Home » ජාවාර‍මෙක් ඇතුළට යැවූ බොරු රන්කාසි මගඩිය

ජාවාර‍මෙක් ඇතුළට යැවූ බොරු රන්කාසි මගඩිය

by sachintha
February 1, 2025 12:32 am 0 comment

ඇඹිලිපිටියේ වෙසෙන ‘ජගත් ශ්‍රීපති’ කෘෂි ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකි. පාසල් අධ්‍යාපනය අහවර වී විවිධ ස්ථානවල රැකියාවක් කර මීට කලකට පෙර ඔහු කෙසෙල් වගාවට යොමු විය. ඇඹිලිපිටිය කෙසෙල්වලට නමක් දිනූ ප්‍රදේශයකි. ජගත් සුළුවෙන් ආරම්භ කළ කෙසෙල් වගාව මේ වනවිට ඔහු අක්කර ගණනාවක කෙසෙල් හිමිකරුවෙක් කර ඇත. ඒ කියන්නේ ඔහු අතමිට සරු අයෙකි.

‘ජයන්ත සල්ගාදු’ සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයෙකි. ඔහුගේ ගම ද ඇඹිලිපිටියයි. වැඩිදුර ඉගෙනීම නොලැබූ නමුත් ජයන්ත කතාවට දක්ෂය. ඕනෑම කෙනෙක් කතාවෙන් තම වසඟයට ගැනීමට ඔහුට හැකියාවක් ඇත. කොටින්ම කියතොත් ඔහුට කෙනෙක් නම්මා ගැනීම සුළු දෙයකි. මේ දෙපළ එකිනෙකා හඳුනති.

මේ අතර ජයන්ත මාරවිල ප්‍රදේශයේ දුරකතන සේවා ස්ථානයක සේවය කිරීමට පැමිණෙන්නේ ඔය අතරය. එහිදී සුරංග සුජිත් නමැති පුද්ගලයා ඔහුගේ ජංගම දුරකතනයේ ඇතිවූ දෝෂයක් නිරවුල් කරගැනීමට එහි පැමිණි අවස්ථාවේ හඳුනාගන්නේය. ඔවුන් වසර ගණනාවක් ඇසුරු කළ මිතුරන් සේ ඇසුරට පත්වන්නේ කෙටි කාලයකදීය. සුරංග වයික්කාල ප්‍රදේශයේ උළු මෝලක රැකියාවක නියුතු විය. ඔහු ද ජයන්තට නොදෙවැනිය. ජයන්ත මෙන් මුඛරි නොවුවද නීත්‍යනුකූල නොවන දේට දෙදෙනාගේ හමුවීම මොරටුවේදී ගහට ගහක් හමු වූවා වැනිය. ඇතැම් දිනවල ඔවුන් දෙදෙනාගේ හමුවීම කෙළවර වූයේ මධුවිත තොලගෑමෙන් පසුවය. මෙලෙස ගහට පොත්ත මෙන් මේ සබඳකම බද්ධ විය. මෙසේ හමුවූ දිනක ජයන්ත සුරංගට යෝජනාවක් ගෙන ආවේය. ඒ නිධානයකින් හමුවූ බව කියා ව්‍යාජ රන්කාසි තොගයක් සැලකිය යුතු මුදලකට කිසියම් කෙනෙකුට අලෙවි කළ හැකි බවය. එය ඉතා අසීරු කාරියක් බවට සුරංග පැවසුවද එය පහසුවෙන් කළ හැකි බව ජයන්ත ඔහුට කීවේය. මේ අනුව ඔවුන් සැලසුම් සකස් කළේය. මෙම ගනුදෙනුවට ජයන්තගේ තේරීම වූයේ ජගත් ශ්‍රීපතිය. සැලසුම් කළ පරිදි ජයන්ත, ශ්‍රීපතිට දුරකතන ඇමතුමක් ලබාදීමට කටයුතු කළේය.

“හලෝ ජගත් ශ්‍රීපති මහත්තයද? මාව මතක නැතුව ඇති මම අනුරාධපුරේ… දැක්කොත්නං ඔබතුමා මාව අඳුරනවා… මම අනුරාධපුරේ ඉඳන් වගා කටයුතු තමයි කරන්නේ.“ මෙසේ ඔහු තමන් ගැන ජගත්ට හඳුන්වාදීමට විනාඩි කිහිපයක් ගත කෙරිණි. මේ අතර තමන්ගේ පවුල් ජීවිතය ඇතුළු කරුණු ගණනාවක් ඔහුගේ දක්ෂතාව අනුව සිත්ගන්නා අයුරෙන් කතා කළේය. ජගත්ට වැඩ අධික වුවද ඔහුගේ කතාවට සවන් නොදී සිටීමට නොහැකි විය. ඕනෑම කෙනෙක් තම වසඟයට ගැනීමට වැඩි කාලයක් ගත නොවන ජයන්ත ඔහුගේ ග්‍රහණයට ජගත්ද නතුකර ගත්තේය. එහෙත් මේ තමා කලින් දන්නා හඳුනන තමන්ගේ ගමේම පදිංචි ජයන්ත බව ජගත් දැන සිටියේ නැත.

තමන් වගා කටයුතු කිරීමේදී ඉඩමේ පැලක් ඇටවීම සඳහා වළක් කැපීමේදී ගල් තලාවක් හමුවූ බවත් ඉන්පසු එය තවත් කැඩීමෙන් පසු සෙම්බු දෙකක තිබී රන්කාසි තොගයක් හමුවූ බව ඔහු ජගත්ට පැවසීය. මේ බව තවත් රහ කර කර ඇසූ ජගත්ට, ජයන්ත අවසානයේ යෝජනාවක් ගෙනාවේය. ඒ තමා මෙම රන්කාසි තොගය ලැබූ විගස පේන කියන තැනකට ගොස් විමසීමේදී රන්කාසි කිලෝ එකක් විකුණා ඉතුරු ටික තමාගේ ප්‍රයෝජනයට ගන්නා ලෙස පේන කියන අයකු කියූ බවත් ඒවා පරෙස්සමෙන් යථාවත් කර දිනපතා දුම් අල්ලා යහපත් පුද්ගලයෙකුට විකිණීමට කටයුතු කරන මෙන් කියා සිටි බවත් ඔහු පැවසුවේය. අවසානයේ එකඟතාවකට ආවේ එම කාසිවලින් මුල්ම කොටස ජගත්ට විකිණීම සඳහාය. මේ කතාව සත්‍ය බව වටහාගත් ජගත් රන්කාසි මිලදී ගැනීමට තමන්ගේ කැමැත්ත පළ කළේය. ඒ අනුව ඔහුට මේවා දැකබලා ගැනීමට අවශ්‍යතාවක් තිබෙන බව පැවසීය. අනතුරුව දෙදෙනා හමුවන තැනක් තීරණය කළේය. ඒ හලාවත මාදම්පේ තනියවැල්ලභ දේවාලය ඉදිරිපිටදීය.

මෙම ගනුදෙනුව රුපියල් ලක්ෂ පහළොවකට සිදුකිරීමට දෙදෙනාම එකඟත්වයකට පැමිණියේය. මෙසේ අඩු මුදලකට රන්කාසි ලබා ගැනීම තමාට ද නිධානයක් පහළ වී යැයි ජගත් ශ්‍රීපති සිතුවේය. තමා මෙම ගනුදෙනුව සිදුකිරීමට ගියහොත් ජගත් විසින් හඳුනාගන්නා නිසා ඔහුගේ මිතුරා සුරංග එතැනට යැවීමට ජයන්ත කටයුතු කළේ තමාට හදිසි කටයුත්තක් යෙදුණු බවත් තමාගේ පුතා අත මෙම රන් තොගය එවනවා යැයි ජගත්ට පවසමිනි.

සැක නොසිතන සේ රන් පැහැයෙන් ආලේප කළ කාසි තොගය රැගෙන අදාළ ස්ථානයට සුරංග යන විට කතා කරගත් පරිදි නියමිත වෙලාවට ජගත් ශ්‍රීපති පැමිණ සිටියේය. ඒවා පරික්ෂා කර බලා මිලදී ගැනීමට දිනයක්, වේලාවක් සහ තැනක් කතාබහ කර ගැනිණි. ඒ නාත්තන්ඩිය, කොට්ටරම්මුල්ල නගරයේදීය.

මෙසේ හමුවූ පසු යම් යම් කාරණා සම්බන්ධව ‘ජගත් ශ්‍රීපති’ ට ජයන්තගේ පුතා ලෙස රඟපෑ සුරංග පෙන්වූ රන්කාසි සම්බන්ධව කිසියම් සැකයක් මතු විය. ඔහු මේ බව පොලීසියට දැන්වීමට තීරණය කළේය. ඒ අනුව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා හමුවී සියලු තතු ජගත් සඳහන් කරන්නේ ඉන් අනතුරුවය.

ඒ අනුව අපාරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් කොස්තාපල් 36831 ඉෂාර සැක නොසිතන ලෙස සිවිල් ඇඳුමින් සැරසී රන්කාසි මිලදී ගැනීමට යන ජගත් අනුගමනය කරන මෙන් උපදෙස් ලබාදෙමින් සිවිල් ඇඳුමෙන් සැරසී සෙසු නිලධාරීන් අවශ්‍ය තැන්වල ස්ථානගත කිරීමට කටයුතු කෙරිණි.

මේ අනුව පොලිස් කොස්තාපල් ඉෂාර සිය ජංගම දුරකතනයේ ලොකේෂන් දමා ජගත් ශ්‍රීපතිගේ බෑගයට දැමුවේ ඔහු යන එන ස්ථානය නිශ්චිතව දැනගැනීමටය. මෙවර ද ගනුදෙනුව සිදුකිරීමට ජයන්ත එවන්නේ ද තමාගේ පුතා ලෙස පෙනී සිටින ඔහුගේ මිතුරා සුරංගය.

ගනුදෙනුව සිදු කිරීමට ජගත් ශ්‍රීපති කොට්ටරම්මුල්ල නගරයට පැමිණ සුරංගට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් පසු ඔහු තමන් තුම්මෝදර දුම්රිය ස්ථානයේ සිටින බවත් එතැනට පැමිණෙන ලෙසත් කියා සිටියේය. ඒ අනුව ජගත් ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට යන අතර ඔහුව අනුගමනය කරමින් සිටින ඉෂාරද ත්‍රිරෝද රථයකින් ඔහු පිටුපස ගමන් කරන්නේ සිදුවන සියල්ල ගැන සෙසු නිලධාරින්ද දැනුවත් කරමින්ය.

ත්‍රිරෝද රථයෙන් බැසගත් ජගත් සුරංග සමීපයට ගොස් ගනුදෙනුව සිදු කිරීමට කටයුතු කිරීමේදී රැකවල් යොදා සිටි පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ අනතුරුවය.

මෙහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැ ගැන්වූ කාසි 160ක් ‍සහ රන් පැහැ නොගැන්වූ තවත් කාසිවලට සමාන කාසි 231ක තොගයක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට පත් සැකකරු කම්මල, වයික්කාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක අවිවාහක පුද්ගලයෙකි. සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරාගේ උපදෙස් මත හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.පී.සී. සමන්සිරිගේ අධීක්ෂණයෙන් සැරයන්වරුන් වන (54461) ප්‍රදීප්, (61517) ලක්මාල්, කොස්තාපල්වරුන් වන (36831) ඉෂාර, (1568) බණ්ඩාර, (33100) සුදර්ශන, කොස්තාපල් රියැදුරු 75583 ධනුෂ්ක යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

මිහිර විජේසේකර – මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division