ශ්‍රී ලංකාව තරම් තෙත්බිම්වලින් සමන්විත අන් රටක් ලොව නැති තරම්ය. මේ වූ කලි තෙත්බිම්වලින් වැසුණු කුඩා දිවයිනකැයි හැඳින්වීමෙහි කිසිදු විවාදයක් නැත. විල් හැරුණු විට හඳුනාගත් සෑම ස්වාභාවික තෙත්බිමක් ම අප රටේදී දැකගත හැකිය. එපමණක් නොව, මිනිසා ගොඩනැඟූ ජලාශ ආශ්‍රිත අර්ධ ස්වාභාවික තෙත්බිම් අති බහුතරයකින්ද මෙරට පොහොසත්ය. එබැවින් තෙත්බිම් සංරක්ෂණය යන්න හොඳින් අවබෝධ කරගෙන අප රටෙහි සංවර්ධන සැලැසුම් හා ප්‍රතිපත්ති සකස් කළ යුතුය.
එහෙත් අප තෙත්බිම් සංරක්ෂණය උදෙසා වන රැම්සාර් ප්‍රඥප්තියටද අත්සන් තැබූ රටක් වශයෙන් තෙත්බිම් සංරක්ෂණය සඳහා සැලැකිය යුතු වෙහෙසක් දරන බවක් පෙනෙන්න නැත. මේ දිවයිනේ තෙත්බිම් අතුරෙන් බහුතරයක් අපද්‍රව්‍ය රැඳවුම් ලෙස භාවිතයට ගැනේ. කර්මාන්තශාලා අපද්‍රව්‍ය පමණක් නොව, නාගරික අපද්‍රව්‍ය රඳවන ස්ථාන බවටද මේවා පත් වී තිබේ. මේ නිසා තෙත්බිම් ආශ්‍රිත ජීවී ප්‍රජාවෙන් වැඩි ප්‍රමාණයක් අද වන විට දැඩි තර්ජනයට ලක් වී ඇත. එපමණක් නොව, තෙත්බිම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව නිරන්තරයෙන් ජල ගැලීම්වලට ලක් වෙමින් පීඩාවට පත් වෙමින් සිටිති. එහෙත් වර්ෂාව රහිත කාලවලදී ඔවුහු ජල හිඟයෙන් පීඩා විඳිති. මේ පරස්පර විරෝධි තත්ත්වය ඇති වී තිබෙන්නේ අප රටේ තෙත්බිම් සංරක්ෂණයේ හා ජල කළමනාකරණයේ පවතින අඩුපාඩු හේතුවෙනි.
ලංකාවේ රැම්සාර් තෙත්බිම්
තෙත්බිම් සංරක්ෂණය සඳහා වන රැම්සාර් සම්මුතිය 1971 පෙබරවාරි 2 දින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 18ක සහභාගිත්වයෙන් සම්මත කරගනු ලැබූ අතර, 1975 වසරේ සිට එය බලාත්මක විය. 1987 වසරේදී ශ්‍රී ලංකාවද මේ සම්මුතියට අත්සන් තැබූ අතර, 1990 ඔක්තෝබර් 15 දින සිට එය බලාත්මක විය. ඒ අනුව 2023 වසර වන විට හෙක්ටයාර් 1,98,172ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත්බිම් 6ක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව, 2018 ඔක්තෝබර් 25 දින ප්‍රකාශයට පත් කළ අන්තර්ජාතික රැම්සාර් තෙත්බිම් නගර 18 අතුරින් එකක් ලෙස කොළඹ නගරය ප්‍රකාශයට පත් කර ඇත.
1990 ජූනි 15 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම රැම්සාර් තෙත්බිම ලෙස දකුණු පළාතේ බූන්දල ජාතික වනෝද්‍යානය (හෙක් . 6210 ) නම් කරන ලදි. ලංකාවේ දෙවැනි රැම්සාර් තෙත්බිම වයඹ පළාතේ ආනවිලුන්දාව අභයභූමිය (හෙක්. 1397) යි. එය 2001 අගෝස්තු 3 දින ප්‍රකාශයට පත් කළ අතර, දකුණු පළාතේ මාදුගඟ අභයභූමිය (හෙක්. 915) 2003 දෙසැම්බර් 11 දින ශ්‍රීලංකාවේ තුන්වැනි රැම්සාර් තෙත්බිම ලෙස නම් කරන ලදි. මෙරට සිවුවැනි රැම්සාර් තෙත්බිම ලෙස 2010 ජූලි 12 දින මන්නාරම දිස්ත්‍රික්කයේ වාන්කාලේ අභයභූමිය (හෙක්. 4839) ද, පස්වැනි රැම්සාර් තෙත්බිම ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ කුමන ජාතික වනෝද්‍යානය (හෙක්. 19011) ද 2010 ඔක්තෝබර් 29 දින ප්‍රකාශයට පත් කර ඇත.
2013 වසරේ ලෝක තෙත්බිම් දිනයේ සිට ශ්‍රී ලංකාවේ රැම්සාර් තෙත්බිම් අතරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද (හෙක්. 165,800) එක් විය. ඒ අනුව මෙරට හෙක්ටයාර් 198,172ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත්බිම් 6ක් පිහිටා ඇති අතර, එය ලෝකයේ සමස්ත රැම්සාර් තෙත්බිම් අතුරින් 1% ක ප්රමාණයකි. කුඩා දිවයිනක් වන අප රට මෙවන් තත්ත්වයකට පත් වීම පිළිබඳ අප ආඩම්බර විය යුතු අතරම, ඒවා සංරක්ෂණය සඳහා ද සැබෑ දායකත්වයක් දිය යුතුය. එපමණක් නොව, 1989 වසරේදී සකස් කළ ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41ක් හඳුනාගෙන ඇත.
ලංකාවේ තෙත්බිම්වල ජෛව විවිධත්වය
අති බහුතරයක් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම්වලින් රටට ඇති මෙහෙය ඉමහත්ය. මෙරට ජෛව විවිධත්වයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සාන්ද්රගතව ඇත්තේ ද තෙත්බිම් ආශ්‍රිතවය.
මෙරටින් වාර්තා වන පක්ෂි විශේෂ 511 අතුරින් 125ක් පමණ ජීවත් වන්නේ තෙත්බිම්වලය. මේ අතර නේවාසික මෙන්ම සංක්‍රමණික පක්ෂි විශේෂ ද බොහෝය. මිරිදිය තෙත්බිම්වල ජීවත් වන 51ක් වන මිරිදිය කකුළුවන්ගෙන් විශේෂ 50ක්ම අප රටට ආවේණිකය. මෙය ශ්‍රී ලංකාවේ මිරිදිය තෙත්බිම්වල වැදගත්කම මනාව විදහාපාන එක් ප්‍රධාන සාධකයකි. මිරිදිය තෙත්බිම් ඇසුරේ ජීවත් වන මත්ස්‍ය විශේෂ 97 අතුරින් 61ක් ශ්‍රී ලංකාවට ආවේණිකය.
මීට අමතරව තෙත්බිම් ඇසුරෙහි ජීවත් වන තවත් සුවිශේෂ ජීවි කාණ්ඩ කිහිපයකි. එනම්: බත්කූරෝ හා උභයජීවීහුය. මොවුහු ජීවන චක්‍රයේ මූලික අවස්ථා මිරිදිය තෙත්බිම් ඇසුරේ ගත කරති. ශ්‍රී ලංකාවේ බත්කූරන් විශේෂ 132ක් හමු වන අතර, ඉන් විශේෂ 58ක් අප රටට ආවේණිකය. උභය ජීවීන් 119 ක් මෙරටින් වාර්තා වන අතර, ඉන් විශේෂ 106ක් ආවේණික ය. මොවුහු මිරිදිය පරිසර පද්ධති ඇසුරේ හෝ ඒ ආශ්‍රිතව ජීවත් වෙති.
ශ්‍රී ලංකාවේ මිරිදිය පරිසරවල ජලජ ශාක විශේෂ 370ක් පමණ වාර්තා වේ. ඒ අතර ජලජ මීවන හා මීවන ආශ්‍රිත ශාක විශේෂ 28ක් පමණ ද වෙයි. මිරිදිය දිය පහරවල හමු වන කෙටල (Lagenandra) විශේෂ අට අතුරින් හතක් ශ්‍රී ලංකාවට ආවේණිකය. කෙකටිය (Aponogeton) විශේෂ හතර අතුරින් දෙකක් අපරටට ආවේණිකය. අතිඋඩයන් (Cryptocoryne) විශේෂ දොළහක් වාර්තා වන අතර, ඒ සියල්ල ආවේණික වේ.
අප රටේ මිරිදිය තෙත්බිම් පමණක් නොව, කඩොලාන හා කොරල් පර වැනි කරදිය තෙත්බිම්වල ජෛව ප්‍රජා වේ විවිධත්වය සැලැකූ විටද මේ ආකාරම වේ. තෙත්බිම් පරිසර පද්ධති පිළිබඳ සාකච්ඡා කිරීමේදී කඩොලාන වනාන්තර අමතක කළ නොහැකිය. කලපු, මෝය හා ලේවාය ආශ්‍රිතව පිහිටි කඩොලාන පරිසර පද්ධති තුළ සාගරයේ ජීවත් වන ජීවී විශේෂ සමහරකගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථා ගත කරයි. සාගරයේ ජීවත් වන සමහර මත්ස්‍ය විශේෂ මෙන්ම අපෘෂ්ඨවංශි සත්ත්ව විශේෂවල ජීවන චක්‍රයේ මූලික අවස්ථා කඩොලාන පරිසරවල ගත කර වර්ධනය වූ සත්තු නැවත මුහුදට ගමන් කරති.
ශ්‍රී ලංකාව වටා වෙරළ තීරයේ පිහිටි කලපු, මෝය හා ලේවායන් ආශ්‍රිතව සත්ය කඩොලාන ශාක විශේෂ 22ක් වාර්තා වෙයි. ඒ අතර මල් කඩොල් (Rhizophora spp), පුංකණ්ඩ (Ceriops tagal), මණ්ඩ (Avicennia spp), කටු ඉකිලිය (Acanthus illicifolius), ගිංපොල් (Nypa fruticans)වැනි ශාක විශේෂ ය. මේ කඩොලාන පරිසර ආශ්‍රිතව පොකිරිස්සන්, ඉස්සන්, කකුළුවන් හා මත්ස්‍යයන් ඇතුළු ජලජ ජීවි විශේෂ බහුතරයක් ජීවත් වෙති.
කොරල් පර දැකගත හැකි වන්නේ නොගැඹුරු මුහුදු තීරයේ, ස්ථාවර උපස්තරය, ලවණතාව හා සූර්යාලෝකය හොඳින් ලැබෙන ප්රදේශවලය. ශ්‍රී ලංකාව වටා මුහුදු තීරයේ කුල 19කට අයත් ගන 69ක් යටතේ කොරල් ජීවී විශේෂ 208ක් වාර්තා වේ. ඒ අතර අං කොරල්, මේස ආකාර කොරල්, මොල ආකාර කොරල්, ගෝලාකාර කොරල්, ස්තර කොරල් සහ පැතලි ආකාර කොරල් වශයෙන් කොරල් ආකාර රාශියක් දැකගත හැකිය. මෘදු කොරල් විශේෂ 35ක් ද වෙයි. කොරල්පර ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වේ. ඒ අතර කොරල් පර මත යැපෙන පනාවන් සහ පර ආශ්‍රිතව ජීවත් වන මත්ස්‍යයන් අතර කොස්සන්, ගිරව්, ගල්ගුල්ලන්, ගිනිමහ, පේත්තයා හා රුවල්කාරයන් වැනි මත්ස්‍යයෝ වෙති. මීට අමතරව පසැඟිල්ලන්, ඉකිරින්, ඉස්සන් වැනි අපෘෂ්ඨවංශි සත්ත්ව විශේෂ රැසක්ම කොරල් පර ආශ්‍රිතව දැකගත හැකිය.
තෙත්බිම් සංරක්ෂණයට වෙනම අධිකාරියක් අවශ්‍ය ඇයි?
මේ දත්ත සියල්ල සම්පිණ්ඩනය කළ විට ශ්‍රී ලංකාවේ තෙත්බිම්වල ජෛව විවිධත්වයේ අගය මනාව පැහැදිලි වේ. අප රටේ තෙත්බිම් සංරක්ෂණය උදෙසා වෙනමම ආයතනයක් හා පනතක් අත්‍යවශ්‍යව ඇත්තේ මේ නිසාය. දැනට ශ්‍රී ලංකාවේ තෙත්බිම් කිහිපයකට ඍජුව ආරක්ෂාව ලැබී ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ නෛතික ප්‍රතිපාදන යටතේ පමණි. මීට අමතරව වාරිමාර්ග ආඥා පනතේ, ජාතික පාරිසරික පනතේ නෛතික ප්‍රතිපාදන ද තෙත්බිම් කළමනාකාරණයට යොදාගැනේ. එහෙත් දැනට තෙත්බිම්වලට සිදු වෙමින් පවතින තර්ජන පිළිබඳව අවබෝධ කර ගත් විට මේ නීති ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා වෙනම නෛතික ප්‍රතිපාදන අවශ්‍ය බවත් පෙනීයයි. ඒ සඳහා පෙබරවාරි දෙවැනිදාට යෙදෙන ලෝක තෙත්බිම් දිනයේදී පළමු පියවර තැබීම අත්‍යවශ්‍යය.
අද වන විට මෙරට තෙත්බිම් වැඩිම තර්ජනයට ලක් වූ පරිසර පද්ධති ලෙස හැඳින්විය හැකිය. නාගරික හා කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැරලීම, ගොඩ කිරීම, ජනාවාස ව්‍යාප්ත කිරීම, කසළ රැඳවුම් පවත්වාගෙන යෑම, මැණික් ගැරීම, වැලි ගොඩ දැමීම, කෘෂිකර්මාන්තයේදී අධික ලෙස භාවිත කරන රසායනික කෘෂි රසායන තෙත්බිම්වල සාන්ද්‍රගත වීම, මිරිදිය තෙත්බිම් ලවණීකරණය හා ආම්ලීකරණයවීම ආදි හේතු මත තෙත්බිම්වල ගුණාත්මකභාවය පිරිහීමට ලක් වීම හේතුවෙන් ජෛව ප්‍රජාව දැඩි තර්ජනයට ලක්ව තිබේ.
මිරිදිය දිය පහරවල්, ගංගා, ඇළ-දොළ, වැව්, ජලාශ, වගුරු, වනාන්තර, පිටාර තැනි, විල්ලු, වගුරු බිම්, කඩොලාන, ලවණ වගුරු බිම් හා කොරල් පර වශයෙන් ඉතා පුළුල් විෂයය පරාසයක හා විශාල භූගෝලීය ප්‍රදේශයක් පුරා පැතිරුණු තෙත්බිම් අති බහුතරයක් අප රට තුළ පිහිටා තිබීම නිසා මේවා නිසි පරිදි කළමනාකරණය කිරීමට වෙනම අධිකාරියක් හා ඒ සඳහා වන තෙත්බිම් සංරක්ෂණ හා කළමනාකරණ පනතක් අද වන විට අප රටට අත්‍යවශ්‍යය.
ශ්‍රී ලංකාවේ මේ එක් එක් තෙත්බිම්වල ඇති ජල විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වටිනාකම් එකිනෙකට වෙනස්ය. මේ නිසා ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ඉදිරියේදී මනා සැලසුම් සකස් කළ යුතුව ඇත. දැනට සිදු වන ආකාරයේ විවිධ ආයතන විවිධ අයුරින් තෙත්බිම් සංවර්ධනය සඳහා සැලසුම් සකස් කිරීමෙන් අවසානයේදී බලාපොරොත්තු වන ප්රතිලාභ අත් කරගත නොහැකි වනු ඇත.
මේ නිසා 2006 සකස් කළ ජාතික තෙත්බිම් ප්‍රතිපත්තිය නිවැරදි ලෙස යාවත්කාලීන කර, ඒ මත පදනම් වූ තෙත්බිම් සංරක්ෂණ පනතක් හා තෙත්බිම් සංරක්ෂණ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යය.
සජීව චාමිකර