ත්ව විශේෂ වන අතර, ඒ සෑම සතකුම පාහේ ආහාරය පිණිස යොදාගෙන තිබේ. කැබැල්ල ලෙනේ ජීවත් වූ මානවයාගේ ආහාර අතර දිය හා ගොඩ බෙල්ලන්ට විශේෂ තැනක් හිමි වේ. සත්ත්ව අවශේෂ අතර පිඹුරා, දියබරියා හා ගැරඬියා වැනි සර්පයන් මෙන්ම මත්ස්‍යන් හා ගෙම්බන්ද ආහාරයට ගෙන ඇති බවට ප්‍රමාණවත් සාධක අනාවරණය වේ. ඊට අමතරව ගල්ඉබ්බා හා කිරිඉබ්බා යන දෙවර්ගයේම සාධක ලැබේ. ඉබ්බන් පුලුස්සා ආහාරයට ගත් බව පිලිස්සී ගිය කටුවලින් පැහැදිලි විය. එසේම විවිධ වවුල් විශේෂද ආහාරයට ගෙන ඇති බවට සාධක පවතී.

ප්‍රාග්-ඓතිහාසික මානවයන් ශරීර අලංකරණය සහ අභිචාර විධි පිළිබඳ උන්නදු වූ ආකාරයට පුරාවිද්‍යාත්මක සාධකද කැබැල්ල ලෙනෙන් හමු විය. මෙහිදී ආලේපන වශයෙන් රතු හිරියල් භාවිත කළ බවට සාධක මේ ලෙනෙන් අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්-ඓතිහාසික සන්දර්භ තුළින් හමු වී ඇති පලඳනා මූලික වශයෙන් බෙල්ලන් හා මෝර දත්වලින් නිම වුවද තම පරිසරයෙන් සොයාගත් ශාක බීජ සහ හැඩගන්වන ලද දැව කොටස්ද මේ සඳහා යොදා ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. කැබැල්ල ලෙනෙන් හමු වූ මෝර දත් පලඳනාව අදින් වසර 13,000කට කාල නීර්ණය වූ පාංශු ස්තරයකින් හමු වී ඇති අතර, දතෙහි එක් කෙළවරක් පලුදු වී ඇති බැවින් එහි පළල නිවැරදිව ප්‍රකාශ කළ නොහැකිය. බොහෝ විට මේ මෝර දත්වලින් කළ ආභරණ භාවිත කොට ඇත්තේ බලය, ශක්තිය, වැනි යම් සමාජ තත්ත්වයන් පෙන්වීමටය. මේ සිදුරු බොහෝ විට පිරිසුදු තිරුවාණාවලින් සියුම් ලෙස නිපදවා ගන්නා ලද දිගටි ආයුධ මඟින් නිපදවන්න ඇතැයි සිතිය හැකිය.

ආහාර සපයා ගැනීමේදී ප්‍රාග්-ඓතිහාසික මානවයා ශාකමය ආහාර සඳහා මුල් තැනක් දී ඇති බවට අනුමාන කළ හැකිය. මේ ගල්ලෙනෙන් හමු වූ කැකුණ (Canarium zeylanicum) අවශේෂවලින් වැඩි ප්‍රතිශතයක් පිලිස්සී කැබලි වශයෙන් ස්තර තුළ තැන්පත්ව ඇත. ප්‍රාග්-ඓතිහාසික මානවයා දික් කැකුණ ඵල බොහෝ සේ තම අවශ්‍යතා සඳහා යොදාගෙන ඇති බව තෙත් කලාපීය ගුහා කැණීම් මඟින් අනාවරණය වේ. එමෙන්ම තම ළිප දීර්ඝකාලීනව පවත්වාගෙන යෑම සඳහා කැකුණ ඇට පිලිස්සීමට සලස්වන්නට ඇත. පුලුස්සා ආහාරයට ගත් වල්දෙල් ඇට (Artocarpus nobilis), කටු අල (Dioscorea spicata), ගෝණ අල (Dioscorea pentaphylla) හා ගල් වෙරළු (Elaeocarpus spp) ආහාර අවශේෂ මෙහිදී හමු වී ඇති අතර, විවිධ ජලජ පැළෑටිවල (උදා: ඕලු, නෙලුම්, මානෙල්) අල, දඬු, මල් ආදිය මෙන්ම බෙහෙත් පැළෑටිද පරිහරණය කළ බවද පරාග විශ්ලේෂණ මඟින් අනාවරණය වී තිබේ.

මේ පර්යේෂණයට අදාළ සම්පූර්ණ පර්යේෂණ වාර්තාව ලෝකයේ පිළිගත් විද්‍යා සඟරාවක් වන Quaternary Science Reviews (Q1 Journal) සඟරාවේ ‘Terminal Pleistocene to mid-Holocene rainforest foragers in Sri Lanka: Multidisciplinary insights at Kebella-lena rock shelter’ නමින් ජනවාරි 21 වැනිදා පළ විය.

සුමට කරන ලද ගල් ඇති­රු­ම් නියදියක්

සුමට කරන ලද ගල් ඇති­රු­ම් නියදියක්

 ලංකා භික්ෂු විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යාර්ථීන් කැණීම් කටයුතුවල යෙදෙමින්

ලංකා භික්ෂු විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යාර්ථීන් කැණීම් කටයුතුවල යෙදෙමින්

පාහියංගල සුමංගල හිමි 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division