හොඳම දේ දිය යුත්තේ දරුවන්ටය. අද එය වචනයට පමණක් සීමා වූවක්දැයි සිතෙන තරමටම දරුවන් පිළිබඳ සොයා බැලීම අඩු වී ඇතැයි සිතෙන්නේ දරුවන් ගැන අහන දකින පුවත් නිසාය. පසුගියදා ද එවන් පුවතක් අසන්නට ලැබිණි. කුඩා දරුවන් භාවිත කරන පැන්සල්, පාට පැන්සල්වල ප්‍රමිතිය ගැන ගැටලුවක් මතු වන්නට පටන් ගෙන ඇත. දරුවන් යනු රටක අනාගතයයි. රටක අනාගතය යහපත් කරන්නට දරුවන්ට හොඳම දේ දිය යුතුමය. ඒ අතුරින් පාසල් උපකරණ ප්‍රධාන තැනක් ගනී. පොත්, පැන්සල්, පාට පැන්සල්, පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙටිටි සුවිශේෂ අංගයන්ය. ඕනෑම භාණ්ඩයක් නිපදවෙන්නේ නියමිත ප්‍රමිතියකට අනුවය. දරුවන්ට දෙන භාණ්ඩ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නැත හොත් රෝගි වන්නේ රටේ අනාගතයයි.
දරුවන්ගේ ගැටලු පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහින්ද වික්‍රමසිංහ මහතාගෙන් අපි ඒ ගැන විමසීමක් කළෙමු.
“පුංචි ළමයි පැන්සල් කටේ දානවා අපි ඕන තරම් දැකලා තියෙනවා. කටේ දානවා, හපනවා විතරක් නෙවෙයි හපලා ගිලින ළමයිත් ඉන්නවා. ඒක ඔවුන්ගේ සාමාන්‍ය පුරුද්දක්. සාමාන්‍යයෙන් පැන්සලක් හදන්න ගන්නේ මිනිරන් කූරයි ඊට උඩින් තියෙන ලී කවරයයි විතරයි. ඒත් දැන් පැන්සල් හදද්දි පුංචි ළමුන්ගේ ආකර්ෂණය දිනාගන්න පැන්සල වටේට තියෙන ලී කවරෙට පාට පාටින් තීන්ත ගානවා. ඒ තීන්තවල බැර ලෝහ අඩංගුයි. ඒ බැර ලෝහ යෙදිය යුත්තේ යම් කිසි ප්‍රමිතියකට අනුව වුණත් එසේ නොවන අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. පැන්සල් වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීමේදී යුරෝපියන් යූනියන් එකෙන් EN 71-3 කියන තත්ත්ව සහතිකය දීලා තියෙනවා. පැන්සලේ EN 71-3 කියලා සඳහන් වෙලා තියේද කියලා පරීක්ෂා කරලා බලලා තමයි අපි දරුවන්ට පැන්සල් අරන් දෙන්න ඕනෑ.
“ඒ වගේම තමයි පාට පැන්සල්වල ප්‍රමිතියත්. පැන්සල්වල පාට ගන්න බැර ලෝහ වර්ග ගොඩක් යොදනවා. තත්ත්ව පරීක්ෂාවේදී ඇලුමිනියම්, ආටිමනී, ආසනික්, බේරියම්, බෝරෝන්, කැඩ්මියම්, ක්‍රෝමියම්, කොබෝල්ට්, කොපර්, ලෙඩ්, මැන්ගනීස්, ම’කරි, නිකල්, සෙලීනියම්, සෝඩියම්, ටින්ක්, සින්ක් වගේ බැර ලෝහ පරීක්ෂාවට ලක් කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඒවා දරුවන්ට අනතුරුදායක නොවන මට්ටමට තිබේද කියා පරීක්ෂා කර බලා තත්ත්ව සහතික නිකුත් කරලා තමයි වෙළෙඳපොළට නිකුත් කරන්නේ. පැන්සලක් ගනිද්දී EN 71-3 කියලා සඳහන් වෙලා ද කියා බලා දරුවන්ට පැන්සල්, පාට පැන්සල් අරන් දෙන්න කියන එක තමයි අපි මවුපියන්ට කියන්නේ. ආර්ථික වාසිය උදෙසා අඩු මිලට ගොඩවල් ගණන් තියෙන පැන්සල්වල බොහෝවිට ඒ ප්‍රමිතිය නැහැ. මිලෙන් පොඩ්ඩක් වැඩි වුණත්, තත්ත්ව සහතිකය තියෙන පැන්සල් අරන් දීමෙන් දරුවන් ඒ හානියෙන් වළක්වාගන්න පුළුවන්. සමහර මවුපියන්ට මුදල් පිළිබඳ ගැටලුවක් නැති වුණත් මේ දැනුම නැතිකම නිසා ඒ වගේ දේවල්වලට අහු වෙනවා. අපිට ඕනෑ මේ මවුපියන් දැනුම්වත් කරන්න. අනාගතේ සමාජගත වෙන්න ඉන්න අපේ දරු පරම්පරාව නීරෝගි කරන්න.
“මේ පිළිබඳ අපි සමාජය දැනුවත් කරන්න හිතුවෙත් නිතර නිතර දකින්න ලැබෙන කාරණයක් නිසා. රෝගී වෙලා අප ළඟට අරන් එන දරුවන්ගේ මල සාම්පලවල ඔය වගේ පැන්සල් කෑලි, පැන්සල් තුඩවල් හරියට තියෙනවා. පාට පාට නිසා ආසාවට දරුවන් ඒවා කනවා වෙන්න පුළුවන්. ඒවා ශරීරගත වීමෙන් දරුවන්ට නොයෙක් ආසාත්මිකතා ඇති වෙනවා. මේක බැරූරුම් තත්ත්වයක්. විශේෂයෙන්ම දරුවන්ට බඩේ කැක්කුම, වේදනාව, ඩයරියා (පාචනය), හිසේ කැක්කුම එන්න පුළුවන්. දිගින් දිගටම මේ විදිහට බැර ලෝහ ශරීරගත වීමෙන් වකුගඩු රෝග, හදවත් රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ගැන මවුපියන් දැනුම්වත් කිරීම වැදගත් වේවි කියලා හිතුවා.
“ඒ වගේම තමයි ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටිවලත් ඔය ගැටලුව තියෙනවා. ඒවත් ආයෙ ආයෙ පාවිච්චි කරන භාණ්ඩ නිසා නියම ප්‍රමිතියට හදන ඒවා අරන් දෙන්න ඕනෑ. අපේ මිනිස්සු ඒක දන්නෙ නෑ. ඒක බලාගන්න පුළුවන්. ප්ලාස්ටික් බෝතලයේ හෝ පෙට්ටියේ ඇතුළත තියෙන ත්‍රිකෝණ හැඩයේ ප්‍රමිති සලකුණ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් භාණ්ඩවල අංක 1-7 දක්වා සඳහන් කරලා තියෙනවා. අංක 5 සලකුණු කරල තියෙනවා නම් ඒක තමයි නියම ප්‍රමිති සහතිකයක් යටතේ නිකුත් කරල තියෙන්නේ. නැවත නැවත පරිහරණය කරන ප්ලාස්ටික් භාණ්ඩයක් දරුවන්ට අරන් දෙද්දි අංක 5 සලකුණ තියෙනවද කියල බලන්න ඕනැ. අපි නොහිතුවට වැරදි ප්‍රමිතිවලට නිෂ්පාදනය කරපු ප්ලාස්ටික් භාණ්ඩ පාවිච්චි කිරීමෙන් දරුවන්ට ආසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. කසන ඉන්ග්‍රීමා කියන දද වර්ගය ඇති වීම, නිතර නිතර හොටු ගැලීම, කැස්ස, පීනස හැදෙන්න පුළුවන්. දිගින් දිගටම පාවිච්චි කිරීමෙන් පිළිකා තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව ඒ වගේ ප්ලාස්ටික්වල ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන හෝමෝනයක් තියෙනවා. පිරිමි ළමයින්ට ඒකෙ බලපෑම වැඩියි. පුරුෂ ලිංග ග්‍රන්ථිවල හෝමෝන වෙනස් වීම නිසා ලිංගික දුර්වලතා ඇති වී ගැහැනු ළමයින්ගේ ලක්ෂණ ඇති වීමේ ඉඩකඩත් වැඩියි. ඒ නිසා අප් මවුපියන්ගෙන් ඉල්ලන්නේ දරුවන්ට නියම ප්‍රමිතියට සැකසූ භාණ්ඩ අරන් දෙන්න කියලා.”
මේ ගැටලුව පිළිබඳ මවුපියන් මෙන්ම පාසල් දරුවන් දැනුවත් කිරීමට සුදුසුම පුද්ගලයකු වන ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතාගෙන්ද අපි මේ සම්බන්ධයෙන් විමසීමක් කළෙමු.
“දැන් දැන් පාවිච්චි කරන පැන්සල්වල ගොඩක් දුරට ප්‍රමිතිය අඩුයි. දරුවන් ඒවා කටේ දානවා, හපනවා. ළමයි ඒවා උල්කරනවා, ඒක කැඩෙනවා. ආයෙ උල්කරනවා. මේ වගේ තත්ත්වයන් අපට නිතර දකින්න ලැබෙනවා. ඉස්සර පැන්සල් උල් කරද්දි තුඩ ඝනට තියෙනවා; කැඩෙන්නෙ නෑ. ඒත් දැන් ළමයි කටේ දාලා තෙත් වුණ ගමන්ම පැන්සල්වල තුඩ කැඩෙනවා. ඒවා දරුවන්ට ශරීරගත වෙනවා. අඩු මිලට තියෙන වර්ණවත් පැන්සල් දැන් හැමතැනම. විවිධ රටවලින් ආනයනය කරනවා. කිසිම ප්‍රමිතියක් බලන්නේ නෑ. මෙය ගැටලුසහගත තත්ත්වයක්. ඒවා නියම ප්‍රමිතියට නිපදවනවාද කියන සැකයත් තිබෙනවා. එවායේ වර්ණවත් ආකර්ෂණීය පෙනුම නිසා ඒවා දරුවන්ට අරන් දෙන්නත් මවුපියන් පෙලඹිලා තියෙනවා. අපි මවුපියන්ට කියන්නේ ලබන පාසල් වාරයේ ඉඳන්වත් දරුවන්ට නියම ප්‍රමිතියට නිෂ්පාදනය කරන පැන්සල්, පාට පැන්සල් ඇතුළු පාසල් උපකරණ අරන් දෙන්න කියලා.”
රටේ සුවහසක් මවුපියන් මේ සම්බන්ධයෙන් දැනුවත් වී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳම දේ දරුවන්ට දීමට අදිටන් කරගන්නේ නම්, දරුවන් මේ උවදුරට ගොදුරු නොකර සිටීමට හැකි වනු ඇත.
නාමලී ගමගේ