527
බෙල්ජියම තුළ ශ්රී ලංකා සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමට එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
බෙල්ජියමේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය එක්ව මෙම වැඩසටහන දියත්කර තිබෙන අතර එරට පැවැති “Vakantie Expo 2025” සඳහා ද ශ්රී ලංකාව එක්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි.
මෙම ප්රදර්ශනයේ දී ශ්රී ලංකාව ප්රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ඉස්මතුකර තිබෙන අතර බෙල්ජියම් සංචාරක ලෝලීන් සහ කර්මාන්ත වෘත්තිකයන් 30,000 කට අධික සංඛ්යාවක් මේ සඳහා එක්ව ඇත. මෙහිදී ශ්රී ලංකා තානාපති කාර්යාල කුටිය තුළින් රටේ සංචාරක අංශය ඇතුළත් රූප, බැනර්, වීඩියෝ, අත් පත්රිකා සහ සිතියම් හරහා අද්විතීය සංචාරක අනන්යතාවයක් විදහා දක්වා තිබෙන අතර ඒ සඳහා පැමිණි අමුත්තන්ට ඉංග්රීසි, ලන්දේසි සහ ප්රංශ භාෂාවලින් ශ්රී ලංකාවේ විවිධාකාර අද්විතීය සංචාරක අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබාදී තිබේ.
දිගු දුරක් යායුතු ගමනාන්තයක් ලෙස ඉදිරිපත් වීමෙන්, ශ්රී ලංකාව එහි පොහොසත් සංස්කෘතිය, ස්වාභාවික සුන්දරත්වය, වනජීවීන් සහ විවිධ සංචාරක අත්දැකීම් ප්රදර්ශනය කරමින් වෙළඳපොළට ආකර්ෂණය වී තිබෙන අතර ශ්රී ලංකාවේ ප්රදර්ශන කුටියට පැමිණි අමුත්තන් අතර, මීට පෙර මෙරටට සංචාරය කළ පුද්ගලයන් ඔවුන්ගේ අතීත අත්දැකීම් ආදරයෙන් සිහිපත් කරමින් සහ කලින් මඟ හැරුණු නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ගවේෂණය කිරීමට නැවත පැමිණීම පිළිබඳව උද්යෝගය ප්රකාශ කර ඇත.
ඒ අතර බොහෝ පිරිසක් ශ්රී ලංකාව, ඔවුන්ගේ ඊළඟ ගමනාන්තය බවට පත්කර ගැනීමට උනන්දුවක් දක්වා තිබෙන අතර පවුල් හිතකාමී ක්රියාකාරකම්, ස්වභාවික සුන්දරත්වය ගවේෂණය කිරීම, සූපශාස්ත්ර අත්දැකීම්, වනජීවී සෆාරි, සංස්කෘතික සන්ධිස්ථාන නැරඹීම, එළිමහන් වික්රමාන්විතයන් සහ දේශීය ජනතාවගේ ජීවන රටාවන් අත්විඳීම ඇතුළු ශ්රී ලංකාවේ පුළුල් පරාසයක ආකර්ෂණීය ස්ථාන කෙරෙහි බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වා තිබේ.
Vakantie Expo හි ශ්රී ලංකාවේ සහභාගීත්වය එහි සන්නාම පැවැත්ම ශක්තිමත් කර තිබෙන අතර බෙල්ජියමේ සංචාරක කර්මාන්තය තුළ වටිනා ජාලකරණ අවස්ථා විවෘත කර ඇත. මෙම අවස්ථාවට නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ජර්මනිය සහ ප්රංශය වැනි අසල්වැසි රටවලින් ද අමුත්තන් ආකර්ෂණය වී තිබෙන අතර එමඟින් ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරයේ ප්රවේශය තවදුරටත් පුළුල් වී ඇත.
2024 දී ශ්රී ලංකාවට බෙල්ජියම් සංචාරකයින් 17,219 ක් පැමිණ තිබෙන අතර එය පසුගිය 2023 වසරට සාපේක්ෂව සියයට 61ක වර්ධනයක් බව ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය පෙන්වාදෙයි. බෙල්ජියම් සංචාරකයින්ගේ අධික වියදම් ස්වභාවය සහ නැවත නැවත සංචාරය කිරීමේ ප්රවණතාවය සැලකිල්ලට ගනිමින්, බ්රසල්ස් හි ශ්රී ලංකා තානාපති කාර්යාලය 2025 දී බෙල්ජියමේ සහ ලක්සම්බර්ග්හි ප්රවර්ධන වැඩසටහන් ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇත.
මහින්ද අලුත්ගෙදර