Home » නිදහස ඔප් නැංවූ සිංහල භාෂානුරාගය

නිදහස ඔප් නැංවූ සිංහල භාෂානුරාගය

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

ටත්විජිත පාලකයන්ගේ භාෂාව වූ ඉංග්‍රීසියට එරෙහි ව සිංහල භාෂාවේ පුරාණත්වය හා විශිෂ්ටත්වය පෙන්වා දීම සඳහා සිංහල භාෂානුරාගීන් විසින් ගනු ලැබූ උත්සාහය 19 වැනි සියවස මැද භාගයේ පමණ සිට දක්නට ලැබෙන නමුදු සිංහල භාෂානුරාගි හැඟීම් ජනතාව අතර වඩාත් ව්‍යාප්ත වන්නට වූයේ 20 වැනි සියවසේ මුල් දශකවලදී ය. පිරිවෙන් කේන්ද්‍ර කොට ගෙන පුවත්පත්, සඟරා සහ පතපොත පළ කරමින්, නොයෙක් පැවිදි-ගිහි වියතුන් විසින් ද ඉටු කරන ලද ශාස්ත්‍රීය කටයුතු නිසා 20 වැනි සියවසේ මැද පමණ වන විට සිංහල භාෂා සාහිත්‍ය ප්‍රබෝධයක් ‍රට තුළ ඇති වී තිබිණි. ශාස්ත්‍රීය කටයුතුවල පමණක් නොව, රාජ්‍ය පාලනය වැනි අංශවල ද ස්වභාෂාව යොදා ගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වන්නට වූයේ මේ පසුබිම යටතේ ය.   

වර්ෂ 1931දී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ පොදු ජනතාවට වඩාත් වැදගත් වූ ‘ස්වභාෂාව’ වැනි ප්‍රශ්න කෙරේ දේශපාලනඥයන්ගේ අවධානය යොමු වන්නට වූ අතර, ලංකා ජාතික සංගමය වැනි දේශපාලන සංවිධාන පවා භාෂා ප්‍රශ්නය පිළිබඳ උනන්දුවක් දක්වන්නට විය. ඒ අනුව, සිංහල හා දෙමළ යන ස්වභාෂා රජයේ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් 1930 ගණන්වල පටන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යෝජනා ඉදිරිපත් වන්නට වූයේ ඒ අවධිය වන විට රටෙහි පැතිරී තිබුණු සිංහල භාෂානුරාගි ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙනි. ‘රට, ජාතිය, ආගම’ යන තේමාව වෙනුවට ‘බස, රැස, දෙස’ යනුවෙන් ‘හෙළ තෙරුවනක්’ ගෙනහැර දැක්වූ කුමාරතුංග මුනිදාස (1887–1944) මහතා සිංහල ජාතික අනන්‍යතාව ගොඩනැඟී ඇති ප්‍රමුඛතම සාධකය භාෂාව බව පෙන්වා දුන්නේය. “කා කුමක් කීවත්, සියබස කෙලෙසා අපට, නිදහසෙක් නො මැ ලැබේ, පටන් ගන්න සිය බසින්” යැයි පවසමින් නිදහස අත් පත් කර ගැනීම උදෙසා කරන සටනේ වැදගත් කාර්යභාරයක් භාෂාවට හිමි වන බව පෙන්වා දුන්නේ ය. රට පුරා විසිරී සිටි සිංහල භාෂා ප්‍රේමීන් තමා වටා එක් රොක් කර ගනිමින්, සිංහල සමාජයේ භාෂානුරාගි හැඟීම් ව්‍යාප්ත කිරීමට ඔහු සමත් විය. එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ කුමාරතුංග මුනිදාස මහතා ලක්දිවට නිදහස ලැබෙන්නට සිව් වසරකට පෙර – එනම්: 1944 මාර්තු මස 2 වන දා – මෙලොව හැර ගිය ද, ඔහු විසින් 1941දී අරඹන ලද ‘හෙළ හවුල’ සංවිධානයේ උගත්හු සිංහල භාෂා විෂයක කටයුතුවල අඛණ්ඩව ම කැපී පෙනුණහ. කුමාරතුංගගෙන් පසු හෙළ හවුලේ නායකත්වයට පත් වූ ජයන්ත වීරසේකර (1890–1949) මහතා ලංකා ජාතික සංගමයේ සම ලේකම් ලෙස ද කටයුතු කරමින්, රජයේ කටයුතු සඳහා සිංහල බස යොදා ගැනීම පිළිබඳව අවධාරණය කළේය. 1943දී මුලින් ම සිංහලය රාජ්‍ය භාෂාව කිරීම සඳහා එවකට කැලණිය මන්ත්‍රීවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ජයන්ත වීරසේකර වැනි භාෂානුරාගීන්ගේ අදහස් ද බලපෑම් කළ බව කිව හැකි ය.

නිදහස ලබා වසරක් ගෙවී යත් ම හෙළ හවුල අවධාරණය කළේ නිදහස් ලංකාවේ සිංහල භාෂාවට රජයෙන් ලැබිය යුතු තැන පිළිබඳව ය. ‘ලක්දිවැ රජයේ බස’ යනුවෙන් 1949දී ‘සුබස’ සඟරාවේ පළ වූ කතුවැකියක මෙසේ දැක්වේ:

“මෙ රටට නිදහස ලැබිණැයි සිව් දිගින් මුරගා අවුත් කියන්නවුන් එක් වී පැවැත්වූ මහ උලෙළෙකින් මුළු රට උදම් වී වැඩි දවසෙක් නො ගියේයි. එහෙත් මේ රටේ ඉතා වැඩි දෙනගේ බසට අයත් තැනට එ බස නො පමුණුවා ‘නිදහස ලැබිණැ’යි යන කියමන නිකම් මැ පිළිගන්නවුන් වතොත් ඒ හැබෑ හෙළයන් නොවන බව මැ යැ කිව යුතු. මෙ දෙසේ මෙ රැසේ වැඩි ජන රැස වහරවන බසට නැති නිදහස වෙන කුමකට ද? සැබැවින් මැ සෙසු කොයි කවරකුට හෝ කෙ බඳු නිදහසෙක් පැවැතුණ ද බස නම් පැරැණි ගැති බවේ මැ යැ. හෙළ බස ඒ ගැති බැවින් ඔසොවන්නට, ඒ පිරිහීමෙන් නඟාසිටුවන්නට, ඒ පතුලෙන් මෑත් කරන්නට, ඒ විපතින් මුදන්නන්ට ‘නිදහස් ලංකාව’ විසින් තව මැ කිසිවක් අරඹින ලද සේ නො පෙනේ” [සුබස, 1949 (5) 31: 305].

දේශපාලනික වශයෙන් සිංහල භාෂාවට තැනක් හිමි කර ගැනීම සඳහා මෙන් ම ආයතනික වශයෙන් ද සිංහල භාෂා සාහිත්‍ය කටයුතුවල උද්‍යෝගයක් මේ අවධිය වන විට ඇති වී තිබිණි. විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන්වල කටයුතු කළ පැවිදි-ගිහි උගත්තු සිංහල භාෂාව, ව්‍යාකරණය හා සම්භාව්‍ය සාහිත්‍යය යන අංශවලට තම දායකත්වය දැක්වූහ. එසේ ම 1927දී ලංකාණ්ඩුවේ අනුග්‍රහයෙන් හා රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ මෙහෙයවීමෙන් ආරම්භ වූ සිංහල ශබ්දකෝෂයේ කටයුතුවල ද ප්‍රගතියක් 1940 දශකය වන විට ඇති වී තිබිණි. විල්හෙල්ම් ගයිගර් හා ඩී.බී. ජයතිලක යන විද්වතුන්ගේ සංස්කාරකත්වයෙන් සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම භාගය 1935දී ප්‍රකාශයට පත් විය. විසි වැනි සියවස මුල සිට ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලක්දිව විවිධ පළාත්වලින් හමු වූ සෙල්ලිපි ප්‍රකාශයට පත් කිරීම, පසුකාලීනව එකී විෂයය අරබයා ආචාර්ය සෙනරත් පරණවිතාන විසින් සිදු කරන ලද ගවේෂණත් හේතුවෙන් සිංහල භාෂාවේ පුරාතන ස්වරූපය හෙළි පෙහෙළි වීම ද සිදු විය.

කොළඹ පිහිටි යුනිවර්සිටි කොලීජියේ සිංහල, පාලි, සංස්කෘත යන ප්‍රාචීන භාෂා ඉගැන්වීම ආචාර්ය ගුණපාල මලලසේකර (1899–1973) මහතාගේ මූලිකත්වයෙන් සිදු වුණු අතර, 1942දී අභිනවයෙන් ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ විය. කොළඹ යුනිවර්සිටි කොලීජියේ හා ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල ඇතුළු ප්‍රාචීන භාෂා උගත් විද්‍යාර්ථීහු පසු කලක මෙරට සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනයේ පුරෝගාමි විද්වතුන් අතරට එක් වූහ. ලංකා විශ්වවිද්‍යාලයේ වෙන ම සිංහල අංශයක් 1944දී පිහිටුවනු ලැබූ අතර, එහි ප්‍රථම සිංහල මහාචාර්යවරයා වූයේ ආචාර්ය එම්.ඩී. රත්නසූරිය මහතා ය. 1931දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂයයට අදාළ පර්යේෂණ නිබන්ධයක් සඳහා ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම විද්වතා වූ හෙතෙම ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනය පටු සීමාවකින් මුදා ගෙන පුළුල් පදනමක පිහිටුවීමේ දැක්මක් සහිතව කටයුතු කළ අයෙකි.

මේ අවධිය වන විට සිංහල භාෂාව සම්බන්ධයෙන් සිදු කරන ලද නොයෙක් අධ්‍යයන ප්‍රකාශයට පත් වීම හේතුවෙන් සිංහල පතපොත පාඨකයන් අතර ප්‍රචලිතව තිබිණි.

විසි වැනි සියවස ආරම්භ වන විටත් රට තුළ ව්‍යාප්ත වෙමින් පැවති පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රතිඵල නිසා ප්‍රාචීන භාෂා උගත් පැවිදි-ගිහි උගතුන්ගේ භාෂා ශාස්ත්‍රීය කටයුතු 1940 දශකය පමණ වන විට වඩාත් ප්‍රචාරයට පත් වී තිබිණි. ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වන ලද ප්‍රාචීන පණ්ඩිත උපාධිය නිසා ද සිංහල භාෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වන්නට විය. සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ ශෝධන කාර්යය 1940 දශකය වන විටත් අඛණ්ඩව සිදු වෙමින් පැවතුණු අතර, පුරාණ සිංහල සාහිත්‍යය හැදෑරීමටත් භාෂා සාහිත්‍ය පෝෂණයටත් එයින් විශාල රුකුලක් ලැබිණි.

සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රීය කෘති රැසක් ද මේ කාලයේ ප්‍රකාශයට පත් වූ අතර, පැරණි සිංහල සාහිත්‍යය විචාරාත්මකව අධ්‍යයනය කිරීමෙන් ඒ කෘතිවල අගය වටහා ගැනීම මෙන් ම ඒවායේ උපයුක්ත භාෂාව පිළිබඳ අවබෝධය ද උගතුන් අතර පැතිර යන්නට විය. එමෙන්ම සිංහල භාෂාවෙන් විවිධ විෂයයන් අරබයා නව පතපොත සම්පාදනය කිරීමට ලේඛකයන් දැරූ උත්සාහය ද 1940–50 දශකවල හඳුනා ගත හැකි විය. ඔවුනතරින් කැපී පෙනුණේ ප්‍රකට ගත්කතුවරයකු හා පත්‍ර කලාවේදියකු වූ මාර්ටින් වික්‍රමසිංහ (1890–1976) මහතා ය. ලේඛන කලාව බහුතර පිරිසක් අතර ව්‍යාප්ත වන අවධියේදී ඊට සුදුසු වන ලෙස සිංහල භාෂාව සකස් කර ගැනීමේ වැදගත්කම වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

මේ අවධියේ සමකාලීන සමාජ දේශපාලනික තොරතුරු සිංහල පාඨකයන් වෙත ගෙන ගිය සිංහල පුවත්පත් ද සිංහල භාෂා විෂයක කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නට විය. සිංහල භාෂාව පුවත්පත් මාධ්‍ය සඳහා යෝග්‍ය පරිදි භාවිත කිරීමට සිංහල පත්‍ර කර්තෘවරුන් උත්සාහය දැරූ ආකාරය ද මෙකල දක්නට ලැබිණි. සිංහල පුවත්පත් බස් වහරේ සමකාලීන මුහුණුවර වඩාත් පැහැදිලිව දැකගත හැකි 1940 දශකයේදී සිංහල පුවත්පත් ගණනාවක කර්තෘත්වය හොබවන ලද්දේ ප්‍රකට සිංහල උගතුන් විසිනි. මාර්ටින් වික්‍රමසිංහ (දිනමිණ), පියසේන නිශ්ශංක (සිළුමිණ), හේමපාල මුනිදාස (සිංහල බලය), ඩේවිඩ් කරුණාරත්න (සිංහල බෞද්ධයා), ජුලියස් ද ලැනරෝල් (ලංකාදීප) ආදීහු ඒ අතර වැදගත් වෙති. කාලීන තොරතුරු වාර්තා කිරීමේදී ඊට අනුකූලව පුවත්පත් බස් වහර සකසා ගැනීමට මෙන්ම භාෂාව සම්බන්ධ නොයෙක් වාද විවාද හා මතවාද ප්‍රචාරයට ද පුවත්පත්වල ඉඩකඩ වෙන් විය. එමෙන් ම ජාතික නිදහස මුල් කර ගෙන මෙන් ම සිංහල භාෂාව, සාහිත්‍යය, කලා ශිල්ප නැංවීම සඳහා නොයෙකුත් ලිපි, කතුවැකි ආදිය මෙකල බොහෝ පුවත්පත්වල පළ විය.

සිංහල භාෂා ව්‍යවහාරය පිළිබඳ විවිධ අදහස් හා මතවාද ගණනාවක් ද 1940 දශකය අවසාන වන විට ඉස්මතු වෙමින් පැවතිණි. 1944දී සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීමේ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ සමයේ සිට ම සිංහල භාෂාවේ අකුරු අඩු කිරීම, පිලි සමරූපීකරණය, කට වහරින් ලිවීම වැනි භාෂා විෂයක ප්‍රතිසංස්කරණ මඟින් සිංහල භාෂාව ලිහිල් කිරීම පිළිබඳ අදහස් ප්‍රචාරයට පත් වන්නට විය. “ සිංහල භාෂාව ආණ්ඩුවේ භාෂාව කිරීමට නම් එය ලිහිල් විය යුතු ය යනු දැන් වැඩි දෙනා විසින් පිළිගෙන ඉවර බැව් පෙනේ” යනුවෙන් 1944දී පළ වූ සිළුමිණ කතුවැකියකින් හෙළි වන්නේ එකල සිංහල භාෂාව සම්බන්ධයෙන් රටේ පැවති තත්ත්වයයි.

සිංහලයේ ලේඛන ව්‍යාකරණය කෙරෙහි උගතුන්ගේ අවධානය යොමු වෙමින් පැවති මේ කාලයේදී ව්‍යවහාර සිංහලයේ වැදගත්කම අරබයා යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් දැක්වූ අදහස් මෙන්ම ‘ප්‍රගතිශීලි සිංහලයක්’ සම්බන්ධයෙන් බඹරැන්දේ සිරි සීවලී හිමියන් පළ කළ අදහස් ද වැදගත් වේ. මේ අවධිය වන සිට සිංහල භාෂා සාහිත්‍ය ලෝකයේ කැපීපෙනුණු චරිත ලෙස වැලිවිටියේ සෝරත හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි, මැදඋයන්ගොඩ විමලකිත්ති හිමි, වේරගොඩ අමරමෝලි හිමි, මකුළුදූවේ පියරතන හිමි, ඩබ්ල්යූ. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස, ජුලියස් ද ලැනරෝල්, වී.ඩී. ද ලැනරෝල්, ඩේවිඩ් කරුණාරත්න, රැ. තෙන්නකෝන්, ඩී.ඊ. හෙට්ටිආරච්චි, පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ආදීන් හඳුන්වාදිය හැකි ය.

මේ අතර 1940 දශකය අවසානය වන විට භාෂාව හා සාහිත්‍යය සම්බන්ධ නොයෙකුත් ආයතන හා සමිති සමාගම් බිහි වී, එමඟින් ද භාෂා සාහිත්‍ය ප්‍රබෝධයක් රටෙහි ඇති වූයේ 1948 ජාතික නිදහස පිළිබඳ අපේක්ෂා සමඟ නැගී ආ ජාත්‍යනුරාගි හැඟීම්වල ප්‍රතිඵලයක් වශයෙනි. “ජාතිය එක් කොට බඳින බැම්ම භාෂාව හෙයින් ජාත්‍යභිමානය උසස් ව නැඟි මේ අවධියේදී අපේ ජාතික භාෂාවට අග තැන් ලැබිය යුතු ම ය. ඒ වනාහි දැන් විවාද කළ යුතු ප්‍රශ්නයක් නො වේ” යනුවෙන් මහාචාර්ය ගුණපාල මලලසේකර කර ඇති ප්‍රකාශයකින් ද එය තවදුරටත් පැහැදිලි වේ.

මේ අනුව 20 වැනි සියවස මුල පැවති සිංහල භාෂානුරාගි හැඟීම් 1948 ජාතික නිදහසත් සමඟ වඩාත් වර්ධනය වී, ඊළඟ දශකය වන විට රාජ්‍ය භාෂා ප්‍රශ්නය දේශපාලනික වශයෙන් වැදගත් වූ මාතෘකාවක් බවට පත් වූ අන්දම නිරීක්ෂණය කළ හැකි ය.

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා 
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division